ඉන්න ඇත්තො

1 (අ) සාරගම.......

(කලින් ලීව ඇයි අපිට බැරි කියන ලිපිය ගොඩක් අපේ කට්ටිය කියවල කියල තෙරුනා... මට හරි සතුටුයි අපිත් එක්ක ඉන්න ගොඩක් අය අවංකවම අපේ පරිසරයට ආදරේ කරනව කියල දැනුනම... මොකද දැන් කාලෙ ගොඩක් දෙනෙක් ඒව කරන්නෙ මෝස්තරේට මිසක් පිවිතුරු, අවංක චේතනාවෙන් නෙවෙයිනෙ..)

කුරුණෑගල - පුත්තලම ප්‍රධාන පාරෙ යන්තන්පලාව පහුකලාම, සාරගම කියල පුංචි ගමක් තියෙනව... එතන තියෙන විශේෂත්වෙනම් මහ පාර දෙපැත්තෙම තියෙන වැවක් තිබුණ. ඒක හරිම ලස්සනයි.. මොකද, නෙලුම්, මානෙල්, ඕලු මල් වලින් එ වැව වැහිල තිබුණ නිසා..

වැව ඉස්මත්තෙ තියෙන ගලේ පන්සල ගමට තවත් අලංකාරයක් දුන්න..

මම පොඩි කාලෙ අහල තියෙන විදියටනම් ඒ වැව කුරුළු අභය භූමියක්.... සංචාරක කුරුල්ලො එන තැනක්.. ඒක ඇත්ත වෙන්න ඇති කියල හිතන්න පුලුවන්.. මොකද අවුරුද්දෙ සමහර කාල වලට ලංකාවට ආවේණික නොවන කුරුල්ලො ගොඩක් අය මේ වැවේ ඉන්නව මගෙ ඇස් වලින්ම දැකල තියෙනව...


වැවේ තිබුණ එකම අඩු පාඩුව තමයි "සැල්වීනියා" වලින් වැව වැහිල තිබුණ එක....

මට මතක ඇති කාලෙක දැනට අවුරුදු 10කට විතර කලින්, මේ වැව සුද්ද කරන්න කියල රජයෙන් මැදිහත් වෙලා වැව හාරන්න පටන් ගත්ත... වැව හාරන්නනම් ඉතින් කරන්න ඕනෙ ඉස්සෙල්ලම වැවේ තියෙන වතුර ටික අයින් කරන එකනෙ.... ඔන්න හොඳට පිරිල තිබුන වැවේ වතුර ටික යැව්ව කියමුකො.... දැන් ඉතින් වැව හාරන වැඩ පටන් ගත්ත.... හාරන පස් ලොරි, ට්‍රැක්ටර් වලින් ගෙනිච්ච... ඒව සරු සාර පස්.. මමත් පුන්චි උනාට අම්මගෙන් සල්ලි ඉල්ලන් ඒව ගෙනත් අපේ වත්තට දාල පිරෙව්ව.... අන්තිමේ පස් කපල අයිනට ගොඩ ගැහුව... එක සැරේම වැඩ නැවතුනා.... එච්චරයි.... වැවක රොන් මඩ අයින් උනාම වතුර රඳන්නෙ නෑ කියන කතාව ඇත්ත.. කොච්චර වැස්සත්, ටිකක් කාලයක් ගිය වැව අයේ වතුර රඳන්න.. වතුර පිරෙන්න...

කොහොමින් කොහොමින් හරි ඒක වෙලා කාලයක් ගියා.. වැව ආයෙමත් තිබුණ තත්වෙට පත් උනා... පාර දෙපැත්තෙ වැව අයිනෙ ගස් වල හෙවනෙ සමහරු වෙළදාම් කරන්න පටන් ගත්ත... ඒ අයගෙන් කාටවත් කරදරයක් තිබුණෙ නෑ... එයාල ඒ අවට හරියට පිරීසිදු කරගෙන හිටිය... දුර ගමන් යන අය විඩාව නිවා ගන්න එතන නවත්තල විනෝද වෙනව... යන එන අය හවසට ඉර බහිනව බලන්න එතන නවතිනව.... ශරීර සුවතාවය පිණිස ඇවිදින අය මේ වැවේ ලස්සන බලන ගමන් , මද පවන විඳිමින් පාර අයිනෙ ඇවිද්ද... 
ඇත්තටම සාරගම වැව අමුතුම සුන්දරත්වයක් දුන්න ගමට.. ඒ වටා ගොඩක් ජීවනෝපාය මාර්ග ගොඩ නැගිල තිබුන... පහල තිබුණ කෙත් යායත් සරුවට වැඩුන... 

