ඉන්න ඇත්තො

3 එතකොට අපි එදාටම දුක් වෙමු.

ගොඩක් දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටිය කතාවක් ලියන්නම හිතෙන මේල් එකක් අද මට ආව...මගෙත් එක්ක ඉස්සර එකට වැඩ කල යාලුවෙක් (දමින්ද ජයසිංහ) තමයි මේල් එක එවුවෙ.
මේල් එකේ කතාව මෙහෙමයි..

 ගමක ගම ගෙදරක මී ගුලක ජීවත් වෙච්ච එක මීයෙක් දවසක් දැක්ක ගම මහත්තය මොකද්ද පාර්සලයක් ගෙනත් ගම හාමිනේට දුන්න.   මොකක් හරි කෑමක් ගෙනල්ල කියල හිතාගෙන මීයත් ඒක දිග අරිනකල් බලාගෙන හිටිය. ඒත් ඇතුලෙ තියෙන දේ දැක්කමක මීයට එලෝ පොල් පෙනුන.
ගම මහත්තය ගෙනත් තිබුනෙ "මී කතුරක්".
ඉහින් කණින් දාඩිය දාන්න පටන් ගත්ත මීය හිතුව මේ කතාව ගම ගෙදරම ජීවත් වෙන අනිත් සත්තුන්ටත් කියන්න ඕනෙ කියල.

ඉස්සෙල්ලම ගියෙ වත්ත පහල කුණු ගොඩ හාර හාර හිටිය කුකුළ් හාමි ගාවට.

"ගමරාළ මී කතුරක් ගෙනල්ල... ගමරාළ මී කතුරක් ගෙනල්ල..."

ඔලුව උස්සල බලපු කුකුළා, "මී කතුරෙන් මට නම් හානියක් නෑ. ඒකෙ හානිය තියෙන්නෙ උඹටයි.. ඒ නිසා උඹ පරිස්සම් වෙයන්." කියල කීව.

ඒ ගමන මීය ගියා මඩ වලේ හිටිය ඌරු හාමි ගාවට.
"ගමරාළ මී කතුරක් ගෙනල්ල... ගමරාළ මී කතුරක් ගෙනල්ල..." මීය කීව.

"මට උඹ ගැන දුකයි මීයො. ඒත් මට කරන්න දෙයක් නෑ . මම උබ වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලන්නම් උඹව මී කතුරට අහු වෙන්න එපා කියල." ඌරා කීව.

මීය ගියා වත්තෙ තණකොල කකා හිටිය හරක ගාවට...
"ගමරාළ මී කතුරක් ගෙනල්ල... ගමරාළ මී කතුරක් ගෙනල්ල..." මීය   ආයෙත් කෑ ගැහුව.

"ආ ඇත්තද මීයො..? මටනම් ඉතින් මී කතුරක් ගැන බය වෙන්න දෙයක් නෑ." හරකා ආයෙත් තණකොල කන්න උනා.

හැමදාමත් එකට එක ගෙදර හිටිය යාලුවො කියපු කතා වලට මීයට ගොඩක් දුක හිතුන.. ඒවගේම කලකිරුන. මී කතුරට තමන් තනියම මූණ දෙනව කියල හිතාගෙන මීය ගෙදර ආව.

