ඉන්න ඇත්තො

4 [116] නීතිය කාටද?

ආසාවන් කියන දෑ ඇති වන්නේ කලින් සැලසුමක් ඇතුව නෙවේ. කානිවල් එකකට ගියාම කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආසාවක් ඇති වෙනව මිසක්, කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආස හිතිල කානිවල් හොයාගෙන යන්නෙ නෑ අපි සාමාන්‍යයෙන්.

උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් නෑ.

එහෙම කියල, ආසාවට කරන හැමදේම හරියි කියල මම කියන්නෙ නෑ. ආසාවක් ඇති උනාම ඒක හරිද, වැරදිද කියල සිය දහස් වාරයක් හිතන්න අපි පුරුදු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත්, හැමෝටම ඇතිවෙන සියලුම ආසාවන් මුදුන්පත් කරගන්න ගියොත් පාලනයක් නැතිව, වෙන්නෙ මහ විනාසයක්.

ජීවිතේ හැම අවස්ථාවකදිම නැති උනත්, විශේෂ අවස්ථාවන්දි, විශේෂ ස්ථාන වලදිවත් අපිට අපේ ආසාවන් හරිද, වැරදිද කියල පහදල දෙන්න කෙනෙක් ඉන්නවවම්, ඒක කොච්චර වටිනවද? 

මොකද ආසාවන් කියන ඒව ඇති වෙන්නෙ පස් මහ බැලුම් බලල නෙවේ.

ඒත් පොඩි හිතක ඇති වෙච්ච පොඩි හැඟීමක් ජීවිතේ අවුරුදු දෙකක් බරපතළ වැඩ ඇතිව, මහ උළු ගෙයි ලගින්න වෙච්ච එක වරද මොකක් වුනත්, දරුණු වැඩියි කියල මට හිතෙනව. 
ඒක හිතට ගොඩක් වද දෙන නිසාවෙන්ම, මූණු පොතේ ලියපු එක වැකියකින් නොනැවතී, මහන්සිය පැත්තක තියල, දුවන යකඩ යකාගෙ හඬත් එක්ක වචන ටිකකට පණක් දෙන්න හිතුවෙ.

ඇත්තටම සිද්ධිය සිද්ද වුනු දවස මම දන්නෙ නෑ. මට හොයන්න ඕනෙත් නෑ.
සිද්ධියෙ කතා නායිකාව නම් වසර 30ක් බෝම්බ හඬට හුරු වෙච්ච, මර බිය හේතුවෙන් කලා රසවින්දනය යටපත් කළ  ඈයෝ ජීවත් වුණු නැගෙනහිර පළාතෙ ජීවත් වුණු තරුණියක්. 
යුද්ධයේ නිමාවත් එක්ක දකුණ නරඹන්න ආ ගමනකදි සීගිරි කැටපත් පවුර කොණ්ඩ කට්ටකින් පළුදු කළ වරදට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක හිර කාරියක්.

දණ්ඩ නීති සංග්‍රහයේ මේ සම්භන්ධ නීති ප්‍රතිපාදන මම නොදනිමි. එය මට අදාලද නොවන්නකි. 

එහෙත්, ඇය සැලසුම් සහගතව ඒ ක්‍රියාව සිදු කර නොමැති වග යමක් කමක් තේරෙන් ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. නීති සම්පාදනය කර ඇත්තේ මිනිසුන් හික්මවීමට මිස තලා පෙලා, පීඩාවට පත් කිරීමට නොවන වග කා විසිනුත් සිතිය යුතුය.

නීතියේ ප්‍රතිපාදන ඇති තරමටම දඬුවම් කරන්නේ නම් අද අපේ රටත් හික්මුනු මිනිසුන් ඇති රටක් විය යුතුය.

ඈ ලත් දඬුවමින් කම්පාවට පත් ඇගේ මවගේ ඡායාරූපය දුටු මට ඇති වූ ප්‍රශ්ණ වැලකි. මෙය කියවන නුඹට පිළිතුරු දිය නොහැකි බවද සැබෑවකි. එහෙත්, රට කරවන් උන්ට, නීතිය කරවන උන්ට වඩා චින්තන ශක්තියක් නුඹට ඇති බව පමණක් මා දනිමි.
මට මවක්, සහෝදරියක්, බිරිඳක්, දුවක් ඇති බැවින් ගොසිප් අතර ඒ ලිපිය ලඟ නැවතී, ආපසු හැරී බලන්නට සිතක් ඇති වුනි. වරද මෙය නොවුනත්, ඔබේම සහෝදරියක් හෙට දින අසාධාරණයට ලක් වන තුරුම නොසිට මදක් සිතන්න..

