ඉන්න ඇත්තො

5 නූතන ජුදාස්ල

නත්තලත් පහු උනා දන්නෙම නැතුව. කිතුණුවෙක් නොවුනට, මොකක් හරි දෙයක් නොලීවොත් පොඩි අඩුවක් වගේ දැනුන. ඒ නිසා ලියන්න හිතුන.කාලෙක ඉඳල පොඩි අදහසකුත් තිබුන... ඔහෙ ලියනව.. මේක කියවන කිතුණුවන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනව....මගෙ අතින් වරදක් ලියවුනොත් සමාවෙන්න... ඒක නිවැරදි කරලත් දෙන්න.

මම අහල තියෙන විදියටත්, ක්‍රිස්තු චරිතය චිත්‍රපටියෙ දැකල තියෙන විදියටත්, ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ ඇණ ගහන්න අල්ලල දෙන්නෙ එතුමා සමීපයෙම ඉන්න කෙනෙක්. එතුමන් පිළිබඳව සියලු ඔත්තු සපයන්නෙ තම සමීපයේම ඉන්න කෙනෙක්. ඒ බව එතුමන් දැන සිටියා විතරක් නෙවෙයි, අවසාන භෝජන සංග්‍රහයෙදි ඒ ගැන සඳහනකුත් කරනව. ඒ පාවාදීම කරන්නෙ මුදලක් වෙනුවෙන්. (මම හරිද..? ඒ රිදී 30ක් වෙනුවෙන්ද..?) ඔහු කලේ වරදක් බව දැනෙනකොට කෝච්චිය ගොහින් හමාරය.
නමින් ඔහු "ජුදාස් ඉස්කැරිඔට්" (මම හරිද..?). මුදල් වලට ඇති කෑදර කම නිසා ජූජකයන්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔත්තු දුන් ජුදාස්, එතුමන් තනිවම සිටින අවස්ථාවක අල්ලගැනීමටත් උදව් දුන්න. අන්තිමේදි තමන් කළ වරද නිසා ලැබුණ මුදලත් ආපසු දුන් ජුදාස්, සිය දිවි හානි කරගත්තයි කියල එක කතාවක් තියෙනව.
ඒ කොයි හැටි වෙතත් ජුදාස් කියන පුද්ගලයට මේ විදියෙ ලොකු පාවාදීමක් කරන්න පුලුවන් උනේ එයා ක්‍රිස්තුස් වහන්සේට ගොඩක් කිට්ටුවෙන් හිටිය නිසයි. මොකද කෙනෙක්ගෙ සිතුම්-පැතුම්, යන එන තැන්, ගති ගුණ, කරන කියන දේවල් හොඳින් තේරුම් ගන්න, අධ්‍යනය කරන්න පුලුවන් වෙන්නෙ ඒ කෙනාව ළඟින්ම ඇසුරු කරන කෙනෙක්ට විතරයි. එහෙම කරන්න නම් තමන්ගෙ කෙනෙක් වගේ ජීවත් වෙන්න ඕනෙ.
එදා ජුදාස් කලෙත් ඒකනෙ. ක්‍රිස්තුස් වහන්සේගෙ දූතයන් 12 දෙනාගෙන් කෙනෙක් විදියටයි ජුදාස් හිටියෙ. ඒ නිසාම ක්‍රිස්තුස් වහන්සේට ගොඩක් කිට්ටුවෙන් ඉන්න පුලුවන් උනා. ඒ නිසාවෙන්ම ඔහුට ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන්නත් පුලුවන් උනා. 
එදා ජුදාස් එහෙම කළා. රිදී 30ක් වෙනුවෙන් හරි තමන්ගෙ කෙනෙක්ට බොරු කරා. තමන්ගෙම කෙනෙක්ව රැවැට්ටුව. ඒත් ඒකෙ ප්‍රථිඵල එයාම වින්ද.
එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට හිටි ජුදාස් වගේම, අපි අතරත් නූතන ජුදාස්ලනම් කොච්චර ඉන්නවද..?
නිකමට හිතල බලන්න...
අපි අතරම, අපිට ගොඩක් කිට්ටුවෙන්, අපේම කෙනෙක් විදියට ඉන්න, ඒත් අපිට හතුරු කම් කරන, අපිව රවට්ටන, අපිටම බොරු කියන කරන, (සිංහල භාෂවෙන් කීවොත් අඟේ ඉඳන් කණ කන) නූතන ජුදාස්ල කොච්චරනම් අපි අතරෙ ඉන්නවද..? 
එක්කො මුදල් නිසා, නැත්නම් රුසියාවට වඩා ලොකු ඉරිසියාව නිසා, එහෙමත් නැත්නම් විනෝදෙට, ඒ මොකක්වත් නැත්නම් පුරුද්දට එහෙම කරන ජුදාස්ලා ඕනෙ තරම් අපි එක්ක ජීවත් වෙනව. ලොකුම අභාග්‍යය තමයි අපිට ජේසු තුමා වගේ ඒ ජුදාස්ලව අඳුන ගන්න බැරි එක. ඒක ලොකුම අපරාදයක්... මොකද අපි එක්කම ඉන්න එවුන් අපිව වලේ දානව කියල අපි දන්නෙ නෑ... අපි ඒක දැන ගන්නෙ අපි වලට වැටුනට පස්සෙ.
ඒකයි දුක.
අනේ අපිටත් පුලුවන්නම් නූතන ජුදාස්ල කල් තියා අඳුන ගන්න.... 
එක්කො එයාල හරි මගට ගන්න තිබුන... එහෙම බැරිනම්, එයාලගෙන් ඈත් වෙන්න තිබුන.

