ඉන්න ඇත්තො

7 Vegetarian

මාතෘකාව ඉංගිරිසිය උනාට කතාව ෆුල් සිංහල.. ගණන් ගන්න එපා ඒ නිසා... කියවලම බලන්නකො..


මාතෘකාව දැක්කම මොනවද හිතෙන්නෙ..? ආයෙ ඉතින් කැටයම් දානව කියන්නෙ නැතුව.. මොනව හිතෙන්නද ඉතින්... එක්කො අවන් හලක් ගැන කියන්න ඕනෙ... එහෙම නැත්නම් ඉතින් මස්, මාලු නොකන කෙනෙක් වෙන්න ඕනෙ..


හරියට හරි..
අවන්හලක් නම් ඉතින් "වෙජිටේරියන්" කියල දැම්මොත් ඒක වෙජිටේරියන්මනෙ... ආයෙ ඒකෙ ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් නෑනෙ..(එහෙම කීවමයි මතක් උනේ... අපේ යාලුවෙක් මේ ළඟදි ඇහුවනෙ මචං, අපේ ලයිෆ් ඉන්සුවරන්ස් එක "ෆුල්" එකක්ද කියල... එතකොටම අපේ තව එකෙක් ඇහුව ඇයි මචං "තර්ඩ් පාටි" දාන්නත් පුලුවන්ද කියල..) ෆිෂ්ටේරියන්, එග්ටේරියන් එහෙමත් නෑනෙ.. තවත් සරල කලොත් හරක තණකොල කන නිසා අවුලක් නෑ කියලත් කතාවක් ඒකෙ නෑනෙ..
එහෙනම් ඉතින් දැන් කතාවෙ ඉතිරි වෙන්නෙ මේ අපි ගැනම තමා..
අපි කෑම තෝර ගන්න විදිය අනුව අපි අපිවම එක එක වර්ග වලට බෙදා ගෙන... ඒකෙ එක පැත්තක් තමා ඔය මම කීවෙ..
දැන් කාලෙ ගොඩක් දෙනෙක් හරි උජාරුවෙන් කියන කතාවක් තමයි "මම වෙජිටේරියන්" කියන එක. ඒක හරියටම අර තත්වෙ මනින තවත් එක මිම්මක් වගේ.. මස් හොදි කෑවත්, "මම නම් වෙජිටේරියන් අනේ" කියල කියන එක පොඩි ගතියක් තියෙනව මගෙ හිතේ...
මම නම් ඉතින් ඇත්තම කීවොත් මස් කන්නෙ නෑ... ඒ තියා මාලු කන්නෙත් නෑ... හැබැයි ඉතින් ඒක ඔන්න පව් අරවන්නවත්, එහෙමත් නැත්නම් ප්‍රතිපත්තිමය තීරණයක්වත් නෙවෙයි.. හැබැයි මම හරක් මස් කන්නෙ නෑ.. ඒ මම පොඩි කාලෙ අපෙ ආච්චි ("අපෙ ආච්චි" කියන්නෙ අම්මගෙ අම්ම. තාත්තගෙ අම්ම "ගමේ ආච්චි") ගෙදර හරක් ඇති කරා.. ඉතින් මට හැමදාමත් උදේට එළකිරි ජොග්ගුවක් හම්බෙනව. මම ඒක බොන්න හරි ආසයි... අපි හිටියෙ වෙනම ගෙදරක, ඒත් ආච්චිලාගෙ ගෙදර ළඟ... උදේට අම්ම, තාත්ත වැඩට යන්නෙ මාව ආච්චිලාගෙ ගෙදර දාල. ඉතින් උදෙන්ම කිරි ජොග්ගුව ගහනව... ඉතින් අන්න ඒ නිසා මම හරක් මස් කන්නෙ නෑ. අනිත් මස් ජාති, මාලු ජාති මම කන්නෙ නැත්තෙ මට අප්පිරිය නිසා... හැබැයි එහෙම කියල මට තැනකට ගියාට පස්සෙ කන්න දෙයක් ඇත්තෙම නැත්නම් මම කනව.
ඒක එහෙමයි. හැබැයි මම කියන්නෙ නෑ මම "වෙජිටේරියන්" කියල...
ඒක එහෙමයි කියමුකො...


ඉතින් මම කියන්න හදපු දේ කියල ඉවර කරමුකො මේක..


