ඉන්න ඇත්තො

2 [107] "බෑ.." කියවපු අයට පසු වදනක්.

"බෑ.." කියන පෝස්ට් එක ලීවට පස්සෙ ඒක ලද වාචික ප්‍රතිචාර සහ සමහර පළ නොකෙරුණ ප්‍රතිචාර නිසාම මට හිතුන ඒ වෙනුවෙන් පසු වදනකුත් ලියන්න.
ගොඩක් දිග නෑ.
බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය.
එහිදී සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලල අමාරුවෙ දානවට වඩා, ඉල්ලන්නෙම නැතුව ඉන්න පුලුවන් නේද කියල.
ඔව්. අත් දෙකම උස්සල ඔව්. ඒ මම එක දෙයක් මතක් කරන්න ඕනෙ. ඒ, මම මෙතන යාලුවො කියන්නෙ; අද හම්බෙලා, "ගුඩ් මෝනින්" කියල හිනාවෙලා යන, බස් එකේ දවසක් දෙකක් සීට් එකක් දෙන කෙනෙක්, ජීවිතේ නිකන් යන එන ගමන් හායි, බායි කියන අයට නෙවෙයි. 
"යාලුවෝ" කියන දේට ලොකු අරුතක් තියෙනව. (මම මීට කලිනුත් යාලුවො ගැන කියල ඇති ඕනෙ තරම්. මම නම් ඇත්තටම එයාලට කියන්නෙ "මගේ අය" කියල.) ගොඩක් අය වරදවා ගන්නෙත් අන්න ඒකයි, එකට කෑවට, එකට ඉඳ ගත්තට, එකට වැඩ කරාටම යාලුවෙක් වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉතින් අපිට යාලුවො කියන අය කොච්චර ඉඳීද..?(මූණු පොතේ මට Friends744ක් ඉන්නව. ඒත්... ඒ එයාල ඔක්කොම එක වගේද.? ඒකෙන් කී දෙනාටද මගේ උපන්දිනේ දවස මූණු පොතේ නැත්නම් සුබ පතන්න මතක් වෙන්නෙ. ටික දවසක් කිසි සද්දයක් නැති උනාම අඩුම ගානෙ පොඩි කෙටි පණිවිඩයක් දාන්න හිතන්නෙ "කොහොමද" කියල අහල.)
නෑ.. එහෙම නෑ.
යාලුවෙක් කියන්නෙ තමන්ගෙ කෙනෙක්. හිතේ තියෙන දේ කියන්න පුලුවන් කෙනෙක්. කිසිම භේදයක් නෑ ඒකට. ගෑණු-පිරිමිද, ජාති, ආගම්, කලු-සුදු කිසි භේදයක් නෑ.
ඒ අය තමන්ගෙ කෙනෙක්ට දෙයක් කරන්නෙ කවදාවත් ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සමහර වෙලාවට තමන්ගෙ දේවල් කැප කරල අනිත් කෙනා වෙනුවෙන උදව් කරනව. ඒත් කිසිම වෙලාවක තමන්ට නැති වෙන දේ ගැන පසු තැවෙන්නෙ නෑ. අනික තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. (එහෙම කලාම සමහර වෙලාවට බැණුම් අහන්න, ගුටි කන්න පවා සිද්ද වෙන්න පුලුවන්. ඒත් ඒක තම යාලුකම)
කෙනෙක්ට තමන්ගෙ යාලුවෙක් වෙනුවෙන් වෙලාව නෑ කියනව නම් ඒ හරිම විහිලුවක්.
සමහර වෙලාවට තමන්ගෙ යාලුවන්ව දැනෙන වෙලාවල් තියෙනව. යාලුවට දුකක් කරදටයක් වෙලා කතා කරන්න ඕනෙ කියල හිතුන වෙලාවටම කිසිම හේතුවක් නැතුව කොල් එකක් දෙන අවස්ථා තියෙනව. අන්න ඒක තම සැබෑ යාලු කම. හරියට නිවුන්නු වගේ. (මට මගේ ජීවිතේ එහෙම අත්දැකීම් තියෙනව)
සැබෑ යාලුවන් ගොඩක් ඕනෙ වෙන්නෙ අපි සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්න වෙලාවට. මොකද අපි වටේ ඉන්න කප්පරක් "යාලු මාලුවො" අපිට දුකක්, කරදරයක් උනාම අපි ලඟ නෑ. එක්කො බොර දියේ මාලු බාන්න හදනව. ඉතින් අන්න ඒ වගේ වෙලාවටයි තමන්ගෙ කෙනෙක් ඕනෙ වෙන්නෙ. සමහරවිට එයාට උදව් කරන්න බැරි වෙයි. ඒත් කරදරයක් නැතුව අපේ දුක අහගෙන ඉන්න පුලුවන් වෙයි. ඒකත් වටිනව සමහර වෙලාවට.
