ඉන්න ඇත්තො

2 [111] ගීයකින් ලියමි... ආයෙමත් ආදරෙන්


"මිරිඟුවක හිත තියලා... නුඹ දුරක ඇදුනා... රංචු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා... ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැඳුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...."

ගීයට පසු වදනක්...


මුලින්ම කියන්න ඕනෙ මේක සම්පූර්ණ කතාව ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ ගැන ලියපු කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කරුණාකරල සඳහන් කරන්න. මමත් ආසයි ඒක දැන ගන්න. 
මොකද මම මේ කතාවට සම්බන්ධ උනේ අතර මගකින්. ඉතින් "හන්තානට පායන සඳ" පසු කතාව ලීව වගේ මේක ලියන්න බෑ. 
ඒත් මේ ගැන වචනයක් හරි ලියන්න ඕනෙ.

රචිතා වාකිෂ්ඨත් මේක ලියල තියෙන්නෙ  සරසවියෙ වෙච්ච ඇත්ත කතාවක් ඇසුරෙන් කියල තමා කීවෙ.

පහුගිය දවසක රූපවාහිනී චැනල් එකකට ඇවිත් හිටිය මේ ගීය ගායනය කරන ආත්මා ලියනගේ. එයා තමා මේ කතාව කීවෙ.මම ඒ වැඩසටහන බලන්න වාඩි උනේ මගදි. ඒත් ඒකෙ කීව විදියට;

ගමෙන් ආව අහිංසක තරුණයෙක්, නුවරින් ආව මිල මුදල් තියෙන, තරුණියකට ආදරේ කරනව. ගමෙන් ආව අහිංසක තරුණය අවංකව ආදරේ කරනව.
ආදරේ කරන අතරෙදි සරසවියෙ තියෙන  "සිත් කවිය" බිත්ති සඟරාවට මේ තරුණය ආදර කවි ලීව. හැමදාම.
ඒ අතරෙදි එක පාරම ඒ ආදර කවි "සිත් කවියෙ" දකින්න නැති වෙනව. දෙමව්පියන්ගෙ බලපෑමට හරි, මිල මුදල් නිසා හරි ගොඩක් ආදරෙන් ඉන්න මේ දෙන්න විරසක වෙනව. ඒ තරුණිය ඔහුගෙන් ඇත් වෙනව.
ඒ වෙනුවෙන් ඒ තරුණයගෙ අකුරෙන් විරහ පද වැල් ලියවෙනව "සිත් කවියෙ".

මෙහෙම කාලයක් ඉන්නකොට ආයෙමත් මේ දෙන්න එකතු වෙන්ව. ඒත් මේ තරුණයට ඒක හරි පුදුමයක්. තරුණය ආයෙමත් නිසඳැසක් ලියනව,

ඒ නිසඳැසේ අවසාන වෙන්නෙ."ඔබ මගේ ජීවිතයට ආයෙ ආවා, ඒත් ආයේ යයිද කියලා සැකයි "

මේ සරසවියෙම අකුරු කරන රචිතා වාකිෂ්ඨ (චන්ද්‍රා වාකිෂ්ඨගේ දියණිය) මේ නිසඳැස ඇසුරු කරගෙන  තිලිණ රුහුණගේ එක්ක එකතු වෙලා ආත්මා ලියනගේ ගායනා කරන මෙන්න මේ අපූරු ගීය නිර්මාණය කරනව. 

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.

4 [110] මට සමාවෙන්න...

"මට සමාවෙන්න"

"ඇයි..? මොකටද..? ඔයා මට කිසි වරදක් කළේ නෑනෙ...."
 

"මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව. "
 

"ඒක ඇත්ත. ඒත් මම ඒක හිතන්නෙ නෑ. මම ඉපදිලා ඉන්නෙ ඒකට. මම ඉපදුනේ ඔයාට උදව් කරන්න ඔයාට ඕනෙ වෙලවට. මම ඔයා එක්ක ඉන්නව හැම වෙලේම. ඔයාට උදව් කරන එක මට සතුටක්.මම දන්නව මට ඔයා දාල යන්න වෙන බව දවසක. ඒත් මම එදා වෙනකල් ඉන්නව. මම නැති දවසට අලුත් කෙනෙක් ඉඳී ඔයා ගාව. මම සතුටු වෙනව මම ඔයා වෙනුවෙන් කරන දේ ගැන. දුක් වෙන්න එපා. මට බෑ ඔයා දුකෙන් ඉන්නව බලාගෙන ඉන්න."

මකනයක්, පැන්සලක් අතර දවසක ඇති වෙච්ච මේ දෙබස මට එව්වෙ මගේ ලඟින්ම හිටිය මගේ යාලුවෙක්. (මම කියන මගේ එකෙක්.) මේකත් තව එක ඊයක්. අහම්බෙන් පරණ ඊ පිළිවෙළ කරද්දි මට මේක හම්බෙලා කියවද්දි ඇස් ටිකක් බොඳ වුනා. මට හිතුන මේක ඔයාල එක්ක බෙදා ගන්න. ගොඩක දවසකින් දෙයක් ලීවෙත් නැති නිසා ඔන්න මේක ලීව.
නිකන්ම කියවල යන්න එපා. මොනව හරි හිතෙන දෙයක් ලියල යන්න. අපිට ගොඩක්ම ආදරේ කරන, අපේ දුක දුකක් විදියට හිතන, ඒ දුක නැති කරන්න උත්සාහ කරන ඕනෙම කෙනෙක්ට මේ දෙබස apply කරන්න පුලුවන්. හිතල බලන්න.