ඉන්න ඇත්තො

Showing posts with label අනේ. Show all posts
Showing posts with label අනේ. Show all posts

4 [116] නීතිය කාටද?

ආසාවන් කියන දෑ ඇති වන්නේ කලින් සැලසුමක් ඇතුව නෙවේ. කානිවල් එකකට ගියාම කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආසාවක් ඇති වෙනව මිසක්, කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආස හිතිල කානිවල් හොයාගෙන යන්නෙ නෑ අපි සාමාන්‍යයෙන්.

උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් නෑ.

එහෙම කියල, ආසාවට කරන හැමදේම හරියි කියල මම කියන්නෙ නෑ. ආසාවක් ඇති උනාම ඒක හරිද, වැරදිද කියල සිය දහස් වාරයක් හිතන්න අපි පුරුදු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත්, හැමෝටම ඇතිවෙන සියලුම ආසාවන් මුදුන්පත් කරගන්න ගියොත් පාලනයක් නැතිව, වෙන්නෙ මහ විනාසයක්.

ජීවිතේ හැම අවස්ථාවකදිම නැති උනත්, විශේෂ අවස්ථාවන්දි, විශේෂ ස්ථාන වලදිවත් අපිට අපේ ආසාවන් හරිද, වැරදිද කියල පහදල දෙන්න කෙනෙක් ඉන්නවවම්, ඒක කොච්චර වටිනවද? 

මොකද ආසාවන් කියන ඒව ඇති වෙන්නෙ පස් මහ බැලුම් බලල නෙවේ.

ඒත් පොඩි හිතක ඇති වෙච්ච පොඩි හැඟීමක් ජීවිතේ අවුරුදු දෙකක් බරපතළ වැඩ ඇතිව, මහ උළු ගෙයි ලගින්න වෙච්ච එක වරද මොකක් වුනත්, දරුණු වැඩියි කියල මට හිතෙනව. 
ඒක හිතට ගොඩක් වද දෙන නිසාවෙන්ම, මූණු පොතේ ලියපු එක වැකියකින් නොනැවතී, මහන්සිය පැත්තක තියල, දුවන යකඩ යකාගෙ හඬත් එක්ක වචන ටිකකට පණක් දෙන්න හිතුවෙ.

ඇත්තටම සිද්ධිය සිද්ද වුනු දවස මම දන්නෙ නෑ. මට හොයන්න ඕනෙත් නෑ.
සිද්ධියෙ කතා නායිකාව නම් වසර 30ක් බෝම්බ හඬට හුරු වෙච්ච, මර බිය හේතුවෙන් කලා රසවින්දනය යටපත් කළ  ඈයෝ ජීවත් වුණු නැගෙනහිර පළාතෙ ජීවත් වුණු තරුණියක්. 
යුද්ධයේ නිමාවත් එක්ක දකුණ නරඹන්න ආ ගමනකදි සීගිරි කැටපත් පවුර කොණ්ඩ කට්ටකින් පළුදු කළ වරදට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක හිර කාරියක්.

දණ්ඩ නීති සංග්‍රහයේ මේ සම්භන්ධ නීති ප්‍රතිපාදන මම නොදනිමි. එය මට අදාලද නොවන්නකි. 

එහෙත්, ඇය සැලසුම් සහගතව ඒ ක්‍රියාව සිදු කර නොමැති වග යමක් කමක් තේරෙන් ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. නීති සම්පාදනය කර ඇත්තේ මිනිසුන් හික්මවීමට මිස තලා පෙලා, පීඩාවට පත් කිරීමට නොවන වග කා විසිනුත් සිතිය යුතුය.

නීතියේ ප්‍රතිපාදන ඇති තරමටම දඬුවම් කරන්නේ නම් අද අපේ රටත් හික්මුනු මිනිසුන් ඇති රටක් විය යුතුය.

ඈ ලත් දඬුවමින් කම්පාවට පත් ඇගේ මවගේ ඡායාරූපය දුටු මට ඇති වූ ප්‍රශ්ණ වැලකි. මෙය කියවන නුඹට පිළිතුරු දිය නොහැකි බවද සැබෑවකි. එහෙත්, රට කරවන් උන්ට, නීතිය කරවන උන්ට වඩා චින්තන ශක්තියක් නුඹට ඇති බව පමණක් මා දනිමි.
මට මවක්, සහෝදරියක්, බිරිඳක්, දුවක් ඇති බැවින් ගොසිප් අතර ඒ ලිපිය ලඟ නැවතී, ආපසු හැරී බලන්නට සිතක් ඇති වුනි. වරද මෙය නොවුනත්, ඔබේම සහෝදරියක් හෙට දින අසාධාරණයට ලක් වන තුරුම නොසිට මදක් සිතන්න..