ඒත් අයෙමත් ඒ හැම දෙයක්ම ආයෙම වෙනස් උනා පහුගිය දවසක...  මහා යන්ත්‍ර සූත්‍ර ගොඩක් එක සැරේම ආව වැව ඉස්මත්තට.. ආයෙම වැව සංවර්ධනය කරන්න පටන් ගන්න... මහා ව්‍යාපෘතියක්.... එක සීරුවට යන්තර 20 ක් 25ක් විතර වැඩ කරා.. අව්ව, වැස්ස බලන්නෙ නැතුවම ඒ අය වැඩ කලා... වැව හාරනව, පස් ගෙනියන්ව... එතන හරියට යුද්ධයක් වගේ... අනේ සමහරු වැඩ කරන අයට කෑම දුන්න.... තේ දුන්න... ගමේ වැඩක් නිසා.... ගමේ අයත් වැඩ කලාලු... එක සීරුවට වැඩේ යන නිසා අපිත් සතුටු උනා මේදා සැරේ නම් අපරාදෙ කියන්න බෑ... වැඩේ කෙරෙනව හරිය උතුරු-නැගෙනහිර යුද්ධෙ ඉවර උනා වගේ කියල...
වැව අයිනෙ ගස් කපල දැම්ම.... ඒත් අපි හිතුව ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ කලා වගේ ආයෙ ලොකු ගස් හිටවයි කියල.... අවට හිටිය වෙළෙන්දන්ව අයි කලා... කතාවක් තිබුණ එයාලට වෙනම කඩ දාල දෙනව කියල.... කලින් ගිමන් හරින්න නතර උන අය වැවේ සංවර්ධනය බලන්න නතර උනා.... මහ අනෝරා වැස්සෙත් වැඩේ කෙරුන නිසා අපි සතුටු උනා.... 

අනේ වාසනාවන්ත සාරගමේ අවසනාව.......

හිටිය ගමන් එතන තිබුන යන්ත්‍ර සූත්‍ර අතුරුදහන් උනා.. වැවේ වැඩ කරන අය අතුරුදහන් උනා.. ඒත් අපි හිතුව එක දිගට කඩා හැලෙන වැස්ස නිසා කියල...  
ඒක එහෙම නෙවෙයිද....? අදටත් ඒ වැඩ නැවතුන විදියට පස් ගොඩවල්.....වැවේ හාරපු කාණු.... කපාපු ගස්.... එහෙමමයි.....
අසරණ වෙච්ච සමහර වෙලෙන්දො වෙන වෙළදාම් හොයගෙන.... හෙවන හොයාගෙන ආව අය අද අතරමන් වෙලා... හොඳක් වෙච්ච දෙපිරිසක් ඉන්නව....මැටි කර්මාන්තෙ කරන අය ලහි ලහියෙ මැටි බෝල එකතු කරල ගෙනියනව...... තමන්ගෙ ගොඩ වැඩි ක‍රගන්න වෙහෙසෙන අයට ඉස්සර තමන්ගෙ මූනත්තහඩුව වැව මැද ගහන්න දහසක් දුක් විඳින්න උනා... ඒත් මෙදා සැරේ කිසිම කරදරයක් නැතුව වැව මැද්දටම ගිහින් ඒව ගහන්න පුලුවන් උනා...
ඒ ඇරෙන්න ...... 
අපේ සාරගම..... සරුවට තිබුන වැව..... අද නෑ..... එත තියෙන්නෙ තැනින් තැන අගල් හාරපු පිට්ටනියක්.... 

වතුර පිරිල, ලස්සනට මල් පිපිල තියෙන සාරගම වැව දකින්න ආයෙම කොඉ කාලයක් බලාගෙන ඉන්නද.....?
තවත් මාසෙකින්, දෙකකින් එතන්ට එන සංචාරක කුරුල්ලන්ට මොනවද අපි කියන්නෙ.....?

මේ වගේ අපරාධ කරන (සම)හරක් ඇයි හිතන්නෙ නැත්තෙ මේ වනසන්නෙ අපේම ජීව්ත නේද කියල...... 
ඒ අය සීත කාමර වල ඉන්න නිසාදා....? 
ඒ අය යන එන වාහන ඇතුල සීතල නිසා මේ වගෙ හෙවනක නවත්තන්න ඕනෙ වෙන්නෙ නැති නිසාද..? 
සංචාරක කුරුල්ලො බලන්න ඕනෙ උනාම පිට රටකට ගිහින් ඒව බලන්න එයලට සල්ලි තියෙන නිසාද...? 
වැව දෙපැත්තෙ පුංචි කඩ දාපු උදවියට කලු සල්ලි නැති නිසාද....? 

ඊයෙ පෙරේද දවසකම මම නිකන් කතා කලා එතන මැටි බෝල එකතු කරන අය එක්ක... එයාල කියනව එයාල ඒ බෝල ගෙනිවටත් එයාලට ටැක්ස් ගහන්න හදනවලු.... පව් නේද.....?

අම්මප මේ අය කවද තේරුම් හනීවිද 
"අපි මේ කපන්නේ අපේම මිනී වල
කියල....








