ඉන්න ඇත්තො

2 [107] "බෑ.." කියවපු අයට පසු වදනක්.

"බෑ.." කියන පෝස්ට් එක ලීවට පස්සෙ ඒක ලද වාචික ප්‍රතිචාර සහ සමහර පළ නොකෙරුණ ප්‍රතිචාර නිසාම මට හිතුන ඒ වෙනුවෙන් පසු වදනකුත් ලියන්න.
ගොඩක් දිග නෑ.
බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය.
එහිදී සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලල අමාරුවෙ දානවට වඩා, ඉල්ලන්නෙම නැතුව ඉන්න පුලුවන් නේද කියල.
ඔව්. අත් දෙකම උස්සල ඔව්. ඒ මම එක දෙයක් මතක් කරන්න ඕනෙ. ඒ, මම මෙතන යාලුවො කියන්නෙ; අද හම්බෙලා, "ගුඩ් මෝනින්" කියල හිනාවෙලා යන, බස් එකේ දවසක් දෙකක් සීට් එකක් දෙන කෙනෙක්, ජීවිතේ නිකන් යන එන ගමන් හායි, බායි කියන අයට නෙවෙයි. 
"යාලුවෝ" කියන දේට ලොකු අරුතක් තියෙනව. (මම මීට කලිනුත් යාලුවො ගැන කියල ඇති ඕනෙ තරම්. මම නම් ඇත්තටම එයාලට කියන්නෙ "මගේ අය" කියල.) ගොඩක් අය වරදවා ගන්නෙත් අන්න ඒකයි, එකට කෑවට, එකට ඉඳ ගත්තට, එකට වැඩ කරාටම යාලුවෙක් වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉතින් අපිට යාලුවො කියන අය කොච්චර ඉඳීද..?(මූණු පොතේ මට Friends744ක් ඉන්නව. ඒත්... ඒ එයාල ඔක්කොම එක වගේද.? ඒකෙන් කී දෙනාටද මගේ උපන්දිනේ දවස මූණු පොතේ නැත්නම් සුබ පතන්න මතක් වෙන්නෙ. ටික දවසක් කිසි සද්දයක් නැති උනාම අඩුම ගානෙ පොඩි කෙටි පණිවිඩයක් දාන්න හිතන්නෙ "කොහොමද" කියල අහල.)
නෑ.. එහෙම නෑ.
යාලුවෙක් කියන්නෙ තමන්ගෙ කෙනෙක්. හිතේ තියෙන දේ කියන්න පුලුවන් කෙනෙක්. කිසිම භේදයක් නෑ ඒකට. ගෑණු-පිරිමිද, ජාති, ආගම්, කලු-සුදු කිසි භේදයක් නෑ.
ඒ අය තමන්ගෙ කෙනෙක්ට දෙයක් කරන්නෙ කවදාවත් ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සමහර වෙලාවට තමන්ගෙ දේවල් කැප කරල අනිත් කෙනා වෙනුවෙන උදව් කරනව. ඒත් කිසිම වෙලාවක තමන්ට නැති වෙන දේ ගැන පසු තැවෙන්නෙ නෑ. අනික තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. (එහෙම කලාම සමහර වෙලාවට බැණුම් අහන්න, ගුටි කන්න පවා සිද්ද වෙන්න පුලුවන්. ඒත් ඒක තම යාලුකම)
කෙනෙක්ට තමන්ගෙ යාලුවෙක් වෙනුවෙන් වෙලාව නෑ කියනව නම් ඒ හරිම විහිලුවක්.
සමහර වෙලාවට තමන්ගෙ යාලුවන්ව දැනෙන වෙලාවල් තියෙනව. යාලුවට දුකක් කරදටයක් වෙලා කතා කරන්න ඕනෙ කියල හිතුන වෙලාවටම කිසිම හේතුවක් නැතුව කොල් එකක් දෙන අවස්ථා තියෙනව. අන්න ඒක තම සැබෑ යාලු කම. හරියට නිවුන්නු වගේ. (මට මගේ ජීවිතේ එහෙම අත්දැකීම් තියෙනව)
සැබෑ යාලුවන් ගොඩක් ඕනෙ වෙන්නෙ අපි සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්න වෙලාවට. මොකද අපි වටේ ඉන්න කප්පරක් "යාලු මාලුවො" අපිට දුකක්, කරදරයක් උනාම අපි ලඟ නෑ. එක්කො බොර දියේ මාලු බාන්න හදනව. ඉතින් අන්න ඒ වගේ වෙලාවටයි තමන්ගෙ කෙනෙක් ඕනෙ වෙන්නෙ. සමහරවිට එයාට උදව් කරන්න බැරි වෙයි. ඒත් කරදරයක් නැතුව අපේ දුක අහගෙන ඉන්න පුලුවන් වෙයි. ඒකත් වටිනව සමහර වෙලාවට.
හිතන්න; වචන 5000-10000ක විතර  පැවරුමක් දුම දාගෙන ලියන වෙලාවක (බාර දෙන්න තියෙන්නෙ හෙට) මගේ යාලුව මම ලියන විෂය අල බෝලයක්වත් නොදන්නව වෙන්න පුලුවන්. ඒත්, මහ රෑ මගෙ එක්ක ඒක ලියන්න, තනියට ලඟ ඉන්නවනම්... කොච්චර හයියක් වෙයිද..????
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
මහ රෑ කනත්තක් ගාවින් තනියම යනකොට බය නැති වෙන්න කෝල් එකක් දුන්නම, "මම නිදි බන්" කියල කෝල් එක කට් කරන, එහෙමත් නැත්නම් කතා නොකරම ඉන්න යාලුවෙක්ට වඩා, ගෙදර යනකල් බය නැති වෙන්න කතා කරන්න යාලුවෙක් කොච්චර වටිනවද..?
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
තමන්ගෙ කියල, යාලුවෙක් කියල කට පුරා කියන්න පුලුවන් කෙනෙක් ගැන.
එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න, බැරි කමක් කියන්න හිතන්න ඕනෙ නෑ. මොකද එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගෙ නෑයෙක් හිතන තරම් දේවල් හිතන්නෙ නෑ තමන්ගෙ යාලුව ගැන.
වේයන් වගේ නෑයන්ට වඩා, ඒ වගේ යාලුවෙක් වටිනව.

2 comments:

  1. Facebook යාලුවොත් නරකම නෑ.. අපේ අතක් පයක් කැඩුණ කියල කිව්වත් Like එකක් හරි දාවි

    ReplyDelete
  2. මම සම්පූර්ණයෙන් ම එකඟයි මේ කතාවට ...
    මොකද ...යාලුවො ගැන මගෙ හිතේ තියෙන දෙයමයි ඔබ ලියල තියෙන්නෙ.
    [සැබෑ යාලුවො ඉන්නෙ බොහොම ටික දෙනයි ඇත්තටම]
    නමුත් කණගාටුවට කරුණ වන්නෙ ... සමහර යාලුවො .. ඒ අවංක යාලුකම වැරදි විදිහට වටහ ගන්න එකයි.

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...