ඉන්න ඇත්තො

1 ස්තුතියි...

එදා තෙල් ගහන්න ගිහින් වෙච්ච දේ වගේම, ඊට පස්සෙ කතාවත් කියන එක යුතුකමනෙ.. නැත්නම් සාධාරණ නෑනෙ.
පැමිණිල්ල කරන්න මම උදේ ගත්ත කෝල් එකක්. ඒ ගමන පිරවුම්හලේ කළමණාකරු ආපහු ගත්ත මට.
අරගෙන සම්පූර්ණ සිද්ධියම මගෙන් අහගෙන, අදාල පුද්ගලයට කතා කරල, ආයෙ මට ගන්නම් කියල තිබ්බ. 

ඊට විනාඩි 10කට විතර පස්සෙ ආයෙම ආව දුරකථන ඇමතුම.
අදාල සිද්ධි දෙකම හොයල, කතා කරල මට ගත්ත  කියල තමා කීවෙ.
සිද්ධි දෙකේම වරද පිළිගත්ත. ආයතන සේවකයො හොර කරල කියල පිළිගත්ත. දෙන්න ඕනෙ දඬුවම මොකද්ද කියලත් මගෙන් ඇහුව. ඔවුන් රැකියාවෙන් නෙරපන්න තීරණය කලා කියල තමා කීවෙ. ඒත් මගෙ අදහස උනේ අවවාද කරල, තියා ගන්න එක රස්සාවක් නැති කරනවට වඩා. හැබැයි ඒ සිද්ධිය ආයෙ වෙන්න බෑ.
ඒ ගමන ඒකට එකඟ උනා. ඒ වගේම මේ වගේ දේවල් වලක්වන්න පියවර 2ක් ගැන කීව. එකක් ආරක්ෂක කැමරා සවි කරන එක. අනික තෙල් සංස්ථාවට දන්වා යන්ත්‍ර වල වෙනසක් සිදු කිරීම. ඒ දෙකම ඉදිරි සතිය ඇතුලත වෙන බවත් සඳහන් කලා.
එසේ නොවුනහොත්, ඒ පිළිබඳව පියවර ගන්න බව මා සඳහන් කල විට ඔහු එයටද එකඟ උනා.

තව එක දෙයක් ඔයාල වෙනුවෙන් සඳහන් කරන්න ඕනෙ.
එම යන්ත්‍රයක,ඕනෑම වෙලාවක, අන්තිම ඉන්ධන සැපයුම් 5 නැවත පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ඔහු සඳහන් කලා. (වැදගත් පුවතක්)

දැන් ඒ සුදුසු පියවර ගන්නේදැයි මම ඇහැ ගහගෙන ඉන්නෙ... බලමුකො...
කොහොම වෙතත් වරද පිළිගැනීම ගැන සතුටු වෙනව.
ඒක ලොකු දෙයක්...

7 [112] ප්‍රවේසම් වෙන්න...

මේක කියන්න හිතුවෙ ඔයාලටත් පරිස්සම් වෙන්න. අද කාලෙ රුපියලත් ගොඩක් වටිනවනෙ. ඒ නිසා හරියට හොරු. එහෙම නැතුව මේ කියන ආයතන එක්ක මගෙ කිසිම පුද්ගලික තරහක් නෑ. අඩුම තරමින් එහි හිමි කරුවත් මා නොදනී. හුදෙක් සියලු දෙනාගේ යහපත් උදෙසා දැනගැනීම පිණිස පමණි.

මේක කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉන්න අයට විශේෂයි. ඒත් කුරුණෑගල හරහා ගමන් යන පිට පළාත් වල අයටත් වැදගත් වෙයි. කුරුණෑගල - කොළඹ පාරෙ තමන්ගෙ රථයට පෙට්‍රල් ගහන අයටයි මේ පණිවිඩය.
 

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල් වල ලොකුවට ගහල තියෙන්නෙ "ඉන්ධන පිරවීමට පෙර මීටරය "0" දැයි හොඳින් බලන්න" කියලනෙ.
 

