මං ආසා ගී - සුළඟේ ලෙළෙනා

සුළඟේ ලෙළෙනා මල් සේ දඟ පා 
අප පාසැල් ගිය කාලයේ
යාලුවො අද නැත 
වෙන අය එහි ඇත 
කාලය මැව් වෙනසක අරුමේ...

ලොකු පන්තියෙ අය 
පොඩි පන්තියෙ අය
හැම දෙන ඒ පන්තියෙ විලසේ
අප පොත් වල සිටි රජ වරු සිටු වරු 
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ... 


සාමල අමරල පොත් තුළ තව ඇත
එන එන අය හා යාලු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...

සුළඟේ ලෙළෙනා මල් සේ දඟ පා.....


ශාලිත අබේවික්‍රම ගායනා කරන මේ ගීතයට මම ගොඩක්ම ආසයි.. ඒත් මට මේක ලියන්න හිතුනෙ අද... අවුරුදු නිවාඩුවට ගමේ ගියාම (මගෙ උපන් ගම පොළොන්නරුව) මගෙ අක්කගෙ වැඩකට මගෙ පරණම පුංචි ඉස්කෝලෙට යන්න වුනා. ඇත්තටම මමත් හරි ආසාවෙන් හිටියෙ එහෙ යන්න... (පුංචි ඉස්කෝලෙ කීවට ඒක පුංචි නෑ. මම බුකියට එදා ගත්ත පින්තූර ටිකක් දැම්ම... කැමති කෙනෙක්ට බලාගන්න පුලුවන් මගෙ පුංචි ඉස්කෝලෙ.)
මගේ පුංචි ඉසෝලෙ නම සේවාමුක්ත කඳවුර මහා විදුහල.
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා.. ඒත් පරණ දේවල් ගොඩක් තාමත් එහෙමම තියෙනව. පරණ බුදු මැදුර (දැන් අලුතෙන් එකක් හදල), මසං ගහ, තල් ගස්, පරණ ප්‍රධාන ශාලාව (ඒ විදියටම තියෙනව), අපේ පුංචි පන්තිය.
මේ පින්තූරෙ තියෙන්නෙ අපේ පුංචි පන්ති පේළිය. ඒක දැන් ලස්සනට පාට කරල. හැබැයි දැන් එතන තියෙන්නෙ 2 වසර පන්ති. අපි ගියෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙ නිසා ඉස්කෝලෙ පාලුයි. ගොඩනැගිලි ගොඩක් හදල නිසා නිකන් හිර වෙලා වගේ.. ඉස්සර තිබුණ නිදහස නෑ වගේ දැනුන.
පුංචි පන්තිය ගාවට ගියාම, ඉස්සර දුන්න බිස්කට් වල සුවඳ තාම දැනෙනව වගේ...
ඒ අවුරුදු කීයකට කලින්ද...?
ඒත් ඒ ගොඩක් දේවල් අද වගේ තාමත් මතකයයි... අංජුන, සුජීව, දිළිණි, අරවින්ද, උත්පලා, බෙනඩිත්ත ඒ එකට හිටිය යාලුවො.. 1984/85 අවුරුද්ද....
මේ සිංදුව ඈහෙනකොට ඒ දේවල් ආයෙ ආයෙ මතක් වෙනව.
දැන් ඒ යාලුවො කොහෙ ඉන්නව ඇද්ද...? මොනව කරනව ඇද්ද..? අද දැක්කොත් අඳුන ගන්න පුලුවන් වෙයිද..? ඇත්තටම ඒ අය දකින්න පුලුවන්නම්....
මේක කියවන ඔයාල කවුරු හරි දන්නවනම් එහෙම කෙනෙක්, මේ විස්තරේ කියන්න...