6 නික්ම යාම.......

ඔරලෝසුව දිහා බලා ඉන්න හින්දමද මන්ද කවදාවත් නැතුව තප්පර කට්ට එකම තැන කියලයි හිතුනෙ. බලන බලන හැම වෙලවකම ඒක 12න් එහා යන්නෙ නෑ.. එහෙම වෙන්නෙ ඇයි කියල හිතන්නවත් උවමනාවක් තිබුණෙ නෑ මොකද ගෙදර දුවන්න බලාගෙන හිටිය හින්ද.. ඒත් වෙන්න යන දේ හීනෙකින් හරි දැනුනනම්, තප්පර කට්ට සදහටම නැවතුනත් තරහ නොවී ඉන්න තිබුණ.


"ඇති යන්තන් ඉවර උනා..." එළියට බහින ගමන්ම හෙමින් මිමිණුවෙ ගෙදර යන්න බස් එක කොහෙද කියල බලන ගමන්මයි.


ඒත් ඊළඟ බස් එක යන්න තව විනාඩි 25 - 30 තියෙන නිසා වරුණි පාරට බැස්ස.. " ඔන්න ඔහෙ පයින් යනව.. පොඩි දුරයිනෙ... මොන තනියක්ද.... කරුවලත් නෑනෙ..."
වරුණිගෙ හිතේ හයියක් තිබුන කොහේ ගියත් හැම වෙලාවකම එයාගෙ හිතේ හයියට, තනියට කෙනෙක් එයා ළඟින්ම ඉන්නව කියල දන්න නිසා.... ඒක එයාට තදින්ම දැනෙන දෙයක්... විශ්වාස ක‍රන දෙයක්. කොච්චර දුරකින් හිටිය උනත්, ඕනෙම දුකක් දැනුනම, කරදරයක උනාම ඒ හැම දේකටම සුපුන් වරුණිගෙ ළඟින්ම හිටිය... ඒ නිසා මොනම දේකටවත්, කොහෙවත් යන්න එයාට තනියක් දනුනෙ නෑ...කොහේ හරි යන්න ඕනෙ උනාම, එයා යන තැන තියෙන්නෙ කොහෙද, යන විදිය හැම එකක්ම හොයල කියනව... ඒ විතරක් නෙවේ යන්නෙ තනියමනම් තනියටත් එනව ගමන ගිහින් එනකල්... හැබැයි ඉතින් ෆෝන් එකෙන්... ඒත් කවදවත්ම වරුණිට වෙනසක්නම් දැනිල නෑ..


කොහොමින් කොහොමින් හරි ඔන්න ගෙදරට ආව..
වෙලාව බලන ගමන්ම කම්පුටර් එක ඔන් කරල වරුණි වතුර එකක් බොන්න ගියෙ රෑට මොකුත් කන්න හදන්න ගියොත් තවත් පරක්කු වෙන නිසයි... කවදාවත් පරක්කු වෙනවනම් සුපුන්ට නොකිය ඉන්නෙ නෑ.. එහෙම පරක්කු උනාම එයා බය වෙනව කියල වරුණි දැනගෙන හිටිය...


"පරිස්සමෙන් ඉන්න", "පරිස්සමෙන් ගිහින් එන්න", "බුදු සරණයි, දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි."


ඒ හැමදාම සුපුන්ගෙ කටේ තිබුන වචන.. ඒව වරුණිට හරි පුරුදුයි... ඒ හින්දම කවදවත් වරුණි ඒ වචන අහන්නෙ නැතුව කොහෙවත් ගියෙ නෑ..ඒ තරම්ම ඒ දේවල් වලට එයා අදරේ කලා.
හැමදාම උදේට, හවසට ඒ දේවල් කියල මේල් එකක් දාන්නත් සුපුන් කවදවත් අමතක කරන්නෙ නෑ... මොන දේ තිබුනත්, ඒක කරනව.. මොකද සුපුනුත් දැනගෙන හිටිය වරුණි මොන වැඩ තිබුනත් ඒක කියවනව කියල... අනිත් එක සුපුන් හැමදාම කියපු දෙයක් තමයි බැරි වෙලාවත් අයෙ එන්න බැරි වෙන ගමනක් ගියොත් ඒ විශ් එක හැමදාටම ඉතුරු වේවි කියල.... ඕකට හරියටවත් දෙන්න රණ්ඩු වෙලා තියෙනව...
වතුර එක බීල එනකොටම ෆෝන් එකත් රින්ග් උනා. පන්තියෙ ඉද්දිත් දෙපාරක්ම සුපුන් නිකන් රින්ග් කරල තිබුනෙ පරක්කු නිසා කියල වරුණි දන්නව...දැනුත් රෑ වෙලා නිසා තාමත් ගෙදර ආවෙ නැත්තෙ ඇයි කියල හොඳටම බයවෙලා ඇති කියල දන්න නිසා වරුණි කෝල් එක ගත්ත...


