ඉන්න ඇත්තො

6 (අ)මනුස්සකම...

මේක ලියන්න ටිකක් කල් ගිය එකත් එක අතකට හොඳයි කියල මට හිතෙනව... සිත් විනිවිද දකින්න කියල පටන් ගත්ත මගේ බ්ලොග් එකේ ලියන්න පටන් ගත්ත මගේ ශෛලිය වෙනස් නොකර ඉන්න මට ඒ නිසා පුලුවන් උනා.
පහුගිය දවසක මට පුලුවන් උනා අපේ සමාජයේම ජීවත් වෙන එක්තරා අමනුස්සයො පිරිසකගෙ සිත් විනිවිද දකින්න.
දිනේ පහුගිය බ්‍රහස්පතින්දා... ස්ථානය සමුද්‍රදේවි කාර්යාල දුම්රිය.
මම මගේ යාලුවෙකුත් එක්ක ගෙදර යන්න කියල ගොඩ උනා සමුද්‍රෙට (ඒකෙ යන අය කියන්න එහෙමනෙ.) මරදානෙන් ගොඩ උනාට මොකද, වාඩිවෙන්නනම් හම්බුනේ නෑ. (කොහොමත් ඒකෙ ඉඳල හිටල යන එවුන්ට ලොවෙත් වාඩිවෙන්න හම්බෙන්නෙ නෑ.)
අපිත් ඉතින් ඕකෙ රඟෙ දන්න හින්ද අයිනකට වෙලා හිටිය. ඔන්න කොළඹ කොටුවෙන් ගොඩ උනා ඒ පෙට්ටියෙ අයිතිකාරයො ටිකක්. අපි දිහා දැම්ම නිකන් බැල්මක්, හරියට අපි උන්ගෙ ඉඩමක ගෙයක් හැදුව වගේ.. අනේ ඉතින් අපේ ඇඟේ වදින්නෙ නෑනෙ කියල, අපිත් හිටිය සද්ද නැතුව.
කෝච්චිය කට කපල සෙනඟ. මොකද කලින් යන්න තිබුණ එකක් ගිහින් නෑ.හුස්ම ගන්නත් අමාරු තරම්. ඔය අතරෙ එකෙක් කියනව උදේ එනකොට කල හපන්කමක්. හැමදාම නොයන කෙනෙක් උන්ගෙ කොටසෙ වාඩි වෙලා ඇවිත් එලවපු හැටි... හරි වීරකමක් වගේ කියන්නෙ.. හරියට කොටි එලවල මාවිල්ආරු සොරොව්ව අල්ලගත්ත වගේ.
ඊළඟ නැවතුමෙන් නැග්ග ඔන්න ඉතුරු සෙට් එක. දැන් හරි.. ගණ පූර්ණෙ හරි. ඒත් ඉතින් අපරාදෙ කියන්න බෑ මේ (අ)මනුස්සයො ටිකනම් බොහොම සැපසේ ඉන්නව. කෝච්චියෙ දොරේ ඉඳන් කට්ටිය එල්ලිලා. එළියෙ ඉන්න මිනිස්සු කෑ ගහනව ගොඩ වෙන්න බැරුව. දන්නවනෙ ඉතින් කොච්චියෙ එල්ලිල යන එක ලේසි නෑ. අනික සීග්‍රගාමී එකක තනි අතින් එල්ලිලා යන එක කොහොමද කියල හිතා ගන්න පුලුවන්නෙ.. (බැරි උනත් හිතල බලන්න..)
අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ ඒ මොන දුෂ්කරතා මැද මිනිස්සු මැරුණත්, මුන්ට නෙවේ ගානක් තිබුනෙ. කෝච්චියෙ හිටිය අනිත් හැම මනුස්සයම තමන්ට පුලු පුලුවන් විදියෙන් දොරේ යන අයට ඇතුලට එන්න උදව් කරනකොටත්, මේ (අ)මනුස්සයො තමන්ගෙ ආතල් එක ගන්නව. (තමන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ. ඒක කිසිම ප්‍රශ්ණයක් නෑ. වැඩේ තියෙන්නෙ උන්ගෙ ආතල් එක තවත් මිනිස්සු කොටසකට කරදරයක්නම්... අන්න එතනදි පොඩි ප්‍රශ්ණයක් වෙනව. අවස්ථාවෙ හැටියට ඒක ලොකු ප්‍රශ්ණයක් උනා)
මෙච්චර සෙනඟ පිරුණ කෝච්චියෙ මේ (අ)මනුස්ස රැළ තමන්ගෙ ආතල එක ගන්න උන්ගෙම එකෙක් බිම වාඩි කරා. ඒ කරල ඒ වාඩි වෙච්ච එකා වටේට 4 දෙනෙක් හිට ගත්ත. (දැන් ඔයාලට හිතාගන්න පුලුවන්ද මුන් මොකද කරන්නෙ කියල.?) වටේ ඉන්න 4 එකතු වෙලා කාඩ් ගහනව. බිම වාඩි වෙලා ඉන්න එකත් ආතල් එකේ ඉන්නව.. මොකද , අසනීප වෙච්ච එකෙක් බිම වාඩි වෙලා ඉන්නව කියල කිසි කෙනෙක්ට ඒ අහලටවත් එන්න දෙන්නෙ නෑ. කට්ටිය වටේට හොඳට වැට බැඳල වගේ ඉන්නව. ඒ මදිවට දොරේ ඉන්න අය ඇතුලට යන්න කියල කෑ ගහනකොට මුන් කෑ ගහනව මෙතන ලෙඩෙක් ඉන්නව.." අම්මෝ හිර වෙනවා" කියල. කොහොමින් හරි මුන් කිසි කෙනෙක්ට එතනට එන්න බැරි විදියට අගේට වැඩේ කරගෙන ගියා.
මම බහින තැනට එනකොටනම් කට්ටිය ටිකක් වැඩේ නවත්තන සයිස් එකක් තමයි දැක්කෙ. මොකද ඒ වෙනකොට කිහිපදෙනෙක් මේ කාලකණ්නි රැළ කරන්න මොකද්ද කියල දකින්න උන නිසා සහ මිනිස්සු පෙරලගෙන ඇතුලට එන්න පටන් ගත්ත නිසා. 
සෙනඟ වැඩි කමටම මටත් බොහොම පැහැදිළි ඡායාරූපයක් ගන්න බැරි වෙච්ච එක ගැන මම දුක් වෙනව. මොකද එහෙම උනානම් මට මේ කාලකන්නි මූණු ටික පැහැදිළිව පෙන්නන්න තිබුන.
මේක කියවන ඔයාල කවුරු හරි කෙනෙක් දන්න අය ඒ අතර ඉන්න පුලුවන්නෙ.. එහෙමනම් උන් එදා කල වරද වරදක් කියල උන්ටම තේරුම් ගන්න තිබුන.
මේ වගේ කාලකණ්ණි අමනුස්සයොත් ඉන්නවනෙ අපි එක්කම. මුන් හිතාගෙන ඉන්නෙ මේ දුම්රිය උන්ගෙ දේපල කියල ගෙදරින් ගෙනාපු. ඒත් ඉතින් නිකමටවත් මේක පිරිසිදුව එහෙම තියාගන්නනම් හිතක්වත් නෑ. (දවසක් මම ඒ වගේ කතාවක් ලීව) ඒ උනාට මොකද ඉහටත් උඩින් මනුස්සකම.
මේ වගේ මානව හිමිකම් අගයන, අනිත් එකා ගැන හිතන, අනිත් එකාට උදව් කරන කාලකණ්ණි (අ)මනුස්සයො ඉන්නකල් අපිට දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න පුලුවන් වේවි නේද..?
 

