ඉන්න ඇත්තො

5 රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය


කලින් ලීව ගීයත් එක්කම, ගොඩක් දවස් ඉඳල ලියන්න හිතාගෙන හිටපු දෙයක් ලියන්න හිතුව.
උඩින්ම දාල තියෙන පින්තූරෙ දැක්කම මොකද හිතෙන්නෙ...?
මේකෙ ඔයාල දන්න කවුරු හරි ඉන්නවනම් බලන්න. මේක අරගත්තෙ මට මතක හැටියට 1989 අවුරුද්දෙ.
මම මගෙ පාසැල් ජීවිතේ නාමිකව විද්‍යාල 6කට ගිහින් තියෙනව. 

මම මුලින්ම ගියෙ පොළොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයට. ඒකෙ හිටියෙ බාලාංශ පන්තියෙ විතරයි. අංජුන,අරවින්ද, සුජීවා, දිළිණි, බෙනඩිත්තා, උත්පලා ඒ මට මගෙ පන්තියෙ හිටිය, මගෙ එක්ක එක මේසෙ වාඩිවෙච්ච, මට තාමත් මතක තියෙන මගෙ යාලුවො. 
ඉන් පස්සෙ මම 2 වසරට ආව පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයට. මම මුලින්ම ගියෙ "ලොකු ටීචගෙ" පන්තියට...(ටීචගෙ නම සුමනා වීරසූරිය. ඒත් කවුරුත් කීවෙ ලොකු ටීචර් කියල) මට ඒ පන්තියෙ ඉස්සෙල්ලම හම්බුන යාලුව තමා "අසිත්". නම අසිත් චේතික චන්ද්‍රසිරි.අදටත් මට මතකයි මම ඉස්සෙල්ලම වාඩි උනේ අසිත් ගාවින්. එදා ඉඳල ඔය පින්තූරෙ ගත්ත දවස වෙනකල් අපි එකට හිටිය. ඉන්පස්සෙ අවුරුදි ගානකට පස්සෙ (අවුරුදු 20කට පස්සෙ) 2009 ජූලි මාසෙදි මූණු පොතෙන් මගෙ පුංචි කාලෙ යාලුව ආයෙමත් මට හම්බුනා. මට තාම මතකයි අසිත් ඉස්සර සපත්තුවෙ ලේස් බැන්ද විදිය. ලේස් එක වලලු කර වටේ තමයි ගැට ගහන්නෙ.(උඩින් තියෙන පින්තූරෙ වම් පැත්තෙ ඉඳල දෙවෙනියට ඉන්නෙ අසිත්. ලේස් ගැට ගහල ඉන්න හැටි ඒකෙත් පේනව.)
නලින්ද, සරත්,රජීව්,කැලුම්, කෙනෙත්, ප්‍රසන්න, නිශාන්ත, චමිල,නදුන් මගෙ එක්ක එක පන්තියෙ හිටිය යාලුවො. නයනා, එරංග, සෙව්වන්දි, කාංචනා,ශාරදා,තේජා, නිලූකා රත්නායක ස‍ර්ගෙ පංතියට වෙනකල් මගෙ එක්ක එකට හිටිය යාලුවො. 
රජීව්, ප්‍රසන්න, නිශාන්ත, නයනා,සෙව්වන්දි, නිලූකා මේ පින්තූරෙ නෑ. 
නයනා, අසිත් වගේම අවුරුදු 20කට පස්සෙ මට මූණු පොතෙන් හම්බුනා. මතක හැටියට අපි 4 වසරෙ ඉන්නකොට සිල්ව සර්ගෙ ඉංග්‍රීසි පන්තියට ගියා. එක දවසක් පන්තිය පටන් අරන් ටික වෙලාවකින් සිල්ව සර් කල විහිලුවකට තරහ ගිය නයන පොත් ටිකත් අරන් ගෙදර ගියා. (ඉස්සර නයන කොච්චි කරල වගේ. මං හිතනව මේක කියවල තරහ යන එකක් නෑ කියල)
