ඉන්න ඇත්තො

7 පිට පොත්ත බලල විතරක් තීරණ ගන්න එක හරිද..?

අද උදේ අහපු කතාවක් උණු උණුවේම ලියන්න හිතුව... ඒවෙලෙ ඒක කීවෙ වෙන අරමුණක් වෙනුවෙන් උනත්, මට ඒකෙ තවත් පැත්තක් තියෙනව කියල හිතුන.

කතාව කීවෙ ප්‍රවීන නළු ජයලත් මනෝරත්නයන්. ඡායාරූප ප්‍රදර්ශණයක සමාරම්භක උළෙලක් වෙනුවෙන් සහබාගී වෙමිනුයි එතුමා ඒ කතාව කලේ.

කතාව කෙටියෙන්ම මෙහෙමයි...

පන්තියෙ හිටිය පොඩි දරුවන්ට චිත්‍ර අඳින්න කියල කීවලු. තමන් කැමති දෙයක්, කැමති විදියට. ඉතින් ඒ ඇඳපු චිත්‍ර දිහා බලපු ගුරුතුමී ඒව විග්‍රහ කරන්න පටන් ගත්තලු. ඒ අතරෙ එක චිත්‍රයක් ළඟ නැවතුන ගුරුතුමීට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා.  ඒ චිත්‍රය ඇඳල තිබුනෙ සම්පූර්ණ රතු පාටින්. වෙන කිසිම පාටක් භාවිතා කරල තිබුනෙ නෑ.
ගුරුතුමී ඒ චිත්‍රෙ පෙන්නුව එක මනෝ වෛද්‍යවරයෙක්ට. වෛද්‍යවරය චිත්‍රෙ බලන ගමන් චිත්‍රෙත් එක්කම ඒක ඇඳපු කෙනාගෙ මනස විශ්ලේෂණය කරන්න පටන් ගත්ත.

"මේක ඇඳපු කෙනා ගොඩක් දරදඬු කෙනෙක් වෙන්න ඕනෙ. ලොකු මානසික පීඩණයකින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් එයාගෙ ගෙදර පරිසරය ගොඩක් ප්‍රශ්ණ වලින් පිරිල තියෙන්න ඕනෙ. කරදර පිරිච්ච පරිසරයක ජීවත් වෙන්න ඕන."

මනෝ වෛද්‍යවරයාගෙ නිගමනය උනේ ඒකයි.
ගුරුතුමී අන්තිමේ හිතුව දරුවගෙන් එයා ඇඳපු චිත්‍රෙ ගැන අහන්න.

"ඇයි පුතා ඔයා මේක අඳින්න රතු පාටම තෝර ගත්තෙ? මොකද්ද ඔයා ඒකෙන් අදහස් කලේ..?"

"මට එහා පැත්තෙ හිටිය කෙනා මට රතු පාට ඇරෙන්න වෙන පාටක් දුන්නෙ නෑ. ඉතින් මට රතු පාට ඇරෙන්න චිත්‍රෙ අඳින්න වෙන පාටක් තිබුනෙ නෑ."
පොඩි එකාගෙ අවංක උත්තරේ වුනේ ඒකයි.

"ඇයි පුතේ ඔයාට පාට පෙට්ටියක් නැද්ද..?"

"නෑ"

දෙබස එතැනින් හමාර උනේ ගුරුතුමීට ඊට වඩා අහන්න දෙයක් නැති වෙච්ච නිසයි...

අපි, ජීවිතේ කොච්චරනම් නිගමන වලට එනවද පිට පොත්ත දිහා විතරක් බලල. පොත්ත සුදු නම් මරු. ඒක තමා සුපිරි... ලොකුවට හැදිච්ච ගෙඩියක්නම් ඒක රට. ඕක තමා ඇත්තටම අපේ තත්ත්වෙ...
ඉතින් ඒක හරියටම හරිද..? පිටින් පේන ලස්සන ඇත්තටම ඇතුලතත් තීයෙනවමද..? එහෙම නැත්නම් පිටින් දකින ලස්සන මායාවක්ද..? කාල බැලුවත් අපිට ඒ ඇතුලත ලස්සන අඳුන ගන්න වෙන්නෙ නැද්ද...?
පිට පොත්ත බලල විතරක් තීරණ ගන්න එක හරිද..? හිතලම බලන්න.. 

white skin-u girl-u girl-u
girl-u heart-u black-u
 
why this kolaveri kolaveri kolaveri di
 

5 මං ආසා ගී - ආයෙමත් ආදරෙන්

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් 
ආවාට නොකියාම ජීවිතෙන් 
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා 
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා...

නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන් 
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...
 
මිරිඟුවක හිස තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා...


පෙනෙන නොපෙනෙන..

ආත්මා ලියනගේ ගයන මේ ගීයත් මට ආස හිතුන එකක්... ගීතෙ අලුත් වෙන්න ඕනෙ. ඇත්තටම කියන්නෙ කවුද කියලවත් දැනන් හිටියෙ නෑ. මේක ලියන්න ඕනෙ කියල හිතුනට පස්සෙ තමා ටිකක් හෙව්වෙ. අකුරු කරල තියෙන්නෙ රචිත වාකිශ්ට කියල කෙනෙක්. තිලින රුහුනගේ සංගීතය.
ඔයාලත් අහල බලන්න ආස හිතෙනවද කියල. දැන් කාලෙ තියෙන තේරුමක් නැති ගීත වලට වඩා තේරුමක් ඇති ගීයක්..

ගීතයට...

3 බොන්න....ඒත්... ටිකක් හිතල...

රෝහල ඇඳ උඩට වෙලා තනියම ඉන්නකොට කොච්චරනම් දේවල් හිතන්න පුලුවන්ද...? හෙද ඇන්ටිලගෙ කරච්චලේ නැත්නම් කොච්චර දේවල් ලියන්න පුලුවන්ද..?
හරි, ඒ ඔක්කොම තියෙද්දි ආයෙමත් ආව ඊයක් ගැන ලියන්න හිතුන. සමහරවිට මේක ඔයාල අහල ඇති. බොරුවට ගොතල කියන කතාවක් කියල හිතන්නත් පුලුවන්. ඒත්..... මෙහෙම කතා ඇත්තටම නොවෙනව කියල කියන්නත් බෑ කාටවත්..
මම මේක ලියල කාටවත් තමන් කරන දෙයක් නවත්තන්න කියන්නෑ ... මම ඉල්ලන එකම දේ හිතල බලන්න කියන එක විතරයි..
මම කතාව කියපු විදියටම ලියන්නම්...  


අරමුණක් නැතුව සාප්පු සංකීර්ණයෙ ඇවිදගෙන යන අතරෙ, එක සාප්පුවක මුදල් අයකැමි ගාව ඉන්න අවුරුදු 5-6 ක විතර පොඩි පිරිමි ළමයෙක්ට මුදල් අයකෑමි මෙහෙම කියනව ඇහුන.

"සමාවෙන්න බබෝ, ඔයා ළඟ තියෙන සල්ලි මදි මේ බෝනික්ක ගන්න." (අනිවර්යෙන්ම මේ අපේ රටේනම් වෙන්න බෑ.)

ඒ එක්කම මගෙ පැත්තට හැරුන පොඩි දරුව,
"අංකල්, බලන්න මේ සල්ලි මදිලු මට අර බෝනික්ක ගන්න." සල්ලි ඔක්කොම මගෙ අතේ තියන ගමන් පොඩි එකා කීව.

"ඔව්නෙ බබෝ, ඒ අංකල් කියන්නෙ ඇත්ත. ඔයා ගාව තියෙන සල්ලි මදි ඒ බෝනික්ක ගන්න.."
පොඩි එකාගෙ මූණ මැලවිලා ගියා. මම ඇහුව, මේ බෝනික්ක අරන් දෙන්න බලාපොරොත්තු වෙන්නෙ කාටද කියල.

