ඉන්න ඇත්තො

2 මං ආසා ගී - මා දෙස නෙත් නොපියා බලාපූ


මා දෙස නෙත් නොපියා බලාපූ
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ
වැඩිදුර මාත් එක්ක නොආපූ
මතකෙක සොඳුරු තැන් ගොඩ ගසාපූ
ඔබ තවමත් ඇය තමයි...
ඔබ තවමත් ඇය තමයි...
මගෙ හිත හදාපූ...
හිතුමතේ පාවෙනා හිත හැඩියිලු...
ක්ෂිතජයේ ගෑවිලා මොකටද දුකයිලු..

පපුවට තුරුලු වී හිඳ හඩාපූ
ළං වී තොඳොල්  බස් මට දොඩාපූ
හිත ළඟ  හීනෙන් නිදි වරාපූ
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ
මට තවමත් සුවඳ දෙයි...
මට තවමත් සුවඳ දෙයි...
මලකින් හමාපූ..

වසන්ත දුක්ගන්නාරාල (දුකා)ලියාපු, රොමේෂ් සුගතපාල ගායනා කරාපූ.. මේ ගීයට මම ගොඩක් කැමතියි... මම හරියටම කියන්න දන්නෙ නෑ ඇයි කියල... ඒත්.. මම ගොඩක් කැමති ගීයක්....  මේක ගායනා කරන ගායකයගෙ සම්පූර්ණ නම ඇත්තටම දැන ගත්තෙ අදමයි... නැත්නම් අපි අහල තිබුනෙ රොමේෂ් ලක්ශාන් කියලනෙ... ඇත්තටම ඒ එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්නෙ..
ගීයෙ සංස්කරන දෙකක් මට හම්බුනා... එකක් දමිළ මිශ්‍ර එකක්... අනික සම්පූර්ණම සිංහල..

5 අපේ ජීවිතේ මග ඇරෙන දේවල්

දවස (බ්‍රහස්පතින්ද ) පටන් ගන්නකොටම එච්චර හොඳක් දැනුනෙ නෑ... ඒත් ඉතින් දවස පටන් ගන්නම ඕනෙනෙ... වෙන මොනව කරන්නද ඉතින්...
කොහොම හරි දවස ඉවර කරගත්ත අමාරුවෙන්...හොඳ නැති වෙන්න ගත්තම ඒකෙ උපරිමෙන්ම වෙනව....  
බීච් එකටවත් යන්න විදියක් නෑ වහින හින්ද.... කරන්න දෙයක් නෑ..
ආව ගමන් ලැප්ටොප් එක ඔන් කරගත්ත මොනව හරි ලියනව කියල හිතාගෙන...ඊට කලින් මේල් බලන්න හිතුව සතුටු වෙන්න දෙයක්වත් තියෙයිද කියල... මට ගොඩක් වෙලාවට පෝස්ට් එකක් ලියන්න උදව් දීපු කෙනෙක් තමයි චූටි මල්ලි... (මම කලින් එයා ගැන කියල ඇති..) ගොඩක් වෙලාවට එයා එවන මේල් එකක් හරි, මූණු පොතේ දාන දෙයක් හරි මට ලියන්න වස්තු බීජ දීල තියෙනව..
ඔන්න ඉතින් අද මේල් බලද්දි තියෙනව මල්ලි එවපු මේල් එකක්... මල්ලි චැට් එකෙත් කියල "අය්යෙ මේල් එකක් එව්ව. කියවන්න" කියල. 
මොකද්ද ඒ....???
සිංහල සන්නස්ගල (හැමෝම දන්නවනෙ එහෙම කීවම) එයාගෙ අම්ම ගැන එක පත්තරේකට ලියපු ලිපියක්...
මට මතක හැටියට ඒක පත්තරේ තියෙනකොටම මම ඒක දැක්ක.. ඒත් කියෙව්වෙ නෑ... මට එදා ඒක කියවන්න කම්මැලි හිතුන... ඒත් අද කරන්න දෙයක් හොය හොය හිටිය මම ඒක කියෙව්ව..
"ගහෙන් වැටුන මිනිහට ගොනා අනිනව" කියන්නෙ මේකට වෙන්න ඕනෙ... එහෙමත් නැත්නම් "අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනිනව කියන්නෙ.."