"අම්මෝ... ඇති යන්තන්..."


එච්චරයි ඇහුනෙ අනිත් පැත්තෙන්.. ලොකූ හුස්මක් ගන්න සද්දෙ ඇහුන.. හරියට පැයක් විතර වතුර යට හුස්ම අල්ලන් හිටිය කෙනෙක් උඩට ආව වගෙ... වරුණිටත් බය හිතෙන තරමටම ඒ සද්දෙ තදයි...


"ඇයි සුපුන්...? මට මොකුත් වෙන්නෙ නෑනෙ..... බය වෙන්න එපා... ඔයා ඉන්නවනෙ...."


"හරි හරි... දැන් කමුකො ඉතින් හොඳ බබා වගේ..."


ඔය කතාවත් ඉතින් වරුණිට හරි පුරුදුයි.... ඕනෙම දේකදි අන්තිමට හිත හැදෙන්න ආදරෙන් මොකක් හරි කියල සනසනව... වරුණි ඒකට හරිම ආසයි..
සුපුන්ගෙ කටේ එහෙම වරුණිට කියන නම් කීපයක්ම තියෙනව... සමහර ඒවට වරුණි ලැජ්ජයි... ඒ එයා ඒවට ආසයි..  සුපුන් එදා ඉඳන් අද වෙනකල් එකම විදියට වරුණිට ආදරෙයි... කවදාවත් වෙනස් වෙලා නෑ මොන දේ උනත්..... ඒක වරුණි හොඳටම දන්නව..
වෙලාවකට සුපුන්ම කියනව ,
"මගෙ ආදරේ කවද හරි ඔයාට වදයක් වෙයි..." කියල...
ඇත්තටම එයා හරිම වෙනස් කෙනෙක්.... කෙනෙක්ට ලෙසියෙන් හිතා ගන්න බැරි කෙනෙක්... ඒත් වරුණි තරම් එයාව තේරුම් ගත්ත, අඳුන ගත්ත, එයාව දැනුන කෙනෙක් මේ ලෝකෙ නෑ කියල දෙන්නම දැනගෙන හිටිය...


"ඔයා කෑවද....?" වරුණි ඇහුවෙ බොරුවට.... මොකද එයා දන්නව කවදාවත් සුපුන් කන්නෙ නෑ එයා කනකල් කියල...


සුපුන් ඒකට හිනා උනා විතරයි...


දෙන්නම දන්නව ඉතින් කෑම කන එකත් සිද්ද වෙන පිළිවෙලක් තියෙනව කියල..
"මම කෑම එක අරන් එන්නම්..." වරුණි ගිය කුස්සියට....
සූපුන් ඉතින් බලගෙන ඉන්නව එය එනකල්...


"අද දවස කොහොමද...? මොනවද කලේ....." ඔතනින් තමා පටන් ගන්නෙ... ඊට පස්සෙ මුලු දවසම කල දේවල්, උදේ ගෙදරින් ගිය වෙලේ ඉඳන් ආපහු එනකල් හැමදේම කියනව... ඒ අතරෙ කෑම එක ඉවර වෙනව දන්නෙම නැතුව.....සමහර දවසකට අතයි, පිඟානයි සෝදන්නෙ හොඳටම වේලුනාට පස්සෙ.... සුපුන් කන්නෙ වරුණි කාල, අතත් සේදුවට පස්සෙ..


එදත් පුරුදු විදියටම පටන් ගත්ත....


"ඔයගෙ පපුව රිදෙන එක මොකද සුපුන්...?"


සුපුන්ට කොච්චර ආදරෙ උනත්, වරුණි සුපුන්ට "වස්තුව", "මගෙ දෙයියො", "පැටියො" කියල තියෙන්නෙ අතේ ඇඟිලි ගානට... ඒත් සුපුන් දන්නව ඒ ආදරෙ නැතුව නෙවේ කියල....


කලින් දවසක පපුරව ටිකක් රිදෙනව කියල කියපු එක ආයෙම මතක් කලා වරුණි... සුපුන් ඉතින් ලෙඩ ගනන් ගත්ත කෙනෙක් නෙවෙයිනෙ... වරුණි අසනීප උනොත් රෑ එළි වෙනකල් කල්පනා කරනව... බෙහෙත් හොයනව.... විස්තර හොයනව... ඒත් එයගෙ ලෙඩ එයාට ලෙඩ නෙවෙයි....


"ආ ඒක හරි" චුට්ටක් හිනා වෙලා කීව...
 ඒ එයගෙ හැටි... වරුණි ඉතින් වද කරල,වද කරල තමයි බෙහෙතක් උනත් ගන්නෙ...කොහොම හරි සුපුන්ට කත කරන අතරෙ වරුණිට තව කෝල් එකක් ආව... ඒකට කතා කරල තිබ්බ ගමන් වරුණි


"හදිස්සියක්, මම ටක් ගාල එන්නම්.." එච්චරයි කීවෙ....