මේ ගීතයෙ පදවැල් නම් කාගෙද කියල මම දන්නෙ නෑ. සංගීතයත් එහෙමමයි... ඇත්තටම අතීතයට ආදරේ කරන, පාසැල් කාලයට, පාසැල් මිතුරන්ට ආදරේ කරන ඕනෙම කෙනෙක්ට මේ ගීතය හිතට දැනෙයි... ගීතය අහන්න මෙතනින්

මං ආසා ගී - රජෙකු උනත් ගිලන් වෙලා

ගොඩක් දවසකින් මං ආසා ගීයක් ලියන්න බැරි උනා... එහෙම හිතද්දි අද උදේ ලියපු පෝස්ට් එකත් එක්කම මතකෙට ආව ගීයක්. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීයෙ සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්. පද ගැළපීමනම් කාගෙද කියල දන්නෙ නෑ.
අහල බලන්න පහළින් තියෙන ලිපිනයෙන්.. (මේක අහපු නැති කෙනෙක්නම් නෑ...) මට මතක එක අවුරුද්දක පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ වෛද්‍ය ප්‍රදර්ශනේ තේමා ගීතය උනෙත් මේකයි... ඇත්තටම කාලෙට ගැළපෙන ගීයක් කියල මට හිතෙනව.

රජෙකු උනත්  ගිලන් වෙලා 
එක් තැන් උන දා...
කියනවාට සැකයක් නෑ 
සැකයක් නෑ 
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා ...

ඉසුරු සමඟ හාද වෙලා 
නොසතුට ආ දා ...
දැනෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා...

බැරි උන දා නෑදෑයන් 
අත හැරගිය දා... 
හිතෙනවාට සැකයක් නෑ 
සැකයක් නෑ
විශ්වාසය හැර  නෑයෙක් ලොවේ කොයින්දා...
 ~~~~~~~~~~~~~~~~~~~~~~
ගීයට පාර... 

අනේක වාරයක් පින්...

මම අදට හරියටම සතියකට කලින් පෝස්ට් එකක් ලීව "කවදාවත් මිල කරන්න බැරි උදව්වක්" නමින්. ඒක අමතක වෙන්න හේතුවක් නෑ. මොකද ඒ පෝස්ට් එකට පස්සෙ වෙන පෝස්ට් එකක් ලීවෙ නැති නිසා.
(ඒ පෝස් ට් එක ලියල පැය කීපයක් ඇතුලත වැඩිම පිරිසක් කියවූ පෝස්ට් එක බවට පත් උනා...)
එදා මම ඒ පෝස්ට් එක ලීවෙ ඔයාල දන්නෙවත් නැති කෙනෙක් වෙනුවෙන් ආශිර්වාදයක් ඉල්ලන්න. ඇත්තටම මට හිතෙනව ඔයාලගෙ ඒ ආශිර්වාදය ඒ විදියටම අපේ යාලුවට ලැබුණ කියල. මොකද මම එදත් කීව..., 
"බෞද්ධයෙක් හැටියටත්, මම විස්වාස කරන විදියටත් මිනිස්සු කෙනෙක් වෙනුවෙන් අවංක හිතින් කරන ආශිර්වාද ගොඩාක් දුක් කරදර, පීඩා වලින් නිදහස් වෙන්න උදව් වෙනව." කියල.
අපේ යාලුවගෙ සැත්කම සාර්ථකව නිම උනා. එදා රෑ 9.30 වෙනකොට ඒක ඉවර උනා. වෛද්‍ය මතයට අනුව ඉතාමත් සාර්ථක සැත්කමක්.
අපේ යාලුව වෙනුවෙන් කළ කී හැමදෙයක්ම අපි හිතුවටත් වඩා ඉහළින් සාර්ථක උනා.
ඉතින්.....
ඒ හැමදේකටම ඔයාල හිතින් කළ ප්‍රාර්ථනාව අනිවර්යෙන්ම හේතු වෙන්න ඇති...
මම ඒ වෙනුවෙන් ඔයාල හැමෝටම "ස්තුතියි" කියල කියන්නෙ නෑ.
ජීවිතේ කවදාවත් දැකලවත් නැති, අහලවත් නැති (මගේ මිත්‍රය වෙනුවෙන්, මම ඔහුගෙ නමවත් හෙළිකලේ නෑනෙ) කෙනෙක් වෙනුවෙන් ආශිර්වාද කරන්න, ප්‍රාර්ථනාවක් කරන්න තරම් කාරුණික වෙච්ච ඔය හැමෝටම අනේක වාරයක් පින්. 