කතාව ඇත්තටම දුකයි.. (මගෙ ඉතින් කොහොමත් හරි ඉක්මනට චැනල් මාරුත් වෙනවනෙ..)
ඒක කියවල ඉවර වෙනකොට මටත් මොනව හරි ලියන්න හිතුන ඉතින්..


ඇඩ් දාන්න ගියොත් කතාව තව දික් ගැහෙනව... කාට හරි ඒ ලිපිය කියවන්න ඕනෙනම් මගෙන් ඉල්ලන්න.. මම එවන්නම් මේල් එක..


එයා ඒකෙ එයාට මග ඇරුණු දෙයක් ගැන එක තැනක කියල තිබුණ..

අපිටත් අපේ ජීවිතේ මග ඇරෙන දේවල් තියෙනව අනන්ත...සමහර දේවල් අපිට මග ඇරෙනව අපි දැන දැනම.. ඒ දේවල් අපිට ඕනෙ උනත්, මග ඇරෙන එක වලක්ව ගන්න බෑ...
තවත් සමහර දේවල් අපිට මග ඇරෙනව අපි නොදැනම....එහෙම දේවල් අපිට වලක්ව ගන්න පුලුවන් උනත් වලක්ව ගන්න වෙන්නෙ නෑ.. මොකද අපි දන්නෙ නෑ ඒ දේවල් අපෙන් මග ඇරෙනව කියල.... අපි ඒ දේවල් අපෙන් මග ඇරිල කියල දැන ගන්නෙ අපිට ඒ දේ නැති උනාම... එතකොට අපි ගොඩක් පරක්කුයි... දුක් වෙනව ඇරෙන්න වෙන කරන්න කිරිම දෙයක් ඉතුරු කරල නෑ ඒ වෙනකොට... ඒක සමහරවිට මුලු ජීවිත කාලෙම අඩුවක් විදියට ඉතිරි වෙන්න පුලුවන්...
ඒත් ඒක තමා ජීවිතේ කියන්නෙ..

එහෙම නොවී හැම දේම කලින් දැන ගන්න පුලුවන්නම් කොච්චර හොඳද... එහෙම නැත්නම් ඉතින් අපි කාලය තරණය කරන්න පුලුවන් යන්ත්‍රයක් හදන්න ඕනෙ... එහෙම උනානම්, ආපහු ගිහින් වෙච්ච දේවල් වෙනස් කරන්න තිබුණ...
ඒත්, ඒකත් හීනයක්ම විතරයි...

මේ විදියට අපිට මග ඇරුණම හිතට තදින් දැනෙන්නෙ අපි ඒ අයට, ඒ දේට ගොඩක් ආදරෙ කල හින්දයි කියලත් සමහර වෙලාවට අපිට තෙරෙන්නෙ මග ඇරුනට පස්සෙයි...
මම කියවපු ලිපියෙ කතා නායකය කියනව එයා එයාගෙ අම්ම වෙනුවෙන් ගොඩක් දේවල් කලාලු...ඒත්, අම්ම මේ ලෝකෙ හැර යන්න කලින් "අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න බැරි උනාලු"
අන්න ඒ වගේ, අපි කොච්චර මොන දේ කලත්, සමහර වෙලාවට කිසිම කෙනෙක් නොසිතන, පුංචිම පුංචි දෙයක් ඇති අපේ ජීවිත වල හිඩසක් ඉතිරි කරන්න...