රජීව්, ඒ කාලෙ පොලොන්නරුවෙ ඩී.එම්.ඕ හිටිය දොස්තර සමරනායකගෙ පුතා. සම්බෝල කන්න හරි ආසයි.
එරංග, ඒ කාලෙ දිසපති දියනිය... අපි එක්ක හිටියම හරි උස මහතයි. (එයානම් දන් දොස්තර නෝන කෙනෙක්. මේක කියවන්න වෙලාවක් තියේද දන්නෙ නෑ. කියෙව්වොත් තරහ ගන්න එකක් නෑ කියල හිතනව)
එරංගා, ප්‍රසන්න දෙන්නත් අවුරුදු 20කට පස්සෙ මූණු පොතෙන් හම්බුනා.
ශාරදා අවුරුදු 10කට විතර පස්සෙ හරිම අහඹු විදියට මට හම්බුනා. ඒ මහාමායා විද්‍යාලෙ හිටිය මගෙ තව යාලුවො දෙන්නෙක් හින්ද. ඒ 97,98 කාලෙ විතර. පස්සෙ මම පොලොන්නරුවෙ ගිය වෙලාවක එයාලගෙ ගෙදරත් ගියා.. අනේ ඒත් ඊට පස්සෙ එයාල කලින් හිටිය ගෙදරින් ගිහින්.. කවුරුත් දන්නෙ නෑ එයාල කොහෙද ඉන්නෙ කියල...
ඒ හැම කෙනෙක් ගැනම තාමත් මොකක් හරි මතක හිටින සිද්දියක් මතකයෙ තියෙනව. මගෙ පාසල් ජීවිතේ කැමතිම කාලෙ මොකද්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නෙ ඒ 2 වසරෙ ඉඳල 5 වසරට වෙනකල් පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයෙ හිටිය කාලෙ කියල තමයි. මම හරි ආසයි ඒ කාලෙට. අපි කා අතරවත් කුහක කම්, කපටි කම් කියන දේවල් තිබුනෙ නෑ. හරි සතුටෙන් , සමගියෙන් හිටිය.. ගෑණු, පිරිමි කියල බේදයක් තිබුනෙ නෑ.
මට තාමත් මතකයි අපේ ඉස්කෝලෙ තිබුණ අට්ටික්ක ගස්, ගල් වල, අපේ පන්ති, පිට්ටනිය, පිට්ටනිය අයිනෙ තිබුන පොඩි කැලෑව.  
ඒ කාලෙ ආයෙ කවදාවත්ම එන්නෙ නෑ. ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා. ඒ කාලෙ හිටිය යාලුවො දැන් එක එක තැන් වල. සමහරු රටෙත් නෑ. ඒත් ආයෙ එක දවසක හරි පුලුවන්නම් අපිට ඒ යාලුවො දකින්න.... උඩින් තියෙන පින්තූරෙ වගේ නැතුව ඇති. කට්ටිය වෙනස් වෙලා ඇති. ඒත්... මට වගේම පරණ දේවල් මතක ඇති.. හම්බෙලා එක දවසක අපිට පුලුවන්නම් ඒ දේවල් ආයෙ මතක් කරන්න... කොච්චර අගේද...? 
මේ පොස්ට් එක කියවන කවුරු හරි කෙනෙක් දන්නවනම් 1986-1989 කාලෙ පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලෙට ගිය කෙනෙක්, කියන්න මම මේ ලියල තියෙන දේ ගැන. (පුලුවන්නම් මගේ මේ ලිපිය ඔයාලත් ශෙයාර් කරල සහයෝගය දෙන්න මගෙ පුංචි යාලුවො හොයා ගන්න.)
එක පැයකට හරි අපිට පුලුවන් උනොත් ඒ යාලුවො එක්ක එකතු වෙලා පරණ යාලු කම අලුත් කර ගන්න... කොච්චර අගේද...?