සිද්ධිය මෙහෙමයි.
 

දිනය : 2013-02-21
වේලාව : පස්වරු 8.20ට පමණ
ස්ථානය : කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හල. (සිපෙට්කෝ අනුබද්ධ)

අද පස්වරු 8.20ට පමණ මෝටර් රථයට ඉන්ධන පිරවීමට ගිය මම රුපියල් 1000 නෝට්ටුවක් දී 1000ක ඉන්ධන ඉල්ලුව. යන්ත්‍රයේ 1000 සටහන් කල කොලුවා මෝටර් රථයට තෙල් ගහන අතර මම දුරකථනය පරික්ෂා කලා. ඒ අතර එක වරම "මහත්තය සල්ලි දුන්නද?" කියල අහපු කොල්ල, ආපසු "සොරි අමතක උනා" කියන සැනින්, යන්ත්‍රය නතර උනා. 


එහි රුපියල් 1000 සටහන් උනත්, ලීටර් ගණන සඳහන් වී තිබුනේ ලීටර 50 ලෙසින්.
 

දන්නා තරමින් රුපියල් දහසට පෙට්‍රල් ලීටර 50 ගැසිය නොහැකිය.
 
ඒ ගැන ප්‍රශ්ණ කලේ වෙනත් අයෙකුට ඉන්ධන ගහන්න ගිය එක බලෙන් නතර කරමිනි. ඔහුගේ පිළිතුර වුයේ "1000 උඩ තියෙනවනෙ, හරිනෙ" කියන එකයි. වාහනෙන් බැස්ස මම නැවත ඔහුගෙන් ප්‍රශ්ණ කල විට පිරවුම් හලේ වෙනත් අයෙක් විත්, යන්ත්‍රය පරීක්ෂා කලවිට එහි සටහන් වූයේ රුපියල් 531ක ඉන්ධන සැපයූ බවකි. එසේ පරික්ෂා කිරීමට එන විටත් ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් නිසි පරිදි ඉන්ධන සැපයූ බවයි. ඉන් පසු වහාම ඉතිරි ඉන්ධන සැපයූ ඔවුන් ප්‍රශ්ණය එතනින් වසා දැමීය. ඔවුන්ට එසේ වීමට නිසි පිළිතුරක් නොවීය. බොරු හේතු සියයක් විය.

නමුත් මීට දින කීපයකට පෙර මගේ පියා 1000ක ඉන්ධන ගැසූ විටත් රථයේ එතරම් ඉන්ධන පිරවූ බවක් පෙන්නුම් නොකල බව මට මතකය. ඒත් මේ ඉන්ධන පිරවුම් හලෙන්මය.
ඉන්ධන පිරවීමට පෙර "0" පරික්ෂා කරන අපි, අවසන් වූ පසු මුදල පරික්ෂා කරයි. එසේ නැත්නම් ඔහු විස්වාස කර ගමන අරඹයි. ඉන්ධන පුරවන අතර අපේ කතා, ලොතරැයි මිලදී ගැනීම වැනි දෑ කරයි.
ප්‍රවේසම් වෙන්න...
 

අන් ඉන්ධන පිරවුම්හල් ගැන කීමට නොදනිමි. එහෙත්, කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හලෙන් එම සිද්ධිය දෙවතාවක්ම සිදු විය. එය ඔබටත් සිදුවීමට බොහෝ ඉඩ ඇත. 
කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා විට අන් කිසි දෙයක් නොව, මීටර දෙසම බලා සිටින්න.. නැත්නම් ඔබේ පොකට්ටුවට ඔවුන් තට්ටු කරනවා පමණක් නොව, නොසිතූ පරිදි මග සිටීමටද සිදු විය හැක.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සංගම් ඇත. එහෙත් ඉන්ධන ලබා ගන්නන්ට අසාධාරණයක් වූ තැන ඔවුන්ට සංගම් නැත. පිළිසරණක්ද නැත. ඒ නිසා මේ පිළිබඳව ඔබේ මිතුරු-මිතුරියන් දැනුවත් කරන්න.