ඉන්න ඇත්තො

2 [117] ඔබත් යුතුකම ඉටු කළාද?

ඔබට ඔබේ මිතුරෙක්/මිතුරියක් ජීවිතේ කිසියම්ම දිනක ඔහුගේ/ඇයගේ හිතේ වද දෙන ගැටළුවක් කීමට උත්සාහ දරා ඇත්ද?

එවන් අවස්ථාවන්හිදී ඔබේ ප්‍රතිචාර කෙබඳු වීද?

ඕනෑම පුද්ගලයෙකුට (බාල, තරුණ, මහළු, ජාති, ආගම්, කුළ භේදයකින් තොරව ) ජීවිතේ කිසියම් මොහොතක, තමන්ගේ හිතේ පවතින , වද දෙන ගැටළුවක්, තමන්ට සමීප එහෙමත් නැත්නම් සවන් දෙන, එහෙමත් නැත්නම් කීමෙන් සැනසීම හිමි වේ යැයි හැඟෙන කෙනෙක් සමඟ පැවසීමට අවශ්‍යතාවයක් ඇති වීම සාමාන්‍ය දෙයකි.

යුරෝපීය රට වලනම් එවන් අවස්ථාවන්හිදී බොහෝ දෙනෙක් උපදේශනය කරා යොමු වෙනව. ඒ තුළින් තම ගැටළු බොහෝ දුරට නිරාකරණය කරගන්නව.
ගොඩක් වෙලාවට වෙන්නෙ අපි හිතේ තද කරන් සිටින දෙයක් ගොඩක්ම විස්වාස කරන කෙනෙක්ට කීමෙන් තම සිත නිදහස් වීමත්, ඒ තුළින් සහනයක් ලැබීමත්ය.

නමුත් අවාසනාවකට වගේ අපේ රටේ එලෙස උපදේශනයට යොමුවන පිරිස සැලකිය යුතු මට්ටමක පහළ අගයක් ගන්න බව අවට සාධක සලකා බැලීමෙන්ම තේරුම් ගන්නට හැකිය.

වර්තමාන සමාජය දෙස බලන විට සියදිවි හානි කර ගැනීම තරමක් දුරට වැඩි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කෙරේ.
සාමාන්‍යයෙන් සියදිවි හානි කර ගැනීමකට හේතු වශයෙන් මූලික කරුණු 3ක් හදුනාගෙන ඇත්තේ පහත පරිදිය.

1. දරාගැනීමේ ශක්තිය අඩුකම
2. විශාදය වැනි මානසික රෝග
3. මත් ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම

මේ අතර මත්ද්‍රව්‍ය, මානසික රෝග යන කිසිදු සාධකයකින් තොරව ජීවිතේ ඇතිවන යම් යම් ගැටළු හේතුවෙන් ජීවිතයෙන් පළා යන අවස්ථාවන් දැන් දැන් සමාජයේ බහුළ වෙමින් පවතී.

මෙහිදී සිදුවන එකම කරුණ වන්නේ යම්කිසි ගැටළුවක් දරා ගැනීමේදී තම දරා ගැනීමේ ශක්තිය ඉක්මවා යාමයි.
ඉතා ඉහළ දරාගැනීමේ ශක්තියක් ඇති අයෙක් මෙවන් තත්වයකට පත්වීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය.
ඉතාම අඩු දරාගැනීමේ ශක්තියක් ඇති අය ඉතා ඉක්මනින් ප්‍රශන වලින් පළායාමේ ක්‍රම සොයනු ඇත.

වර්තමාන රේස් සමාජය තුළ එකම පවුලක් ඇතුළත වුව, පුද්ගලයන් තනි වීම සාමාන්‍ය දෙයකි. කෙනෙක්ට තවත් කෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කිරීම අප විසින්ම අපහසු කරගෙන ඇත.

"කතා කරන්නවත් වෙලාවක් නෑ"
"බලන්න එන්න වෙලාවක් නෑනෙ"
"කෝල් එකක්වත් දෙන්න වෙලාවක් නෑනෙ"


අද කාලෙ නිතර ඇහෙන කණට හුරුපුරුදු වචන කිහිපයකි.