6 comments:

  1. මොකට කියනවද ඒ ගැන නම්...මාත් කාලයක් ගියානේ.....කියලා වැඩක් නැ....

    ReplyDelete
  2. ඔය වගේ උන් සමාජයේ ඕනතරම් ඉන්නවා.හැබැයි ඕවා කරන අයට කවදාවත් හරියන්නෑ.

    ReplyDelete
  3. ඕකත් ඇවිල්ල එක්තරා මාෆියාවක්. කන්තොරු කෝච්චි මාෆියාව. අපේ රටේ වෙලා තියෙන්නේ ඕකනේ.. පොර වෙන්න තමයි දගලන්නේ පොඩි එකගෙ ඉදන් ලොකු එකා වෙනකල්

    ReplyDelete
  4. මාත් ඉස්කෝලෙ ගියා සමුද්‍රෙ..අවුරුදු 1.5ක්! :)

    ReplyDelete
  5. අපෝ මම සමුද්‍රේ යන එක නැවැත්තුවේ මේ වගේ චා ගැන්සි නිසා....මුන්ට හොඳ පාඩමක් උගන්නලා ගොම වතුර පාරකුත් සෙට් කරලා තමා කෝච්චිය මාරු කරේ.....

    ReplyDelete
  6. oka oheta vitarak nemei, ape pattaeth ehema tamai... Ape un bahutarayak hadannath ba, hadenneth na..

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...