අපි ජීවිතේ අපේ අවට ඉන්න , අපිට ගොඩක්ම කිට්ටු අයට ආදරේ කරනව..ඒ අපේම කියන අය...ඒත් කෙනෙක් ඒ ආදරේ අනිත් කෙනාට දැනෙන විදියට කරනව...අපි පොඩි කාලෙ "මගෙ සුදු අම්මා..." කියල බදාගෙන, ඉඹල කියන්නෙ "මම ගොඩක් ආදරෙයි" කියල... අන්න ඒ වගේ... 
ඒත් තවත් කෙනෙක් එහෙම නොවෙන්න පුලුවන්....ඒත් ඒ කෙනත් අර කලින් කීව වගේම ආදරේ කරනව.. කවදාවත් ඒක කෑ ගහල කියන්නෙ නෑ..
එහෙම උනාම ඒක කෙනෙක්ට දැනෙන්නත් පුලුවන්... නොදැනෙන්නත් පුලුවන්...
දැනුනොත්... ඒක වාසනාව... ආදරේ කරන කෙනාගෙත්, ආදරේ ලබන කෙනාගෙත්...
ඒත්.... ඒක නොදැනුනොත්....?
ඒ වගේ අවස්ථාවක අපිට එහෙම කෙනෙක් මග ඇරුනොත්....?
සදාකාලිකවම විඳවන්න වෙයි නේද..?

මම හිතන්නෙ නෑ... මේ ලෝකෙ හැම කෙනෙක්ම තමන්ගෙ හිතේ තියෙන දේවල් කෑ ගහල කියන්න ඕනෙ කියල...
ඒත්....
සමහර වෙලාවට අපි එහෙම නොවුනම; "හිතක් පපුවක් නැති" , "කරුණාවක් නැති", "මනුස්සකම නැති" කියන ලේබල් අපිට ඉබේටම ඇලවෙනව.. මොකද අපි අතරෙ ඉන්න මිනිස්සු හැම කෙනෙක්ම එකම තරමට සංවේදී නෑනෙ... අනේ එහෙම උනානම්, කෙනෙක්ට අනිත් කෙනා තේරුම් ගන්න එච්චර අමාරු වෙන එකක් නෑ..
පාරෙ ඉන්න බල්ලෙක්ට උනත්, උදේ හවස යන එනකොට කන්න ටිකක් දුන්නොත්, අපිව දැක්කම ඌ නගුට වනනව... මොකද ඌට අපි කීවෙ නැති උනාට, ඒ සතා දන්න අපි ඒ සතාට ආදරයක් , කරුණාවක් දක්වනව කියල...
අන්න ඒ හැකියාව "මනුසතාටත්" ලැබෙනවනම්......
එහෙම උනානම් , 
අපිට කවදාවත් ජීවිතේ අපි ආදරෙ කරන දේවල්, ආදරේ කරන අය , මග ඇරෙන එකක් නෑ...
කාටවත් අපේ හිත ඇතුලෙ හිඩැසක් ඇති කරන්න පුලුවන් වෙන එකක් නෑ...






1 අපි වෙනුවෙන්......