"මගෙ නංගි මේ බෝනික්කට හරි ආසයි. මේක අරන් දෙන්න කියල හැමදාම අම්මට කරදර කර. මට ඕනෙ මගෙ නංගිගෙ උපන්දිනේට මේ බෝනික්ක අරන් දෙන්න."
"බෝනික්කව අම්මට අරන් දෙන්න ඕනෙ. එතකොට අම්ම එහාට ගියාම නංගිට දෙන්න පුලුවන්"  එහෙම කියද්දි පොඩි එකාගෙ මූණ මැලවුනා.
"මගෙ නංගි දිව්‍යලෝකෙ ගිහින් ඉන්නෙ.. තාත්ත කීව අම්මත් එහෙ යන්න ඉන්නෙ කියල. මම බෝනික්ක අරන් අම්මට අරන් දුන්නම අම්ම ඒක නංගිට ගිහින් දේවි."

මගෙ හිත මොහොතකට නැවතුනා වගේ දැනුන. (කතාව කියන කෙනාට එහෙම හිතුනට මටනම් ඇස් වලට අඳුලු ආව.)

"මම තාත්තට කීව අම්මට දැන්ම දිව්‍යලෝකෙ යන්න එපා කියන්න කියල.. මම බෝනික්ක අරන් එනකල් අම්ම බලාගෙන ඉඳීවි"

මෙහෙම කියල පොඩි එකා සාක්කුවෙන් පින්තූරයක් එලියට අරන් මට පෙන්නුව. ඒ එයාගෙම පින්තූරයක්.
"මම මේකත් අම්මට දෙනව නංගිට ගිහින් දෙන්න කියල. එතකොට නංගිට මාව කවදාවත්ම අමතක වෙන එකක් නෑ.මම අම්මට ගොඩක් ආදරෙයි. මම කැමති නෑ අම්ම මාව දාල කොහෙවත් යනවට. ඒත් තාත්ත කියනව අම්ම ඉක්මනටම නංගි ගාවට යන්න ඕනෙ කියල." එහෙම කියල අයෙමත් බෝනික්ක දිහා හරිම දුකෙන් බලාගෙන හිටිය.

හනිකට මගෙ පසුම්බියෙන් බෝනික්ක මිලදී ගන්න ඕනෙ කරන මුදල් එලියට ගත්ත මම,
"අපි ආයෙ ගැනල බලමු බබෝ සල්ලි හරියට තියෙනවද කියල. සමහරවිට මට වරදින්න ඇති"
"හා අංකල්, මම හිතන්නෙ මගෙ ගාව තියෙන සල්ලි ඇති" එහෙම කීව පුංචි දරුව සියලුම මුදල් මා අත තැබූ අතර, ඔහුට නොදැනෙන්න මගේ මුදල්ද එකතු කොට ගණන් කල මා බෝනික්කා මිලදී ගැනීමට අමතරවත් මුදල් එහි ඇති බව කීමෙන් සතුටට පත් පුංචි දරුවා,
"මට එහෙනම් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවන්. අම්ම හරි ආසයි සුදු රෝස මල් වලට" බෝනික්කා මිලදී ගත් පුංචි දරුවා, අසල වූ මල් කඩයක් වෙත ගියා.

ඒ සිද්දියෙන් පසු, මට ඒ කුඩා දරුවාගේ මතකයෙන් මිදෙන්න බෑරි උනා. නිවසට පැමිනි මා, ඊට දින දෙකට පෙර සිදු වූ රිය අනතුරක් ගැන පුවතක් දුටුවා. බීමතින් රිය පැදවූ ට්‍රක් රථ රියදුරෙක් නිසා තරුණ මවක් සහ ඇගේ දියණිය අනතුරට පත් වූ අතර දියණිය අනතුර ශිදු වූ ස්ථනයේදීම මිය ගිය අතර මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත අර තිබුනා. මව දැන් යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වන බව ඒ පුවතේ සඳහන්.

ඔවුන් අර කුඩා පිරිමි දරුවාගේ මව සහ සොහොයුරිය වීමට බොහෝ ඉඩ ඇති බව මට සිතුනා.
ඊට දින දෙකකට පසුව කුඩා පිරිමි දරුවා පිළිබඳ ශෝචනිය පුවත් පුවත් පතක පලවුනා. මව මියගිය බවත් සඳහන්ව තිබුනා.