ඇය වරදක් කළ බව සැබෑය. නමුත්, ඒ වරද අපේ රටේ පවතින ක්‍රමය තුළ වසර දෙකක්, බරපතළ වඩ ඇතිව සිරගත කිරීමට තරම් වරදක්ද?
  • ආරක්ෂක කැමරා අක්‍රිය කර පුරාවස්තු හොරකම කළ වුන් එක පැයක් ජම්පරය ඇඳ මහ උළුගෙයි බත් කෑවේද?
  • මහා පර්වත දෙපළු කර නිදන් වස්තු සොරා ගත් උන් එක් දිනක් සිර බත් කා ඇත්ද?
  • අහිංසක දැරියන් දූෂණය කර, ඒ වෙනුවෙන් සව්දිය පිරූ උන් අද සිර ගෙවල් වල ඇත්ද?
  • අහිංසක උන්ට මත් කුඩු හුරුකර ඉන් ‍යැපෙන උන් ඒ වෙනුවෙන් දඬුවම් ලබන්නෙහිද?
සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කට්ටකින් තම නම කෙටූ ඈ කල වරදට නියම කලාවූ දඬුවම් ලියා ඇති පොතේ අන් වැරදි වලට දඬුවම් සඳහන් නොවන්නේද?
එසේත් නැත්නම් ඒ පොත ඇති උන්ට එකක්, නැති උන්ට තව එකක් ලෙස පිටපත් දෙකක් ඇත්තේද?
නීතියේ දෙවඟන මේවා නොදකින්නේ ඇගේ දෑස් බැඳ ඇති නිසාවෙන්ද? 

ඇති උන්ට කිඹුහුමක් ගිය විට පවා හඬ නගන කාන්තා සංවිධාන මා මෙන් ගොසිප් නොකියවනවා වන්නට ඇත. එසේ නොවුනා නම් අද උදය ශ්‍රී වෙනුවෙන් ඔවුන් හඬ නගනු ඇත.

අයුක්තියට කෑ ගහන වන් ෂොට් මේවා නොදකින්නේ උදය ශ්‍රී නැගෙනහිර පළාතේම කර්මාන්තශාලවක සේවය කරන නිසාවෙන් වන්නට ඇත.

සිංහල නොදත්, අතමිට සරු නොවන බැවින් ඈ හට මානව හිමිකම් නැතුවා වන්නට පුලුවන. 

එහෙත්, සුලු වරදක් නිසා සිර ගත වූ අහිංසක ඇය වසර දෙකකට (දින 730කට ) පසුව සමාජගත වන්නේ පුරුදුකාර  සිරකරුවන්ගේ අත්දැකීම සමගින් බව කාටත් අමතක වූවා වන්නට පිළිවන.

කොතනක හෝ වරදක් ඇති බවනම් සහතිකය.

ඒ වරද නිවැරදි කිරීම අපට කළ නොහැකි යැයි නුබට සිතෙනු නොඅනුමානය. එහෙත්, ඊට එරෙහිව කතා කිරීමට නොහැකියාවක් ඇතැයි මා නොසිතමි.

කණ්ඩායමක් හැදෙනුයේ එක් එක් පුද්ගලයා එකතු වීමෙනි. සිදු විය යුත්තේ එක් පොදු පිරිසිදු අරමුණක් තිබීම පමණි.

දුවන ජීවිතේ සුළු මොහොතක ලද විවේකයක පැහැදිළි මනසින් සිතන්න.

හෙට දවසේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ ඔබ නොවන බවට සහතිකයක් දීමට කාටත් නොහැකි බව සිත්හි තබාගන්න.

3 [115] නොමිලේ

නොමිලේ... නොමිලේ...  නොමිලේ...  නොමිලේ...  නොමිලේ...

නොමිලේ දෙනව කීවම එක සැරයක් නෙවේ, දෙතුන් සැරයක්ම හිතන්න වෙනව.

