ඉන්න ඇත්තො

4 [101] මං ආසා ගී - මගෙ හීනයෙ...

මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ 
සිත් මානයෙ දැවටෙන්නට 
මගෙ උණුහුම මදි වීදෝ
ආදරේ මට නම් 
ඇයි විරහ සරදම් 
ජීවිතේ මම නම් 
ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම් 
උණුහුම හිත හැදුව තරම් 
රැවටුණු හැටි මා මෙතරම් 
හිත හඬන තරම් 
ඔබ දන්නවනම් 
තව කඳුලු දිදී 
රිදවන්නෑ...
මා දැවෙන තරම් 
ඔබ දන්නෑ...

මගෙ හීනයෙ...
 
නොමියෙන මල් මතක පෙතී 
එක එක බිඳ දැමුව හැටී 
නෙතු අග තෙත රැඳුනෙ නිතී 
මගෙ වරදම වෙන්න ඇතී 
හුරු සිනහ සිතින් 
ඔබ ඉන්නවනම් 
තව කඳුලු කතා 
පවසන්නෑ...
මේ කඳුලු මගේ 
දැන් දුක නෑ...

මගෙ හීනයෙ...


හරිම අහම්බෙන් මේ ගීය ඇහුවෙ.... මගෙ 100 පොස්ට් එක ලීවට පස්සෙ මොකක් හරි අපලයක්... ලියන්න කියල හැමදාමත් පටන් ගත්තත් එකක්වත් ලීවෙ නෑ.. දන්නෙ නෑ ඇයි කියල.. ඒත් ඇත්තටම ඒ දරපු උත්සාහ ඔක්කොම අසාර්ථකයි.... අදත් ඒ වගේම ලියන්න පටන් ගත්ත එකක් ඉවර කරනව කියල වාඩි උනේ... ඒත් අවසනාවක මහත...අදත් එමමයි... එහෙම එහෙට මෙහෙට පෙරල ඉන්න අතරෙ තමයි මේ ගීය දැක්කෙ.... ඇහුව ගමන් හරි ලස්සනට දැනුන... ඉතින් හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න.... 100න් නැවතුන බ්ලොග් එක ආයෙ පෙට්ට්‍රල් ගහල ගන්නත් එක්ක ඔන්න ලීව... මේක ගායනා කරන්නෙ නම් තරුණ ගායකයෙක්. "උදය ශ්‍රී වික්‍රමසිංහ". පද, සංගීතය කාගෙද කියල නම් හරියට දන්නෙ නෑ... හොයා ගත්තොත් කියන්න... ගීය අහල බලන්නකො...


අහන්න, බලන්න මෙතනින්.

11 100 න් පසු...