අවමගුලට සහභාගී නොවී සිටීමට මට නොහැකි උනා. සුදු රෝස මල් කළඹක් රැගෙන එහි ගිය මට දකින්නට ලැබුනේ සුදු රෝස මලක් පපුව මත තබා මිනිපෙට්ටියක තැන්පත් කර තිබූ කුඩා පිරිමි දරුවාගේ මවගේ දේහයයි. පසෙකින් එදා මිලදී ගත් බෝනික්කාද, ඔහුගේ ඡායාරූපයද විය.

-------------------------------------- X --------------------------------------

මේ කතාව කියවීමෙන් පසු, නොයෙක් දේ හිතෙන්න පුලුවන්. මා කිසි දිනෙක මෙය කියවන ඔබෙන් බොන්න එපා යැයි නොඉල්ලමි. ඒ මට ඊට අයිතියක් නැති නිසාවෙනි. ඒත් ඔබට ඊට වඩා දෙයක් කල හැකි බව මා තදින්ම විස්වාස කරමි.

ඒ කුඩා දරුවා, තමන්ගේ මවට, කුඩා සොහොයුරියට ඇති ආදරය අප්‍රමාණ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. 
ඒත්..... කාලකණ්නි බීමත් රියදුරෙක් ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන හමාරය. ඒ වෙනුවෙන් ඒ කාලකණ්නියාට ගත වන්නට ඇත්තේ තත්පර කීපයක් පමණි.

5 ඇඟෙන් ඇටයක් යයිද එහෙම කලොත්....?

මේක පොඩි සිද්ධියක්..
සිද්ධිය පොඩි උනාට වැඩේ ලොකුයි. වරද නම් පොඩි නෑ.
ඇඩ් නැතුව කතාව මෙහෙමයි.

දිනය : හරියටම මතක නෑ. මේ සතියෙ කියමුකො.
ස්ථානය : මහව දුම්රිය(සවස 6.10 කොටුවෙන් මහව බලා ධාවනය වන)

