ඉන්න ඇත්තො

2 ජීවිතයත්, මරණයත් අතර ජීවත් වීම...



ජීවිතය, මරණය කියන එක කාටවත් අරුමයක් නෙවෙයි.. කෙනෙක් ඉපදුනොත්, ඒ කෙනා කාලයක් ජීවත් වෙලා මරණයට පත් වෙනව. ඒක අනිවාර්යයි.. ඒ ජීවත් වෙන කාලය එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්.. ඒත් කවද හරි මැරෙණවමයි. ඒක වෙනස් කරන්න පුලුවන් ජගතෙක් තාමනම් පහළ වෙලා නෑ. සල්ලි, බලය මහ ඉහළින් තියෙන උදවියත්, මාරය "දැන් හරි" කීවම යන්න වෙනව.
අන්න එහෙම තියෙන අපිම තමයි ඒ ජීවත් වෙන ටික කාලෙට නාඩගම් සම්ප්‍රදාය අනුගමනය කරන්නෙ.

අපි දවසකට කී දෙනෙක්ට රිදවනවද..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව)

අපි කී දෙනෙක්ව අඬවනවද දවසකට..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව) 
අපි කී දෙනෙක්ව සතුටු කරනවද දවසකට..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව) 
 
අපි කී දෙනෙක්ට පුලුවන්ද කෙනෙක්ගෙ හිතේ තියෙන ප්‍රශ්ණෙකට හවුල් වෙන්න.. (ඒ කියන්නෙ ප්‍රශ්ණයක් ඇති කරන්න හරි, වැඩි කරන්න හරි නෙවේ. කෙනෙක්ගෙ ප්‍රශ්නෙකට පිළියමක් හොයා ගන්න උදව් වෙන්න, එහෙමත් බැරිනම් ඒ කෙනාගෙ ප්‍රශ්නෙ අහගෙන ඉඳල ඒ කෙනාගෙ හිත ටිකක් හරි සැහැල්ලු කරන්න. ඇහුම්කම් දෙන්න... සමහරවිට ඒක ඕනෑවටත් වඩා උදව්වක් වෙයි.)

මේ ප්‍රශ්න වලට ඔයාලට තියෙන උත්තර මොනවද..? කියන්න එපා.. හිතින් හිතා ගන්නකො.. ප්‍රශ්න 4න් 1 සහ 2ට රින (-) ලකුණුත්, 3 සහ 4ට ධන (+) ලකුණුත් 100න් දීල, එකතු කරල බලන්න තමන්ට කොච්චර ඉතිරි වෙනවද කියල.

අපි ගොඩාක්ම වෙලාවට අනිත් කෙනා ගැන හිතන්නෙ නෑ... ඔහෙ ඇරල දානව හිතට එන හැම එකම. හැබැයි අපිට එහෙම මොකක් හරි හිත රිදෙන දෙයක් කවුරු හරි කීවොත්, ඒ මිනිහ නැති වෙනකල් පන්න පන්න ගහනව. අඬනකල් ගහනව.