හිතන්න; වචන 5000-10000ක විතර  පැවරුමක් දුම දාගෙන ලියන වෙලාවක (බාර දෙන්න තියෙන්නෙ හෙට) මගේ යාලුව මම ලියන විෂය අල බෝලයක්වත් නොදන්නව වෙන්න පුලුවන්. ඒත්, මහ රෑ මගෙ එක්ක ඒක ලියන්න, තනියට ලඟ ඉන්නවනම්... කොච්චර හයියක් වෙයිද..????
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
මහ රෑ කනත්තක් ගාවින් තනියම යනකොට බය නැති වෙන්න කෝල් එකක් දුන්නම, "මම නිදි බන්" කියල කෝල් එක කට් කරන, එහෙමත් නැත්නම් කතා නොකරම ඉන්න යාලුවෙක්ට වඩා, ගෙදර යනකල් බය නැති වෙන්න කතා කරන්න යාලුවෙක් කොච්චර වටිනවද..?
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
තමන්ගෙ කියල, යාලුවෙක් කියල කට පුරා කියන්න පුලුවන් කෙනෙක් ගැන.
එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න, බැරි කමක් කියන්න හිතන්න ඕනෙ නෑ. මොකද එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගෙ නෑයෙක් හිතන තරම් දේවල් හිතන්නෙ නෑ තමන්ගෙ යාලුව ගැන.
වේයන් වගේ නෑයන්ට වඩා, ඒ වගේ යාලුවෙක් වටිනව.

2 [106] පිට පොත්තයි, ආත්මාර්ථයයි...

Selfish එහෙමත් නැත්නම් Egoistic කියන වචන ගොඩක් අය දන්නව... සමහරවිට සිංහලෙන් කීවොත් තමයි ඕක දන්නෙ නැත්තෙ.. මොකද කියනවනම් අද සමාජෙ මේ වචන ඒ තරමටම මිනිස් ජීවිත එක්ක එකතු වෙලා. හරියට පානුයි, පරිප්පුයි අපේ ජීවිත වලට එකතු වෙලා වගේ..
මේ මම කතා කරන්නෙ මගෙ අදහස්.. නැත්නම් කාවවත් හදන්නවත්, කාගෙවත් වැරැද්දක් පෙන්නන්නවත් නෙවෙයි.. (මොකද නැත්නම් හෙට ඉඳන් මම මේක ලීව කියල මට කතන්දර අහන්න වෙනව. මම ලියන්නෙ මට හිතෙන දේවල්. ඒ ලියන දේවල් අනුගමනය කරන්න මම මගෙ උපරිමය කරනව.. හැබැයි මම කාටවත් කියන්නෙ නෑ ඒ විදියට හැදෙන්න කියල. කියවල, තමන්ට හොඳනම් විතරක් හිතල බලන්න. කියන දේ කරන්නත්, කරන දේ කියන්නත් මම මගෙ උපරිම උත්සාහය දරනව.. ඒ මම. ඔයාල ඔයාලගෙ විදියට හිතන්න.)
අපිට අපි ආත්මාර්ථකාමි කියල කවදාවත් හිතෙන්නෙ දැනෙන්නෙ නෑ.. ඒත් අපි අනිත් මිනිස්සු හරි ආත්මාර්ථකාමී කියලනම් කියනව.. (අර ජේසුස් වහන්සෙත් කියල තියෙනවලුනෙ "තමන්ගෙ ඇහේ තියෙනවනෙ පොල් කීරට වඩා, අනිත් එකාගෙ ඇහේ තියෙන කෙන්ද පේනව" කියල. (හරිද මන්ද කීව. පොල් කීර නෙවෙයි, පොල් පරාලෙ තමා හරි එක.))