 මහවෙ (යන අය කියන්න එහෙමනෙ. සමහරු 6.10 කියලත් කියනව) හැමදාම යන අය දන්නව ඒකෙ යන සෙනඟ කොච්චරද කියල..යන්නෙ හිටගෙන ගොඩක් අය.. අයිතිකාරයොනම් ඉතින් මාරුවට ඉඳගෙන යනව. අමුත්තන්ට ඉඳගන්න හම්බෙන්නෙ කලාතුරකින් තමා.
ඒකෙ යන කඩල විකුණන, වඩේ විකුණන, හකුරු විකුණන ස්ථිර අය ඉන්නව.. එයාල ඉතින් කිසි කරදරයක් නැතුව වෙළදාම කරගෙන යනව.
මම කියන දවසෙත් පුරුදු විදියටම මම දෙමටගොඩින් නැග්ග කුරුණෑගල යන්න. වාඩිවෙනව බොරු ඉතින්. බෑග් ටික උඩින් දාල, මමත් හිටගෙන හිටිය. මගෙ වටේම් හිටියෙ ඉතින් අයිති කාරයො තමයි (කෝච්චියෙ). එයාල ඉතින් තොර තෝංචියක් නැතුව කතාව. කෝච්චියෙ සද්දෙට උඩින් කතා කරන්නත් එපායැ. ඒ නිසා කියන දේවල් පැහැදිළිව ඇහෙනව. 
අපරාදෙ කියන්න බෑ හරිම සභ්‍යය විදියෙ කතා තමා කියන්නෙ. (සමහරු ඉන්නවනෙ ඉතින් ඔය ගෑණු ළමයිට සභ්‍ය කතා කියන්න ආස අය. එහෙම අය හරියට ඉන්නව කොච්චියෙ)
කොහොම හරි ඔය යන අතරෙ ආව ඇපල් වෙළෙන්දෙක්. ඇපල් කපල, ලුණු, මිරිස් කුඩු දාල දෙනව කොලේක ඔතල. (මතක් වෙද්දිත් කටට කෙල උනනව.) රුපියල් 20. හැමෝම ගන්නව. හරිම රසයි. මමනම් ඉතින් සතියට 6.10 යෙ යන්නෙ එක දවාසනෙ. ඒත් ඉතින් ඇපල අයිය හිටියොත් කනව. හැමදාම යන අය හැමදාම කනව ඇති.
ඔන්න ඉතින් මම හිටිය පෙට්ටියෙ හිටිය අයිතිකාරයො හැමෝම ඇපල් කනව.සමහරු බෙදාගෙන කනව. සමහරු තනියම එක ගානෙ කනව. මමත් මොකො. ගත්ත ඇපලයක්. මට එහා පැත්තෙ හිටිය එක "අයිය" කෙනෙක්. එයත් පෙනුමෙන් හා ක්‍රියාවෙන් කොච්චි කතා නායකයෙක් වගේ. එයත් කනව ඇපලයක්. කනව කීවට මම දකිනකොට අන්තිම කෑල්ල කටේ දාගෙන ඔතල දුන්න කොලේ ගුලි කරනව.
