ඉන්න ඇත්තො

0 දයාබර සිරිල්.....

අද මම ලියන්න හදන්නෙ ඇත්තටම පුද්ගලික දෙයක් වෙන්න පුලුවන්...සමහර විට මේක කියවන අයගෙන 99.9%ක්ම මම මේ කියන්න යන කෙනා නොදන්නව වෙන්න පුලුවන්...
ඒත්...
මේ ලෝකෙ හොඳ මිනිස්සුන්ගෙ ආයුෂ අඩුයි කියන එකට තවත් එක උදාහරණයක්....අපේ සිරිල්..
සමහරු "සිරිල්" කියල කතා කල... තවත් කෙනෙක් "සිරිල් ස‍ර්" කියල කතා කලා.. තව කෙනෙක් "සිරිල් අංකල්" කියලත් කීව... 
 උපතින් කිතුනුවෙක් වෙච්ච සිරිල්ට ආගම්, ජාති, වයස් බේදයක් කවදාවත් තිබුනෙ නෑ... කිතුනුවෙක් වෙච්ච සිරිල්ට බුදු දහම ගැන තිබුනේ පුදුම දැනීමක්.. හැමදාමත් "සිත","ජීවිතය", "නායකත්වය" වගේ දේවල් ගැන කතා කරන්න සිරිල් උදාහරණයට ගත්තෙ බුදු රජාණන් වහන්සේව... බුදු දහම... උපතින්ම බෞද්ධයෙකුටත් වඩා දැනුමක් සිරිල්ට තිබුන...
සිරිල් කවදාවත් සිතින් වයසට ගියෙ නෑ... කඳු නගින්න, කඹයක එල්ලිල කඳු බහින්න, ඔරු පදින්න වගේ කිසිම දේකට සිරිල්ගෙ වයස කවදාවත් හරස් උනේ නෑ.. තරුණ කොල්ලො හති දාගෙන කඳු නගිනකොට සිරිල් ගානක්වත් නැතුව ඒක කලේ කොල්ලන්ට පොඩි විහිලුවකුත් කරන ගමන්...  
සිරිල්ගෙ හිත හරිම හයියයි.... මම දැකල නෑ එහෙම කෙනෙක් කවදාවත්ම.. ඒ හිතේ තිබුන හයිය නිසාමයි සිරිල් එයාට තිබුන රෝගය යටපත් කරගෙන නැගිටල හිටියෙ.. ඒක සිරිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවා සනාථ කරා..
 මම සිරිල් එක්ක වැඩ කළ කාලෙ මට අද වගේ මතකයි... ඒ අවුරුදු 4 තුල මම සිරිල්ගෙන් ගොඩාක් දේ ඉගෙන ගත්ත.. මා "බැහැරගත ක්‍රියාකාරකම් පුහුණුකරුවකු" හැටියට පුහුණු කලේ සිරිල්.. ඒ කාලෙ මාව හැම වැඩසටහනකටම එක්කන් ගියා...කට පුරා "පුතේ" කියල කතා කලා..කොහෙ හරි ගියාම හරිම විනෝදෙන් හිටියෙ.. හැමදේම හොයල බලනව...
රජයේ, පුද්ගලික අංශයේ, ඕනෙම තැනක ඕනෙම වැඩක් කරගන්න සිරිල්ට පුදුම හැකියාවක් තිබුනෙ.. කවදාවත් කිසිම කෙනෙක් සිරිල්ට බෑ කියන්නෙ නෑ... කෙනෙක්ට කරදරයක්, අසනීපයක් උනාම සිරිල් ඕනෙම උදව්වක් කරන්න කවදාවත් පස්ස ගහල නෑ...  
තමන්ගෙ රාජකාරියට විතරක් සීමා වෙන්නෙ නැතුව, කරන්න පුලුවන් ඕනෙම දෙයක් කරන්න එයාට ආත්ම ශක්තිය තිබුන.. හිතේ විශ්වාසය තිබුන.. හැකියාව තිබුන...
 ඒ විදියට යෝධයෙක් වගේ හිටිය සිරිල්, දැනට අවුරුද්දයි, මාස 3කට කලින් කොළඹ පුද්ගලික රෝහලක රෝද පුටුවක යනව මම දැක්කෙ අහම්බෙන්... ඒ වෙලාවෙ එයාට කතා කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ... එයා කියන දේවල් අපිට තේරුම් ගන්න අමාරු උනා... ඒත් මාව දැක්කම මගෙ අතින් අල්ලගෙන මොනවද කියන්න හැදුව.. එයාගෙ ඇස් වලින් එක දිගට කඳුලු වැටුන.. ඒ පලවෙනි වතාවටයි මම දැක්කේ සිරිල් එහෙම අඬනව... එයාව ඒ වෙලේ පරීක්ෂණයකට අරන් යනව...ඒ ගිහින් එනකල් මම එලියට වෙලා බලාගෙන හිටිය.. මට ආපහු ගිහින් මගෙ වැඩක් කර ගන්න තරම් හිතේ හයියක් තිබුනෙ නෑ සිරිල්ගෙ ඇස් වල කඳුලු දැක්කම..
පරීක්ෂණය ඉවර වෙලා එද්දි එයා ගොඩක් මහන්සියෙන් හිටියෙ... ඒත් චන්ද්‍ර ඇන්ටිගෙන් (සිරිල්ගෙ දයාබර බිරිඳ) පොතකුයි , පෑනකුයි ඉල්ලන් මට කියන්න ඕනෙ දේවල් ඒකෙ ලීව... මම මගෙ ඇස් වල කඳුලු නවත්ත ගත්තෙ සිරිල්ට දුක පෙන්නන්න බැරි නිසයි.... අපේ ගෙදර හැම කෙනෙක්ම සනීපෙන්ද කියලයි ඇහුවෙ... අපේ ගෙදර හිටිය බල්ලට එයා හරි ආදරෙයි... ඒ ගැන අහන්නත් එයට ඒ වෙලාවෙත් මතකයක් තිබුන.... හැම දේම අහල "මට මහන්සියි.. මම ටිකක් නිදා ගන්නව පුතේ" කියල කීව..
ඒ ගමන මම එන්න ආව... චන්ද්‍ර ඇන්ටි මගටත් ඇවිත් කීව, මාවයි, තව කීප දෙනෙක්වයි නිතරම මතක් කරනාව කියල... මම එච්චර වෙලා හිර කරන් හිටිය කඳුලු වලට නිදහසේ ගලන්න දීල එදා එතනින් ආව... දවස් 3ක් මම හවසට ගියා සිරිල් බලන්න.... ඉන් පස්සෙ සිරිල් ගෙදර ගිහින් තිබුන...
ඊට මාස 2කට පස්සෙ අපි ගියා සිරිල් බලන්න සිරිල්ගෙ ගෙදර... මගෙ තව සිරිල් නොදන්න යාලුවෙකුත් ගියා... සිරිල් හරි සතුටෙන් එදා හිටිය.. පරණ කතා කිය කිය හිනා උනා... අපි එන්න එනකොටත් වාරු නැති නිසා හැරමිටියක් අරන් අපිව වාහනේට නග්ගන්නත් මගටම ආව...සිරිල් කීවෙ ඒ දවස් වල කල සිංහල වෙදකමටයි, බෝධිපූජා වලටයි සිරිල්ට ගොඩක් සුවයි කියල...
ඒ මම සිරිල්ව ජීවත්ව ඉද්දි දැකින අන්තිම දවස කියල මම කවදාවත් හිතුවෙ නෑ..