උදේට වැඩට යන්න හරි, ගමනක් යන්න හරි කෝච්චියට නැග්ගොත් අත නැති, එහෙමත් නැත්නම් කකුලක් නැති කී දෙනෙක් එනවද හිඟමනේ... බොරැල්ල හන්දියෙ කලර් ලයිට් එකේ නවත්තපුවම හැමදාම එන කෙනෙක් ඉන්නව ඒ වගේ...
මම පුරුද්දක් හැටියට හැම සතියකටම කව්රු හරි කෙනෙක්ට රුපියල් 10ක් දෙනව. (ඒක ගායකයෙක් වෙන්න පුලුවන්... යාචකයෙක් වෙන්න පුලුවන්... මම ඒක කරාට මම මහ ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි... මගෙ දෙමව්පියන්ටත් විසි කරන්න සල්ලි නෑ.. රජයේ සේවකයො.. ඒත් මම ඒක කරන්නෙ කාට හරි උදව්වක් කරනව කියන චේතනාවෙන්... ඒ මිනිස්සු ඒකෙන් ගංජ ගැහුවොත්, ඒක එයාලට තියෙයි..)
සිංදුවක් කියල කීයක් හරි හොයා ගත්තට කමක් නෑ... ඒක තමන්ගෙ හැකියාව පෙන්නල කරන දෙයක්නෙ... මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ මහන්සි නොවී, සල්ලි හොයන්න.... "සුනාමි ඔබ දෙවියෙකි. නැවත එන්න" කියල බෝඩ් ගහපු මිනිස්සුත් අපි අතරෙ හිටියෙ නැතුවම නෙවෙයිනෙ..
එහෙම එකේ, උපතින් එන අඩුපාඩුවක් හරි, පස්සෙ කාලෙක ඇති වෙච්ච අඩු පාඩුවක් හරි වාසනාව කියල හිතාගෙන ඒක විකුණන් කන මිනිස්සු තමයි අපි අතරෙ ඉන්නෙ..
එහෙම වානිජ ලෝකෙක, තමන්ට අහිමි වෙච්ච දෙයක් ගැන හැමදාම දුක් නොවී, ඒ දේ ශක්තියක් කරගෙන, ජීවිතේම ජය ගත්ත අපේම සහෝදරියක් ගැන ලින්ක් එකක් මල්ලි කොනෙක් මූණු පොතේ දාල තිබුන මේ ළඟදි.....
ඒක බලපුවම මගෙ ඇස් දෙකට ඇත්තටම කඳුලු ආව.. මම හිතන්නෙ ඔයාලටත් එහෙම නොවෙන්නනම් හේතුවක් නැති වෙයි.
සමහරක් වෙලාවට එහෙම නොවෙන්නත් ඉඩ තියෙනව... මට ඒක මේ දැන් හිතුනෙ... ඒ මගෙත් එක්ක වැඩ කරන එක සහෝදරයෙක් ඊයෙ කීව කතාවක් නිසා... ඒ වෙන මොකක්වත් නෙවේ... බොහොම සරල දෙයක්... ඒත් සරලම ඇත්තක්...
"දුකක්, කරදරයක්, අසාධාරණයක්, මරණයක්, අහිමි වීමක් කෙනෙක්ට උනාට, ඒ වෙනුවෙන් කෙනෙක් දුක් උනාට, ඒක අනිත් අයට , හදවතට දැනෙන්නෙ නෑ.. ඒත්.... ඒ දේ අපිටම, අපේම පවුලෙම කෙනෙක්ට සිද්ද උන දවසට, අපි අසීමිතව දුක් වෙනව.. ඒත් එදාටවත් අපිට හිතෙන්නෙ නෑ එදා අර මනුස්සය දුක් උනෙත් මෙහෙම නේද කියල..." 
හරිම සරල දෙයක්... ඒත්.... ඒකෙ ඇතුලෙ තියෙන්නෙ හරි ගැඹුරු දෙයක් නේද...? ඒකට නේද අපි "මනුස්ස කම" කියන්නෙ..?
කතාවෙන් පිට... පොඩි ඇඩ් එකක්.....
මූණු පොතේ ලින්ක් එක මම මේකෙත් දාන්නම්... සමන්මලී සහෝදරී මගෙ එක්ක තරහ නොවෙයි කියල හිතනව මම ඒ ලින්ක් එක දානවට... මට මේක ලියන්න හිතුනෙ හේතු දෙකක් උඩ...
පළවෙනිම එක, 
ඒ දිරිය ඇති සහෝදරිය ගැන ඇති වෙච්ච ආඩම්බරය නිසා... අද ඇය රෝගී අප සුවපත් කරන වෙද ඇදුරු තුමියක්...දැනට අවුරුදු 2කට කලින් 2008 සිද්ද වෙච්ච දරුණු සිද්ධියකින් පස්සෙ දිරියෙන් නැගිටපු අපේම සහෝදරියක්... ඒත් අපිට, අපේ ඇතුලෙ නැති ආත්ම ශක්තියක් ඇය ගාව තියෙනව... ඒ ශක්තිය වෙනුවෙන් මා ඇයට ගරු කරනව...
දෙවෙනි එක,
ඇගේ ඒ දිරිය ශක්තියට ශක්තියක් උන අපේ රටේ අපේම සමාගමක්... ඒ ලක් කෙත අස්වද්දන්න අත හිත දෙන CIC සමාගම.. ඒ අය අතරෙත් මනුස්සකම කියන දේ උතුරා යන්නම තියෙනව කියල දැනුනෙ මේ සිද්ධිය නිසයි..සමන්මලී සහෝදරීගේ වචන වලින්ම කියන විදියට CIC සමාගම නොවෙන්න ඇයට දෙපයින් හිට ගන්න එක තවත් කාලෙකට හීනයක් වෙයි.. ඒ හේතුව නිසාම ඒ සමාගමටත් මම ගරු කරනව..
පුංචි දේටත් කා කොටා ගන්න මිනිස්සු ඉන්න කාලෙක...,තවමත් මනුස්සකම උතුරන්න තියෙන මිනිස්සු ඉන්නව කියල හිතුනම ඇත්තටම ආඩම්බරයි... 