සුළඟේ ලෙළෙනා මල සේ දඟ පා.. 
අප පාසල් ගිය කාලයේ... 
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ...

5 comments:

  1. නරකයාගේ සිතුවිලි ලියන මහේශ් වික්‍රමසිංහත් පිණිබිඳු ලියන ලක්මිනීත් උඹ ඔය කියන අවුරුදු වලට ටිකක් පහල අවුරුදු වල මම හිතන්නෙ ඉන්න ඇත්තෙ . . විමසලා බලපං . . .

    ReplyDelete
  2. මේකට උදව්වක් දෙන්න නම් ඒ ප්‍රදේශයේ ඉන්න කිසිම කෙනෙක් මම දන්නේ නෑ... හැබැයි ඉතින් පරණ යාළුකම් අලුත් වෙනව නම් එක කොච්චර දෙයක් ද..

    ReplyDelete
  3. මේකට උදව්වක් දෙන්න නම් ඒ ප්‍රදේශයේ ඉන්න කිසිම කෙනෙක් මම දන්නේ නෑ... හැබැයි ඉතින් පරණ යාළුකම් අලුත් වෙනව නම් එක කොච්චර දෙයක් ද..

    ReplyDelete
  4. අසිත් චේතික චන්ද්‍රසිරි1/19/2012 1:14 PM

    මම මේවගේ දෙයක් ලියන පලවෙනි වතාව. ඒ නිසා අඩුපාඩු වලට සමාවෙන්න.
    මටත් මගේ ජීවිතයේ හොඳම කාලය 5 වසර වෙනකම් පොලොන්නරුව රාජකීය කනිෂ්ට විද්‍යාලයට ගිය කාලය තමා. රත්නායක සර් ගේ පන්තියේ 50ක් විතර හිටියා. අපි ඔක්කොම එකම පවුලක් වගේ ජීවත් උනේ. පැතුම්ට මතකද අපි ගල්වල පිටිපස්සේ තිබුන පොඩි කැලෑව රොබින් හුඩ් සෙල්ලම් කරනවා. 5 වසරේ අපිට තිබුන පීඩනය දැනුනේ නැත්තේ අපි ජීවත් උන සුන්දර පරිසරය නිසා වෙන්න ඇති
    අපි හිටියේ පොළොන්නරුවේ නව නගරය කියන ගමේ. එහෙ තමා ආණ්ඩුවේ කන්තෝරු සේරම වගේ තිබුනේ. ආණ්ඩුවේ කන්තෝරු කිව්වට ඒවා හරිම සුන්දරයි. ලොකු ඉඩමක් මැද්දේ තමා හැම කන්තොරුවම වගේ තිබුනේ. ඉස්සර ඒ හැමතෙනම පලු, වීර වගේ පලතුරු ගස් තිබුනා . ගෙඩි හැදෙන කාලෙට අපි ඉස්කෝලේ ඇරිල එන ගමන් ඕවට නැගලා පලතුරු කනවා. හරිම සුන්දර මතකයක්.
    පැතුම්ල හිටිය නිල නිවාසය තිබුනේ නව නගර මැද්දේම වගේ. හරියටම කියනවනුම් උසාවියයි කච්චේරියයි මැද. අපි හිටපු ගෙදර තිබුනේ නව නගරය කෙලවරට වෙන්න වැව(පරාක්‍රම සමුද්ද්‍රය ) පාමුල.
    අපි සමහර දවස්වලට ගෙදර එනගමන් පැතුම්ලාගේ ගෙදර යනවා. ඒ හේතු 2ක් නිසා
    1 ශීතකරණයෙන් සීතල වතුර බොන්න
    2 පැතුම්ලාගේ ගෙදර ගාව තිබුන ගින්නට අහු උන කන්තෝරුවක්. අපි යනවා එකේ තිබුන පිලිස්සුන ලිපිගොනු වල තියන මුද්දර එකතු කරන්න.
    මට දැන් උනත් පුළුවන් ඇස් දෙක පියාගන ඒ කලේ හැම දෙයක්ම වගේ මතක කරගන්න.

    ReplyDelete
  5. lushanthy suraweera12/14/2015 11:22 AM

    ඔව් පැතුම්.......අසිත්, ඒ කාලේ හරි සුන්දරයි. ආයේ නාවත් ඒ කාලය,ඒ අහිංසක පුංචි පැටව් ටික........., දැන් අපිට එකතු වෙන්න අපිව දකින්න පුළුවන්. දහසක් වැඩ තිබුනත් ඒ හැමදේම මැද්දෙ වැව් දිය රැළි වල සුළගට මුහුඋන, වෙල් ඉපනැලි රස්නෙට මැදිවුන මේ සුන්දර පොලොන්නරුවට ආයේ ඇවිත් ටිකක් හිනා වෙලා කතා කරලා ගිහින් ආයෙත් ඒ හමුවීම් සොඳුරු ඉසව්වකට ගෙන ගිය යාළුවො හැමෝටම ස්තුතියි. ඒ මතක ගොනුවෙ පිටු ආයෙම පෙරලන සොදුරු සිත් ඇති ඔයාලාව තාමත් හදවතට ගොඩක් දැනෙනවා............

    මම ලුෂා

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...