කවදාවත් මිල කරන්න බැරි උදව්වක්....

මගෙ බ්ලොග් එක කියවන ඔයාල කලින් කියවන්න ඇති මම දවසක් ලීව "එතකොට අපි එදාටම දුක් වෙමු."  නමින් පොස්ට් එකක්. 
(කියෙව්වෙ නැත්නම් දැන් කියවල බලන්නකො).
එදා මම කීවෙ අපිටම කවද හරි දෙයක් (කරදරයක්) වෙනකල් අපිට හැඟීමක් ඇති වෙන්නෙ නෑ කියල. ඒකෙ වරදක් නෑ ඉතින්. ඒත් ඉතින් අපිටත් පුලුවන්නම් තවත් කෙනෙක්ගෙ කරදරේකදි ඒ වෙනුවෙන් දෙයක් කරන්න, ඒ කෙනාට කරදරෙන් මිදෙන්න පුංචිවට හරි උදව්වක් දෙන්න වචනෙකින් හරි, ඒක "අපි ලෝකෙ ඉන්න දියුණුම සතා" කියල වචනෙන් කියනවට වඩා එහා ගිය මනුස්ස කමක් වෙනව නේද..?
අද මම මේක ලියන්න හිතුවෙ අවංකවම මේක කියවන ඔයාලගෙන් දෙයක් ඉල්ලන්න. (බය වෙන්න එපා ඔන්න... ඔයාලට කරන්න පුලුවන් දෙයක්)

අපිත් එක්ක එකට ඉන්න  (අපිත් එක්ක එකට වැඩ කරන), අපේ සහෝදරයෙක් අසනීප වෙලා. දැන් දවසක් කීපයක්.අද හවසට එයාට සැත්කමක් කරන්න වෛද්‍යවරු තිරණය කරල. අද හවස 4.30ට එයාගෙ සැත්කම සිද්ද වෙනව. ඒක පැය 4-5ක සැත්කමක්.

 බෞද්ධයෙක් හැටියටත්, මම විස්වාස කරන විදියටත් මිනිස්සු කෙනෙක් වෙනුවෙන් අවංක හිතින් කරන ආශිර්වාද ගොඩාක් දුක් කරදර, පීඩා වලින් නිදහස් වෙන්න උදව් වෙනව. (මෙහෙම කියන්න මම මහා දාර්ශණිකයෙක්වත්, විද්වතෙක්වත් නෙවෙයි. ඒත් මම ඒක විස්වාස කරනව. තදින්ම. සමහර වෙලාවට අත් දැකලත් තියෙනව.)
අපි ඊයෙ එයා වෙනුවෙන් බෝධි පූජාවක් කරල සෙත් පැතුව.. ආශිර්වාද කලා. 
මම ඔයාලගෙන් ලොකු උදව්වක් ඉල්ලනව. (සමහර විට කෙනෙක්ට මේක විහිලුවක් වෙයි. මොකද නොදන්න කෙනෙක් වෙනුවෙන් මෙහෙම දෙයක් ඉල්ලන එක. ඒත්..... ) 


මම ඔයාලගෙන් ඉල්ලන්නෙ කවදාවත් මිල කරන්න බැරි දෙයක්..
ඒ එයාගෙ සැත්කම සාර්ථක වෙන්නත්, 
ඉක්මන් සුවය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන්න...
අපේ මිත්‍රය වෙනුවෙන්....
ඔයාල කවදාවත්ම දැකල නැති, අහල නැති කෙනෙක් වෙනුවෙන් ආශිර්වාදයක් කරන්න...
ඔයාලට ගොඩක් පින්..


කව්රු හරි කෙනෙක්ට පුංචි හරි සැකයක් තියේනම් චුට්ටක්වත් හිතන්න එපා. මගේ තැපෑලට ඊයක් දාන්න.. කිසි පැකිලීමක් නැතුව ඊයක් එවන්න.. මම මගේ ජංගමේ නොම්බරේ දෙන්නම් .. කතා කරන්න...

හැරයාම...