දැන් ඉතින් ඔය "වෙජිටේරියන්" කියන සමහර අයනම් ඇත්තටම ඉන්නව, එයාල අඩුම ගානෙ කේක් කෑල්ලක්වත් කන්නෙ නෑ. මොකද කේක් හදද්දි ඒකට බිත්තර දාන නිසා. ඒ අයට මම ගරු කරනව..ඒ ඇත්තටම ඒ අය එක ප්‍රතිපත්තිමය තීරණයක් නිසා (මම එහෙම කියන්නෙ ඒක එක්කො "පව්" නිසා වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් වෙන හෙතුවක් වෙන්න පුලුවන් නිසා) ඒ කැප කිරීමක් කරන නිසා. හැබැයි ඒ අය මාංශමය ආහාර නොගත්ත කියල කිසි අසනීපයක් නැතුව දෙයියනේ කියල ජීවත් වෙනව..


දැන් එහෙම කීවම "බොරුවට වෙජිටේරියන්" අයත් ඉන්නවද..?
(හිකිස්..!!!)
ඔව්නෙ ඉතින්...
සමහරු ඉන්නව නමට "වෙජි", හැබැයි කුකුල් මස් හොදි එක්ක පාන් කනව.හරි ඉතින් පව් සිද්ද වෙන්නෙ කුකුල් මස් කෑලි කෑවොත්නෙ..
කතාව ඇත්තනෙ බලද්දි..
තව සමහරු ඉන්නව, ෆ්‍රයිඩ් රයිස් එක කනව චිකන්.. ඇයි, ඒකෙ චිකන් කෑලි අයින් කරන්න බෑනෙ. ඇත්තනෙ... චූටි චූටි කෑලිනෙ තියෙන්නෙ.
හැබැයි ඉතින් ඒව ටිකක් සධාරණ හේතු.... ඒත් ඉතින් සමහරු මස් කෑම සාධාරණීකරනය කරන්න අපේ බුදු දහම, ගෞතම බුදු රජාණන් වහන්සේවත් පාවා දෙන එක තමයි නරක.
"පන්සිල් පද වල මස් කන්න එපා කියල නෑ" කියන එකවත්, "බුදු හාමුදුරුවො මස් කන්න එපා කියල නෑ" කියන එකවත් සාධාරණ හේතු විදියට මටනම් හිතෙන්නෙ නෑ. (මේක මගේ අදහස)
අනික ගවය කියන සතා හින්දු ආගමට වැදගත් උනාට සින්හල අපිට ගව මස් කෑම ප්‍රශ්නයක් නෑ කියන අයත් ඉන්නව. හැබැයි ඉතින් ඒ කියන්නෙ ගවය ඉපදෙන්නෙම අපිට කන්නද කියල ප්‍රශ්නයක් එනව...
අර නිහාල් නෙල්සන් මහත්තයගෙ සින්දුවෙ කියනව වගේ, ගවය කියන්නෙ ඇත්තටම අපිට කිරි දුන්න අම්ම කෙනෙක්... ඉතින් එහෙම එකෙක් මරාගෙන කනව කියන එක පව කෙසේ වෙතත්, ඒක යුක්තිසහගතද...? ඒකයි හිතන්න ඕනෙ.
මම කවදාවත් ගව ඝාතනය තහනම් කරන්න කියන මතේ ඉන්නෙ නෑ... මොකද, ලංකාවෙ "කසිප්පු" කියන්නෙ තහනම් කල බීමක්... පෙරල අහු උනොත්, දඩයක්, සිර දඬුවමක් හෝ ඒ දෙකම උනත් ලබන්න පුලුවන්.. ඒත් අපේ රටේ ගජරාමෙට කසිප්පු පෙරණව... ඒ ඇයි..? අපේ මිනිස්සු බොන නිසා...  
ඉතින් එහෙනම් අපි අපේ රටේ ගව ඝාතනය තහනම් කලා කියල වැඩක් වෙයිද..? අපේ මිනිස්සු මස් කන නිසා නේද හරක් මරන්නෙ..? ඉතින් අපි හරක් මස් කන එක නතර කලොත්, කා වෙනුවෙන්ද හරක් මරන්නෙ..? ඔය ගැන කෙලින්, දැනෙන්න කතා කල එක කෙනයි අපිට හිටියෙ... අද ඒ කෙනත් අපි අතර නෑ.. ඒ අපේ සෝම හාමුදුරුවෝ..
ඒ කොහොම වෙතත්, අපිට පුලුවන්නම් බොරුවට, නමට, status එකට වෙජිටරියන් වෙන්නෙ නැතුව, සැබෑ වෙජිටේරියන් වෙන්න.. කොච්චර දෙයක්ද....?