කවදාවත්ම එහෙම යන්නෙ නෑ කාමරෙන් එලියටවත්.... කොහෙද යන්නෙ.... ඇයි යන්නෙ.. ඉක්මනට එන්නම් විතරක් නෙවේ "බුදු සරණයි " කියලත් තමා යන්නෙ...


සුපුන්ට හිතා ගන්න බෑ...තාමත් ෆෝන් එක ඔන්... වරුණී... වරුණී...සුපුන් කතා කලා... කතා කලා.... අනිත් පැත්තෙන් සද්දයක් නෑ....


පපුව හයියෙන් ගැහෙනව වගේ දැනුන සුපුන්ට... මුලු ලෝකෙම තමන් වටේ කැරකෙනව වගෙ දැනුන... ඔලුව සීතල වෙලා යනව වගේ දැනුන....


ටික වෙලවකින් වරුණි ආව... හදිස්සියෙ යාලුවෙක් කෝල් එකක් දීල, එයාට හදිස්සියක් කියල... ඒ කියපු විදියටයි වරුණි දුවල තියෙනෙ....ඒත් වැඩි දුරකට නෙවේ.. එහා ගෙදරට.. අනේ ආව ගමන් හති ඇර ඇර වරුණි සුපුන්ට කතා කලා... එයාගෙ ෆෝන් එක තාමත් කෝල් එකේ.... ඒත්... කිසිම සද්දයක් නෑ....
වරුණි "සුපුන්.. සුපුන්... කතා කරන්නකො.... අනේ ප්ලීස්... කතා කරන්න....මම කියන්නෙ නැතුව ගියාට තරහද... අනේ සමාවෙන්න... දැන් කතා කරන්නකො.. අනේ සුපුන්....ඔයා කොයි....?"


ඒත්.... වරුණි දැනන් හිටියෙ නෑ සුපුන් ඒ වෙනකොටත් කතා කරන්න පුලුවන් තත්වෙක නෑ කියල... ආයෙ කවදාවත්ම කතා කරන්න, උදේට ගුඩ් මෝනින්, රෑට ගුඩ් නයිට් කියන්න එන්නෙ නෑ කියල....... එයා හිතුවෙ සුපුන් විහිලුවක් කරනව කියල... ඒත් එච්චර වෙලා එහෙම විහිලුවක් කවදාවත්ම කරන්නෙ නැති නිසා එයාට වෙනසක් දැනුන... ලොකු බයක් දැනුන.. ඒත් එයාට කරන්න දෙයක් නෑ... කියන්න කෙනෙක් නෑ.... අහන්න කෙනෙක් නෑ....


මහ රෑ.... වරුණි නිදි නැතුව හිටිය පහුවදා එළියක් වැටෙනකල්... උදෙන්ම අම්මලාට කතා කලා.... අම්මල සුපුන් ඉන්න තැනට එනකොට එයා මේ ලෝකෙ අත ඇරල ගිහින් පැය ගානක්... වාර්තා වල හැටියට , එයාට "හාට් ඇටෑක්" එකක්... පළවෙනි පාරම දරුණුවට දැනිල....




වරුණිට සුපුන්ව දකින්නවත් ලෑබුනෙ නෑ... එයා එනකල් හැමදාම මග බලාගෙන හිටිය කෙනාව අවසාන වතවටවත් බලන්න එයාට බැරි උනා....


සුපුන් එයාගෙ ඇස්  දන් දෙන්න ලියල තිබුන.... ඉස්සරත් හැමදාම අවුරුද්දකට සැරයක් ලේ දන් දුන්න... ඒ අනිත් අයට පින් සිද්ද වෙන්න කියල මිසක් එයාට පින් ගන්න නෙවෙයි.. එයා කවදාවත්ම එයා ගැන හිතුවෙ නෑ... එහෙම උනානම් අදත් සුපුන් ඉන්නව වරුණිට හැබෑවටම...දැන් හැමදාමත් වරුණි පෝය දවසට හඳ බලන්න පුරුදු වෙලා... ඒ ඉස්සර සුපුන් කියපු කතාවක් නිසා... ඒ කාලෙ ඒක කියද්දි වරුණි කීවෙ බොළඳ කතාවක් කියල... ඒත්... දැන් එයා ඒක කරනව.. මොකද ඒ සුපුන් කොහෙ හිටියත් හඳ බලන්න පුරුදු වෙලා හිටිය....
හඳ.... මුහුදු වෙරළ, මුහුද... එයා ආදරේ කල දේවල්... ලොකු ලොකු දේවල් වලට ආදරේ කරේ නෑ.... ආදරේ කල ලොකුම වස්තුව වරුණි...


