ඉන්න ඇත්තො

3 time is all you have.. and you may find one day that you have less than you think

 
පහුගිය දවසක හදිස්සියෙම සිද්ද උනා රෝහලක නවතින්න... පොඩ්ඩක් පපුව රිදෙන්න ගත්ත... දන්න දන්න ගොඩක් අය ඉක්මනටම මේ නරකාදිය දාල යන හින්ද මටත් හිතුන යන්න ළඟයිද කියල බලා ගන්න.. ඒ මදිවට ඔලුවත් රිදෙන්න අරන් තිබුන. (ඒකෙන දැනගත්ත ඔලුවක් තියෙනව කියල). කොහොම හරි ඉතින් ගියා කියමුකො දොස්තර මහත්තයෙක් බලන්න.. ඇඟ හිරිවැටිල යන්න දොස්තර මහත්තය කියපි නවතින්න කියල. (ඇඟ හිරිවැටුනෙ මරණ බයට නම් නෙවේ. මොකද මේ කියන චකිතෙට,ගාන කීයක් වෙයිද කියන එකට). ඔන්න ඉතින් නැවතුනා..
නවතිනකොටම බැලුව පපුව තියෙනවද කියල.. ඒකත් හොඳයි.. මොකද ඉතින් අර පරිණාමවාදය ගැන කියපු උත්තමය කීවනෙ සත්තු ජීවත් වන පරිසරයට අනුව අනුවර්තනය වෙනව. එහෙම නැති උන් වඳ වෙනව කියල. මම තාම ජීවත් වෙන නිසාත්, ජීවත් වෙන්නෙ හිත් පිත් නැති කොන්ක්‍රීට් ලෝකෙක නිසාත් පොඩි සැකයක් ආව හදවත ගැන. (වෙලාවට ඒක තාම තියෙනව... ගැහෙනව)
හම්බුනා කාමරයක් මග පෙන්වන්නෙකුත් එක්කම. කාමරේට ගියාම ඒක හරි සීතලයි. එක ලෙඩයි, ඇඳන් දෙකයි. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ එක ඇඳේ ලෙඩ්ඩු දෙන්නයි. මෙතන එක ලෙඩයි, ඇඳන් දෙකයි.
ඔන්න ආව නංගි කෙනෙක්.. "සර් මොනවද දවල්ට කන්න කැමති..?", "රෑට මොනවද කන්නෙ..?", "හෙට උදේට කන්නෙ මොනවද...?". ප්‍රශ්න වැලයි. (මට සැකයි මම නැවතුනේ හෝටලේකද කියල..)
මම හිටපු ටිකට මාව බලන්න ආව දොස්තර මහත්තුරුන් ගානට වඩා වැඩි ගානක් වේටර් වරු ආව.
හරි, ඇඩ් ඉවරයි... ඔන්න ඕකයි තත්ත්වෙ.
ඔය ඉන්න අතරෙ මගෙ අක්ක ආව නිතර මාව බලන්න. එයා ගෙනාව මට අපූරු පොතක්. ඒක මම හිතන්නෙ හැම කෙනෙක්ම කියවන්න ඕනෙ එකක්.
ඔයාලට ජීවිතේ මොනම වේලාවක හරි වෛද්‍ය වාර්තාවක් ලැබුණොත් ඔබට සීමාසහිත කාලයක් ඉදිරියට ජීවත් වෙන්න තියෙන වග පවසමින්...? ඒකත් ඔබට ජීවත් වීමට ඇත්තේ තවත් මාස කීපයක් පමණක් යැයි කීවොත්..?
ඔබ කුමක් කරාවිද..? ඒ අතර ඔබට "අවසාන දේශනය" නමින් දේශනයක් පවත්වන්න සිද්ද උනොත්..?
("මොකද්ද මේ කියන්න යන විකාරෙ නේද..? ඉස්පිරිතාලෙ ඉඳල මුගේ මොළේ නරක් වෙලාද කොහෙද" එහෙම හිතුන නේද..?)
නෑ.. ඒක ඇත්ත කතාවක්..
නමින් ඔහු "රෑන්ඩි පෝෂ්". ඇමෙරිකා එක්සත් ජනපදයේ "කානගී මෙලන්" (Carnegie Mellon) සරසවියේ පරිගණක මාවන අන්තර් සබඳතා (Human Computer Interraction) අංශයේ ප්‍රධානියා මෙන්ම සම්මානලාභී ගුරුවරයෙක්. පිළිකා රෝගයෙන් මිය යන ඔහුට මේ අවස්තාව උදා උනා.
මගෙ අක්ක මට ගෙනත් දුන්න පොත ඒකයි. "The Last Lecture by Professor Randy Pausch". මේක සමන් කලුආරච්චි නම් හිටපු දිවයින ප්‍රධාන කර්තෘවරයෙක් විසින් සිංහලට පරිවර්තනය කරල "අවසන් දේශනය" නමින් මුද්‍රණය කරල තියෙනව.
රෑන්ඩිගෙ සම්පූර්ණ කතාවම ඔයාලට බලන්න පුලුවන් සජීවී පටිගත කිරීමක් තියෙනව.
අපි කාගෙත් ජීවිත කෙටියි කියල අපි කවුරුත් දන්නව.. ඒක කොයි වෙලේ හමාර වෙයිද කියල අපි කාටවත් කියන්න බෑ. ඒත් අපි ජීවත් වෙන්නෙ හරියට අපි සදාකාලිකවම ජීවත් වෙනව කියල හිතාගෙන. අපි අමරණීයයි කියල හිතාගෙන. එහෙම එකේ මේ වගේ කතාවකින් ඉගෙන ගන්න කොච්චර දේවල් තියේවිද...?

වීඩියෝව බලන්න මෙතනින්

එතුමාගෙ කතාවෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්ත... ඉස්සරහට ඒ ගැන පෝස්ට් කීපයක් ලියන්න හිතනව... කිවලම බලන්න... ඒ අමරණීය චරිතෙ ගැන.

3 comments:

  1. මම මේ පැත්තේ ආවේ අද බං. කොහොම හරි පොත හොයාගෙන කියවන්න ඕන.

    ReplyDelete
  2. Very Nice Post. Like it a lot. I love my books more thyan any thing now. So hope you will return it soon. I have an other good book to give you . "The Five People you meet in Heaven"

    Take Care,
    Akka

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...