එදා රෑ ගම ගෙදර ශබ්ද ගොඩක් ඇහුන.. මී කතුරට ගොදුර අහු වෙලා. ගම හාමිනේ කරුවලේම ආව මී කතුරට අහු වෙලා ඉන්න කෙනා බලන්න. කරුවල නිසා ගම හාමිනේ දැක්කෙ නෑ. මී කතුරට අහු වෙලා හිටියෙ විසකුරු සර්පයෙක්. ඒකගෙ වලිගෙ තමයි මී කතුරට අහු වෙලා තිබුනෙ.. තරහ ගිහින් හිටිය සර්පයා ගම හාමිනේට දෂ්ඨ කලා.
ගමරාළ ඇය රෝහල අරන් ගියා... දින කීපයකට පස්සෙ ගෙදර ආව ගම හාමිනේට සුව නොවෙන උණ රෝගයක් හැදුන... 
ගම හාමිනේ බලන්න ආව කෙනෙක් කීව ගම හාමිනේට කුකුළ් සුප් එකක් හදල දෙන්න , එතකොට උණ සුව වෙයි කියල. ගමරාළ ගෙදර හිටිය කුකුළව මරල සුප් එකක් හදල දුන්න ගම මහගෙට.
ඈ ඒකෙන් සුව උනේ නෑ.
ගමමහගේ බලන්න නෑදෑයො, හිත මිතුරො ගොඩක් ආව. ඒ අයට කන්න දෙන්න ගමරාළ ගෙදර හිටිය ඌරව මැරුව.
ටික දවසක් විඳවපු ගම මහගේ මියැදුනා. මල ගෙදරට සහභාගී වෙන්න ලොකු පිරිසක් ගම ගෙදරට ආව. ඒ අයට කන්න දෙන්න ගෙදර හිටිය හරකව මරන්න ගම රාළට සිද්ද උනා.
වෙච්ච හැම දෙයක්ම තමන්ගෙ ගුලට වෙලා බොහොම දුකෙන් බලා සිටි මී හාමි සුසුමක් හෙලුව.  මී හාමිට කරන්න පුලුවන් උනේ එච්චරයි.
ඔන්න මී හාමිගෙ පුංචි කතාව.

මී හාමිගෙ කතාවනම් එතනින් ඉවර උනා. ඒත් අපි..? අපි තාමත් රේස් එකේ ඉන්නව.
නිකමට චුට්ටක් හිතල බලමු. අපි අපිත් එක්ක එකට වැඩ කරන, එහෙම නැත්නම් ඉස්කෝලෙ ඉන්න, විශ්ව විද්‍යලෙ ඉන්න මිතුරෙකුට, මිතුරියකට ප්‍රශ්නයක් ඇති උනාම, ඒක අපිට අදාල නෑ කියල කොච්චර මග ඇරල යනවද... ඒක එයා බලා ගනී මට නෙවෙනෙ උනේ කියල යන අවස්තා කොච්චරද..? ලෙඩක් අසනීපය උනාම බොරුවට "අනේ" කියනව මිසක් වචනෙකින් හරි උදව්වක්, ශක්තියක් වෙන්නෙ අපි කීයෙන් කී දෙනාද..?
අපිට උදව් කරන්න බැරි උනත්, ඒ කෙනාව ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න දිරිමත් කරන්න බැරි කමක් අපිට නෑ.
ඒත් අපිත් හරියට අර ගම මහත්තයගෙ ගොවිපලේ හිටිය අනිත් සත්තු වගේමයි.. අපි කවදාව්ත්ම හිතන්නෙ නෑ අනිත් කෙනා හැදුන ලෙඩේ අපිටත් හැදෙන්න පුලුවන් කියල... එයා මූණ දීපු ප්‍රශ්නෙම දවසක අපිටත් එන්න පුලුවන් කියල.
අපිට ඒ දේ දැනෙන්නෙ අපිත් ඒ ප්‍රශ්නෙට මූණ දීපු දවසරට විතරයි....එතකොට අපිටත් වෙන්නෙ හරියටම අර ගම මහත්තයගෙ ගොව්පලේ හිටිය අනිත් සත්තු ටිකට වෙච්ච දේම තමයි..අපි එතකොට අපි එදාටම දුක් වෙමු.

3 comments:

  1. සමාජයේ ජීවත්වෙන තාක් කල් පුලුවන් තරමින් අපි අනුන්ට උදව් උපකාර කරමු. එච්චරයි අන්තිමට ඉතුරු වෙන්නේ.......

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...