අඬනව කියන එක අපි හිතන්නෙ ඇස් දෙනෙක් කඳුලු එලියට එන එක කියලනෙ.. එහෙම නෑ.. ඇස් දෙකෙන් කඳුලු එන්න අඬන එක ටිකක් හොඳයි.. ඒකෙන් හිතට ටිකක් සහනයක් දැනෙනව. ඒත් ඊට වඩා ගොඩක් දරුණු දේ තමයි, කඳුලු නේන විදියට, ලෝකෙට හිනාව පෙන්නල, හිතින් අඬන එක. මොකද ඒක කරන්නෙ දුක හිතේ තද කරගෙන. (අපි පුංචි කාලෙ අම්මල අපිව දාල කොහෙ හරි යන්න හදනකොට, අඬද්දිත් අම්මල අපිව දාල යද්දි, හිතට දැනෙන හිර වෙනව වගේ හැඟීම කාටද මතක...? ඒ කඳුලු එන්න අඬලත්.. හිතල බලන්න කඳුලු එන්නෙත් නැතුව, එහෙම වෙනකොට දැනෙන දුක. - මේ උදාහරණෙ කාලෙකට ඉස්සර මගෙ යාලුවෙකුට මම කීව්ව. එයාටනම් ඒක තේරුණා හොඳට.. දන්නෙ නෑ ඔයාලට ඒ හැඟීම දැනිල තියෙනවද, මතකද කියල)
ඉතින් අපි නොදැන හෝ අපි කරන දෙයක් නිසා කෙනෙක්ට අඬන තරමට දුකක් එනවනම්.. ඒක අපි හිතන්නෙ නෑනෙ..
කෙනෙක්ගෙ දුක වගේම සතුටටත් හේතුව පුංචිම පුංචි දෙයක් වෙන්න පුලුවන්.. උදාහරණයක් විදියට උදේට දැක්කම "Good Morning" කියන එක. ඒක අපිට නිකන් වචන 2ක් විතරයි. ඒත් තව කෙනෙක්ට ඒක ලොකු සතුටක් දෙන දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් නොමිලේ දෙන්න පුලුවන් එකම දේ "හිනාව". ඒක අපුට සුලු දෙයක් උනත්, තව කෙනෙක්ට ඒක මහා දෙයක් වෙන්න පුලුවන්. ඒත් අපි නිකමටවත් එහෙම හිතනවද....?
අන්තිම කතාව ටිකක් දරුණුයි.. මේ දේ කරන්න පුලුවනුත් තමන්ගෙ කෙනෙට විතරයි ගොඩක් වෙලාවට. (තමන්ගෙ කෙනෙක් කීවෙ වේයො වගේ නෑයන්ම විතරක් නෙවෙයි. යාලුවො කියන කුලකය ගත්තම ඒකෙත් එක කොටසක්, බොහොම ටික දෙනෙක් ඉන්නව තමන්ගෙ අය කියල. අපේ උන්... ඒක අපේ එකා/ එකී කියල කියන්නෙ.. අන්න ඒ අය.. එක බඩවැල කඩාගෙන ආවෙ නැති උනත් සහෝදරයො/ සහෝදරියො) 
කෙනෙක්ට ප්‍රශ්නයක් උනාම සමහර විට කොච්චර කිට්ටු උනත් ඒ ප්‍රශ්නෙට උත්තර අපි ලඟ නැති වෙන්න පුලුවන්. ඒත් ප්‍රශ්නෙන් දුක් විඳින කෙනාට, එයාගෙ ප්‍රශ්නෙට ඇහුම්කම් දෙන එකත් ගොඩක් වටිනව. (අත්දැකීමෙන්) තමන්ගෙ ප්‍රශ්නෙ කෙනෙක්ට තේරෙනව, දැනෙනව කියල හිතෙන එකත් ඒ කෙනාට සහනයක්.
ඒත් අපි එහෙම කරනවද...? "අයියෝ, ඕක මොකද්ද..? අමතක කරල දාන්න.. සුලු දෙයක්නෙ..", "අත ඇරල දාන්න...", "අයියෝ ඕකද..?", "ආ ඇත්තද...?", "දැන් ඕක ගැන හිත හිත ඉන්න කාලයක් නෑනෙ", "හිතුව කියල වැඩක් වෙනවයැ"..... අපි දෙන උත්තර ඕව නේද.? එහෙමත් නැත්නම් තව කෙනෙක් එක්ක අරයගෙ ප්‍රශ්නෙ කියල හිනා වෙනව...
ගොඩක් වෙලාවට කරන්නෙ ඔය දේවල් නේද...?

ඇයි අපි මෙහෙම දේවල් කරන්නෙ..?

"දැන් කාලෙ ලෝකෙ වෙනස්..." (ඇයි දැන් ලෝකෙ හතරැස්ද..?)
"ඕව කරන්න කාටද වෙලාව තියෙන්නෙ.....?"
"එයාව නලවනව ඇරෙන්න වෙන වැඩ නෑ...."
"අයියෝ...පොඩි එකා වගේ.."

මෙහෙම උතතර තියෙන්න පුලුවන්.
ඇත්ත... අපි දුවන්නෙ රේස් එකක්... ඒක අපි දිනන්න ඕනෙ... ඒත්... අපි ඒ ගමනෙදි වැටෙන, අපේම එවුන් පාගගෙන, අපේ රේස් එක විතරක්ම දිනා ගන්න එකද හරි..?
එහෙමත් නැත්නම් ඒ වෑටෙන එකා පාගන්නෙ නැතුව, අපිට ඒකවත් ඇදගෙනවත් යන්න බැරිද.? අඩුම ගානෙ වැටෙන්න නොදී ඉන්න බැරිද..?
අපි මේ හැමදේම කරන්නෙ අපේ පුද්ගලික ප්‍රතිරූපෙ ගොඩ නගා ගන්න නේද..? අනිත් කෙනා නිසා ඒ ගොඩ නගා ගන්න පුද්ගලික ප්‍රතිරූපෙට හානියක් වෙයි කියල හිතන නිසා නේද ඒ අය ඈත් කරන්නෙ...? තමන්ගෙ එවුන්ගෙන්ම ඈත් වෙන්නෙ...?
කලකදි ළඟ උන් එවුන් පවා දාල යන්න අන්න ඒ ප්‍රතිරූපෙට හානි වෙයි කියල නේද..?
ඒත් අපි ඒකට අපේ ලේසියට, එක එක හේතු කියනව.. එක එක නම් දා ගන්නව.. ඒත් අන්තිමේ අපි කරල තියෙන්නෙ එකම දේ.

ඇයි අපිට බැරි දෙයක් කියනකොට, කරනකොට, ඒක තව කෙනෙක්ට දුකක්, කඳුල දෙන දෙයක් වෙයි කියල දෙපාරක් හිතන්න බැරි...
කටින් වචනයක් ගියොත් ගියාමයි.. ආයෙ ඒක මකන්න බෑ... මකන්න වෙන්නෙ නෑ....ඒ වගේමයි ඒ නිසා හිතක් රිදුනොත්, කැඩුනොත්... 
ආයෙ ගොඩ නැගෙන්න අවුරුදු ගණනාවක් යයි... 
එච්චර කලක්  ඒ කෙනා ජීවත් නොවුනොත්..? 
අපේ හෘද සාක්ෂිය අපිට නිදහසේ ඉන්න ඉඩ දෙයිද..?
හිතන්න....
 

2 comments:

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...