වරුණිට, සුපුන් දන්න, අඳුනන, ආදරේ කරන කෙනෙක්ට වඩා එයාටම දැනුන කෙනෙක්.....
අපිට මිනිස්සුන්ට ආදරෙ කරන්න පුලුවන්.... දැන අඳුන ගන්න පුලුවන්....
ඒත්... කෙනෙක්ව දැනෙන්නෙ කලාතුරකින්.... බොහොම කලාතුරකින්...
කවදාවත්ම එහෙම කෙනෙක්ව නැති කරගන්න එපා....
ඒක දුකක්.... දරා ගන්න බැරි දුකක්....























ප.ලි.
අපිට ඇත්තටම ආදරේ කරන අය අපිට අඳුන ගන්න ගොඩක් කල් යන්න පුලුවන්...
ඒත් ....
සමහර වෙලාවට එහෙම වෙනකොට....
ඒ අය අපිට නැති වෙන්නත් පුලුවන්.....

5 ඇයි අපිටත් බැරි.....

ලියන්නනම් ගොඩක් දේ තියෙනව... පටන් ගන්න තැනක් හිතා ගන්න බෑ...

ඒත් මම මුලින්ම හිතුවනම් හරියටම හරි.....
මෙහෙම බ්ලොග් එකක් ලියන එකේ ආදරේ ගැන හරි, විරහව ගැන හරි නැත්නම් නලු නිලියන් ගැන ඕපදූප හරි ලීවනම් උණු කැවුම් වගේ හිට් කවුන්ට් එක නගිනව.... ඒත් අඩුම තරමෙ සිංහල බ්ලොග් කියවන එක්කෙනෙක් හරි මේක කියවයිනෙ... ඒ හින්ද මම ලියනව... හිතෙ තියෙන දේවල් කියා ගන්න බැරුව හිතේ තද කරන් ඉන්නවට වඩා මෙහෙම හරි නිදහස් කරල දානව.. අහල ඇතිනෙ අර රජ්ජුරුවන්ගෙ බූරු කන් දැකපු කරණවෑමියට අන්තිමේ කරන්න සිද්ද වුන දේ...

දැන් ඉතින් ආයෙම ඡන්දයක් තියන්න යනව කියන එක එලියෙ තියෙන තාප්පයක් , ලයිට් කණුවක් දැක්කනම් ඕනෙම පොඩි දරුවෙකුටත් තේරෙනව...
අපේ රටේ පාරක් අයිනෙ ගෙයක් තියේනම්, තාප්පයක් බඳිනකොට නිකන් කටු බිත්තියක් විතරක් තිබුනොත් ඇති.. මොකද ගොඩක් අය ස්වෙඡ්චාවෙන්ම ඒ තාප්ප පින්තාරු කරල දෙනව. ඒ අතින්නම් අපි හරිම වාසනවන්තයි..

බැරි වෙලාවත් කඩයක් වහල තිබ්බොත් දවස් දෙකක්, තුන් වෙනි දවසෙ කියතක් අරන් යන්න ඕනෙ දොරවල් අරින්න.. මොකද හොරු කඩයි කියල ඒවයෙ කොල අලවනවනෙ අපේ බාප්පල... 
කට්ටියක් අපිට අධ්‍යාපනය දෙන්න වෙහෙසෙනව තාප්ප, බෝක්කු, ලයිට් කනු වල එල්ලිලා...ඒ අය අවුරුද්දෙ 365 දවසෙම වෙහෙසෙනව...

තවත් පිරිසක් අපිට සේවය කරන්න එන්න වෙහෙසෙනව.... එයාලනම් ඉතින් එක කාලෙකට විතරක් තාප්ප, බෝක්කු , ලයිට් කනු අලංකරනයට එකතු වෙනව..
මේ දවස් වලනම් එළියට බැස්සම හැම පැත්තෙන්ම විරිත්තන් ඉන්න අයම තමා ඉන්නෙ.. කමක් නෑ ඉතින්.... මොකද අපිට සේවය කරන්න එන්නෙ ඉතින් ඔය විරිත්තන්නෙ..
ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය අපිට විරිත්තන අය දන්නෙම නැතුව අපේ සොබා දහමටත් විරිත්තන එකනෙ... එයාල හිතන්නෙ මේක අපේ විතරයි කියලනෙ.... එයාල ඉන්නෙ වීදුරු ගෙවල් ඇතුලෙනෙ... හැබැයි ඉතින් කතාවක් තියෙනව වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියල... ඒත් ඉතින් ඕකත් තෙරෙන්නෙ නැති එක නොවැ අවුල...

