ඉන්න ඇත්තො

3 මං ආසා ගී - සුළඟේ ලෙළෙනා

සුළඟේ ලෙළෙනා මල් සේ දඟ පා 
අප පාසැල් ගිය කාලයේ
යාලුවො අද නැත 
වෙන අය එහි ඇත 
කාලය මැව් වෙනසක අරුමේ...

ලොකු පන්තියෙ අය 
පොඩි පන්තියෙ අය
හැම දෙන ඒ පන්තියෙ විලසේ
අප පොත් වල සිටි රජ වරු සිටු වරු 
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ... 


සාමල අමරල පොත් තුළ තව ඇත
එන එන අය හා යාලු වෙතේ
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...

සුළඟේ ලෙළෙනා මල් සේ දඟ පා.....


ශාලිත අබේවික්‍රම ගායනා කරන මේ ගීතයට මම ගොඩක්ම ආසයි.. ඒත් මට මේක ලියන්න හිතුනෙ අද... අවුරුදු නිවාඩුවට ගමේ ගියාම (මගෙ උපන් ගම පොළොන්නරුව) මගෙ අක්කගෙ වැඩකට මගෙ පරණම පුංචි ඉස්කෝලෙට යන්න වුනා. ඇත්තටම මමත් හරි ආසාවෙන් හිටියෙ එහෙ යන්න... (පුංචි ඉස්කෝලෙ කීවට ඒක පුංචි නෑ. මම බුකියට එදා ගත්ත පින්තූර ටිකක් දැම්ම... කැමති කෙනෙක්ට බලාගන්න පුලුවන් මගෙ පුංචි ඉස්කෝලෙ.)
මගේ පුංචි ඉසෝලෙ නම සේවාමුක්ත කඳවුර මහා විදුහල.
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා.. ඒත් පරණ දේවල් ගොඩක් තාමත් එහෙමම තියෙනව. පරණ බුදු මැදුර (දැන් අලුතෙන් එකක් හදල), මසං ගහ, තල් ගස්, පරණ ප්‍රධාන ශාලාව (ඒ විදියටම තියෙනව), අපේ පුංචි පන්තිය.
මේ පින්තූරෙ තියෙන්නෙ අපේ පුංචි පන්ති පේළිය. ඒක දැන් ලස්සනට පාට කරල. හැබැයි දැන් එතන තියෙන්නෙ 2 වසර පන්ති. අපි ගියෙ ඉස්කෝලෙ නිවාඩු කාලෙ නිසා ඉස්කෝලෙ පාලුයි. ගොඩනැගිලි ගොඩක් හදල නිසා නිකන් හිර වෙලා වගේ.. ඉස්සර තිබුණ නිදහස නෑ වගේ දැනුන.
පුංචි පන්තිය ගාවට ගියාම, ඉස්සර දුන්න බිස්කට් වල සුවඳ තාම දැනෙනව වගේ...
ඒ අවුරුදු කීයකට කලින්ද...?
ඒත් ඒ ගොඩක් දේවල් අද වගේ තාමත් මතකයයි... අංජුන, සුජීව, දිළිණි, අරවින්ද, උත්පලා, බෙනඩිත්ත ඒ එකට හිටිය යාලුවො.. 1984/85 අවුරුද්ද....
මේ සිංදුව ඈහෙනකොට ඒ දේවල් ආයෙ ආයෙ මතක් වෙනව.
දැන් ඒ යාලුවො කොහෙ ඉන්නව ඇද්ද...? මොනව කරනව ඇද්ද..? අද දැක්කොත් අඳුන ගන්න පුලුවන් වෙයිද..? ඇත්තටම ඒ අය දකින්න පුලුවන්නම්....
මේක කියවන ඔයාල කවුරු හරි දන්නවනම් එහෙම කෙනෙක්, මේ විස්තරේ කියන්න...

මේ ගීතයෙ පදවැල් නම් කාගෙද කියල මම දන්නෙ නෑ. සංගීතයත් එහෙමමයි... ඇත්තටම අතීතයට ආදරේ කරන, පාසැල් කාලයට, පාසැල් මිතුරන්ට ආදරේ කරන ඕනෙම කෙනෙක්ට මේ ගීතය හිතට දැනෙයි... ගීතය අහන්න මෙතනින්

3 comments:

  1. මේ සිංදුවට අපි හැමෝම ආසයිනේ..

    ReplyDelete
  2. මමත් ගොඩාක්ම ආසා ගීතයක්.. ඇත්තටම ආයේ ඉස්කෝලේ යන්න තිබුනා නම් කියලා හිතෙන වාර අනන්තයි ..

    ReplyDelete
  3. ඉස්කෝලේ යන කාලේ ඒකේ වටිනාකම නොතේරුණත් දැන් තමා ඒක හොඳටම දැනෙන්නේ. දේක වටිනාකම හොඳටම දැනෙන්නේ ඒක නැතුව ගියහම

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...