මොහොතක් හිතන්න.
ජීවිතේ අපි උපන් දා සිට අද, මේ මොහොත වන තුරුම අපේ ජීවිත වලට පැමිණි, ලැගුම්ගත්, හැරගිය අය කොතරම් වේද?
ඒ අතරින් කී දෙනෙක් අපට ඇහුම්කන් දී ඇත්ද?
අපි ඒ අය අතරින් කී දෙනෙක්ට ඇහුම්කන් දී ඇත්ද?
ජීවිතයේ කරදරක් වූ විට, තමන්ට සවන් දීමට කෙනෙක් අවශ්‍ය යැයි සිතුන විට ඒ අය අතරින් කී දෙනෙක් ඔබගේ මතකයට එන්නේද?
ඔබේ මිතුරන් අතරින් කී දෙනෙක් ඔවුන්ගේ සිත් තැවුල් ඔබට පවසයිද?

මේ ප්‍රශ්න කීපයට, තනිව පිළිතුරු සොයන්න....

"සවන් දීම" බැලූ බැල්මට බොහොම සරල දෙයකි.  එයට ශක්තියක් වැය වන්නේ නැති තරම්.
නමුත්, "සවන් දීම" විටෙක තවත් අයෙකුට මිල කළ නොහැකි තරම් වූ වටිනාකමක් ගෙන දෙන දෙයක්. ජීවිතයක් තරම්ම වටින දෙයක්.

ඒ සවන් දීම නිවැරදි සවන් දීමක් විය යුතුය. කන ඇහෙන ඕනෙම පුද්ගලයෙකුට සවන් දිය හැකිය. නමුත් නිවැරදිව සවන් දීම යනු තරම විශේෂ වූ කරුණක්.

එසේ නිවැරදිව සවන් දීමට නම්,

1. අනෙකාව තේරුම් ගෙන ඔහුට සවන් දිය යුතුය. ඔහුගේ/ඇයගේ වේදනාව තේරුම් ගත හැකි විය යුතුය. 
2. විස්වාසවන්ත භාවය රැකිය යුතුය.
3. අනුන් වෙනුවෙන් තම කාලය කැපකිරීමට තරම් සංවේදී විය යුතුය.
4. යතාර්තවාදී විය යුතුය.
5. අවධානයෙන් ඇහුම්කම් දෙන්නෙක් විය යුතුය.

ඔබ තුළ මෙවන් ගති ගුණ ඇත්නම්, කෙනෙකුගේ සිත් තැවුලකදී, කළකිරීමකදී, පීඩාවකදී ඔහුට/ඇයට සවන් දීමෙන් ඔහු/ඇය සිත් තුළ සහනයක් ඇති කිරීමට ඔබ සමත්ය.

යම්කිසි අවස්ථාවක ජීවිතයක් බේරා ගැනීමට ඔබගේ සවන්දීමේ හැකියාව සමත් විය හැකිය.

මන්ද, සියදිවි නසා ගැනීමකට හේතුවන මූළික කාරණා 3න් "අඩු දරාගැනීමේ ශක්තිය" යන කාරණය හොඳ සවන් දෙන්නෙකුට වළක්වා ගැනීමට හැකියාවක් තිබීමයි.

සාමාන්‍ය ජීවිතයේදී අප සමගින් ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට (වයස, පාට, පක්ෂ, ආගම්, ජාති භේදයකින් තොරව ) ජීවිතේ යම් මොහොතක, තමන්ට සවන් දෙන්නෙකු අවශ්‍ය වන්නට විය හැකිය. එවන් අවස්ථාවක මූලික වනුයේ තමන්ට කොයිතරම් දුරට "විස්වාසවන්තව සවන්දෙන්නෙක්ද" යන කරුණ මිසක, වයස, තරාතිරම, ජාතිය, ආගම වන් පටු කාරණා නොවේ.

ඉතින්, ජීවිතේ කුමන හෝ මොහොතක එවන් අවස්ථාවක් ඔබට හිමි වේ නම්, 
මේ මිහි මත මනුස්ස ජීවිතයක් ජීවත් කරවීමට ඔබත් දායක වී යයි සතුටු වීමට ඔබට හැකිවනු නොඅනුමානය.


- ධර්මවිජය පදනමේ සැනසිලි සුවය උප්දේශන සේවයේ මනෝ විද්‍යා උපදේශිකා  මාලා පණ්ඩිතරත්න  මහත්මියගේ ලිපියක් ඇසුරෙන්.

2 comments:

  1. ඉතා වටිනා සටහනක්.. තැන්කුස්

    ReplyDelete
  2. මට මගේ දේවල් කතා කරන්න කෙනෙක් නැති උනත් මම හුඟක් දෙනෙක්ට ඇහුන් කන් දීලා තියෙනවා.. සමහර වෙලාවට දෙන්න උත්තර ඇත්තටම නෑ.. ඒත් පුළුවන් විදිහට ඒ ප්‍රශ්ණයට සැහැල්ලුවක් දීලා තියෙනවා..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...