ඉන්න ඇත්තො

2 ජූලි 12

දට දින 13කට කලින් මම "රුපියලෙන් රුපියල එකතු කරල....." ලිපිය ලීව.. ඒක එක අතකින් ඇඩ් එකක් කියල හිතන්නත් පුලුවන් කෙනෙක්ට. ඒත් අමනාපයක්නම් නෑ... ඒකෙ මම ඉල්ලල තියෙන්නෙත් පුලුවන්නම් අධාර කරන්න කියලනෙ.
එදා මම කීව මමත් එක දවසක් ඇවිදිනව කියල... ඒ ජූලි 12. දඹදෙණිය, දම්පැලැස්ස ඉඳල, කුරුණෑගලට වෙනකල් 26 Km.  
මම නොකීවට මම ගොඩක් බයෙන් ගියෙ.. හේතු 2ක් තියෙනව.. එකක් මම ලේ දන් දීල මාස 2ක් නෑ. ඉතින් මම ලොකු දේවල් හිතුවට මගෙ ඇඟ ඒකට ලෑස්තිද කියල මම දන්නෙ නෑ.. (ජූලි මුල සතිය උණක් ගැනිල කන්න බැරුවත් හිටිය දවස් 2ක් විතර...) අනිත් හේතුවනම්, මම 500Mක්වත් පයින් යන කෙනෙක් නොවන හින්ද.... බස් එකේ ආවොත් ගෙදරට එන්න තියෙන 400M මම තුන් රෝදෙක යනව මිසක්, පයින් නම් යනව බොරු...
වෙන දෙයක් ඕනෙ නෑ.. මගෙ අම්මම හිනා උනා අඩුම ගානෙ එක කිලෝමීටරයක් ගියොත් ඇති කියල...  
ඔන්න ඉතින් මම කලින් දවසෙ වැඩ කරල, රාත්‍රී තැපැල් දුම්‍ රියෙන ආවයි කියමුකො ගෙදර.. නිදා ගද්දි 12ට විතර ඇති.. උදේ 4ට නැගිට්ට 5.30 වෙද්දි දම්පැලැස්සෙ ඉන්න ඕනෙ නිසා.. මාව එක්කන් යන්න යාලුවෙක්ට කීවත් අන්තිමේ බසයක ගොඩ උනා.. කොන්දොස්තර අයියට වැඩිපුරත් සල්ලි දුන්න මාව මට ඕනෙ තැනින් බස්සන්න කියල...
කොහොම හරි මම එතනින් බහිනකොටම වැඩේ පටන් අරන්... කට්ටියට මුලින්ම සෙට් උනා... මුලම හිටිය අපේ දඹාණෙ ආදි වාසීන් පිරිසක්... ඉන් පස්සෙ අපේ දිරිය නංගිල 4ක් හිටිය (සන්දීප, චතු, අනිත් දෙන්නගෙ නම් කියන්න මම දන්නෙ නෑ... ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එක අතක් අහිමි වෙච්ච, ධාවන ශූරියක්... සන්දීපයි, චතුරිකයි කියන්නෙ දක්ෂ රගර් ක්‍රීඩිකාවො දෙන්නෙක්..)
ඊටත් පස්සෙ රුවි අක්ක (ආදරේට රුවි අක්ක කියන්නෙ...ලංකාවෙ වෙඩි තබන ශූරියක් වන රුවිණි අබේමාන්න. ) හිටිය... ඉතින් එයා එක්ක සෙට් වෙලා ගමන පටන් ගත්ත... ආසිරියි, රුවි අක්කයි එක්ක, විස්තර කතා කර ඉස්සරහට යන්නව දැනුනෙවත් නෑ මට.. 12 වෙනිද දවස තෝර ගත්තෙත් පරණ ස්ලිම්ලයින් යාලුවො ඉන්න නිසත්, පුරුදු පාරෙ ගෙදර යන්න පුලුවන් නිසත් තමයි ඉතින්...
රුවි අක්කයි, මමයි ඉස්සරත් ඉතින් මොකක් හරි තිබ්බොත් ෆොටෝ ගන්න එක කරානෙ.. අනික ඉතින් මම මැරෙන්න ගියත් මගෙ කැමරාව අතේ අරන් යනවනෙ... ඉතින් එදත් අපි දෙන්න ෆොටෝ ගත්ත... එහෙට මෙහෙට දුව දුව ෆොටෝ ගත්තෙ 26Km ඇවිදින්න තියෙනවනෙ කියල මතකයක්වත් නැතුව...
කොහොම උනත්, ගමන ගෙවෙනකල්, දෙයියනේ කියල අමාරුවක් උනේ නෑ.. මග දිගට වතුර, පලතුරු බීම, කන්න දේවල් තියාගෙන හිටිය කට්ටිය..
පොලිසිය පුදුම සහයෝගයක් දුන්න ඒ යන පාරෙ වාහන හසුරවන්න... ඒ අතරෙ අසමජ්ජාති බස් කාරයොත් නොහිටියම නෙවෙයි.. (ඒ වචනෙත් හොඳ වැඩිද මන්ද උන්ට නම්).. අතර මගදි මම මැද හරිය හිටිය අයත් එක්කත් ඇවිදින්න ඕනෙ නිසා ටිකක් විතර පහු උන...
අපේ මංජු සහොදරය යනව ඔන්න මැදකින්... මංජු කීවෙ මංජු වන්නිආරච්චි... අපේ බොක්සිං මංජු... 
හර්ෂ අයිය (බොක්සිං පුහුණුකරු හර්ෂ කුමාර), මංජු, තව කීප දෙනෙක් එතන හිටිය... ඉතින් පරණ යාලුවොනෙ... මම එයාලත් එක්ක ඇවිද්ද... පොඩි මහන්සියක් තිබුන එක එයාලත් එක්ක එකතු උනාම ආයෙම නැති උනා...
මංජු මේ ගමන පුරාවටම ඇවිදිනව.. ඒ කියන්නෙ දවස් 27ම... 670 Km ම.. ඒ විදියට ඇවිදින තව කීප දෙනෙක් ඉන්නව... මේ ගමනෙ ප්‍රධාන හවුල්කාර නාතන්, සරින්ද, වගේම මම අර කලින් කීව දිරිය නංගිල 4 දෙනා ඒ විදියට ඇවිදිනව... මංජු දැන් ක්‍රීඩාවෙන් සමු අරන්... හරිම අවාසනාවන්ත විදියට... ඒත්, අද මේ ගමනට එකතු වෙනව හරි සතුටෙන්... මංජුට ලැබෙන දෙයක් නෑ.. ප්‍රසිද්ධියක් ලැබෙයි... ඒත් ඒක කොහොමත් එයාට තිබුන...දැන් ඔයාල බලයි මම මොකද එක පාරටම මංජු ගැන කියවන්නෙ කියල... නෑ... පහුගිය දවසක, මේ පා ගමන ගැනම ඇති වෙච්ච කතාවකදි, කෙනෙක් සිංහල කම උපරිමයටම තියෙනව කියල ඔප්පු කලා... (පාවා දීම, පළිගැනීම සහ මුල අමතක කිරීම) සමහරවිට මගෙ එක්ක තිබුන පුද්ගලික තරහක් වෙන්න ඇති.ඒත් ඒකට ගාව ගත්තෙ කොහෙවත් නැති මංජුව...ඒ කෙනාට අමතක උනා මේ මිනිහ යකො මේ ඇවිදින්නෙ කිසි පුද්ගලික අරමුණක් වෙනුවෙන් නෙවෙයි කියන එක..මේකෙන් කිසිම පුද්ගලික වාසියක් නැති වග.. ඒත් ඒ කතාවත් මට ලොකු හයියක් උනා... මම ඒ පුද්ගලයට අනුකම්පා කරනව..

