ඉන්න ඇත්තො

6 රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

අද මූණු පොතේ දැකපු කියමන් දෙකක් නිසා දෙයක් ලියන්න හිතුන.
කියමන් දෙකම ඉස්සෙල්ල කියන්නම්... බලන්න ඔයාලට මොනවද හිතෙන්නෙ කියල.


පළවෙනි එක...
"කෙනෙක් ඔබව පාවිච්චි කලා යැයි කාලෙකට පසු දිනෙක ඔබට හැඟුනොත් කුමක් දැනේවිද..?"


දෙවෙනි එක
"ඔබ  යම් කෙනෙකු රවටා සාර්ථක වුවහොත් හිතන්න එපා ඔහු හෝ ඇය මෝඩයෙකු ලෙස....
සිදු වූයේ ඔහු හෝ ඇය පමණට වඩා ඔබව විශ්වාස කල එකයි."


කතා දෙකම පේන විදියට කියන්නෙ එකම කතාවක්.
රැවටීම.. 
අපි ගොඩක් දෙනෙක් අතරෙ තියෙන දෙයක්. අපේ ගොඩක් අය හරිම දක්ෂයි තව කෙනෙක්ව රවට්ටන්න... ඒක සමහරවිට පොඩි කාලෙ ඉඳලම වෙන දෙයක් වෙන්න ඇති..
අපි පුංචි කාලෙ, අපේ අම්මල, තාත්තල  බිල්ලො, හප්පො, ගෙම්බො ගැන කියල රවට්ටනව.. ඒ නම් ඉතින් හොඳ අරමුණකට කිහල කියමුකො... එක්කො කෑම කවා ගන්න.. එක්කො කියන දේ නාහන වෙලාවක මෙල්ල කර ගන්න. එහෙම යනකොට ඔන්න පොඩි උන් අම්මලට, තාත්තලට "අන්න....." කියල මොකක් හරි එකකට අත දික් කරල රවට්ටනව වැදගත් දෙයක් පෙන්නන්න වගේ.. (ඒකත් ඉතින් නොතේරුම් කමනෙ...)
හැබැයි ඉතින් ඔන්න යමක් කමක් තේරෙන්න පටන් ගන්නකොට තමයි වැඩේ නියමෙටම කරන්නෙ...

සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් කෙනා තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..
හැබැයි ඉතින් රවට්ටන්න බොරු කියන කෙනාටනම් දහසකුත් හේතු තියෙනව ඒ දේ කරන්න...
"ආදරේට, බේර ගන්න, හොඳ මාර්ගෙට ගන්න, තරහ වෙනවට, දුක හිතෙනවට, වැඩි හොඳට" මෙකී නොකී හේතු සිය දහස් ගණනක් තියෙන්න පුලුවන්.. (පුලුවන් නෙවෙයි, තියෙනව. මම මේ කියන්නෙ අත්දැකීමෙන්).
හැබැයි ඉතින් හේතුව මොකක් උනත්, අන්තිමේ කෙනෙක්ව රවට්ටල ඉවරයි.
ඉතින් අර උඩින් තියෙන දෙවෙනි කියමන බැලුවොත්, රවට්ටන කෙනා හිතනව එයා අනිත් එක්කෙනාව සාර්ථකව රැවැට්ටුව කියල (එයානම් හරිම මෝඩයි, මම කියන දේ පිළිගත්ත කියල).. 
එයාගෙ පැත්තෙන් එයා 500%ක් හරි. හැබැයි එයා හිතන්නෙ නෑ, රැවටුනා කියන කෙනා තමන් ගැන තමන්ටත් වඩා විශ්වාස කරල කියල.
(මොකද මම තදින්ම පිළිගන්න, විශ්වාස කරන දෙයක් තමයි, කෙනෙක්ව සාර්ථකවම රවට්ටන්න, බොරු කියන්න හැකියාව තියෙන්නෙ ඒ කෙනාට ගොඩක්ම කිට්ටු කෙනෙක්ට විතරමයි. අසීමිත විදියට විස්වාස කරන කෙනෙක්ට විතරමයි. මොකද, අපි වැඩිය නොදන්න කෙනෙක්, අවිශ්වාස කරන කෙනෙක් කියන දෙයක් අපි එච්චර ගනන් ගන්නෙ නෑ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. අර පහුගිය දවසක මූණු පොතේම දාල තිබුණ "අපිට රිද්දල, අපිව දාල යන්නෙ, කවදාවත්ම අපිව දාල යන්නෙ නෑ කියල පොරොන්දු උන අයමයි කියල. අන්න ඒ කතාවම තමා මෙතන්ටත් අදාල වෙන්නෙ. අපිව රවට්ටන්නෙත්, රවට්ටල සාර්ථක වෙන්න පුලුවන් වෙන්නෙත්, කිසිම දවසක අපිව රවට්ටන්නෙ නෑ කියල, වචනෙන් නොකීවත්, හිතේ ඇතුලෙම පදිංචි වෙච්ච අයට විතරයි.)
එතකොට තේරෙණවද කෙනෙක්ව රවට්ටන එක මොනතරම් බරපතල වරදක්ද කියල.
අපි හරි සතුටු වෙනව රවට්ටල, ඒ කාරනේ කෙරුන කියල. ඒත් ඒක මොනතරම්නම් පවක්ද..? වරදක්ද..?
ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කවුරුත් ඔය දේ නොහිතන එකයි. ඒ වෙලාවට අපි සාර්ථක වෙන්න හැමදේම කරනව. කවදාවත් ආපහු හැරිල බලන්නෙ නෑ. රැවටෙන කෙනා ඉන්න තැනට තමන්ව ආදේශ කරල බලන්නෙ නෑ "මම එතන ඉඳල මට මේ දේ උනානම් මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද" කියල. අනිකට හෙණ ගැහුවත් අපේ සාර්ථකත්වය විතරමයි බලන්නෙ.