අපි කොච්චර ආත්මාර්ථකාමී උනත් අපි පිටට පෙන්නන් හදන්නෙනම් ඉතින් පට්ටම පරාර්ථකාමී කියල තමා.
පිට පොත්ත හරිම සුදුයි, සුමුදුයි, සුසිනිඳුයි. ඒත් ඉතින් ඇතුලට එබිල බැලුවොත් තමයි තේරෙන්නෙ තරම කොහොමද කියල..
ඒක මිනිස් ස්වභාවය වෙන්න ඇති. හැබැයි මම කියන්නෙ නෑ පරාර්ථකාමී ගති පැවතුම්, අදහස් ඇති කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියල.. එහෙම අය ඉන්නව.. හැබැයි බොහොම අතලොස්සයි.. දැන් කෙනෙක්ට කියන්න පුලුවන් "අද කාලෙ එහෙම නැතුව බෑ" කියල. ඒකත් ඇත්ත. මම ඒකත් පිළිගන්නව. එහෙම නොවුනොත් අමරුවෙන් හම්බ කරගන්න තුට්ටු 2ටත් විදල යයි. කෙල්ලෙක් නම් අමාරුවෙන් පරිස්සම් කර ගන්න දේවල් වලටත් දන්නෙම නැතුව විදල යයි. (අර කතාවක් තියෙන්නෙ හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියල. අන්න ඒ වගේ)
ඒත් එහෙමෙයි කියල පට්ටම ආත්මර්ථකාමී වෙන්න ඕනෙද..?
මම නම් කියන්නෙ කෙනෙක් පරාර්ථකාමී වෙන්නම ඕනෙ නෑ. තමන් ආත්මාර්ථකාමී නම්, ඒක කෙලින්ම පෙන්නන්න, පිට පොත්තට විතරක් සුදු නොවී. මොකද එහෙම උනාම මිනිස්සුන්ට හරි රූපෙ අඳුන ගන්න බැරි වෙනව. හිතන්නෙ හරිම සුදු චරිතයක්, පට්ටම පරාර්ථකාමී කියල. ඒත් අන්තිමේ කෙල වෙනකල්ම දන්නෙ නෑ.
(මම කලින් පෝස්ට් එකේ කීව වගේ ඇත්ත තත්වෙ පෙන්නන්න. කෙලින් කියන්න. (උඩින් මිතුරු, යටින් හතුරු නොවී).)
අපි කවුරුවත් සුදුම චරිතත් නෙවෙයි, ඒ වගේම කලුම චරිත්මත් නෙවෙයි. ඒත් හොඳම දේ අපිට පුලුවන් වෙන්න ඕනෙ අපේ ඇත්ත රූපෙන්ම ජීවත් වෙන්න. ඒක පිටට පෙන්නන්.
එහෙම නැතුව කෙනෙක්ව කිට්ටු කරගන්න හරි, උදව්වක් ගන්න හරි, හිත දිනා ගන්න හරි, මොකක් හරි තමන්ගෙ අවශ්‍යතාවයකට විතරක් එක රූපයක් පෙන්නල, තමන්ගෙ ඇත්ත ස්වරූපය හංගන් ඉන්න එක නෙවෙයි. මොකද එහෙම උනාම වෙන්නෙ කවද හරි තමන්ගෙ අවශ්‍යතාවය හමාර වෙන දවසට හරි, ඒ දේ සිද්ද වෙන්නෙ නෑ කියල හිතුන දවසට හරි, ඇත්ත රූපෙ එළියට එනව. 
අන්න එදාට....  
අපි ලෝකෙට, තමන්ගෙ අයට බොරු කාරයෙක්, මවා පාන්නෙක් වෙනව.
ඉතින් මුව හම පොරෝ ගත්ත වෘකයෙක් වෙනවට වඩා තමන්ගෙ ඇත්ත ස්වරූපයෙන්ම ඉන්න එක කොච්චර වටිනවද..? හිතල බලන්නකො....