 
ජීවිතේදි අපි ආදරය කරන අපේම අය අපිට නොකියන කතා කොච්චර ඇත්ද..? ඒ අපිට වංක වෙලාවත්, අපිව රවට්ටන්නවත් හිතාගෙන නෙවෙයි. ආදරය නිසාම රිද්දන්නවත්, හැරයන්නවත් තියෙන අකමැත්ත නිසා වෙන්න පුළුවන්. එහෙම බලපුවාම වෙන්වීම, සමුගැනීම, හැරයාම කියල කියන්නෙත් ආදරයම කියල හිතෙනව. එහෙම විස්වාස කරනවනම් කියවල බලන්න මේ කථාව......

කතාව එක්තරා යුවලක් ගැන. පෙම්වතා පුංචි අවන්හලක කෝකියෙක්. ලොකු සල්ලියක් තියෙන කෙනෙක් නෙවෙයි. සුභ අනාගතයක පෙරනිමිති දකින්න තිබුනෙත් නෑ. ඒත් මේ දෙන්නට ඒක ප්‍රශ්ණයක් උනේ නෑ. හරිම ආදරෙන් හිටිය. පෙම්වතා ගොඩක් ආදරෙන් හිටිය තමන්ගෙ පෙම්වතියට. එක දවසක් කඩදාසි කුරුල්ලො 1000ක් හදල දුන්න මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට.

ඒත් එක දවසක මේ හැමදේම වෙනස් උනා. 

පෙම්වතා හමුවෙන්න ආව පෙම්වතිය පැරීසියට යන බව කීව. නැවත නෝන බවත් කීව. දෙන්නම ඉන්න විදියට කවදාවත් සුභදායක අනාගතයක් දකින්න නොලැබෙන බවත්, දෙන්නනාගෙ ජීවිතේ මාවත් වල වෙන වෙනම ගමන් කරන්නටත් තීරණය කල බව පෙම්වතිය තමන්ගෙ පෙම්වතාට කීව.
ඇත්තටම හදිසියේම අහන්න උන දේ පෙම්වතාට දරා ගන්න බැරි උනා. ලොකු කම්පනයකුත්, වෙදනාවකුත් එක්කම පෙම්වතා නිහඬ උනා. පෙම්වතියගෙ තීරණයට එකඟ උනා. ඒත් ඒ කම්පනයෙන් මිදෙන්න පෙම්වතාට කාලයක් ගත උනා.
කාලයක් ගත උනාට පස්සෙ කම්පනයෙන් මිදුන ඔහු, මහන්සි වී වැඩ කරන්න පටන් ගත්ත. මෙහෙම කාලයක් වැඩ කල ඔහුගේ මහන්සියේ ප්‍රථිපලයක් විදියට ඔහුගේම සමාගමක හිමිකාරයෙක් උනා.
එදා වැහි දිනයක්. පෙම්වතා මෝටර් රථයෙන් ගමනක් යමින් සිටින අතරතුර ඉදිරියෙන් එක කුඩයක් යටින් ඇවිද යමින් සිටි වයසක ජෝඩුවක් නෙත ගැටුන. කුඩේ යටින් ගමන් කලත් ඔවුන් හොඳටම තෙමිලයි හිටියෙ. මේ තමන්ගෙ පෙම්වතියගෙ දෙමාපියන් බව වැටහෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. තමන් දැන් ඉන්න තත්වය පෙන්නන්න හිතපු ඔහු කාරය ඔවුන් ළඟින්ම සෙමින් පදවාගෙන ගියත්, වයසක යුවල ඒ හැටි ගනන් නොගෙන ඉදිරියටම ඇදුන.
ඒ හැටි තැකීමක් නොකල වයසක යුවල සෙමින් සෙමින් සුසාන භූමිය දෙසට ගමන් කරනු දුටු ඔහු, තම කාරයෙන් බැස ඔවුන් පසු පසින්ම යන්නට උනා. තමන් පණ මෙන් පෙම් කළ පෙම්වතියගේ සිනා මුසු මුහුණ සහිත ඡායාරූපයක් එක සොහොන් කොතක රඳවා තිබෙනු දුටු පෙම්වතා මොහොතකට ගොලු උනා. තමන් තෑගි කළ කඩදාසි කුරුල්ලන්ද රාමු කර එහි එල්ලා තිබෙණු ඔහු දුටුවා.