හිතේ ශක්තියෙන් නුඹේම දෙපයින් නැගිට්ට, ජීවිතේ ජයගත්ත සමන්මලී සහෝදරිය, නුඹට ජීවිතේ තවත් අභියෝග ජයගන්න ශක්තිය ලැබේවා...



3 සිංහලෙන් කාටුන් අපිට ගෙනා "ටයි මාමා"

"ටයි මාමා" ගැන පුංචි හරි සටහනක් තිබ්බෙ නැත්නම් ඒක ලොකු අඩුවක්....
මම හිතනව ටයි මමා හඬ කවපු එකම කාටුන් එකක් හරි නොබලපු කෙනෙක් අපේ රටේ නැතුව ඇති කියල.. මොකද ඒ තරමට එයාගෙ කාටුන් හඬ කැවීම ලස්සනයි...අනික ඒ දෙබස් ගොඩක් අපිට සමීපයි. මුලින්ම අපේ රටේ සිංහල හඬ කවන එක කලේ ටයි මාම..
1956 "රේඛාව" චිත්‍ර පටයෙන් පටන් අරන් ගොඩක් චිත්‍රපට අධ්‍යක්ෂණය කල ටයි මාම, පස්සෙ කාලේ පොඩි ළමයි වෙනුවෙන් ගොඩක් දේ කලා. 1979 "හඳයා" චිත්‍ර පටය කල ටයි මාමා "දොස්තර හොඳ හිත", "හා හා හරි හාවා", "ගලිවර්" වගේ සිංහල හඬ කවපු කාටුන් අතරින් ගොඩක් ළමයි අතරට ගියා..."ඔෂින්" ටෙලි වෘතාන්තය අපි කා අතරත් ජනප්‍රිය වුනා.
සමහර දේවල් එක එක වකවානු වලට විතරක් ගැළපුනාට, ටයි මාම කළ දේවල් එදත්, අදත් වගේම හෙටත් අපි අතරම තියේවි... මොකද ඒ තරමට ඒ දේවල් ලස්සනයි... කාලීනයි... එදා ටයි මාම කල දේවල් කරන්න, ටයි මාම තරම් කෙනෙක් අදටත් නෑ කියලයි මටනම් හිතෙන්නෙ... මෙච්චර තාක්ෂණය දියුණු වෙලත්...ඒ මගේ පුද්ගලික අදහස... මොකද, තාක්ෂණය තිබුණට ටයි මාම හිතන විදියට හිතන්න බෑ කාටවත්...
1929 අප්‍රේල් මාසෙ 17 වෙනිද උපන් ටයි මාම, 2011 ඔක්තොම්බර් 15 අපි අතරින් සදහටම සමු අරන්...  මාම ජීවමානව නොසිටියත් අප අතර, අපේ හිත් වල හැමදාමත් ජීවත් වේවි.... සදා කල් රැඳේවි... මාම අපි වෙනුවෙන් කළ දේවල් තවත් පරම්පරා ගානක් තියේවි...
අපි අතර "ටයිටස් තොටවත්ත" කියන ඒ අසහාය පුද්ගලයා හැමදාමත් ජීවත් වේවි...
ටයි මාමේ, නුඹට නිවන් සුව අත් වේවා...