8 [105] බෑ

මේ කතාව තනිකරම මගෙ. මොකද මම මෙහෙමයි. ඒ හින්දම සමහරුනම් මගෙ එක්ක තරහ වෙන වෙලාවලුත් තියෙනව. තවත් සමහරු එහෙම තරහ ගිහින් මූණට හොඳට ඉඳන් පන්න පන්න ගහන වෙලාවලුත් තියෙනව. (එහෙම ගහන්න ගිහින් තමන්ගෙම යාලුවන්ගෙන් මදි නොකියන්න කාපු අයත් ඉන්නව. එහෙම වෙලාවට හිතෙනව මෙහෙම හිටියත් අපි කරන දේ අගයන මිනිස්සුත් ඉන්නව කියල)

හරි, කැටයම් නැතුව පටන් ගන්නම්...

කියන්න හදන්නෙ පරණ කියමනකුත් තියෙන කතාවක්. "ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි කාටවත් බය වෙන්න ඕනෙ නෑ" ඔයාල අහල ඇතිනෙ ඒක.
ඉතින් එහෙම එකේ බිම ඉඳ ගන්න එකේ කේස් එකක් නෑනෙ. තමන් කැමතිනම් කරන්න පුලුවන්.  
එතකොට මොකද්ද කේස් එක....?
ආ.... ඒ කියන්නෙ ඇත්ත කියන එක.
හරි. හරියටම හරි.
අද අපි අතර ඉන්න ලොකු, කුඩා කවුරුත් (පොඩි උන් කවදාවත් බොරු කියන්නෙ නෑ. ඒකනෙ උසාවිය උනත් පොඩි උන්ගෙ සාක්ෂි පිළිගන්නෙ. මම කියන්නෙ වයසින් පොඩි උන්) කැමති නෑ රැවටෙන්න. ඒකට ගෑණු, පිරිමි භේදයක් නෑ. ඒ කියන්නෙ කාගෙවත් බොරු අහන්න, විස්වාස කරන්න, ඒ ඔස්සේ කටයුතු කරන්න අපි කවුරුත් කැමති නෑ. මොකද එහෙම කලාම, අන්තිමේ ඇති වෙන්නෙ පසු තැවිල්ලක්. ඒ පසුතැවිල්ලෙ තරම පුංචි වෙන්නත් පුලුවන්, සමහරවිට ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන තරමට ලොකු වෙන්නත් පුලුවන්. ඒක එක එක්කෙනාගෙ දරාගැනීමේ ශක්තිය මත තීරණය වෙන්නෙ.
ඒ කොයි හැටි වෙතත්, මම අද කියන්නෙ අන්න ඒ තත්වෙට එන්න කලින්, බොරු නොකියමු කියලයි. 
ඇයි බොරු කියන්නෙ.????
මිනිස්සු එක එක හේතු හින්ද බොරු කියනව. ඒත් මේ කියන්නෙ ඒ එක එක හේතු වලින් එකක්. ඒ අනිත් කෙනාගෙ හිත රිදෙයි කියල කියන බොරු.
කෙටිම උදාහරනෙ.
ඔයාලගෙ යාලුවෙක් ඔයාගෙන් මොකක් හරි දෙයක් ඉල්ලනව. ඒක එයාට ගොඩක් වැදගත් දෙයක්. ඔයාට ඒ දේ දෙන්න පුලුවන් කියල එයා විස්වාස කරනව. ඒත් යාලුව ඒක ඉල්ලනකොටම ඔයා දන්නව ඔයාට ඒක දෙන්න විදියක් නෑ කියල. මොකද අපි හිතමුකො ඒක ඔයාටත් ඕනෙ කියල එදාටම.
ඒත් යාලුවට දුක හිතෙයි, යාලුව තරහ වෙයි, යාලුව නැති වෙයි කියල හිතල ඔයා එයාට කියනව "හරි බලමුකො, තව කල් තියෙනවනෙ" එහෙම නැත්නම් "බලමුකො" කියල. ඒත් ඔයාගෙ යටි හිත දන්නව මේක කොහෙත්ම වෙන්නෙ නෑ කියල.
ඉතින් අදාල දවස ආවම එක්කො යාලුවව මග අරිනව, දුර ඉන්න කෙනෙක්නම් ෆෝන් ඕෆ් කරල, ඔන්ලයින් ඉන්න ඒව ඕෆ්ලයින් කරල,සද්ද නැතුව ඉන්නව.
අනේ ඉතින් තමන් ඉල්ලපු දේ යාලුවගෙන් ලැබෙයි කියල යාලුවව විස්වාස කල අර යාලුව, ලෝක අමාරුවක වැටෙන්නෙ. වචනෙ විස්වාස කල නිසා වෙන විකල්පයක් බලන්නෙත් නෑ. අන්තිමේ එයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්නෙත් නෑ.