හේතුව අපේ රටේ සාමාන්‍යයෙන් "නොමිලේ" කීවොත් එක්කො කල් ඉකුත් වෙන්න සතියක්, දෙකක් තියෙන දෙයක්. එහෙම නැත්නම් විකිණෙන්නෙ නැති දෙයක්. කොහෙ හරි රටක තහනම් කළ දෙයක්.
ඉතින් ඒ හින්ද "නොමිලේ" බෝඩ් කෑල්ල දැක්කම හිතන්න වෙනව ඒක වටිනවද කියල.

ඒ කතාව එහෙම උනත්, කවදාවත්, මොන විදියෙන්වත් මිල කරන්න බැරි අමිල වස්තුවක් තියෙනව, ඒත් නොමිලේ දෙන්න පුලුවන්.

මොකද්ද ඒ..???

ඒ තමයි අමිල, අවංක සිනාව.

කතාවට කියන්නෙත් රවනවාට වඩා බොහොම අඩු මාංශපේශී ගානක් තමයි හිනා වෙන්න මහන්සි කරවන්නෙ කියල. (ඒ ගණන 43ට 17ක්, 62ට 26ක් වගේ විවිධ අදහස් තියෙනව. ඒ කොහොම වෙතත්, ඒක රවනවාට වඩා නම් ගොඩක් අඩු ගානක්)

එක පුංචි හිනාවකින් ගොඩක් දේ කියන්න පුළුවන්. සමහරක් වෙලාවකට වචන වලින් නැතිවෙන දෙයක්, එක සිනාවක් නිසා ඇති වෙන්න පුළුවන්.
ඒත් ඉතින් කරුමෙක මහතනම්......

අපේ ගොඩක් අය ඒ නොමිලෙ දෙන්න පුලුවන් දේ හරි අගේ කරන එකයි.
කෙනෙක්ට උදේක මුණගහුනම, හිනාවකින් සංග්‍රහ කරන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.

ඒත් අද... කීයෙන් කී දෙනාද එහෙම කරන්නෙ?

විදුලියෙන් ක්‍රියා කරන බෝනික්කො වගේ, කන් දෙකේ "බීරි මාක් කණේ මූදි කුට්ටම්" දෙකක් ගහගෙන, කලු කන්නාඩි දෙකක් දා ගත්තම මූණට මුලිච්චි වෙන උන්ට හිනා වෙනව තියා... 
පාරෙ යන්නෙත් හරි අමාරුවෙන්.


ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින්,
අපේ රටේ 
"සිනා සෙන්න උගන්වනු ලැබේ" කියල දැන්වීම දකින්න ලැබෙන කාලෙ වැඩි ඈතක නෙවේ...

3 [113] වේයන්, මීයන් සහ නෑයන්

මීයා, වේයා, නෑයා.... 
බැලූ බැල්මට නම් ඉතින් මේ තුන් දෙනාගෙ සමාන කමක් හිතන්න හරි අමාරුයි ටිකක්. එකම දේ මේ තුන් දෙනාම සත්තු 3 දෙනෙක්... නමට අකුරු 2යි. තුන් දෙනාගෙම නම ඉවර වෙන්නෙ "යා" කියන එකෙන්.. ඒක තමා තියෙන සමාන කම.

ටිකක් වැඩියෙන් හිතල බලමු... මොකද්ද ඇති සමාන කම..?

ඊට කලින් කියන්නම්...

මම මේ ළඟදි දවසක කුරුණෑගල ඉඳල පොල්ගහවෙලට ගිය බස් එකේ ගහල තිබුණ එක වැකියක් තදින්ම මගේ හිතට වැදුන..

ඒක දැක්කමනම් මටත් හිතුන හැබෑම නේද කියල..
ඒ වැකිය තමයි.....

"වේයයි, මීයයි, නෑයයි තමයි අපිව කන්නෙ" 

වේයා - අපේ වටින කියන ගෘහභාණ්ඩ, ලිය කියවිලි කනව. 
මීයා - අපිට වටින කියන ලියකියවිලි කනව. 
නෑයා - අපේ අඟේ ඉඳන් කන කනව.