2010 අප්‍රේල් මාසෙ 28 උදේ ඒ අවසනාවන්ත පණිවිඩේ ලැබුන... 
උදේම වෙන්නප්පුවට ගිහින් සිරිල්ගෙ ගෙදර එයා වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කලා.. සිරිල්ගේ නිසල දේහය ගෙදරට ගේනකල් එහෙ හිටිය... 
ඇත්තටම ඒ සිරිල්ද කියල හිත හදාගන්න අමාරුයි... සිංහයෙක් වගේ හිටිය ඒ කෙනා නිසලව ඉන්න එක දරා ගන්න අමාරුයි...
පහුගිය සතියට සිරිල් අපෙන් වියෝ වෙලා වසරක් උනා... ඒත් අද ඊයෙ වගේ...
"අපේ කට්ටිය" (සිරිල්ට ආදරේ කල මිනිස්සු) දඹදෙණිය ඉලංගතිලක වැඩිහිටි නිවාසෙට දානයක් දීල සිරිල්ට මොක් සුව පැතුව...
අපි යනකොට ගෙනියන්නෙ "අපි කළ හොඳ සහ නරක" විතරයි... 
සිරිල් එකතු කලේ සල්ලි නෙවෙයි... "හොඳ"... "මිනිස්සු"....
ඒ අතින් සිරිල් කාටත් වඩා පෝසතෙක්...

ආදරණීය සිරිල්,
නුඹ අප අතර නැති අඩුව මකන්නට නුඹ හැර අන් කිසිවෙකුත් නැති වගනම් හොඳින් දනිමි...
 
ජීවිතය පුරාවට නුඹ එක් රැස් කල හොඳ, පින්,
වල මහිමයෙන්
නුඹට මොක් සුව ප්‍රාර්ථනා කරන්නෙමි.

No comments:

Post a Comment

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...