අවුරුද්දකුත් මාස නවයක් තිස්සෙ ලියපු මගෙ බ්ලොග් එකේ 100 වෙනි පෝස්ට් එක පහුගිය දවසක සද්ද නැතුවම ලියවුනා.
මේ සීයට අකුරු අමුණපු අවුරුද්දයි මාස 9 කාලෙ ඇතුළත කොච්චර දේවල් නම් වෙන්න ඇත්ද..? මම මගෙ ගැන ලියල තියෙන පුංචි සටහනේ තියෙනව වගේ, හිතක්-පපුවක් නැති කොම්පියුටරයක් එක්ක දවසෙ වැඩි වෙලාවක් හැප්පෙන මට, ඇස් වලට එන කඳුලු, ඒ ඇස් වලින්ම පනින්න හදන ගිනි පුපුරු, මහ මුහුදටත් වඩා සැරට ගහන රැළි හැම දෙයක්ම නිදහස් කර ගන්න මේ අමුණන අකුරු කොච්චර උදව් කරල තියෙනවද..?
ඉස්සරනම් පුරුද්දට වගේ මුහුදු වෙරළට ගිහින් රළ කරන අරගළ බලාගෙන ඉඳල හිත සැහැල්ලු කර ගත්ත.. (ඒත් ඒක දැන් කරන්න ගියොත් 6.10 මහව, 7.20 මීණගයා මිස් වෙන්න පුලුවන්.. එහෙම උනොත් ඉතින් එළිවෙනකල් මහ පාරෙ..)
මේ අමුණපු අකුරු අතරෙ සමහ‍ර විට ඔයාලගෙ අත්දැකීම තියෙන්න ඇති.. ඒ වෙලාවට හිත් රිදෙන්න ඇති.. සමහර හිත් රිදෙන උදවිය කෙලීන්ම බැණපු වෙලාවල් තියෙනව. ඒත් සමහරු එහෙම නොකර හිතින් බැණපු වෙලාවල් ඇති..(අන්න එහෙම ඒවටනම් මට දුකයි. මොකද හිතේ තියාගෙන මූණට හිනා වෙනවට මම ආස නෑ. සමහරු අනිත් කෙනාට රිද්දන්න හොඳ නෑ කියල එහෙම කරනව. ගොඩක් "තමන්ගෙම අය" කියන කට්ටිය පවා. ඒත් ඒක තමා දරුණුම දේ.. මොකද කෙලින් කීව දේ ඒ වෙලේ හිතුව ඉවරයි.. ඒත් හිතේ තියෙන දේ පැහැව පැහැව ඉඳල පුපුරල ගිය දවසට දරා ගන්න ගොඩක් අමාරු නිසා).. ඒ කොහොම වෙතත්, මගේ දේවල් එක අකුරක් හරි කියවන්න මෙහෙට ගොඩවෙච්ච ඔයාලට මම ණය ගැතියි.. මොකද මම ලියන්නෙ ඔයාල නිසා..
සමහර වෙලාවට මම පෝස්ට් එකක් ලීවම "තමන්ගෙ අය" කියන උදවියට මම ඕනෙ තරම් කරදර කරල ඇති ඒක කියවන්න කියල.. එහෙම වෙලාවට බැණුම් අහපු වෙලාවල් ඇති ඕනෙ තරම්..(තමන්ගෙම කෙනෙක් තමයි ලියන දෙයක් කියවල ඇත්තටම හොඳ නරක කියන්නෙ.. අන්න ඒක වටිනව ගොඩක්.. ෆොටෝ එකක් ගත්තත්, නිර්මාණයක් කලත් ඒක තමන්ගෙ කෙනෙක් අගේ කරනවනම්, දොස් කියනවනම් ඒක කොච්චර වටිනවද කියල දන්නෙ ඒක කරන කෙනා)
ඒ කොයි හැටි වෙතත් මම මේ ලියන එක නතර කරල දාන්න හිතපු අවස්ථාවනුත් ඇති ඕනෙ තරම්.
මම මේ අකුරු අමුණන මගේ, ඔයාලගෙ ඇත්දැකීම දශමෙකින් හරි බෙදා ගන්න, ගුණ දොස් කියන්න ගොඩ වුන ඔයාල නිසා අද මම මේ තරම් දුර ආව..
ඉතින් ඉදිරියටත් මට තවත් අකුරු අමුණන්න අවස්ථාව ලැබුණොත්, ඔයාලගෙ ඒ උදව් තියෙයි කියල මම හිතනව.
මට මේ දුර එන්න උදව් කල "මගේ උන්ට" නම් වශයෙන ස්තුති කරන්න ගිහින් එක නමක් හරි මග ඇරුනොත්, ඒක ලොකු පවක්. (අනික මගේ ක්‍රමේට තමන්ගෙ උන්ට "Thanks", "Sorry" කියන්නෙ නෑනෙ..) ඒ නිසා මම එහෙම කරන්නෙ නෑ...කොච්චර කාර්ය බහුල උනත්, මෙහෙට ගොඩවෙලා ලියන දේ කියවන්න වටිනා කාලය නාස්ති කරන ඔයාල හැමෝටම හද පිරි තුති..
ආයෙම ඇවිත් යන්න එන්න...

