ඉන්න ඇත්තො

2 අපිටම අවංක වෙමුද...?

11-11-11 දින ලියමි...


11 - 11 - 11 (2011-11-11) තවත් අවුරුදු 100 කින් එන දවසක්.. ඒ කියන්නෙ අපිට 11-11-11 කියල ආයෙ ලියන්න වෙන්නෙ 2111-11-11.. අපි ඒ වෙනකොට ජීවත් වෙන්නෙ නෑ කියන එක ඉර හඳ වගේ විශ්වාසයි.. එහෙම දවසෙ මොනව හරි ලියන්න ඕනෙ. ඒත් ඉතින් මේක පල වෙන්නෙ 12 වෙනිදනම් තමා... වැඩේ පටන් ගත්තෙ 11 උනාට ඉවර වෙන්නෙ 12... (ගැත්තාට සමාවෙන්න ඒ නිසා.)
නොවැම්බර් මාසෙ මළවුන්ගේ මාසෙ උනාට, ඒක හොඳ මාසයක්... මේ මාසෙදි ලොකු සෙනසුරු මාරුවක් වෙනව කියලත් කියනව.. ඒක වෙලා ඉවර වෙනකල් මට එච්චර හොඳ නෑ කියල ගොඩක් දෙනෙක් කීව... මම ඔය දේවල් ගොඩක්ම විශ්වාස නොකළට, මෙදා සැරේ ටිකක් පරිස්සම් වෙන්න හිතුව..
හැම වෙලේම 15 වෙනිදා වෙනකල් ඉවසනව කියල හිතින් හිතල සද්ද නොකර ඉන්නව..
බලමු 15 වෙනිදගෙන් පස්සෙවත් ලොකු වෙනසක් වෙයිද කියල..
ඒ කොහොම වෙතත්, මම ඉස්සෙලම බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙත් 2010 අවුරුද්දේ මේ මාසෙ.. ඒ කියන්නෙ නොවැම්බර් මාසෙ... දැන් අවුරුද්දකුත් වෙන්න එනව.


ඒක එහෙමයි කියමුකො...
මම ගොඩක් වෙලාවට හිතපු, සහ දැකපු කාරනාවක් ගැන මට අද ලියන්න හිතුන... මේක මට විතරක් උරුම වුන අත් දැකීමක් නෙවෙයි, මේක කියවන හැම කෙනෙක්ම කවද හරි දවසක අත් දැකල ඇති.
වැඩි කැටයම් නෑ..
කතාව කෙටියෙන් මෙච්චරයි..
අපි කීයෙන් කී දෙනෙක්ට පුලුවන්ද තව කෙනෙක්ගෙ ජයග්‍රහණයක් බලල, අවංකව සතුටු වෙන්න..?
අද සමාජෙ එහෙම වෙන අවස්තා කොච්චරනම් දුලභද...?
කෙනෙක් ජයග්‍රහණයක් ලබපු වෙලාවක, හිත යටින් ඉරිසියා නොකර, එහෙම නැත්නම් "අනේ මේක ඇයි මට හම්බුණේ නැත්තෙ" කියල හිතන්නෙ නැතුව, අවංක සිතින්, හද පිරි අවංක සතුටින් සුභ පතන්න පුලුවන් මිනිස්සු කීයෙන් කී දෙනාද අපි අතර ඉන්නෙ..?මම පිළිගන්නව අපි කවුරුත් පෘතඃජන මිනිස්සු කියල... ආශාව, තන්හාව කියන දේවල් අපි දුරු කරල නෑ කියල..
ඒ උනත්....
ඇත්තටම අපිට පුලුවන් වෙන්න ඕනෙ වෙනත් කෙනෙක්ගෙ සතුටක් එක්ක සතුටු වෙන්න අවංකවම, වෙනත් කෙනෙක්ගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වෙන්න අවංකවම..ඒ කෙනාගෙ ජයග්‍රහණයට අවංකව සුභ පතන්න..
ඒත් ඉතින් අවාසනාවකට වගේ අපි අතර ඉන්න ගොඩක් අය කරන්නෙ එහෙම දේකදි සුභ පතනව... හැබැයි ඉතින් හිතේ තියෙන්නෙ "අනේ කෙල වෙලාම පලයන්" කියන හැඟීම... හැබැයි ඉතින් අපරාදෙ කියන්න බෑ ඒ වගේ දේවල් මූණෙන් හංගන්න නම් අමාරුයි... ඒත් අපේ ගොඩක් අය කරන්නෙ අර "කපන්න බැරි අත ඉඹිනව" වගේ දෙයක්..
මමනම් දකින්නෙ එහෙම කෙනෙක් ජයග්‍රහණයකදි, සතුටකදි ඒ කෙනාට ඒ විදියට සුභ පතනවට වඩා ඒ සුභ පැතීමවත් නොකර ඉන්නවනම් හොඳයි කියන එක... මොකද එහෙම කෙනා කොයි වෙලෙත් හිතන්නෙ අර මනුස්සය ලබපු ජයග්‍රහණයට කැළලක් කරන්නෙ කොහොමද කියල... මඩක් ගහන්නෙ කොහොමද කියල.. ලබපු සතුට ඉක්මනින්ම දුකක් බවට හරවන්නෙ කොහොමද කියල... ඒත් එහෙම කලා කියල තමන්ට ලැබෙන ඇති දේකුත් නෑ..
ඉතින් ඒක සාපයක්නෙ.
එහෙම එකේ ඒ වංක සුභ පැතීම කරනවට වඩා හොඳයි වචනයක්වත් කතා නොකරම ඉන්න එක...ඒකෙන් අඩුම ගානෙ කරා පව ටිකක් හරි අඩු වෙනව..