(මම හිතන්නෙ ඒක මේ රේස් දුවන සමාජ ක්‍රමය නිසා ඇති වෙච්ච දෙයක් වෙන්න ඇති.)

ඉතින් එහෙම එකේ....... කෙනෙක් තමන්ව රවට්ටල, පාවිච්චි කලා කියන එක කාලෙකට පස්සෙ ඒ කෙනාට තේරුනොත්..??????


මොන තරම් පරාජිත, අසරණ හැඟීමක් ඇති වෙයිද..? මොකද, මම කලින් කීව වගේම කෙනෙක්ව රවට්ටල, ඒ කෙනාව පාවිච්චි කරන්න, ඒ කෙනාගෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙම කෙනෙක්ට විතරක්ම නිසා.

ඉතින්.... කෙනෙක්ව රවට්ටන්න එපා... අවංක වෙන්න.. 
ඒ කෙනාගෙම හොඳට කරන්න පුලුවන් එකම දේ ඒ කෙනාට ඇත්ත කියන එක මිසක්, ඇත්ත වහන් කරල බොරුව පෙන්නන එක නෙවේ... මොකද එහෙම කරල, දවසක ඇත්ත ඇති හැටියෙන් දැනගත්තම ඇති වෙන හැඟීම, කඩා වැටීම ගොඩක් දරුණු වෙනව අනිවාර්යෙන්ම. සමහරවිට මුලින්ම ඇත්ත කීවනම් ඒ කෙනාව ගොඩක් සතුටෙන් තියන්න තිබුන කියල හිතෙන්න පුලුවන්..... 
ඒත් ඒ දේ තේරුම් යනකොට... ගොඩක් පරක්කු වැඩි වෙයි. 

අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි. 
රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

6 comments:

  1. රැවටීම නැතිතැන අද ලෝකේ පැවැත්මක් නැති තරම්

    ReplyDelete
  2. හැමතැනම රැවටීම!

    ReplyDelete
  3. හොඳයි ඔබේ ලිපිය සහෝ..

    ReplyDelete
  4. සම්පූර්න ඇත්ත..ලිපිය දෙවරක් කියෙව්වා..

    ReplyDelete
  5. සත්තකින්ම ඇත්ත....වටිනා ලිපියක්, ඔබට තුති!

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...