ඉන්න ඇත්තො

4 [108] ඇති/නැති දා.....

මේ හෙඩිමෙන් මම මගෙ මූණු පොතේ "සිත් විනිවිද" පිටුවෙ නිකන් අදහසක් දැම්ම පහුගිය දවසක. ඒ ඇත්තටම හිතට දැනුන දෙයක් නිසයි....
මගෙ බ්ලොග් එක කියනව කෙනෙක් නම් එයාට දැනිල ඇති මම ගොඩක් වෙලාවට යාලුවන්ට ගරු කරන, යාලුවන්ට නෑයන්ට වඩා සලකන කෙනෙක් කියල. මොකද "නෑයො", "වේයො", "මීයො" වගේ නොපෙනි කපන ජාතියක් නෙවෙයි "යාලුවො" කියන්නෙ. මම ඒක විශ්වාස කලා ගොඩක්. ඒක විශ්වාස කරන්නත් මට හේතු තිබුණ. ඒ හින්දම වෙන්න ඇති මම යාලුවන්ට බ්ලොග් පෝස්ට් කීපයක් ලීවෙ. මම හැමවෙලේම උන්ව හඳුන්වන්න පාවිච්චි කලේ "මගේ උන්" කියල.
අපිට තේරෙන කාලේ ඉඳල අපි එක්ක යාලුවො ඉන්නව. අපේ පවුලෙ අය ඇරුනම අපිට ලෙන්ගතු හැම කෙනෙක්ම යාලුවෙක් වෙනව.
(ආ හැමදාම කියන එකක් අමතක උනා. මේ ලියන්නෙ මගෙ අදහස්, මට හිතෙන දේ. කෙනෙක්ට මීට වඩා වෙනස් විදියට හිතෙන්න පුලුවන්. මගෙ එක්ක එකඟ වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒත් තරහ වෙන්න එපා. කාටවත් රිද්දන්න හිතාගෙන නෙවෙයි ලියන්නෙ. ඒත් මේක කියවල නිකන් හරි හිත රිදුනනම්, හිතල බලන්න ඔයාල අතිනුත් එහෙම වරදක් උනාද කියල. මට නෙවෙයි, ඔයාගෙ කවුරු හරි යාලුවෙක්ට)
ඒත් ටිකක් දැනුම් තේරුම් තියෙන කාලෙ වෙනකොට තේරුම් ගන්න පුලුවන් වෙනව අපිට ඇති දා අපි ළඟ ඉන්න යාලුවො සහ අපිට නැති දා අපි එක්ක ඉන්න, දාල නොයන යාලුවො කියල කොටස් 2ක් ඉන්නව කියල.
(අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරන පරිදි වෙනත් ආකාරයක මිතුරු වර්ගීකරණයක් කරන්න පුලුවන්. ඒත් මම සරලවම කීවෙ.)
ඇත්තටම අපිට තියෙන දාට අපි ගාව ඕනෙ තරම් මිනිස්සු ඉන්නව. ඒක බොහොම සාමන්‍යයයි. ඒත්.. ඇත්තටම යාලුවො කියල තමන්ගෙ අය අපිට ඕනෙ වෙන්නෙ අපිට නැති දාටයි.
(මම මේ ඇති/නැති දා කියල කියන්නෙ සල්ලිම නෙවෙයි. ඒක හොඳට මතක තියා ගන්න.)
අපි අසරණ උනාම. ලෙඩක්, දුකක් ඇති උනාම. එහෙම නැත්නම් ලොකු සිත් තැවුලක් ඇති උනාම. ගොඩක් වෙලාවට එහෙම අවස්ථාවක තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක්, තමන් ළඟ ඉන්න එකයි වැදගත්. ඒ කෙනාගෙන් වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ. තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් තමන්ගෙ යාලුව ළඟ නැති වෙන්න පුලුවන්. ඒත් වටින්නෙ ඒ කෙනා තමන් ළඟ ඉන්න එකයි.
යාලුවෙක් කියන්නෙ හැම වෙලේම අපි කරන හැම දේම හරී කිය කිය, අපිට ඕනෙ හැම දේම කරල දෙන කෙනෙක් නෙවෙයි. අපි කරන හරි දේ නිහතමානීව හරියට දකින, වැරදි දේ කොන්ද කෙලින් තියාගෙන වැරදි කියල, වැරැද්ද පෙන්නල හරි මගට ගන්න, අපිට ඕනෙ දේ කරල දෙන්න බැරි උනත්, අමාරු අවස්ථා වල මග ඇරල නොයන, ඒ අමාරු කාල පහු කරන කොට අපිට ශක්තියක් වෙලා ළඟින් ඉන්න පුලුවන්, අපේ සතුටෙදි අවංකව සතුටු වෙන්න පුලුවන් අයෙක්. උතුම් මිනිසෙක්.
1. අපි ජීවත් වෙන ලෝකෙ, සමාජෙ අපි දුවන රේස් එක නිසා අපිට අනිත් අය ගැන හොයන්න වෙලාවක් නෑ කියල කෙනෙක්ට කියන්න පුලුවන්. 
2. එහෙම නැත්නම් යාලුවො නැතුව ජීවත් වෙන්නම බැරිද කියල තව කෙනෙක්ට කියන්න පුලුවන්. 
3. අපිට අපේ තියෙන ප්‍රශ්ණ එක්ක යාලුවො ගැන හොයල බලන්න වෙලාවක් නෑ කියල තවත් කෙනෙක්ට කියන්න පුලුවන්. 
4. බැන්දට පස්සෙ කොහෙද අනේ යාලුවො ගැන හොයන්න වෙලාවක් කියල තවත් කෙනෙක් කියන්න පුලුවන්.