අපිට හර්ෂ අයිය, මංජු, අනුරුද්දගෙ වටිනාකමක් තිබුන.. අපි කවදාවත් බොක්සිං වලල්ලට නැගල රට වෙනුවෙන් ගහගත්තෙ නෑ... ඒත් ඒ අයට ඒක කරන්න හිතේ හයිය තිබුන... ඒ නිසාම මම ඒ අයට ගරු කරනව... ඉස්සර අපි ඒ නිසාමයි සුගතදාසෙට ගිහින් උගුර ලේ රහ වෙනකල් කෑ ගැහුවෙ... අපිට ඒකෙන් දෙයක් හම්බෙන්නෙ නෑ...ඒත්.. අපිට අවන්කව සතුටු වෙන්න පුලුවන් උනා අපේ රට වෙනුවෙනුයි උන් ගුටි කන්නෙ කියල.. ඒක අපේ ඇතුලෙ තිබුන දෙයක්... නැතුව සමහරු වගේ ගොටු අල්ලල, පුද්ගලික වාසි ලබා ගන්න නෙවෙයි... හැම දෙයක්ම ඒ කෝණෙන් බලන කෙනෙක්ටනම් ඉතින් එහෙම හිතෙන්න පුලුවන්... ඇත්තටම පව් ඒ මිනිස්සු.... අපි එහෙම අසරණයන්ට අනුකම්පා කරන්න ඕනෙ..
(හරි, දැන් මට ශක්තියක් උන ඒ අතුරු කතාව ඉවරයි..)
පා ගමන පටන් ගද්දි හිනා වෙච්ච මිනිස්සුත් හිටියෙ නැතුවම නෙවෙයි... "ඔය වගේ පා ගමන්නම් ඕනෙ තරම් පටන් ගත්ත" කියපු අයත් හිටිය... ඒත්.... පා ගමන යනකොට, මග තොට මිනිස්සු බස් එකට අතේ ගුලි කරන් හිටිය පුංචි රුපියල් 10 කැට වලට දානකොට, පුංචි එවුන් ආසාවෙන් කාසි එකතු කරපු කැට ගෙනත් පා ගමන යන අයට දෙනකොට දැනෙනව, අමනුස්සයො අතරෙ, දෝරෙ ගලන මනුස්සකම කොච්චර තියෙනවද කියල... ඒ පුංචි එවුන් සමහරවිට ඒ කැට එකතු කරන්න ඇත්තෙ එක්කො බයිසිකලයක් ගන්න, එහෙමත් නැත්නම් කොම්පුටරයක් ගන්න.... අපිත් පොඩි කාලෙ එහෙම කලා.. ඒත්, ඒ පොඩි උන් වගේම තවත් පොඩි උන් පිරිසක්, ජීවිතයත්, මරණයත් එක්ක කරන සටනට උරදෙන්න කරන මේ සත්කාරය ඇහුවම, පුංචි හීන අමතක කරල, ආසාවෙන් එකතු කල කැට ගෙනත් දෙනව... අපේ ගොඩක් වැඩි හිටියො ලඟ ඒ මනුස්සකම හරි අඩුයි.... විස්තර ඔක්කොම කියනකල් ඉඳල, හිනා වෙලා යන්න යනව....
කොහොමින් හරි අපි 12 වෙනිදා, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගනය ළඟින් ගමන හමාර කලා... ආදිවාසීන් මේ ගමන සාර්තක වෙන්න කියල, සාන්තිකර්මයකුත් කලා..
එදා දවසෙ මම ගත්ත පින්තූර ටිකක මෙන්න මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන් ඔයාලට...
http://www.flickr.com/photos/pethum/sets/72157627194268990/ 

