ඉන්න ඇත්තො

5 ඇඟෙන් ඇටයක් යයිද එහෙම කලොත්....?

මේක පොඩි සිද්ධියක්..
සිද්ධිය පොඩි උනාට වැඩේ ලොකුයි. වරද නම් පොඩි නෑ.
ඇඩ් නැතුව කතාව මෙහෙමයි.

දිනය : හරියටම මතක නෑ. මේ සතියෙ කියමුකො.
ස්ථානය : මහව දුම්රිය(සවස 6.10 කොටුවෙන් මහව බලා ධාවනය වන)

 මහවෙ (යන අය කියන්න එහෙමනෙ. සමහරු 6.10 කියලත් කියනව) හැමදාම යන අය දන්නව ඒකෙ යන සෙනඟ කොච්චරද කියල..යන්නෙ හිටගෙන ගොඩක් අය.. අයිතිකාරයොනම් ඉතින් මාරුවට ඉඳගෙන යනව. අමුත්තන්ට ඉඳගන්න හම්බෙන්නෙ කලාතුරකින් තමා.
ඒකෙ යන කඩල විකුණන, වඩේ විකුණන, හකුරු විකුණන ස්ථිර අය ඉන්නව.. එයාල ඉතින් කිසි කරදරයක් නැතුව වෙළදාම කරගෙන යනව.
මම කියන දවසෙත් පුරුදු විදියටම මම දෙමටගොඩින් නැග්ග කුරුණෑගල යන්න. වාඩිවෙනව බොරු ඉතින්. බෑග් ටික උඩින් දාල, මමත් හිටගෙන හිටිය. මගෙ වටේම් හිටියෙ ඉතින් අයිති කාරයො තමයි (කෝච්චියෙ). එයාල ඉතින් තොර තෝංචියක් නැතුව කතාව. කෝච්චියෙ සද්දෙට උඩින් කතා කරන්නත් එපායැ. ඒ නිසා කියන දේවල් පැහැදිළිව ඇහෙනව. 
අපරාදෙ කියන්න බෑ හරිම සභ්‍යය විදියෙ කතා තමා කියන්නෙ. (සමහරු ඉන්නවනෙ ඉතින් ඔය ගෑණු ළමයිට සභ්‍ය කතා කියන්න ආස අය. එහෙම අය හරියට ඉන්නව කොච්චියෙ)
කොහොම හරි ඔය යන අතරෙ ආව ඇපල් වෙළෙන්දෙක්. ඇපල් කපල, ලුණු, මිරිස් කුඩු දාල දෙනව කොලේක ඔතල. (මතක් වෙද්දිත් කටට කෙල උනනව.) රුපියල් 20. හැමෝම ගන්නව. හරිම රසයි. මමනම් ඉතින් සතියට 6.10 යෙ යන්නෙ එක දවාසනෙ. ඒත් ඉතින් ඇපල අයිය හිටියොත් කනව. හැමදාම යන අය හැමදාම කනව ඇති.
ඔන්න ඉතින් මම හිටිය පෙට්ටියෙ හිටිය අයිතිකාරයො හැමෝම ඇපල් කනව.සමහරු බෙදාගෙන කනව. සමහරු තනියම එක ගානෙ කනව. මමත් මොකො. ගත්ත ඇපලයක්. මට එහා පැත්තෙ හිටිය එක "අයිය" කෙනෙක්. එයත් පෙනුමෙන් හා ක්‍රියාවෙන් කොච්චි කතා නායකයෙක් වගේ. එයත් කනව ඇපලයක්. කනව කීවට මම දකිනකොට අන්තිම කෑල්ල කටේ දාගෙන ඔතල දුන්න කොලේ ගුලි කරනව.
මම හිතුව ඉතින් සාක්කුවෙ හරි, මල්ලෙ හරි දාගෙන පස්සෙ විසි කරන්න වෙන්න ඇති ගුලි කරේ කියල. (මට එහෙම ලෙඩක් තියෙනවනෙ). අනේ අපරාදෙ කියන්න බෑ. ගුලි කරල අගේට වටපිට බලල දැම්මෙ නැතෑ කොලේ එයාගෙ පිටිපස්සට. (එතනම බිම, එයාට නොපෙනෙන්න)..  වටපිට බැලුවෙ හරියට හොරකමක් කරන්න වගේ. `ඒ කියන්නෙ එයාම දන්නව එයා කලේ ලොකු වැරැද්දක් කියල.
හැබැයි මිනිහ දැක්ක මිනිහ ඒ කළ වැඩේ වෙන කවුරු දැක්කෙ නැත්ත, මම දැක්ක වග. ටිකක් විතර ලැජ්ජ හිතෙන්න ඇති. ( මම එහෙම කීවෙ, මිනිහ හෙමින්ම මිනිහගෙම සපත්තුවට ඒ කොල ගුලිය පාග ගත්ත නිසා.)
දැන් ඉතින් යනව. මමත් යනව. මම මිනිහගෙ මූණ බලනව. බිම තියෙන කොල ගුලිය දිහා බලනව. ආයෙ මූණ බලනව. අන්තිමේ කොහොම හරි අඹේපුස්සෙන් මිනිහ බහින්න ලෑස්ති.
මගෙ කට නලියනව ඉන්නම බෑ. මිනිහ කොලේ අමතක කරල යන්න යන්නෙ.

"ඔබතුමා බහින ගමන් ඔබතුමාම බිම දාපු කොලෙත් අරන් ගියානම් නේද හොඳ...?" මම ඇහුව.

මොකද්ද කියනව වගේ මිනිහ ඔලුව වැනුව.