අපි ඕනෙම දෙයක් කරද්දි අපි කරන අපේ හිතට එකඟව හරි දේ හරියට කරනව මිසක්, ලෝකෙට පේන්න , සමාජෙන් හොඳ නම ගන්න, හිතාගෙන දෙයක් කරල තව දෙයක් එළියට දෙනවනම්, රැවටෙන්නෙ අපිමයි නේද...?
ඒ ලබන සතුට, හොඳ නම තාවකාලිකයි නේද..?



7 comments:

  1. හ්ම්ම්ම්ම්... මම හිතන්නෙ මේ කතාවෙ කිසිම තෙරුමක් නෑ. මොකද මම මේ අර්ටිකල් එක ලියපු කෙනාව හොදටම අදුනනවා. මෙයා කුකුලු මස් පෙරෙතයෙක්. හරක් පෙන්නන්න බෑ. ඉල්ලන්නෙම හරක් මස්. ඉතින් පුතේ පත්තර වලට ලියද්දි විතරක් නෙවි ඈත්ත්ටම වෙජිටේරියන් වුනානම් හොදය්.

    ReplyDelete
  2. අනේ මන්ද....
    මට හරි දුකයි මේ කොමෙන්ටුව දාපු කෙනා ගැන..
    මොකද ඒ කෙනා මාව හොඳටම දන්නවලු.. ඒත් මම හරක් මස් කන්නෙ නැති වග දන්නෙ නෑ.. කුකුල් මස් කන්නෙ නැති වග දන්නෙ නෑ... අඩුම ගානෙ මාව හොඳට අඳුනනව කීවට අඩුම ගානෙ මගෙ එක්ක කෑම වේලක්වත් කාපු කෙනෙක්නම් නෙවෙයි...
    මට හිතෙන්නෙ මේ පොස්ට් එක කියවල ගොඩක් හිත රිදිල වගේ.. අනේ මම කාගෙවත් කෑමටවත්, ආසාවල් වලටවත් ගරහන්න නම් හිතුවෙ නෑ.
    ඒත් ඉතින් ඇත්තනම් තිත්තයි තමයි..
    හිත රිදුනනම්..... අනේ මන්ද.... කරන වැඩේ වැරදි ඇති නේද..?

    ReplyDelete
  3. අනික ඉතින් අඳුනනව කීවට මොකද නම කියන්නවත්, කෙලින් එළිපිට ඒක කියන්නවත් පුලුවන් කමක් නෑ මගේ මිත්‍රයට... ඒ ගැනනම් මට දුකයි..

    ReplyDelete
  4. එක් එක් කෙනාගෙ කෑම රුචිය ගැන මම විවේචනය කරන්නෙ නෑ. අරක හොඳයි මේක නරකයි කියන්නත් මම නම් දන්නෙත් නෑ.

    මේ කරුණු ටික තමයි මගෙ හිතේ වැඩ කරන්නෙ

    * ඕනෙම සතෙක් මැරෙද්දි විඳින වේදනාව මතක් වෙනකොට අනේ මැරුනෙ අප බඩකට වෙනුවෙන් කියල හිතුනම බඩ පපුව දාල යනවා. ඒ වෙලාවෙදි නම් මම මස් මාලු කන එක ගෑන පොඩි තරහකුත් එනව.

    * මස් හොදි කෑම ගැන (මස් නොකා) මට හිතෙන්නෙ මෙහෙම.
    මම කොහෙන් හරි කියෙව්වා ඕනෙම සතෙක් තවෙකෙක්ගෙ මස් කන්නෙ ඒ මසෙහි රසයකට වඩා මස් වල තියන ආවේණික සුවඳට සත්තු ඕනෙම කෙනෙක්(ශාක භක්ෂකයින් හැරුනම අපිත් ඈතුලුව) ආකර්ශනය වෙන නිසාලු. ඉතින් ඔය මස් හොදි තියරිය හරි වගෙ නේද? අපි මස් රසය තියන හොද්ද ගිල දානවා ... ඒ හොද්දට රසය ආවෙත් මස් නිසා නෙව. මම දන්න විදියට මස් ගඳ අප්පිරියා අය ඉන්නව. එයාල මස් හොදි කන්නෙත් නෑ. ඒ හොද්දෙත් මස් ගඳ තියන නිසා..