එදා ගමන ඒ විදියට හමාර වෙනකොට මගෙ අම්මටයි, බිරිඳටයි තවත් පිනක් කරන්න හිතිල... ඉතින් ඒ ගැන ලීවෙ නැත්නම් හරි නෑනෙ...පහුවදා ගමන තිබුණේ කුරුණෑගල ඉඳල පාදෙනියට.. ඒ කියන්නෙ අපේ ගෙවල් පාර... එතනින් යන අයට "සව්" දෙන්න ඕනෙ කියල මේ දෙන්න තීරණය කරල... ඉතින් මහ රෑ පොල් ගාල, ඔක්කොම ලෑස්ති කරල, උදේ පාන්දර 3 ඉඳන් සව් හැදුව දෙන්න එක්ක... අපේ තාත්තයි, පහල ගෙදර ඇන්ටියි දෙන්න එක්ක හතර දෙනාම උදේ පාන්දර ඒක ලැස්ති කලා... ඒ ගමන මමත් ඉතින් අපේ ලොකු අයිය (රණය) එක්ක එකතු කරන්, ගෝනගම හන්දියෙ පා ගමනෙ යන අයට සව් දුන්න.... අපරාදෙ කියන්න බෑ හැම කෙනෙක්ම කට පුරා ස්තුති කරල සව් බීව...(එදා ඉතින් දවස් බාගෙක නිවාඩුවක් දාල දවල් වෙලා වැඩට ගියා..)

අද වෙනකොට පා ගමන අනුරාධපුරේ...  


මම හදපු ප්‍රොෆල් එකට මගේ යාලුවො සල්ලි දාල... රොබෝල එක්ක හැප්පුනාට, හිත උනුවෙන එරියාව (ලසිත), ගොඩය මල්ලි, මගෙ පුංචි කාලෙ යාලුවෙක් වෙච්චි අසිත්, අධාර දීල තිබුන... අනේ මම උඹලට කොහොම පින් දෙන්නද... ඒ තරම් උඹලට පින්... මම ගොඩක් යාලුවන්ට කීව මේ ගැන... සමහරු ඒත් හිතන්න ඇති මගෙ මූන දාල, සල්ලි ඉල්ලන නිසා මේක මොකක් හරි මගෙ මගඩියක් කියල... දැන් කාලෙ ඉතින් මිනිස්සු එහෙමනෙ... ඒ නිසා, දුන්න, නුදුන්න කියල කිසි අමනාපයක්, කහටක් නෑ... හැම කෙනෙක්ම තමන්ගෙ ශිතින් හරි ගමනට එකතු වෙන්න ඒ ඇති... මම පා ගමන ගිය දවසෙ මට හයියක් වෙලා, මට ආශිර්වාද කල මගේම අවංක මිතුරු, මිතුරියො හිටිය... ඇත්තටම එයාලගෙ ආශිර්වාදෙ මට ගොඩක් පිහිට උනා... එයාලට ගොඩක් පින්..