"ඔබතුමා බිම දාපු කොලේ, ඒකත් අරන් බැස්සනම් කොච්චර හොඳද..?" මම ආයෙත් කීව.

"ඔයා ඒක දැක්ක නේද.? ඔයාට ඒක හරි ප්‍රශ්ණයක් නේද..?" මිනිහ මගෙන් අහනව.

"හැමදාම යන කෝච්චියනෙ. කැතයි නේද එහෙම දාපුවම. අපිමනෙ යන්නෙ හැමදාම" මමත් කීව. මොකද මාව මරන්නයැ. (වටපිට බැලුවම එක තැනකවත් කොලයක් බිම දාල නෑ. ඒ කොල ගුලිය විතරයි තියෙන්නෙ)
 
අනේ අපරාදෙ කියන්න බෑ සපත්තුවෙන් පාගගෙන ඒ කොල ගුලිය අරන් ගියා දොර ගාවටම. හැබැයි මිනිහ පරදින්නත් කැමති නෑ. ඒ යන ගමන් සමච්චල් හිනාවකුත් එක්ක මට කියනව;

"ඔයිට වැඩිය ලොකු වැරදි කරන මිනිස්සු ඉන්නව ඕනෙ තරම්." 

"එකනෙ.. ඒත් ඉතින් අනිත් අය කෙසේ වෙතත්, අපි හරි දේ කලාම හරි නේද..?" මමත් ඇහුව.

මිනිහ බැස්ස. මම ආව ඉතින්. ඔන්න අපේ රටේ අපි. ගෙදර සාලෙ මැද්දෙනම් එහෙම කාපු දේ ඔතපු කොලේ ගුලි කරලා දායිද..? (එහෙනම් හාමිනේගෙන් හොඳ කොසු පාරක් කාල) ගෙදර වාහනේ කාපට් ගසල, සුද්ද කරල තියාගෙන ඉන්නව. පොඩි එකෙක් කඩල ඇටයක් හරි බිම දැම්මොත් ඌ හමාරයි.

එහෙව් එකේ යකෝ මුන්ට හෙන ගහනවද ඉතින් තමන් උදේ හවස යන එන කෝච්චිය ටිකක් පිරිසිදුව තියා ගත්තම.

5 comments:

  1. සහතික ඇත්ත ඔය වගේ දේවල් අනන්තවත් මාත් දැකලා තියෙනවා...උබ ගැන ආඩම්බරයි මචන් මොකද ඔය වගේ දෙයක් ගැන කතාකරන්න කෙනෙක් ලේසියෙන් ඉදිරිපත් වෙන්නෙ නෑ....

    ReplyDelete
  2. නියමයි මිත්‍රය... එල වැඩක් කරල තියෙන්නෙ... ගොඩක් උන් හිතන් ඉන්නෙ අනිත් උන් වැරදි කරන එක තමන්ටත් වැරදි කරන්න දීපු ලයිසන් එකක් කියල...

    ReplyDelete
  3. ඔය අයිතිකාරයෝ වැඩේ නම් කෝච්චිවල තියෙන මහා එපා කරපු වැඩක්..උන් කැමති නෑ උන්ගෙ සෙට් එකෙන් පිට එකෙක්වත් සීට්වල වාඩි වෙනවට..කලින් නඟින එවුන් අනික් උන්ට සීට අල්ලගෙන එන්නෙ වෙන එක මනුස්සයෙකුටවත් කිට්ටු වෙන්න දෙන්නෙ නෑ..කට්ටිය සීට් වලට එකතු වුනාට පස්සෙ කාඩ් ගහනවයි කෑ ගහනවයි එක කෙළියයි..

    උන්ගෙ පාඩුවෙ ඕන කෙළියක් කළාට කමක් නෑ කියමුකො..මුන්ගෙ වැඩේම ළඟ පාතක වෙනදා නොයන එකෙක් ඉන්නවනම් සමච්චල් කිරීම..

    තුන්දෙනා යන සීට් එකට වෙන මනුස්සයෙක් ආවත් කොහොමහරි තුන්දෙනා ඉඳගන්නවා අර මිනිහගෙ කරෙත් එක්ක..ඊට පස්සේ ඇනුම්පද කියලා අලුත් මනුස්සයාව එලවන්නමයි බලන්නෙ..

    දවසක් මටත් ඔහොම වැඩක් වුනා මම දෙන්නා යන සීට් එකක් ඉඳන් ආවෙ. මඟදි කපල් එකක් නැග්ගා කොල්ලා සීට් එකේ ඉඳගෙන කෙල්ලව අපි දෙන්නා ඉන්න මැද්දට ගත්තා. කෙල්ල මගෙ කරේ. මමත් චුට්ටක්වත් ඉඩ නොදී ගණන් නොගෙන ගියා. මෙන්න බැරිම තැන කෙල්ල කියනවා "මොනාද මල්ලි මම හිතුවෙ ඔයා ලැජ්ජාවට සීට් එක දීලා යයි කියලා" මම හිනාවෙලා නිකන් හිටියා..

    මේක කියවන ඒ වගේ ගැන්සිවල අය පොඩ්ඩක් හිතන්න තමුන්වගේම අනිත් මිනිස්සුත් කෝච්චියේ යන්න ඕනෙ කියලා..මොකද ඒක පොදු ප්‍රවාහන සේවයනෙ..

    ReplyDelete
  4. පුදුමයි කෝච්චියේ සෙට් එක නෙළුවේ නැති එක....

    ReplyDelete
  5. Niyamai machng!

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...