    * මස් කන එක සාධාරණීකරණය කරන්නත්, මස් නොකෑ යුතු බව සාධාරණීකරණය කරන්නත් ආගම් ගාව ගන්න එක නිශ්පලයි නේද? මස් කෑම predation හෙවත් සොබාදහමෙ සංකල්පයක් නේද? ඒක එක් එක් මට්ටමෙන් තම තමෞන්ගෙ රුචි අරුචිකම් ,ආකල්ප, විස්වාස ආදියෙන් තෝරා ගැනීම් කරන්න හැම මිනිහටම නිදහස තියනව. ඒ කිවෙව් තමුන්ගෙ පදනම් වීමට ඒ ඒ කෙනාට හේතු තියනවා. ඒවා අරක හරි, එමක වෑරදි කියලත් තෙරුමක් නෑ වගෙ.

    * මගෙ අත්දෑකීමෙන්
    මම කලක් වෙජි හිටියා. කලක් දෑඩි මතයෙන් උම්බලකඩයක්වත් නොකා. කලක් මස් මාලු නොකා කරෝල කකා. කලක් මස්ටේරියන්ම වෙලා . ඒ කිව්වෙ මස් මාලු නෑතුව කෑම නොකන්න තරම්ම ...
    අද නියුට්‍රල්... තෝරාගෑනීම් නෑ. මාත් මිනිසෙක් නිසා , මස් සුවඳට මගෙත් කෑමෑත්තක් තියනවා. පුලුටු සුවඳටලුනෙ මිනිස්සු වඩාම ආස :) අහුවෙන ඕනෙ එකක් ගිල දානවා බඩගින්න වෙනුවෙන්.

    * වෙජි කාලෙ මගෙම අත්දෑකීම් ටිකක් එකතු නොකලොත් හරි නෑ.

    - මස් මාලු බත් පතට නිතර එකතු නොවුන කාලෙ මේ වෙනස් කම් මම දෑක්කා මගේ. අනවශ්ය මහත් වීම් අඩු බව, දහඩිය මූත්‍රා දුගඳ අඩු බව, ශරීරය සෑහෑල්ලු බව (බඩ පිරෙන්නම බත් නොකන නිසාද දන්නෙ නෑ -මස් මාලු තියෙද්දි උස්මුරුත්තෙ එනකල් කනව වෙන්න ඕනෙ)

    - වෙජි හියියා කියලා ඈඟේ සවි ශක්තිය නම ඩු වුනෙ නෑ.

    ඕන් ඔච්චරයි මන් දන්නෙ.
    :)

    ReplyDelete
  5. ඔයාගෙ අදහස් ටික ඇත්තටම වටිනව මට "ජීවිතේ මල්" අක්ක.
    මම ඇත්තටම කාවවත් විවේචනය කරන්න උත්සාහ කලෙ නෑ.

    ReplyDelete
  6. නිර්මාංසංහාරික විය යුත්තේ පව්වලට බයෙන් හෝ ශරීර සනීපය උදෙසා නොවෙයි.එය සතුන්‍ගේ මරණයට හේතු වන නිසා.

    ReplyDelete
  7. කවුරුන් හෝ කියනවාටත් වඩා තමන්ම තේරුම් අරගෙන වෙජිටේරියන් වෙන එකයි වටින්නේ. ඒ වගේම තවත් ජීවිතයක වටිනාකම හරියට තේරුම් ගත්ත දවසකයි වෙජිටේරියන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ බලහත්කාරයෙන් මම වෙජිටේරියන් මම වෙජිටේරියන් කියමින් බලෙන් ඒක පාලනය කිරීමක්.

    නිරායාසයෙන්ම තම නැණ පමණින් තේරුම් අරගෙන වෙජිටේරියන් වුණු කෙනාට මේ ගැටලු නැහැ. ඒ වගේමයි හැම දේකමට මේ සිද්ධාන්තය පොදුයි කියලයි මගේ අදහස

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...