7 මනුසතා සහ තිරිසනා

අලියා අපි මේ ගෙදර දාලා යනවා. 
ඔයා අපේ ගෙදර කැඩුවා. ඒකට මට ගොඩක් දුකයි. 
ඒ හින්දා අපි යනවා. 
අපි හිටියොත් ඔයා අපිව මරයි. 
ආයේ ඔයා අපේ ගෙදර කැඩුවොත් 
දළදා කරඬුව ගෙනියන්න ගන්නෙ නෑ. 
අපි නුවර පෙරහැර බලන්න එන්නෙත් නෑ. 
අලියා, මම ඔයාට සුබ පතනවා. 
මෙයට...

මෙහෙම ඡායාරූපයක් ඔයාල දකින්න ඇති පහුගිය කාලෙ මූණු පොතේ..මේකෙ තියෙන විදියට මේක ලංකාදීප පුවත් පතේ පළ උන එකක්... ඇත්ත කතාවක්...
මට මේක දකිනකොට මටත් හිතුන මට හිතෙන දේත් ලියන්න ඕනෙ කියල.

පොඩි එකාගෙ කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් ඒ පොඩි එකා දන්නෙ නෑ, එයාගෙ තාත්තල, සීයල, අත්තල, මුත්තල එකතු වෙලා මේ අලියගෙ ගෙදර කඩල කියල.. සමහරවිට පොඩ්ඩ දැනන් හිටියනම් ඒ කතාව, එයා අලියට කියන එකක් නෑ මෙහෙම දෙයක්...
අපි එයාලගෙ වාස භූමි අල්ලගෙන, ඒවගෙ ගෙවල්, දොරවල් හදාගෙන, වගාවල් කරන්න ගත්තම ඒකට වැරදි එයාලද..? අපිද..?
අපි නිතර යන එන පාර හරස් කරල එක පාරට කවුරු හරි කෙනෙක්, පිරිසක් වැටක් ගැහුවොත්, ගෙයක් හැදුවොත්, අපි මොකද කරන්නෙ..?
අවුරුදු 20-30 ගමන් කරපු පාරෙ එහෙම දෙයක් කලොත් අපි කවුද, ඒ හදල තියෙන දේ මග ඇරල වෙන පාරකින් යන්නෙ..?
කීයෙන් කී දෙනෙක් එහෙම කරයිද..?
එච්චර එපා, අපි ඉස්සරහින් යන වාහනේ පාරෙ නවත්තල තියෙනව මොකක් හරි හේතුවක් හින්ද... කීයෙන් කී දෙනෙක් ඒ මිනිහට බැණ බැණ නලාව හඬවනවද..? පාරෙ යන බස් කාරයන්ට කොච්චර වෛර කරනවද පාර හරස් කරනවට....
ඉතින් එහෙම අපි, අහිංසක තිරිසන් සත්තුන්ගෙ ගෙවල් දොරවල්, යන එන පාරවල්, වාසභූමි අල්ලගෙන, එයාලගෙ කෑම තියෙන තැන් විනාස කරල, එයාලටම බණිනව...අපිට හිරිහැර කරනව කියල.
මටනම් හිතෙන්නෙ එහෙමයි.
ලොකුම වැරැද්ද කරන්නෙ අපි.
මට මතකයි මම පුංචි කාලෙ අපි හිටියෙ පොළොන්නරුවෙ.. නවනගරෙ.. වන ජීවි කාර්යාලෙ තිබුනෙ අපේ ගෙවල් ලඟ.. ඉතින් කොහෙ හරි අනාථ වෙච්ච අලි පැටියෙක් ගෙනාවොත් අපි යනව බලන්න. ඒ අලි පැටියව එතන්ට ගේන ටිකට එයාගෙ වලිගෙ කෙඳි ටික ගලවල.. ගොඩක් වෙලාවට ගේන්නෙ එක්කො කාගෙ හරි මර උගුලකට අහු වෙච්ච, වලකට වැටිල තුවාල උන, අසරණ වෙච්ච කෙනෙක්ව.. ඉතින් ඒ අසරණයව අපේ අය තවත් අසරණ කරනව..
ඉතින් මටනම් හිතෙන්නෙ ලෝකෙ සත්තු අතරින් දියුණුම මොළයක් තියෙනව කියල කියාගන්න "මනුසතා" මේ අහිංසක තිරිසන් සතාගෙ වාසභූමි අත්පත් කරගෙන, එයාලට ඉන්න හිටින්න තැන් නැති කරල, කන්න බොන්න නැති කරල, යන එන මං හරස් කරල අන්තිමේ උන් ඒ වෙනුවෙන් සටන් කලාම, මරල දානව කිසි හිතක් පපුවක් නැතුව "මනුසතාට" එරෙහි උනා කියල.
ඒක හරිද..?
ඇයි මේ තරමට ආත්මාර්තකාමී.....????????