හැබැයි ඉතින් බොරුව කියපු කෙනත් ටිකක් පසු තැවෙනව. (ඒත් ඒක පුද්ගලානුබද්ධයි. හිතක් පපුවක් තියෙන, හිතේ තෙත්මනයක් කෙනෙක්නම් තමයි ඉතින් එහෙම පසු තැවෙන්නෙ.මම කලේ බොරුවක්නෙ කියල). ඒත් ඉතින් ඒ පසුතැවීමෙන් තේරුමක් නෑ. වෙන්න ඕනෙ දේ වෙලා ඉවරයිනෙ.
යාලුව උදව්ව ඉල්ලපු වෙලාවෙම කෙලින්ම කීවනම් ඉවරයි "අනේ සමාවෙන්න, මට ඒක කරන්න බෑ. මටත් ඒක එදාටම ඕනෙ" එහෙම නැත්නම් "සමාවෙන්න, මට ඒක දෙන්න බෑ, අපේ අම්ම කැමති නෑ." හේතුව මොකක් උනත් කෙලින්ම කීවනම් ඉවරයි. "සමාවෙන්න, ඒක කවදාවත් වෙන්නෙ නෑ. බලාපොරොත්තු තියාගන්න එපා"
එක සැරෙන් වැඩේ ඉවරයි. යාලුවට එවෙලෙට ඕනෙනම් දුක හිතෙයි. "අනේ මගෙ යාලුව මට උදව් කලේ නෑනෙ" කියල. ඒත් ඒක හොඳයි, කරන්නම් කියල ඉඳල කරන්නෙ නැති උනාම දැනෙන දුකට වඩා. කළකිරීමට වඩා. එතකොට වෙන්න තියෙන දේට මූණ දෙන්න වෙන ක්‍රමයක් හරි හොයා ගන්නව. නැත්නම් හිත වෙනස් කරගන්නව. එහෙම උනාම දෙන්නටම දුකක් නෑ. අපහසුතාවයක් නෑ.
තේරුන නේද..? මම කීවෙ උදාහරණයක්. ඒත් මම හිතන්ව ඒකෙ තියෙන බරපතලකම ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල.
කෙනෙක්ට කියන්න තියෙන දේ කෙලින්ම මූණට එවෙලෙම කීවම ඒක ඉවරයි. ඒක සමහරවිට හිතෙයි පොල්ලෙන් ගැහුව වගේ කියල. ඒත් කරන්නම් කියල ඉඳල නොකරනවට වඩා ඒක හොඳයි. හිත රිද්දන්න බැරිකමට, "බෑ" කියන්න බැරි කමට එහෙමත් නැත්නම් එකපාරම "බෑ" කියන එක හරි නැති කමට "හා" කියල අන්තිමේ අමාරුවෙ දානවට වඩා ඒක සිය දහස් වාරයක් හොඳයි.
කෙනෙක්ට ඒක පොල්ලෙන් ගැහුව වගේ "බෑ" කීව කියල හිතෙන්න පුලුවන්. ඒත් මම නම් දකින්නෙ ඒක කෙලින් කතා කිරීමක් කියල. ඒකෙන්, පසු බලාපොරොත්තු ඇති වීමෙන් වෙන හිත් රිදීම, බලාපොරොත්තු කඩවීම, අපහසුතාවයට කල් වීම් වලක්වනව.
එක පාරයි, ඉවරයි.
ට්‍රයි කරල බලන්න. ට්කක් අමාරු වෙයි. ඒත් හොඳ පුරුද්දක් වෙයි. 
මමත් මුලින්ම කලේ නෑ. ඒත් එක්තරා අවස්ථාවක මගේ ජීවිතේ මට හිටිය හොඳම බොස් (බොසී) මට කීව උඹ කවද හරි අමාරුවෙ වැටෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න, උදව්වක් ඉල්ලුවම බෑ කියන්නෙ නැති එකෙන්. ඒක කරන්න අමාරුනම් බෑ කියපන්. හැමෝටම උදව් කරන එක හොඳයි. ඒත් ඒක පුලුවන් පමණින් විතරක් කරපන්. -  ඒ කතාව ඇත්ත.