මම හිතුව ඉතින් සාක්කුවෙ හරි, මල්ලෙ හරි දාගෙන පස්සෙ විසි කරන්න වෙන්න ඇති ගුලි කරේ කියල. (මට එහෙම ලෙඩක් තියෙනවනෙ). අනේ අපරාදෙ කියන්න බෑ. ගුලි කරල අගේට වටපිට බලල දැම්මෙ නැතෑ කොලේ එයාගෙ පිටිපස්සට. (එතනම බිම, එයාට නොපෙනෙන්න)..  වටපිට බැලුවෙ හරියට හොරකමක් කරන්න වගේ. `ඒ කියන්නෙ එයාම දන්නව එයා කලේ ලොකු වැරැද්දක් කියල.
හැබැයි මිනිහ දැක්ක මිනිහ ඒ කළ වැඩේ වෙන කවුරු දැක්කෙ නැත්ත, මම දැක්ක වග. ටිකක් විතර ලැජ්ජ හිතෙන්න ඇති. ( මම එහෙම කීවෙ, මිනිහ හෙමින්ම මිනිහගෙම සපත්තුවට ඒ කොල ගුලිය පාග ගත්ත නිසා.)
දැන් ඉතින් යනව. මමත් යනව. මම මිනිහගෙ මූණ බලනව. බිම තියෙන කොල ගුලිය දිහා බලනව. ආයෙ මූණ බලනව. අන්තිමේ කොහොම හරි අඹේපුස්සෙන් මිනිහ බහින්න ලෑස්ති.
මගෙ කට නලියනව ඉන්නම බෑ. මිනිහ කොලේ අමතක කරල යන්න යන්නෙ.

"ඔබතුමා බහින ගමන් ඔබතුමාම බිම දාපු කොලෙත් අරන් ගියානම් නේද හොඳ...?" මම ඇහුව.

මොකද්ද කියනව වගේ මිනිහ ඔලුව වැනුව.

"ඔබතුමා බිම දාපු කොලේ, ඒකත් අරන් බැස්සනම් කොච්චර හොඳද..?" මම ආයෙත් කීව.

"ඔයා ඒක දැක්ක නේද.? ඔයාට ඒක හරි ප්‍රශ්ණයක් නේද..?" මිනිහ මගෙන් අහනව.

"හැමදාම යන කෝච්චියනෙ. කැතයි නේද එහෙම දාපුවම. අපිමනෙ යන්නෙ හැමදාම" මමත් කීව. මොකද මාව මරන්නයැ. (වටපිට බැලුවම එක තැනකවත් කොලයක් බිම දාල නෑ. ඒ කොල ගුලිය විතරයි තියෙන්නෙ)
 
අනේ අපරාදෙ කියන්න බෑ සපත්තුවෙන් පාගගෙන ඒ කොල ගුලිය අරන් ගියා දොර ගාවටම. හැබැයි මිනිහ පරදින්නත් කැමති නෑ. ඒ යන ගමන් සමච්චල් හිනාවකුත් එක්ක මට කියනව;

"ඔයිට වැඩිය ලොකු වැරදි කරන මිනිස්සු ඉන්නව ඕනෙ තරම්." 