අනේ ඉතින් මාස ගානක් මහන්සි වෙලා, අපිට සර්වන්ට් කෙනෙක් හොයා ගන්නකොට අපේම වටපිටාවට පොලිතින්නම් කොච්චර එකතු වෙලාද...? කෝටි ගනන් වියදම් කරල පොස්ටර් මාරයෙක් ගේනව තාප්ප වල මවපු රූ රටා මකන්න.. ලයිට් කණු වල එල්ලිච්ච අයව පුලු පුලුවන් විදියට ඇදල දානව... ඇයි ඉතින් එයාල බස්සන්න ගිහින් විදුලි සැර වැදුනොත් හරි ජන්ජාලයක්නෙ වෙන්නෙ...
සමහර කණු වලට දැනට අවුරුද්දකට හමාරකට කලින් නැග්ග අයත් ඉන්නව බහින්න අමතක වෙල... අනේ පව් ඉතින්, එයලට කාක්කො එහෙමනම් සලකනව මදි නොකියන්න..
ඔය හැම කෙනෙක්ම හිතාගෙන ඉන්නෙ පරිසරේට ආදරේ කරන්න ඕනෙ පරිසර දිනේදි විතරයි කියල.. අනිත් දවස් වලට හිතුමතේට ඕනෙ දෙයක් කරන්න පුලුවන්... නගර සභාව ඉන්නෙ ඒව සුද්ද කරන්න... පරිසර අධිකාරිය ඉන්නෙ ඒව රකින්න... අපිට මොකෝ කියල....
බලාගෙන යද්දි ඒකත් ඇත්ත... ඒ අයට ඉතින් පඩියක් ගෙවන එකේ කරන්න වැඩක් තියෙන්නත් එපායැ.. අපි හැමෝම "අපේ පරිසරය" කියල හිතාගෙන වටපිටාව පරිස්සම් කරොත්, අර කියපු අයට රස්සාවල් නැති වෙනවනෙ... ඉතින් එතකොට විරැකියාවට විසදුම් හොයන්න වෙනවනෙ... බලන්නකො මෙයාල හිතන දුර..

අනේ මන්ද ඉතින්... කොහොමෙන් කොහොමෙන් හරි අන්තිමේ වෙන්නෙ අපේ පරිසරයට කුණු කන්දක් එකතු වෙන එකයි... කුණු කියන්නෙ හිරියට රටක සංවර්ධනය මනින එක මිනුම් දණ්ඩක් වගේ කොළඹට ඇතුල් වෙනකොටම ලොකු කුණු කන්දක් ගොඩගහල තියෙනව දැකල ඇතිනෙ . ඒක කූරු ගගා තව තවත් ගොඩ වැඩි කරගන්නෙ නැතුව අපිටත් පුලුවන්නම් මොකක් හරි ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් කරන්න.... මම කියන්නෙ කාබනික පොහොර හදන එකම විතරක් නොකර.... වීදුරු, පොලිතීන්, ප්ලාස්ටික් වගෙ දේවල් වලින්... ඒක කොච්චර වටීද එහෙනම්...?



ඒ කොහොම වෙතත් ඇයි අපිට බැරි ඔය දේවල් පාවිච්චි කරන්න කලින් ඒ ගැන හිතල බලන්න.... ?

අපි ප්‍රසිද්ධ වෙන්න පෝස්ටර් අලවනකොට ඇයි බැරි දෙපාරක් හිතන්න... අනිත් එකාට වඩා ඉස්සරහින් ඉන්න ඕනෙ නිසා ඊට වඩා වැඩියෙන් පාට දාලා ප්‍රින්ට් කරනව... ඉතින් ඕවගෙ මොන තරම් විෂ තියෙනවද කියල කවුද දන්නෙ.... කවුරුත් ඒක හොයන්නෙ නෑනෙ.... කඩදාසි දිරනවනෙ... පොලිතින් වගෙ නෙවෙයිනෙ.... අපිනම් පොලිතින් එල්ලන්නෙ නෑ... එහෙම කියල සමහරු නානාවිද පෝස්ටර් ගහනව... ගහනව නෙවෙයි , තාප්ප නාවනව....
ඉතින්,
ඇයි අපිට බැරි ඕක ඔච්චරටම ඔනෙනම්, නගරෙ මැද ලොකු දැන්වීම් පුවරුවක් ගහල, ඒකෙ විතරක් ඕව අලවන්න...?
ඒක අලවන අයටත්, බලන අයටත්, ගලවන අයටත් ලේසිනෙ....
අනිත් එක කොච්චර ලස්සනද... බෝක්කු අස්සෙ, ලයිට් කනු වල, තාප්ප ගානෙ ඉදන් විරිත්තනවට වඩා... එහෙම උනාම එකෙන් පරිසරයට වෙන හානි අවම කර ගන්න අපිට පුලුවන් වෙයි...

ඇයි අපිට බැරි මෙච්චර දියුණු ලෝකෙ, මිනිස්සුන්ට අපිට ඕනෙ පණිවිඩය දෙන්න පරිසර හිතකාමී ක්‍රමයක් හොයා ගන්න.... මොකක් හරි ක්‍රමයක්....

මිනිස්සුන්ව හදන්නම බැරිනම්, ඇයි අපිට බැරි සිංගප්පූරුව වගේ පරිසර හිතකාමී නීති පනවන්න.... කොලයක් බිම දැම්මත් දඩ....