ඇය වරදක් කළ බව සැබෑය. නමුත්, ඒ වරද අපේ රටේ පවතින ක්‍රමය තුළ වසර දෙකක්, බරපතළ වඩ ඇතිව සිරගත කිරීමට තරම් වරදක්ද?
  • ආරක්ෂක කැමරා අක්‍රිය කර පුරාවස්තු හොරකම කළ වුන් එක පැයක් ජම්පරය ඇඳ මහ උළුගෙයි බත් කෑවේද?
  • මහා පර්වත දෙපළු කර නිදන් වස්තු සොරා ගත් උන් එක් දිනක් සිර බත් කා ඇත්ද?
  • අහිංසක දැරියන් දූෂණය කර, ඒ වෙනුවෙන් සව්දිය පිරූ උන් අද සිර ගෙවල් වල ඇත්ද?
  • අහිංසක උන්ට මත් කුඩු හුරුකර ඉන් ‍යැපෙන උන් ඒ වෙනුවෙන් දඬුවම් ලබන්නෙහිද?
සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කට්ටකින් තම නම කෙටූ ඈ කල වරදට නියම කලාවූ දඬුවම් ලියා ඇති පොතේ අන් වැරදි වලට දඬුවම් සඳහන් නොවන්නේද?
එසේත් නැත්නම් ඒ පොත ඇති උන්ට එකක්, නැති උන්ට තව එකක් ලෙස පිටපත් දෙකක් ඇත්තේද?
නීතියේ දෙවඟන මේවා නොදකින්නේ ඇගේ දෑස් බැඳ ඇති නිසාවෙන්ද? 

ඇති උන්ට කිඹුහුමක් ගිය විට පවා හඬ නගන කාන්තා සංවිධාන මා මෙන් ගොසිප් නොකියවනවා වන්නට ඇත. එසේ නොවුනා නම් අද උදය ශ්‍රී වෙනුවෙන් ඔවුන් හඬ නගනු ඇත.

අයුක්තියට කෑ ගහන වන් ෂොට් මේවා නොදකින්නේ උදය ශ්‍රී නැගෙනහිර පළාතේම කර්මාන්තශාලවක සේවය කරන නිසාවෙන් වන්නට ඇත.

සිංහල නොදත්, අතමිට සරු නොවන බැවින් ඈ හට මානව හිමිකම් නැතුවා වන්නට පුලුවන. 

එහෙත්, සුලු වරදක් නිසා සිර ගත වූ අහිංසක ඇය වසර දෙකකට (දින 730කට ) පසුව සමාජගත වන්නේ පුරුදුකාර  සිරකරුවන්ගේ අත්දැකීම සමගින් බව කාටත් අමතක වූවා වන්නට පිළිවන.

කොතනක හෝ වරදක් ඇති බවනම් සහතිකය.

ඒ වරද නිවැරදි කිරීම අපට කළ නොහැකි යැයි නුබට සිතෙනු නොඅනුමානය. එහෙත්, ඊට එරෙහිව කතා කිරීමට නොහැකියාවක් ඇතැයි මා නොසිතමි.

කණ්ඩායමක් හැදෙනුයේ එක් එක් පුද්ගලයා එකතු වීමෙනි. සිදු විය යුත්තේ එක් පොදු පිරිසිදු අරමුණක් තිබීම පමණි.

දුවන ජීවිතේ සුළු මොහොතක ලද විවේකයක පැහැදිළි මනසින් සිතන්න.

හෙට දවසේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ ඔබ නොවන බවට සහතිකයක් දීමට කාටත් නොහැකි බව සිත්හි තබාගන්න.

4 comments:

  1. මේකට මට කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ "පහත් තැනින් යයි ගලා ජලේ" ඒක තමා මේ සමාජයේ නිධන්ගත වෙලා තියෙන්නේ. ඒ උනාට මොකද කුඩුකාරයෝ කූඩු කරන්න තාමත් බැරි උනා.

    ReplyDelete
  2. නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ අහිංසක මිනිස්සුන්ට විතරයිනේ..

    ReplyDelete
  3. api arabian low ekata lan wenawada?neethiyata penne thun wela kanne nathi ahinsakoyamada?

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...