"එකනෙ.. ඒත් ඉතින් අනිත් අය කෙසේ වෙතත්, අපි හරි දේ කලාම හරි නේද..?" මමත් ඇහුව.

මිනිහ බැස්ස. මම ආව ඉතින්. ඔන්න අපේ රටේ අපි. ගෙදර සාලෙ මැද්දෙනම් එහෙම කාපු දේ ඔතපු කොලේ ගුලි කරලා දායිද..? (එහෙනම් හාමිනේගෙන් හොඳ කොසු පාරක් කාල) ගෙදර වාහනේ කාපට් ගසල, සුද්ද කරල තියාගෙන ඉන්නව. පොඩි එකෙක් කඩල ඇටයක් හරි බිම දැම්මොත් ඌ හමාරයි.

එහෙව් එකේ යකෝ මුන්ට හෙන ගහනවද ඉතින් තමන් උදේ හවස යන එන කෝච්චිය ටිකක් පිරිසිදුව තියා ගත්තම.

2 අන්ත්‍රාවයි - දිය රෙද්දෙන් බෙල්ල කපනු ලැබේ..

කුරිරු ගොර සපුන්ගේ දළගෙහි  විසය
මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි  විසය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි     විසය
නපුරු දුදනන්ගේ සියොළඟහිම විසය


සුභාෂිතයෙහි එන මේ කවි පෙල කාටත් හුරු එකක් කියල මම දන්නව.. ඒ නිසා ඒකෙ තේරුම කියන්න ඕනෙ නෑනෙ අමුතුවෙන්.
දැන් ඔයාල බලයි "අන්ත්‍රාවයි - දිය රෙද්දෙන් බෙල්ල කපනු ලැබේ.." කියල හෙඩිමක් දාගෙන මොකද මේ සුභාෂිතේ කවි කියන්නෙ කියල. අවුලක් කර ගන්න එපා. කවියෙ කියන්නෙත් මුල් පේළි තුනේම ඉන්න සත්තුන්ගෙ විෂට වඩා හතරවෙනි පේළියෙ ඉන්න සතා දරුණුයි කියලනෙ... ඉතින් මම කියන්න හදන්නෙත් අන්න ඒ සතාගෙන් පරිස්සම් වෙන්න කියල..
මොකද අපිට හරි අමාරුයි ඒ සතා අඳුන ගන්න.. (මම කලිනුත් මේ වගේ දෙයක් ලියල ඇති. ඒත් පහුගිය දවස් වල වෙච්ච සමහර දේවල් නිසා මට ආයෙම හිතුන ඒ ගැන ලියන්න.
වචනෙ "නපුරු දුර්ජනයා" කියල කීවට, අපිට ඒ අයව එක පාරම නපුරුයි කියල අඳුන ගන්න අමාරුයි.. හේතුව ඒ අය ඉන්නෙ ගොඩක් මිතුරු වේශයෙන් නිසා. ඉතින් ගොඩක්ම වෙලාවට අපේ බෙල්ල කැපෙනකල්ම අපිට හිතා ගන්න බෑ මොකද උනේ කියල. අන්තිමේ බලපුවාමයි තේරෙන්නේ වෙලා තියෙන්නෙ අඟේ ඉදන් කණ කාල කියල. එතකොට ඉතුන් ගොඩක් වෙලාවට අපි පරක්කුයි. මොකද ඒ වෙනකොට කෝච්චිය ගිහින් හමාරයි. අපිට වෙන්න අස්සයා පැනල ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න තමා. එතකොට ඉතින් වල් අස්සයො ඇවිත් ඉස්තාලෙ ලගින එක විතරයි නවතින්නෙ. වටින අස්සය පැනල ගිහින් ඉවරයි.
මොකද ගොඩක් වෙලාවට අපේ බෙල්ල කපන්නෙ අපි ළඟම ඉන්න අය. එක්කො ඒ අය බෙල්ල කපන්න ඕනෙ නිසාම කරට අත දානව.. අපේ අවාසනාව ඉතින් කරට අත දානකොටම හතුරු-මිතුරු අඳුන ගන්න බැරි එක.  
සමහර වෙලාවටනම් ඉතින් කරන්නම දෙයක් නැති වෙනව. මොකක් හරි උදව්වක් ඉල්ලන්න ගියාමත් මිතුරු වෙස් පෙන්නල, යන්න ඇරල බෙල්ල කපන වෙලාවල් තියෙනව. ඒකනම් ඉතින් ගොඩක් භයානකයි (මමනම් ඒකට කියන්නෙ බලුකම කියල. කොන්දක් නැති කම කියල. මොකද කෙනෙක්ගෙ මූණටම පහර දෙන එක තමා සිංහල කම.කොන්දක් තියෙන මනුස්සයෙක්ගෙ ගතිය. යන්න ඇරල, එහෙම නැත්නම් පිටි පස්සෙන් පහර දෙනව කියන්නෙ නිවට කම. බලුකම. කෙලින් පහර දෙන්න තරම් ආත්ම ශක්තියක් නැති කම. බියගුලු කම). මොකද ඉතින් ඒක අපිට හිතා ගන්නම බෑ. මොකක් හරි වාසනාවකට අපි දැන ගත්තොත් ඇරෙන්න අපේ බෙල්ල කපල අතට දෙනකල් අපි දන්නෙ නෑ. (මම හිතනව ඔය හැම කෙනෙක්ටම පොඩි හරි අත් දැකීමක් ඇති කියල මම කියන දේ ගැන)
ඉතින්, කොහොමින් හරි උත්සාහ කරමු ඔය සුභාෂිතේ කියන නපුරු දුර්ජනයාගෙන් පරිස්සම් වෙන්න. ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න. මොකද උන්ගෙ ඇඟ පුරාම විෂ නිසා ගෑවෙන එකත් අනතුරුදායක විය හැකියි.
 ඉතින් ප්‍රවේසම් වෙන්න. අන්ත්‍රාවයි - දිය රෙද්දෙන් 
බෙල්ල කපනු ලැබේ..