4 මං ආසා ගී - ගීයෙන් ගයන්න

ගීයෙන් ගයන්නෙ ඔබ ගැන 
පද වැලක සත්සරින් 
ඒ ඔබ ගැන මහදේ ලියැවුනු 
ආදරේ නමින් 
මට මෙය කියන්න 
ඔබ හට හද සැලෙනවා ඉතින් 
ගීයෙන් අහන්න සුහදේ 
අමතන්නෙ ආදරෙන්...

පෑයූ ඉර තරු බැස යනවා 
කන්ද මුවාවී 
ඒ මිහිකතගෙන් සමුගන්නට 
හෙට යලි ඒවී 
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා 
සිතට මුවා වී 
හිනැහෙන්න ලඳේ 
සැමදා අප හිත් සැනසේවී...


පෑයූ ඉර සඳු එලියයි 
ඝණ අඳුර මකාලූ 
ඒ සඳ තරු යට හමුවෙමු හද 
ගිමන නිවාලූ 
පායන්න හැකිද සඳ සේ ඝණ 
අඳුර මකාලූ 
ඒ සඳ තරු යට 
අපගේ පෙම් පවස නිවාලූ ...


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන 
පද වැලක සත්සරින් 
ඒ ඔබ ගැන මහදේ ලියැවුනු 
ආදරේ නමින් 
මට මෙය කියන්න 
ඔබ හට හද සැලෙනවා ඉතින් 
ගීයෙන් අහන්න සුහදේ 
අමතන්නෙ ආදරෙන්...

ෂ‍්රලි වෛජයන්ත ගායනා කරන මේ ගීතය සංගීතය, පද රචනය කාගෙද කියලනම් දන්නෙ නෑ.. ඒත් මම හරිම ආස ගීයක්. කොහොමත් මම එයාගෙ ගීත වලට ඉස්සර ඉඳලම ආසයි... මේ ගීය අහම්බෙන් මට ලඟදි දවසක අහන්න හම්බුනා වැඩ කරන ගමන්. "බීරි මාක් කණේ මූඩි කුට්ටම" ගහගෙන අහපු නිසාද මන්ද, ගීයෙ සංගීතයත් එක්කම ගායකයගෙ කටහඬ පුදුම විදියේ හැඟීමක් දුන්න ගීයට.. ඔයාලත් අහල බලන්න...
මම කියන දේ ඔයාලටත් දැනෙනවද කියල.. හැබැයි මම ඇහුවෙනම් පරණ ගීය වෙන්න ඕනෙ.
ඒත් මට ඔයල වෙනුවෙන් හොයා ගන්න පුලුවන් උන ගීයනම් මම අහපු එකට වඩා වෙනස්.. (අර මම ක්කලින් කීව හැඟීම දැනුනෙ නෑ මේකෙන්. කාට හරි මම අහපු එක ඕනෙනම් කියන්න.. මම එවන්නම්..) "ඔබේ බටෙන්" මට හම්බුන එක මෙතනින් බලන්න

6 රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

අද මූණු පොතේ දැකපු කියමන් දෙකක් නිසා දෙයක් ලියන්න හිතුන.
කියමන් දෙකම ඉස්සෙල්ල කියන්නම්... බලන්න ඔයාලට මොනවද හිතෙන්නෙ කියල.