ගමන ඉවර වෙන්නෙ 27... මම ආයෙම හිතුව.... තව දවසක් යන්න පුලුවන්ද කියල.... බලමු... 26, 27 දවස් දෙකත් මම ඇවිදිනව කියල තීරණය කලා.. අමාරුම හරිය.... තවත් 41 Km. ඒත්, බැරි වෙන එකක් නෑ මට... මගෙ එක්ක මට හැමදාම ආශිර්වාද කරන අය මගෙ ලඟින්ම ඉඳීවි...ඒ ඇති... අනික, කාගෙන්වත් ලකුණු ගන්නවත්, කාටවත් ගොටු අල්ලන්නවත් කරන දෙයක් නෙවෙයිනෙ... මම ඇවිදිනව...
බලමු...
අපි කවදාවත් කෙනෙක්ව කපල, ලබා ගන්න තත්වෙවත්, කෙනෙක්ව විවෙචනය කරල ලබන තාවකාලික සතුටවත්, කාටවත් ගොටු අල්ලල ලබා ගන්න නා නාවිද දේවල්වත්, සල්ලිවත් යනකොට අරන් යන්නෙ නෑ.... අපිට අයිති වෙන්නෙ මහ පොළවෙ 4 රියනක් විතරයි... සමහරවිට ඒකත් නෑ.. ඉතින්, අපි කවදාවත් ලෙඩ නොවෙනව කියල හිතලවත්, අපි කවදාවත් මැරෙන්නෙ නෑ සදාකාලිකයි කියල හිතලවත් ජීවත් උනා කියල තේරුමක් තියේවිද...? 
අපිට යනකොට අරන් යන්න පුලුවන්, අපි කරන හොඳ සහ නරක විතරමයි...
ජීවත් වෙන ටික කාලෙ, ඒක තේරුම් අරන් ජීවත් වෙන්න පුලුවන්නම්....මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද......?

4 රුපියලෙන් රුපියල එකතු කරල.....

ඉස්සරනම් කීවෙ සතෙන් සතේ එකතු කරල කියල... ඒත් මම ඒක වෙනක් කලා... හේතුව කෙනෙක්ගෙන් සතයක් ගන්නවට වඩා අද රුපියල් 10ක් ගන්න එක ලේසි නිසා.. වෙන දෙයක් නිසා නෙවෙයි.... සතයක් හොයන්න අමාරුයි...