ටයි මාමා 


 --- මේ හැමදේටම පස්සෙ තවත් එක පුංචි සටහනක් තියන්න හිතුන... පහගිය දවසක "ස්ටීව් ජොබ්ස්" අප අතරින් වියෝ වුනු වෙලාවෙ, ඒ වෙනුවෙන් දුක් වෙන්න, ඔහුට නිවන් සුව පතන්න, ඔහුගේ ඡායාරූපය තමන්ගෙ ප්‍රොෆයිල් ෆොටෝ එක විදියට දා ගන්න අපේ ගොඩක් අය මහන්සි උනා... ඒත් ඒ අයගෙන් කී දෙනෙක් ඇපල් අයි ෆෝන් එකක්, අයි පොඩ් එකක් පාවිච්චි කරන ඇද්ද...?????
ඒත්... ලංකාවෙ ඉන්න අය අතරින් ටයි මාම හඬ කවපු කාටුන් එකක්, ටෙලි නාට්‍යයක් නොබලපු අය ඇද්ද...? ---
(මේ කතාව ෆේස් බුක් එකේ එක්කෙනෙක් ලියල තිබුන.. ඇත්ත නේද...? මයිකල ජැක්සන්, ස්ටීව් ජොබ්ස්,ටයිටස් තොටවත්ත.. චරිත 3ක්. රටවල් දෙකක... අපේ රටේ හැදෙන පුංචි පේර ගෙඩියකට වඩා, ලොකුවට හැදෙන "රට පේර" අපිට ගොඩක් රසයිනෙ.... ඒ අපේ හැටි)

6 සඳවත.....

පුංචිම පුංචි කාලේ
අඬන වෙලාවට
අම්මා උකුලට අරන් 
කියා දුන්නා කතන්දර 
ලස්සන හඳ ගැන....
තුරුලු වෙලා හිටියා 
අහගෙන ඒ කතන්දර 
කොයිතරම් 
ලස්සනද 
ඒ සඳ...
හිතුවා එදා 
ආදරය කලා 
ලස්සන සඳට 
ඒත්.....
සඳ දෙවියන්ගෙලු 
සැඟවුණු ගිරි මුදුන් 
සොයමින් ගියත් 
නොහැකිලු 
සඳ ලබන්නට.....
කොපමණ වුවත් 
කාසි පනම් අත 
නොහැකිලු 
ගෙමිදුල වෙත 
ගෙනෙන්නට 
සඳ.....


- කවිස -

මේක මම ලීවෙ 1995 අවුරුද්දෙ... ලියන්න හේතුනම් වැඩක් නෑ.. ඒත් මේක පළ කෙරුනෙ නගරයෙ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලෙක විද්‍යා සඟරාවක... කිසිම විද්‍යාවක් නැති මේක,ඒ සඟරාවෙ පළ කෙරුනට එයාලට මොනව හරි අරන් දෙන්න තිබුන මට... ඒත් ඒක හිතෙන්නෙ දැන්නෙ මට..
මම හිතන්නෙ එයාල මේක පළ කරන්න ඇත්තෙ එයාලට ඒ අවුරුද්දෙ පොත් සළකුනට දාන්න පින්තූරයක් මම නොමිලේම දුන්න නිසා වෙන්න ඇති...
ඒ සහෝදරියො කවුරු හරි මේක කියවනවනම් මතක් වෙයි... 
කොච්චර ලස්සන කාලයක්ද...අවුරුදු 16කට කලින්...

5 Ethical

හෙඩින් එක දැක්කමනම් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක ඉංග්‍රීසි පාඩමක්, එහෙමත් නැත්නම් ඉංග්‍රීසි ලිපියක්ය කියල... ඒත් අපොයි එහෙම එකක්නම් නෙවෙයි.. එකක් සිංහල බ්ලොග් එකේ ඉංගිරිසි උගන්නන්න තරම් තාම මොලේ අවුල් නෑ. අනික පොළොන්නරුවෙ ඉපදිලා, ශිෂ්‍යත්ව විභාගෙන් කුරුණෑගලට ආව මම, අමාරුවෙන් කොළඹ රටේ රස්සාවට ආවට, අපෙ සීයත් හොඳ ගොවියෙක්... ඉතින් ඉංගිරිසිය ගැටගහගන්න අමාරුවෙන් පුරුදු උනාට මොකද, පාඩමක් උගන්වන්න හැටියක් නෑ.
ඇත්තම කීවොත් ලියන්න හිටියෙ වෙන දෙයක්... මම ඉස්කෝලෙ යන කාලෙ ලියපොඋ කවියක් ගැන... ඒත්, ඒක ලියන්න ඒ කවිය හොයාගන්න බැරි උනා... ඉතින් ඒ ගැන හිත හිතම නින්ද ගියා... එක පාරටම උදේ 4ට ඇහැරුනාම මේක ලියන්න හිතුන..