5 comments:

  1. ඇත්ත කතාව සහෝ . .

    ReplyDelete
  2. ඔයා කියන කතාව හරි බොහෝ වෙලාවට වල කපන්නෙ ළඟින්ම ඉන්න අය...ජේසුතුමා විතරක් නෙමෙයි ඉතිහාසයේ හිටපු ගොඩක් චරිත පාවලා දුන්නෙත් තමුන්ගෙ ලඟම හිටිය සගයෙක් තමයි (උදා: කැප්පෙටිපොළ දිසාව,සරදියෙල් )

    ඉතිහාස කතාවත් 100%ක් නිවැරදි. අපි මොන ආගමක් ඇදහුවත් ඕනෑම ආගමක තියන හරිදේවල් ඉගෙනගැනීම වරදක් හැටියට මම දකින්නෙ නෑ...

    ReplyDelete
  3. සිනා සිසී කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමා අදහා ගත නොහැකි සතා

    ReplyDelete
  4. කතාව සිරා.. සෑමාද බෞද්ධය, ඒත් මොනවා උනත් ආදර්ශමත් කතාවකි.

    ජය ශ්‍රී !

    ReplyDelete
  5. ඔයාගේ මේ බ්ලොග් පොස්ට් එක නිසා මට පරණ දෙයක් මතක් උනා, එක මං මෙතන සඳහන් කරන්න ලජ්ජා වෙන්නේ නෑ.. මගේ හොඳම යාලුවෙක්, ඒ යාළුවා ආදරේ කලෙත් මගේ හොඳම මිතුරියකට.. මේ දෙන්නම මගේ හොඳ යාළුවො නිසා මං මට පුළුවන් උපරිමයෙන් දෙන්නට උදව් කළා... නමුත් අන්තිමේ මේ දෙන්නම එකතු වෙලා මගේ ආදරේ පාවා දුන්නා, දැනට මං එයාව නොදැක අවුරුදු එක හමාරකටත් වැඩියි... තාම හොයනවා එයාව.. මට ඉවසගන්න බැරි ඔය තරම් උදව් කරලත් ඒ දෙන්න අපිව පාවා දුන්න නිසයි... කාලයක් යනකොටයි මං සේරම දැනගත්තේ... දැන් පරක්කු වැඩියි... ඉතින් යාලුවනේ, ඔයාලත් ආදරේ කරනවා නම් ඔයාල ලඟම ඉන්න අයගෙන් ඉස්සෙල්ලම පරිස්සම් වෙන්න... මට වුන දේ වෙන කාටවත් වෙනවා දකින්න මං කැමති නැති නිසයි මේ ටික කියන්න හිතුවේ...

    අනේ අපිටත් පුලුවන්නම් නූතන ජුදාස්ල කල් තියා අඳුන ගන්න.... තාමත් එයා මං එක්ක ඉන්නවා....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...