පළවෙනි එක...
"කෙනෙක් ඔබව පාවිච්චි කලා යැයි කාලෙකට පසු දිනෙක ඔබට හැඟුනොත් කුමක් දැනේවිද..?"


දෙවෙනි එක
"ඔබ  යම් කෙනෙකු රවටා සාර්ථක වුවහොත් හිතන්න එපා ඔහු හෝ ඇය මෝඩයෙකු ලෙස....
සිදු වූයේ ඔහු හෝ ඇය පමණට වඩා ඔබව විශ්වාස කල එකයි."


කතා දෙකම පේන විදියට කියන්නෙ එකම කතාවක්.
රැවටීම.. 
අපි ගොඩක් දෙනෙක් අතරෙ තියෙන දෙයක්. අපේ ගොඩක් අය හරිම දක්ෂයි තව කෙනෙක්ව රවට්ටන්න... ඒක සමහරවිට පොඩි කාලෙ ඉඳලම වෙන දෙයක් වෙන්න ඇති..
අපි පුංචි කාලෙ, අපේ අම්මල, තාත්තල  බිල්ලො, හප්පො, ගෙම්බො ගැන කියල රවට්ටනව.. ඒ නම් ඉතින් හොඳ අරමුණකට කිහල කියමුකො... එක්කො කෑම කවා ගන්න.. එක්කො කියන දේ නාහන වෙලාවක මෙල්ල කර ගන්න. එහෙම යනකොට ඔන්න පොඩි උන් අම්මලට, තාත්තලට "අන්න....." කියල මොකක් හරි එකකට අත දික් කරල රවට්ටනව වැදගත් දෙයක් පෙන්නන්න වගේ.. (ඒකත් ඉතින් නොතේරුම් කමනෙ...)
හැබැයි ඉතින් ඔන්න යමක් කමක් තේරෙන්න පටන් ගන්නකොට තමයි වැඩේ නියමෙටම කරන්නෙ...

සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් කෙනා තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..
හැබැයි ඉතින් රවට්ටන්න බොරු කියන කෙනාටනම් දහසකුත් හේතු තියෙනව ඒ දේ කරන්න...
"ආදරේට, බේර ගන්න, හොඳ මාර්ගෙට ගන්න, තරහ වෙනවට, දුක හිතෙනවට, වැඩි හොඳට" මෙකී නොකී හේතු සිය දහස් ගණනක් තියෙන්න පුලුවන්.. (පුලුවන් නෙවෙයි, තියෙනව. මම මේ කියන්නෙ අත්දැකීමෙන්).
හැබැයි ඉතින් හේතුව මොකක් උනත්, අන්තිමේ කෙනෙක්ව රවට්ටල ඉවරයි.
ඉතින් අර උඩින් තියෙන දෙවෙනි කියමන බැලුවොත්, රවට්ටන කෙනා හිතනව එයා අනිත් එක්කෙනාව සාර්ථකව රැවැට්ටුව කියල (එයානම් හරිම මෝඩයි, මම කියන දේ පිළිගත්ත කියල).. 
එයාගෙ පැත්තෙන් එයා 500%ක් හරි. හැබැයි එයා හිතන්නෙ නෑ, රැවටුනා කියන කෙනා තමන් ගැන තමන්ටත් වඩා විශ්වාස කරල කියල.
(මොකද මම තදින්ම පිළිගන්න, විශ්වාස කරන දෙයක් තමයි, කෙනෙක්ව සාර්ථකවම රවට්ටන්න, බොරු කියන්න හැකියාව තියෙන්නෙ ඒ කෙනාට ගොඩක්ම කිට්ටු කෙනෙක්ට විතරමයි. අසීමිත විදියට විස්වාස කරන කෙනෙක්ට විතරමයි. මොකද, අපි වැඩිය නොදන්න කෙනෙක්, අවිශ්වාස කරන කෙනෙක් කියන දෙයක් අපි එච්චර ගනන් ගන්නෙ නෑ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. අර පහුගිය දවසක මූණු පොතේම දාල තිබුණ "අපිට රිද්දල, අපිව දාල යන්නෙ, කවදාවත්ම අපිව දාල යන්නෙ නෑ කියල පොරොන්දු උන අයමයි කියල. අන්න ඒ කතාවම තමා මෙතන්ටත් අදාල වෙන්නෙ. අපිව රවට්ටන්නෙත්, රවට්ටල සාර්ථක වෙන්න පුලුවන් වෙන්නෙත්, කිසිම දවසක අපිව රවට්ටන්නෙ නෑ කියල, වචනෙන් නොකීවත්, හිතේ ඇතුලෙම පදිංචි වෙච්ච අයට විතරයි.)
එතකොට තේරෙණවද කෙනෙක්ව රවට්ටන එක මොනතරම් බරපතල වරදක්ද කියල.
අපි හරි සතුටු වෙනව රවට්ටල, ඒ කාරනේ කෙරුන කියල. ඒත් ඒක මොනතරම්නම් පවක්ද..? වරදක්ද..?
ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කවුරුත් ඔය දේ නොහිතන එකයි. ඒ වෙලාවට අපි සාර්ථක වෙන්න හැමදේම කරනව. කවදාවත් ආපහු හැරිල බලන්නෙ නෑ. රැවටෙන කෙනා ඉන්න තැනට තමන්ව ආදේශ කරල බලන්නෙ නෑ "මම එතන ඉඳල මට මේ දේ උනානම් මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද" කියල. අනිකට හෙණ ගැහුවත් අපේ සාර්ථකත්වය විතරමයි බලන්නෙ.

(මම හිතන්නෙ ඒක මේ රේස් දුවන සමාජ ක්‍රමය නිසා ඇති වෙච්ච දෙයක් වෙන්න ඇති.)

ඉතින් එහෙම එකේ....... කෙනෙක් තමන්ව රවට්ටල, පාවිච්චි කලා කියන එක කාලෙකට පස්සෙ ඒ කෙනාට තේරුනොත්..??????


මොන තරම් පරාජිත, අසරණ හැඟීමක් ඇති වෙයිද..? මොකද, මම කලින් කීව වගේම කෙනෙක්ව රවට්ටල, ඒ කෙනාව පාවිච්චි කරන්න, ඒ කෙනාගෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙම කෙනෙක්ට විතරක්ම නිසා.

ඉතින්.... කෙනෙක්ව රවට්ටන්න එපා... අවංක වෙන්න.. 
ඒ කෙනාගෙම හොඳට කරන්න පුලුවන් එකම දේ ඒ කෙනාට ඇත්ත කියන එක මිසක්, ඇත්ත වහන් කරල බොරුව පෙන්නන එක නෙවේ... මොකද එහෙම කරල, දවසක ඇත්ත ඇති හැටියෙන් දැනගත්තම ඇති වෙන හැඟීම, කඩා වැටීම ගොඩක් දරුණු වෙනව අනිවාර්යෙන්ම. සමහරවිට මුලින්ම ඇත්ත කීවනම් ඒ කෙනාව ගොඩක් සතුටෙන් තියන්න තිබුන කියල හිතෙන්න පුලුවන්..... 
ඒත් ඒ දේ තේරුම් යනකොට... ගොඩක් පරක්කු වැඩි වෙයි. 

අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි. 
රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...