වචනේ තේරුමනම් ඉතින් ඔයාල දන්නවනෙ... "ආචාර ධර්ම"


මම මුලින් දවසක "ඇයි..?" කියල ගෑණු ළමයින්ගෙ ඇඳුම් ගැන ලීව පොස්ට් එකට පස්සෙ වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුනෙ මම අන්තිමට ලියපු "කව්ද මේ ?" පොස්ට් එකටයි.. සමහරවිට ඒකට බ්ලොග් එකේ පළ නොකෙරුණ, ඒත් කටින් ලැබුන ප්‍රතිචාරත් ගොඩක් තිබුන... (මම හිතන්නෙ ඒ මලය සෑහෙන ගොඩ ගියා).
ඒත් හැබැයි ඉතින් මම ඒකෙ "Ethical"' වචනෙ නම් පාවිචිචි කලේ නෑ.. හැබැයි ඉතින් ඒක ලියද්දි නම් මම ගොඩක් හිතුව.... සමහර දේවල් ලියල ආයේ මැකුව... සමහර දේවල් ආයෙ ආයේ ලීව... මොකද ඉතින් කෙනෙක් ගැන ලියන එක කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනෙ නිසා... ඒ කෙනාට හානියක් නොවෙන්න ඕනෙ නිසා.. කොච්චර විහිලු කලත් ඇස් රතු වෙන්න හොඳ නැති නිසා..
අනික මම හරි බයයි මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න.... කියන්න ඕනෙ දේ කෙලින් කියන එකනම් මම කරනව... ඒත් මිනිස්සුන්ගෙ හිත් රිද්දන එක පවක්... මොකද මමත් දන්නව හිත් රිදුනම ඒක සුව වෙන්න කොච්චර කල් යනවද කියල... සමහර වෙලාවට අවුරුදු ගනන් යන්න පුලුවන්...ඉතින් කොහොම හරි ඔන්න ඕව නිසා මම එහෙම කරද්දි ගොඩක් හිතනව.... ඒක නිසාම "කව්ද මේ" ලියලත් මම ඒ අදාල මලයගෙන් ඇහුව අවුල්ද කියලත්..
ඒ කතාව එච්චරයි කියමුකො... මේක ලියල ටික දවසකින්, මම මොකක් කීවත් මගෙ යාලුවො ටිකක් පුරුදු උනා "ඒක එතිකල් නෑ". "ඒක එතිකල්ද" කියල අහන්න... (ඔන්න ඉතින් දැන් මූණ දික් කර ගන්න එපා.. මම ඒකට වැරැද්දක් කියන්න නම් නෙවෙයි මේක ලියන්නෙ.. එහෙම නම් ඉතින් මම පොස්ට් එකක් ලිය ලිය ඉන්නෙ නෑ.. කෙලින්ම කියනව, මම ඔය වැඩේට ආස නෑ කියල...මොකද ඉතින් කලින් කීව වගේ එතන මෙතන කියන පුරුද්ද මට නැති නිසා... සමහර වෙලාවට මම නහින්නෙත් ඒ නිසා.. අර මොකද්ද එක දීල ගොඩ යන පුරුද්දක් අම්මලවත්, මම ඉගෙන ගත්ත තැනකින්වත් මට ඉගැන්නුවෙ නෑ.. පුරුදු කලේ නෑ... සමහර වෙලාවට එහෙම කලානම් මම මීට වඩා ඉහල තැනක ඉන්න තිබුන... එත් ඉතින් මොකටද.... නේද...? )
ඔන්න ඔන්න ට්‍රැක් පනිනව... ආයෙත් කතාවට එන්නම්කො.