ඒත් ඔය දේවල් අපි කියන්නෙ අපේ වාසියට. මොකද අපි එක්ක දුක සැප බෙදාගෙන කාලයක් හිටිය යාලුවෙක්ව; අපි පෝසත් උනා කියලවත්, රටේ ලොකු තැනක රස්සාවක් කලා කියලවත්, කසාද බැන්ද කියලවත්, ඉහළට ඉගෙන ගත්ත-යාලුව ඉගෙනගෙන නෑ ඒ නිසා ගැලපෙන්නෙ නෑ කියලවත්, ගොඩක් බිසී කියලවත් අමතක කරනවනම්, මග අරිනවනම්, ඒක තරම් තවත් ගුණමකු කමක් නෑ කියලයි මම හිතන්නෙ.
කැස්සට උක් දණ්ඩක් කාල රොඩ්ඩ විසි කරනව වගේ , යාලුවගෙන් උදව් ඕනෙ කාලෙ සාරෙ උරා බීල, දෙපයින් හිට ගත්ත දාට රොඩ්ඩ විසිකරනවනම්, ඒ තරම් ගුණමකුකමක් හොයන්න අමාරු වෙයි.

ටිකක් හිතල බලන්න... තමන්ගෙ යාලුවෙක් ඉහළින් වෑජඹෙන කාලෙට වඩා, ලෙඩක්-දුකක් හැදුන කාලෙක, එහෙම නැත්නම් අසරණ උන කාලෙක, මානසිකව ඇද වැටුන කාලෙක ලඟ ඉන්නව තරම් උතුම් දෙයක් තවත් නැති වෙයි. ඒ ඒ වෙලාවට එයාට මුදලින්, බලයෙන්, ශක්තියෙන් උදව් කරල නෙවෙයි... හිතර හයියක් වෙන්න පුලුවන්නම්, එයාගෙ දේවල් වලට ඇහුම්කන් දෙන්න පොඩි වෙලාවක් වැය කරන්න පුලුවන්නම්, අන්න ඒක තරම් තවත් ශක්තියක් එයාට නැති වෙයි. සමහර වෙලාවට ඒ උදව්ව අසරණ ජීවිතයක් රැක ගන්න කල සත් ක්‍රියාවක් වෙයි.
ඇති දාට වඩා නැති දාට හැර නොයන මිතුරෙක් (උතුම් මිනිසෙක්) වෙන්න..

4 comments:

  1. ගොඩාක් හොඳ ලිපියක්.මම සුභ පතනවා.මගේ බ්ලොග් එකටත් ඇවිත් යන්න එන්නකෝ.imalkiudana.blogspot.com

    ReplyDelete
  2. ලිපිය හොඳයි.. ජය වේවා..:)

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...