පෙම්වතියගේ දෙමව්පියන් ඔහුව දුටුවේ ඒ අවස්ථාවෙදී. සිදු වූයේ කුමක්දැයි ඔහු දෙමව්පියන්ගෙන් අසා දැනගන්ත.
ඇය කවදාවත්ම පැරීසියට ගියේ නෑ. ඇගේ සිරුර තුළ පිළිකාවක් ඇති බව ඇය දැනගෙන තිබුනේ ඔහුව හැරයන්නට දින කිහිපයකට කලිනුයි. තමන් ජීවත් වේ යැයි ඇගේ සිත ඇයට කීවත්, තමන්ගෙ පෙම්වතාට කරදරයක් වේයැයි සිතා ඔහුගෙන් වෙන් වීමට තීරණය කලා. ඇගේ එකම ආසාව වූයේ ඇය මියගිය පසු පෙම්වතා තෑගි කළ කඩදාසි කුරුල්ලන් තම සොහොන් කොතේ රඳවන ලෙසයි. එවිට යම් දවසක පෙම්වතා ඇගේ ආදරය වටහා ගනු ඇතැයි ඇය විශ්වාස කලා.
කියා ගන්න බැරි තරම් හැඟීම් ගොඩකින් ඔහුගේ හිත හිර උනා. නතර කරගත නොහැකි විදියට ඇස් දෙකෙන් කඳුලු කඩාගෙන වැටෙද්දි පෙම්වතා පෙම්වතියගෙ සොහොන ළඟ දනින් වැටුන.


මේකත් තව මට ආව එක්තරා ඊයක්. එක පරිවර්ථනයක්. මට ආව ඊයෙ තිබුණ සම්පූර්ණ ස්තුතිය Jayanath Ranga Weragoda සොහොයුරාට කියල. මමත් ඒක එහෙමම දානව. මට මේ ඊය එවපු නලින්ද සොහොයුරාට මම ස්තුති කරනව. බෙදා ගන්න හිතුන ඔයාල එක්ක.

A to Z සිංහල

හැමදාමත් මම ලියන්නෙ මොලේ උඩු යටිකුරු කරගත්ත කතානෙ.. මේ දවස් වල කොහොමත් මගේ ඔලුව උඩු යටිකුරු වෙලා ඉන්නෙ.. ඒ අතරෙ මට ආව මරු ඊයක්.. කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි කියල කතාවක් තියෙනවනෙ. ඒ නිස මට හිතුන මේක ඔයාල එක්ක බෙදා ගන්න... සමහරු මේක කියවල ඇති. නැති අය කියවන්න... හිතෙන දෙයක් ලියල යන්න...



A මිනිහ අදත් Bලා. Cමන් අයිය ඔහොමම තමයි. ඩෝසරේට Dසල් ගහනව වගේ තමයි බොන්න ගියාම.Eයෙත් බීලම තමයි ආවෙ. එයාගෙ අයියනම් ඉතින් හොඳ සල්ලිකාරය. Fගනිස්තානෙට ගල් කටස් විකුණනව.මේකා Gවිතේ නිකන් කාළකන්නි කර ගන්නව. Hච්චර හොඳ පරම්පරාවක මිනිහෙක්නේ. Iයියෝ කියල වැඩක් නෑ. Jන් අක්කටත් එපා වෙලා බැරිම තැන තමයි දමල යන්න ගියේ. Kළමක් කියනව කියල හිතන්න එපා Lලෙන්න වැල් නැතිව ඉන්නකොට දුක හිතිල තමා Mමා නෝන සීන් එකට Nටර් උනේ. කෝ Oවා මිනිහට ගානක්වත් නෑනෙ. Pටරය රෑට රෑට ගෙට රිංගනව කියල කව්දෝ Qව්වම "උගේ Rතිකේ ශක්තිමත්. මට ඊයෙත් බාගයක් අරන් දුන්න." කියල කීවලු. දැන් S පෙනීමත් ටිකක් අඩුයි. හන්දියෙ කඩේ Tමේකර් ජොබ් එක කරන කාලෙ Uත් ක්ල්බ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදල දීලත් මාට්ටු උනා.එක දවසක් නිවාඩු අරගෙන දවස් 2ක් නෑවිත් ලීව් ඩබල් කරන නිසාඒ දවස් වල මිනිහට කීවෙ Wසීමන් කියලලු. දොස්තර මහත්තය Xරේ එකක් අරගෙන කීවලු මෙහෙම කේස් එකක් Yද්‍ය ඉතිහාසෙත් වෙලා නෑ කියල. කරුමක්කරය..!! ඔය යන්නෙ පාර පුරා Zග් සැග් එකේ..