අම්මප ඇයි අපිට බැරි හිතන්න අපේ පරිසරය අපි රැක ගත්තොත් ඒකෙ ප්‍රතිපලය, වාසිය අති විඳින්නේ අපිමයි කියල......?

3 ඇරඹුම.....

What about sunrise
What about rain
What about all the things
That you said we were to gain...
What about killing fields
Is there a time
What about all the things
That you said was yours and mine...
Did you ever stop to notice
All the blood we've shed before
Did you ever stop to notice
The crying Earth the weeping shores?

Aaaaaaaaah Oooooooooh
Aaaaaaaaah Oooooooooh

සින්දුව අහන්න බලන්න

1995 මයිකල් ජැක්සන් කියන අසහාය ගායකය ලියපු, කියපු මේ සින්දුව ඇහෙද්දි ඉස්සරනම් එච්චර දෙයක් දැනුනෙ නෑ. ඒත් ඒ සින්දුවෙ ගොඩක් ලොකු තේරුමක් තියෙනව කියල දැනුන නිසා ඒකම මගෙ බ්ලොග් එක ලියන්න පටන් ගන්න හිතුව.. සමහර අය කැමති නෑ ජැක්සන්ගෙ සින්දු අහන්න සින්දු කියද්දි බෙරිහන් දෙන නිසා.. ඒත්... කැමතිනම් අහල බලන්න ඒකෙ ලොකු තේරුමක් තියෙනව අපිට ගැලපෙන...
2009  ඇමරිකානු ජාතික රෝලන්ඩ් එමරිච් අධ්‍යක්ෂනය කල 2012 චිත්‍රපටිය බැලුවනම්, වර්තමාන කාලෙ වෙන දේශගුණ විපර්යාසත් එක්ක ඇත්තටම තව අවුරුද්දකින් ඒ චිත්‍රපටිය යතාර්ථයක් වෙයිද කියල බයක් දැනෙනව..
ඉතින් නිව්ටන්ගේ නියමයන්ට අනුවනම්, අපි කරන හැම දේකටම සමාන වූත්, ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් තියේනව කියල ඉගෙනගෙන තියෙනව.. ඒ වගේම ගෞතම බුදු රජාණන් වහන්සේගෙ ධර්මයට අනුව, අපි වපුරණ දේ අපි වපුරණ තරමට අස්වැන්න විදියට අපි නෙලා ගන්නව...
ඔය කොයි නියමයත් දියුණුයි කියල හිතන මනුසතාටත්, අනෙකුත් සියලුම සත්වයන්ටත් අදාලයි..

ඉතින්, අපි කවදවත් තැකීමක් නොකරන අප අවට පරිසරය, අපි ආදරය නොකරන - අපිට ආදරය කරන සොබා දහම වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ..?

ඇත්තටම ඒක අපේ හෘද සාක්ෂියෙන් අපිම ඇහුවොත්, කීයෙන් කී දෙනෙක්ට සතුටු වෙන්න පුලුවන් උත්තර ලැබේවිද...?
අවුරුද්දට එකම එක දවසක් එක ගහක් හිටවල, ඉතුරු දවස් 364ටම ගස් කපල අපිට පුලුවන්ද ගහකොලට ආදරේ කරන්න...?

ගහකොලට, සොබා දහමට ආදරේ කරන හැම කෙනෙක්ම එකතු කරන්, දිගු ගමනක් යන්න හිතාගෙනයි අද "සොබා" පටන් ගන්න හිතුවෙ.. මේක ලියන අදහසින් ඉන්නකොට මන්චි (බුද්ධික මල්ලි) දවසක් චැට් එකේ නේච එක ගැන මොනව හරි ලියමුද කියල ඇහුවම පොඩි හඉයක් ආව... පොඩි කාලෙ ඉඳලා කම්පියුටර් කෑලි එක්ක ඔට්ටු වෙච්ච බුද්ධියාට එහෙම අදහසක් ආවනම් තම මම වගේ හිතන එවුන් ඇතිනෙ කියල පටන් ගත්ත... ඉතින් මේක ඉස්සරහට යන්නනම්, බුද්ධ්යා වගෙ හිතන උන්, ලොකුවට ලියන එක කෙසේ වෙතත් මේකට පොඩි කොමෙන්ටුවක් හරි දාල පොඩි "සප්" එකක් දෙනවනම් තමයි හොඳ..


 ආදරේ, විරහව, නැත්නම් හින්දි නිලියො, නලුවො ගැන පිටුවක් ලීවනම් බලාගෙන ඉද්දි හිට් කවුන්ට් එක නගිනව වගේ මේකනම් කියවන්නෙ නැති වෙයි...ඒත් ඉතින් සිත් ඇත්තෝ බලත්වා කියල ඔන්න එහෙනම් මුල පිරුව...