මම ඔය අත්දැකීම විඳල තියෙනව... මම සමහරුන්ගෙ ඇස් වලින් ගින්දර පිට වෙනව දැකල තියෙනව "නියමයි මචං", "ෂා නියමයිනෙ" කියල කියන වෙලාවල් වලදි... ඉතින් ඒ මිනිස්සු කොයි තරම්නම් පවක්ද කර ගන්නෙ..?
කොයි හැටි වෙතත්, අද දවස මම සතුටු වෙන දවසක්... ඒ ඇත්තටම මගෙ යාලුවෙක් වෙනුවෙන්... මට ඉන්න හොඳම යාලුවෙක් වෙනුවෙන්..
කෙනෙක් තමන්ගෙ ජීවිතෙ ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණයක් අද මගේ යාලුවෙක් ලබපු නිසා...අධ්‍යාපනයේ නගින්න පුලුවන් ඉහළම හිනිපෙත්තට නැගපු නිසා..ඒ "ආචාර්ය උපාධිය" අද දවසෙදි ලබපු නිසා...
අවුරුදු 4ක් තිස්සෙ නොයෙක් දුක්, කරදර විඳගෙන ආපු ඒ දුර ගමනෙ අවසානෙ ලබන්න පුලුවන් ඉහලම ජයග්‍රහණයත් එක්ක සතුටු වෙන ඇයට මම සුභ පතනව... අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඇය සමත් වෙච්ච එක ගැන මට සතුටුයි...  
ඒ සතුටත් එක්කම හිතන්න පුංචි දෙයක් අන්තිමේ කියන්නම්...
අපිට පුලුවන්නම් තවත් කෙනෙක්ගෙ සතුටෙදි අවංකව සතුටු වෙන්න, දුකේදි අඬන්න බැරි උනත් හිනා නොවී ඉන්න.... අපි මේ දුවන රේස් එක කොච්චර ලස්සන වෙයිද...?


2 comments:

  1. "අපිට පුලුවන්නම් තවත් කෙනෙක්ගෙ සතුටෙදි අවංකව සතුටු වෙන්න, දුකේදි අඬන්න බැරි උනත් හිනා නොවී ඉන්න.... අපි මේ දුවන රේස් එක කොච්චර ලස්සන වෙයිද...?"

    ඇත්ත...!

    ReplyDelete
  2. ඒත් අපේ ගොඩක් අය බලන්නෙ හිනා වෙන මිනිහෙක්ව අඬවන්නෙ කොහොමද කියලයි; අඬන මිනිහෙක්ට හිනා වෙන්නයි...
    ඒකයි අපි හැමදාමත් එක තැන... මම හිතන්නෙ එහෙමයි.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...