(අ)මනුස්සකම...

මේක ලියන්න ටිකක් කල් ගිය එකත් එක අතකට හොඳයි කියල මට හිතෙනව... සිත් විනිවිද දකින්න කියල පටන් ගත්ත මගේ බ්ලොග් එකේ ලියන්න පටන් ගත්ත මගේ ශෛලිය වෙනස් නොකර ඉන්න මට ඒ නිසා පුලුවන් උනා.
පහුගිය දවසක මට පුලුවන් උනා අපේ සමාජයේම ජීවත් වෙන එක්තරා අමනුස්සයො පිරිසකගෙ සිත් විනිවිද දකින්න.
දිනේ පහුගිය බ්‍රහස්පතින්දා... ස්ථානය සමුද්‍රදේවි කාර්යාල දුම්රිය.
මම මගේ යාලුවෙකුත් එක්ක ගෙදර යන්න කියල ගොඩ උනා සමුද්‍රෙට (ඒකෙ යන අය කියන්න එහෙමනෙ.) මරදානෙන් ගොඩ උනාට මොකද, වාඩිවෙන්නනම් හම්බුනේ නෑ. (කොහොමත් ඒකෙ ඉඳල හිටල යන එවුන්ට ලොවෙත් වාඩිවෙන්න හම්බෙන්නෙ නෑ.)
අපිත් ඉතින් ඕකෙ රඟෙ දන්න හින්ද අයිනකට වෙලා හිටිය. ඔන්න කොළඹ කොටුවෙන් ගොඩ උනා ඒ පෙට්ටියෙ අයිතිකාරයො ටිකක්. අපි දිහා දැම්ම නිකන් බැල්මක්, හරියට අපි උන්ගෙ ඉඩමක ගෙයක් හැදුව වගේ.. අනේ ඉතින් අපේ ඇඟේ වදින්නෙ නෑනෙ කියල, අපිත් හිටිය සද්ද නැතුව.
කෝච්චිය කට කපල සෙනඟ. මොකද කලින් යන්න තිබුණ එකක් ගිහින් නෑ.හුස්ම ගන්නත් අමාරු තරම්. ඔය අතරෙ එකෙක් කියනව උදේ එනකොට කල හපන්කමක්. හැමදාම නොයන කෙනෙක් උන්ගෙ කොටසෙ වාඩි වෙලා ඇවිත් එලවපු හැටි... හරි වීරකමක් වගේ කියන්නෙ.. හරියට කොටි එලවල මාවිල්ආරු සොරොව්ව අල්ලගත්ත වගේ.
ඊළඟ නැවතුමෙන් නැග්ග ඔන්න ඉතුරු සෙට් එක. දැන් හරි.. ගණ පූර්ණෙ හරි. ඒත් ඉතින් අපරාදෙ කියන්න බෑ මේ (අ)මනුස්සයො ටිකනම් බොහොම සැපසේ ඉන්නව. කෝච්චියෙ දොරේ ඉඳන් කට්ටිය එල්ලිලා. එළියෙ ඉන්න මිනිස්සු කෑ ගහනව ගොඩ වෙන්න බැරුව. දන්නවනෙ ඉතින් කොච්චියෙ එල්ලිල යන එක ලේසි නෑ. අනික සීග්‍රගාමී එකක තනි අතින් එල්ලිලා යන එක කොහොමද කියල හිතා ගන්න පුලුවන්නෙ.. (බැරි උනත් හිතල බලන්න..)
අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ ඒ මොන දුෂ්කරතා මැද මිනිස්සු මැරුණත්, මුන්ට නෙවේ ගානක් තිබුනෙ. කෝච්චියෙ හිටිය අනිත් හැම මනුස්සයම තමන්ට පුලු පුලුවන් විදියෙන් දොරේ යන අයට ඇතුලට එන්න උදව් කරනකොටත්, මේ (අ)මනුස්සයො තමන්ගෙ ආතල් එක ගන්නව. (තමන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ. ඒක කිසිම ප්‍රශ්ණයක් නෑ. වැඩේ තියෙන්නෙ උන්ගෙ ආතල් එක තවත් මිනිස්සු කොටසකට කරදරයක්නම්... අන්න එතනදි පොඩි ප්‍රශ්ණයක් වෙනව. අවස්ථාවෙ හැටියට ඒක ලොකු ප්‍රශ්ණයක් උනා)
මෙච්චර සෙනඟ පිරුණ කෝච්චියෙ මේ (අ)මනුස්ස රැළ තමන්ගෙ ආතල එක ගන්න උන්ගෙම එකෙක් බිම වාඩි කරා. ඒ කරල ඒ වාඩි වෙච්ච එකා වටේට 4 දෙනෙක් හිට ගත්ත. (දැන් ඔයාලට හිතාගන්න පුලුවන්ද මුන් මොකද කරන්නෙ කියල.?) වටේ ඉන්න 4 එකතු වෙලා කාඩ් ගහනව. බිම වාඩි වෙලා ඉන්න එකත් ආතල් එකේ ඉන්නව.. මොකද , අසනීප වෙච්ච එකෙක් බිම වාඩි වෙලා ඉන්නව කියල කිසි කෙනෙක්ට ඒ අහලටවත් එන්න දෙන්නෙ නෑ. කට්ටිය වටේට හොඳට වැට බැඳල වගේ ඉන්නව. ඒ මදිවට දොරේ ඉන්න අය ඇතුලට යන්න කියල කෑ ගහනකොට මුන් කෑ ගහනව මෙතන ලෙඩෙක් ඉන්නව.." අම්මෝ හිර වෙනවා" කියල. කොහොමින් හරි මුන් කිසි කෙනෙක්ට එතනට එන්න බැරි විදියට අගේට වැඩේ කරගෙන ගියා.
මම බහින තැනට එනකොටනම් කට්ටිය ටිකක් වැඩේ නවත්තන සයිස් එකක් තමයි දැක්කෙ. මොකද ඒ වෙනකොට කිහිපදෙනෙක් මේ කාලකණ්නි රැළ කරන්න මොකද්ද කියල දකින්න උන නිසා සහ මිනිස්සු පෙරලගෙන ඇතුලට එන්න පටන් ගත්ත නිසා. 
සෙනඟ වැඩි කමටම මටත් බොහොම පැහැදිළි ඡායාරූපයක් ගන්න බැරි වෙච්ච එක ගැන මම දුක් වෙනව. මොකද එහෙම උනානම් මට මේ කාලකන්නි මූණු ටික පැහැදිළිව පෙන්නන්න තිබුන.
මේක කියවන ඔයාල කවුරු හරි කෙනෙක් දන්න අය ඒ අතර ඉන්න පුලුවන්නෙ.. එහෙමනම් උන් එදා කල වරද වරදක් කියල උන්ටම තේරුම් ගන්න තිබුන.
මේ වගේ කාලකණ්ණි අමනුස්සයොත් ඉන්නවනෙ අපි එක්කම. මුන් හිතාගෙන ඉන්නෙ මේ දුම්රිය උන්ගෙ දේපල කියල ගෙදරින් ගෙනාපු. ඒත් ඉතින් නිකමටවත් මේක පිරිසිදුව එහෙම තියාගන්නනම් හිතක්වත් නෑ. (දවසක් මම ඒ වගේ කතාවක් ලීව) ඒ උනාට මොකද ඉහටත් උඩින් මනුස්සකම.
මේ වගේ මානව හිමිකම් අගයන, අනිත් එකා ගැන හිතන, අනිත් එකාට උදව් කරන කාලකණ්ණි (අ)මනුස්සයො ඉන්නකල් අපිට දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න පුලුවන් වේවි නේද..?