2 රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය 2 - අසිත්ට උත්තර

"රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය" ලියනකොට ඇත්තටම මම හිතුවෙ නෑ මගේ යටි හිතේ තිබුණ දේවල් සාර්ථක වෙයි කියල. ( යටි හිතේ වැරදි දෙයක් තිබුනෙ නෑ. මගෙ පුංචි කාලෙ යාලුවො ආයෙම හම්බෙන්න අවස්ථාවක් ලැබෙයිද කියන දෙගිඩියාව හිතේ තිබුන.) 
කොහොමින් හරි මාස ගානක් හිතේ තිබුණ අදහස නිසයි ඒ ලිපිය ලීවෙ. ඊට කලින් මම හිතුව පත්ත‍රේ ඇඩ් එකක් දානව කියල ඒ අවුරුද්දෙ පොළොන්නරුවෙ රජකීය කණිෂ්ඨෙන් ශිෂ්‍යත්වෙ කළ යාලුවො ඉන්නවනම් ලියන්න කියල. ඒ තරමට මට ආසාවක් තිබුණ පරණ යාලුවො ආපහු හම්බෙන්න...
ඉතින් එහෙමයි ඒක ලීවෙ.
ඇත්තම කියනවනම් මගෙ ඇස් වලට කඳුලු ආව අසිත්ගෙ කමෙන්ට් එක දැක්කම.  අසිත්ට තාම මතකයි අපේ ඒ පරණ දේවල්.. අපේ ගෙදර වතුර බොන්න ආව ඒව, මුද්දර උල්පතෙන් (අපි එතන්ට කීවෙ මුද්දර උල්පත කියල) මුද්දර එකතු කරපුව. ඉස්කෝලෙ කැලේ රොබින්හුඩ් සෙල්ලම් කරපුව. (රොබින්හුඩ් කරන්න ගිහින් ගල් වලේ වැටිල මගෙ ඇහැක් රතු වෙලා හිටිය ගොඩක් කල්. බෙහෙතුත් ගත්ත.)
ඇත්තටම ඒ කාලෙ කල දේවල් මතක් කරන්න, කතා කරන්න දවසක් මදි.. අසිත්ට මතකද අපේ ඉස්කෝලෙ ගාව හදපු කුකුල් ෆාම් එක (සාරදාලගෙ ගෙදරට හැරෙන තැන ඒක තිබුණෙ.). ඒක හදන කාලෙ අපි ඒක බලන්න ගියා. ඒකෙ අයිය අපිට කුකුල්ලු මරණ හැටි කීව..
මට අද වගේ මතකයි අපි ගෙදර යන පාර. පාරවල් 2-3ක්ම තිබුණ. ඇලකින් බැහැල යන්න තිබුණෙ..
මට හරි ආසයි ආයෙම ඒ පාරවල් වල යන්න.. ඒත් දැන්නම් ඒව වෙනස් වෙලා ඇති.
ඒ කොයි හැටි වෙතත්, අසිත් කීව වගේ ආසාවක් මටත් තියෙනව.. අපි පොඩි කාලෙ ඉගෙන ගත්ත ඉස්කෝලෙට මොකක් හරි දෙයක් කරන්න.. කෝටිපතියො නොවුනට, පුලුවන් විදියට දෙයක් කරන්න..
මම පෝස්ට් එක ලියපු එකෙන් ලොකු හොඳක් උනා.. පුංචි කාලෙ යාලුවො ආයෙම එකතු කරගන්න පුලුවන් වෙයි කියල බලපොරොත්තුවක් ඇති උනා.
නයන කතා කලා... මට බැන්න අපි ෆොටෝ ගත්තෙ එයා නැති දවසෙමයි කියල.. අනේ ඕන් අපි නෑ.. ඒව කලේ රත්නායක සර්.. කොහොම උනත් කෙනෙත්ට ආයෙ කතා කරන්න පුලුවන් උනාට නයනට පින්.

අපිට බැරි වෙන එකක් නෑ කට්ටිය එකතු කර ගන්න.. දොස්තර හොඳ හිත මාමගෙ "ලා තණකොල පෙත්තාස්" ගෲප් එකේ සින්දුවකුත් තියෙන්නෙ.. ඉතින් අපි පොඩි උත්සාහයක් දරල බලමු. මම හිතන්නෙ වරදින එකක් නෑ. ලංකාව කියන්නෙ පුංචි රටක්නෙ.
අර සුද්දත් කියල තියෙනවනෙ ට්‍රයි කරන්න කියල.. ඉගිලෙන්න ඕනෙ නෑ.. පුංචි කාලෙ යාලුවො ටික සෙට් වෙන්න බලමු.

1 මං ආසා ගී - පැහැසර ඔබෙ ආදරේ

මන්දාරම් වැහිපොද හිරිකඩ 
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආ ගිය මග වගතොට 
මතක අගුළු හැර දාලා
වාවන්නට බැරි තැන දුක්කඳ 
දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙ ගලා ගිය උණු කඳුලැලි 
වියළි දෙතොල් මත වැටුනා...
 
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...

මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු 
සැමගෙන් සඟවා ඉන්න...
ඔබ නොමැතිව සිනහ නගනයුරු 
මට කියා දී යන්න...
උමතුව හද විලාප දෙන 
හඬ අහගෙන ඉන්න...
බිඳකට ඇවිදින් මගෙ ළය 
මත ඔය සවන තියන්න...

පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ...

Centigradz කණ්ඩායම ගයන මේ ගීය "ආසයි මම පියාඹන්න" විත්‍රපටයටම කළ එකක්ද, එහෙම නැත්නම් පස්සෙ ඒකට ගත්තද කියන්න දන්නෙ නෑ. කොහොම උනත් ලස්සනයි. මම ඒ ගෲප් එකට ආස උනෙත් මේ ගීය නිසා. ලියල තියෙන්නෙ කව්ද කියලනම් දන්නෙ නෑ.  අහලම බලන්නකො.. කැමතිනම් මොනව හරි ලියල යන්න..

අහල බලන්නකො