කැටයම්, ආරුක්කු මොකුත් නැතුව කෙලින්ම කියන්නම් අද කතාව... අනේ සමාවෙලා හිතන්න එපා මම රස විඳින්න තියෙන දේක ඇඩ් දාන්න යනව කියල... එහෙම හිතෙනවනම් දැන්ම මගෙ බ්ලොග් එක වහල දාන්න.... මගෙ කිසි අමනාපයක් නෑ.... අබමල් රේණුවක් තරම්වත් නෑ..
මම මේක් ලියන්නෙ ටිකක් විතර හිතේ දුකෙන්.... ඒ ඇයි කියනවනම්.... මේක බලන ඔයාල සමහර විට දැනටමත් දන්නව ඇති මම ඔය දාල තියෙන රූපෙ දැක්කම මේ දවස් වල අපේ රටේ එක කොනක ඉඳන් ඒ කියන්නෙ දකුණේ දෙවුන්දර තුඩුවෙ ඉඳන්, උතුරෙ පේදුරු තුඩුව වෙනකල් පුරා දවස් 27ක්, කිලෝමීටර 670ක පා ගමනක් යනව කියල...
ඒකට හේතුව, ගිනස් වාර්තාවක් තියන්නවත්, තව එක විකාර දවසක් සමරන්නවත් නෙවෙයි.... ඒ අපේම රටේ, අපි වගේ දෙවියනේ කියල ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න හිතුවත්, ඒ වාසනාව අහිමි වෙච්ච, ජීවිතය පුරාවටම විඳවන තවත් පොඩි පැටව් පිරිසක් වෙනුවෙන් යාපනේ හදන්න යන ළමා පිළිකා වාට්ටුවට අරමුදල් එකතු කරන්න....
පහුගිය දවසක මහරගම පිළිකා රෝහලේ පොඩි පැටව් වෙනුවෙන් කල සත්කාරයේදි දැක්ක දේවල් අදටත් මතක් වෙනව.... අපේ රටේ එහෙම තියෙන එකම තැන මහරගම... ඉතින් තවත් ඒ වගේ තැනක් තියෙනවනම් කොච්චර වටිනවද.... අම්මල, තාත්තල කොච්චරනම් දුරක් ගෙවාගෙන මහරගම එනවද....  
ඉතින් කවුරු, කොහොම, මොන විදියට කලත් වැඩේ අනර්ඝයි.... 
ඉතින් මමත් හිතුව මමත් එක දවසක් ඒ වෙනුවෙන් ඇවිදිනව කියල... දවස් ගානක් ඇවිද්දොත් මටත් හිඟා කන්න වෙනව.. මොකද මගෙ රස්සාව නැති වෙනවනෙ ආපහු එනකොට... ඉතින් එක දවසක් (කිලෝමීටර 26ක්) දඹදෙණිය ඉඳල, කුරුණෑගලට යන පා ගමනට මමත් එකතු වෙනව කියල හිතුව... කරන්නෙ පිනක් නිසා බැරි වෙන එකක් නෑ කියල පොඩි විස්වාසයක් තියෙනව... (කලින් ඔය වගේ විශ්වාසෙ නිසාම මහන්සි තිබුනත් ලේ දීල කරදරයක් නැතුව හිටිය අවස්තා තියෙනව.)

මේක කියවන ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනව මම.....  හැබැයි වැදගත්ම දේ.... මේ මම ඉල්ලන දේ ඔයාල සැරයක් දෙකක් නෙවෙයි, සිය දහස් වාරයක් හිතන්න..... බැරි වෙලාවත් ඔයාලගෙ හිත කීවොත් එහෙම කරන්න කියල විතරක්, මම ඉල්ලන දේ කරන්න...

මම දන්නව මේක කියවන බහුතරයක් සල්ලි කාරයො නෙවෙයි කියල... මම වගේම මාසෙ වියදම අමාරුවෙන් හොයා ගන්න අය... ඒත් අපි සමහර දවස් වලදි සල්ලි වියදම් කරනව තේරුමක් නැති දේවල් වලට.... අන්න ඒ වියදම් කරන මුදලෙන් පුංචි රුපියල් 100ක් (එක රුපියල් 100ක් මේ අරමුදලට ගොඩක් වටිනව.... ඒ පුංචි එවුන්ට ගොඩක් වටිනව) මේ වාට්ටුව ඉදි කරන අරමුදලට දෙන්න....
හැබැයි මම ආයෙමත් කියනව ඔයාලගෙ හිත කීවොත් විතරක් ඒ දේ කරන්න...එහෙම උනොත්, දවසක ඔයාලටම සතුටු වෙන්න පුලුවන් වෙයි අපිත් ඒ වෙනුවෙන් දෙයක් කලා නේද කියල.... 
එහෙම කරන්න ඕනෙ කියල හිතුනොත්, උඩින් තියෙන පින්තූරෙ උඩ හරි මෙතන හරි ක්ලික් කරන්න..
ඔයාලට ඕනෙ විස්තර එතන තියෙනව.....

මම දැන් මේක ඉවර කරන්න ඕනෙ.... මම ඉල්ලපු දේ නොකලයි කියල ඒ පොඩි එවුන් ඔයාල එක්ක තරහ වෙන්නෙ නෑ.... මම තරහ වෙන්නෙ නෑ.. (මම තරහ උනා කියලනම් ඉතින් මක් වෙනවද..?) 
හැබැයි එක දෙයක් තියෙනව.....
ඒ දේ කරන්න පුලුවන්නම්.....,
අන්න ඒ පොඩි එවුන් තව එක දවසක් හරි සතුටෙන් ජීවත් වෙයි...
අපේ රටේ අයියල, අක්කල, නැන්දල, මාමල අපි වෙනුවෙන් කල දේ කියල..
ඒ පොඩි එවුන්ගෙ අම්මල, තාත්තල ඔයාලට හැමදාම පින් දේවි...
ඒකෙන් දවසක ලැබෙන සතුට......, 
බර බෝලයක් විසි කරල බෝතල් පෙරළලවත්, මූන පාට කරන් කාටවත් හුරේ දාලවත්, ලබන්න බෑ කියල.., ඔයාලටම දැනේවි....