ඉතින් මම ඇහුව.. මොකද්ද ඔය කතාව කියල... හිනා වෙනව විතරයි... කෙලින් උත්තරයක් නෑ...  පස්සෙ අන්තිමේ එක්කෙනෙක් කීවා මගෙ බ්ලොග් එකේම සාරාංශය ඒකලු.. 
ම්ම්ම්ම්ම්ම්ම්ම්......
කල්පනා කලා... අයෙ මුල ඉඳන් ඔක්කොම පෝස්ට් ටික කියෙවුව.... ඒත් මට එහෙම එකක් හිතෙන්නෙ නෑනෙ... එකක්, දෙකක් තියෙනව එහෙම ලියපු.... නැත්තෙම නෑ... ඒත් ඉතින් එහෙමම නෑ....
හරි හරි.... ඒත් මම තරහ නෑ එහෙම කියනවට...  ලියන අය දන්නව කවුරු හරි තමන් ලියපොඋ දෙයක් කියවනවට, විවෙචනය කරනවට, එක එක අර්ථකතන දෙනවට ගොඩක් කැමතියි... මොකද ඒ දේවල් වලින් තමයි හැදෙන්න පුලුවන්.....
ඒක නිසා ඒ හැම කෙනෙක්ටම මම හිස නමා ආචාර කරනව... තව එකක් කියන්න ඕනෙ... මම කවදාවත් කවුරුත් දාන කොමෙන්ටුවක් අයින් කරන්නෙ නෑ.. ඒත් "මේ කවුද.?" එකේ එහෙම එකක් අයින් කලා... ඒ මොකක්වත් හින්ද නෙවෙයි... කතා නායකයගෙ අනන්‍යතාවය හෙලිවෙන විදියෙ දෙයක් නිසා... මම ඒ කොමෙන්ටුව දාපු සහෝදරයටත් ඒක කීව..
ඔය එතිකල්ද..? නැද්ද ..? කියන මතෘකාව ලීවොත් එහෙම , එහෙමත් නැත්නම් එදිනෙදා වෙන එතිකල් නැති කතා ලීවොත්, මට මේ බ්ලොග් එක සතියෙන් පෝස්ට් 500කින් විතර පුරවන්න පුලුවන්... ඒ මොකද ඉතින් අපි ජීවත් වෙන්නෙ හරිම එතිකල් සමාජෙක නිසා..
එකම පවුලෙ අයිය රෙදි කඩයක් දැම්මොත්, මල්ලි පහුවදාම එහා පැත්තෙ දානව රෙදි කඩයක්..;
එකට වැඩ කරන එකා පොඩ්ඩක් හරි හොඳ දෙයක් කරල ගොඩ ගියොත්, පහුවදා ඉඳලම ඒකට වල කපන්නෙ කොහොමද කියල හිතන්නෙ...;
කවුරු හරි එකෙක් මොකක් හරි අලුත් වැඩක් කරන්න යන්ව කීවොත්, ඒකට කලින් අහගෙන හිටිය එකා ඒක පටන් ගන්නව...;
මෙහෙම ලීවොත් ලියන්න පුලුවන් 100ක් උනත් එක දිගට...
වැඩක් නෑ ඉතින්...
හොඳම දේ නම්, අපි මොකක් හරි කරන්න කලින් සැරයක් නෙවෙයි, සිය සැරයක් උනත් කල්පනා කරන්න පුලුවන්නම්; අපි මොකක් හරි කියන්න කලින් සිය වතාවක් හිතන්න පුලුවන්නම්,
මොකද කීවට පස්සෙ අයෙ ගන්න බෑනෙ..
අපි කවුරුත් ඉතින් පෘතඃජන (වචනෙ හරිද මන්ද..?) මිනිස්සුනෙ... වචනයක් එලියට දැම්මට පස්සෙ ආයෙ ගිලින්නයැ..
ඒක හින්ද..
ටිකක් විතර එතිකල් විදියට ජීවත් වෙමු නේද ...? වරදක් නෑනෙ... හොඳක් මිසක...