මේ තුන් දෙනාම මේ දේ කරන්නෙ කොහොමද? අපිට නොතේරෙන්න.. 
අපිට ඒ දේවල් නැති වෙලා කියල අපි දැන ගන්නකොට, ගොඩක් පරක්කු වැඩී. මොකද පිටින් ඒ දේවල් විනාශ වෙලා නෑ වගේ අපිට පේන්නෙ. 
ඒත් විපරම් කරල බැලුවම...

අනේ අපොයි.... ගන්න දෙයක් නෑ
වටින කියන හැමදේම නැති වෙලා...

ඉතින්....

ප්‍රවේසමෙන්...!!!

6 රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

අද මූණු පොතේ දැකපු කියමන් දෙකක් නිසා දෙයක් ලියන්න හිතුන.
කියමන් දෙකම ඉස්සෙල්ල කියන්නම්... බලන්න ඔයාලට මොනවද හිතෙන්නෙ කියල.


පළවෙනි එක...
"කෙනෙක් ඔබව පාවිච්චි කලා යැයි කාලෙකට පසු දිනෙක ඔබට හැඟුනොත් කුමක් දැනේවිද..?"


දෙවෙනි එක
"ඔබ  යම් කෙනෙකු රවටා සාර්ථක වුවහොත් හිතන්න එපා ඔහු හෝ ඇය මෝඩයෙකු ලෙස....
සිදු වූයේ ඔහු හෝ ඇය පමණට වඩා ඔබව විශ්වාස කල එකයි."


කතා දෙකම පේන විදියට කියන්නෙ එකම කතාවක්.
රැවටීම.. 
අපි ගොඩක් දෙනෙක් අතරෙ තියෙන දෙයක්. අපේ ගොඩක් අය හරිම දක්ෂයි තව කෙනෙක්ව රවට්ටන්න... ඒක සමහරවිට පොඩි කාලෙ ඉඳලම වෙන දෙයක් වෙන්න ඇති..
අපි පුංචි කාලෙ, අපේ අම්මල, තාත්තල  බිල්ලො, හප්පො, ගෙම්බො ගැන කියල රවට්ටනව.. ඒ නම් ඉතින් හොඳ අරමුණකට කිහල කියමුකො... එක්කො කෑම කවා ගන්න.. එක්කො කියන දේ නාහන වෙලාවක මෙල්ල කර ගන්න. එහෙම යනකොට ඔන්න පොඩි උන් අම්මලට, තාත්තලට "අන්න....." කියල මොකක් හරි එකකට අත දික් කරල රවට්ටනව වැදගත් දෙයක් පෙන්නන්න වගේ.. (ඒකත් ඉතින් නොතේරුම් කමනෙ...)
හැබැයි ඉතින් ඔන්න යමක් කමක් තේරෙන්න පටන් ගන්නකොට තමයි වැඩේ නියමෙටම කරන්නෙ...

සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් කෙනා තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..
හැබැයි ඉතින් රවට්ටන්න බොරු කියන කෙනාටනම් දහසකුත් හේතු තියෙනව ඒ දේ කරන්න...
"ආදරේට, බේර ගන්න, හොඳ මාර්ගෙට ගන්න, තරහ වෙනවට, දුක හිතෙනවට, වැඩි හොඳට" මෙකී නොකී හේතු සිය දහස් ගණනක් තියෙන්න පුලුවන්.. (පුලුවන් නෙවෙයි, තියෙනව. මම මේ කියන්නෙ අත්දැකීමෙන්).
හැබැයි ඉතින් හේතුව මොකක් උනත්, අන්තිමේ කෙනෙක්ව රවට්ටල ඉවරයි.
ඉතින් අර උඩින් තියෙන දෙවෙනි කියමන බැලුවොත්, රවට්ටන කෙනා හිතනව එයා අනිත් එක්කෙනාව සාර්ථකව රැවැට්ටුව කියල (එයානම් හරිම මෝඩයි, මම කියන දේ පිළිගත්ත කියල).. 
එයාගෙ පැත්තෙන් එයා 500%ක් හරි. හැබැයි එයා හිතන්නෙ නෑ, රැවටුනා කියන කෙනා තමන් ගැන තමන්ටත් වඩා විශ්වාස කරල කියල.
(මොකද මම තදින්ම පිළිගන්න, විශ්වාස කරන දෙයක් තමයි, කෙනෙක්ව සාර්ථකවම රවට්ටන්න, බොරු කියන්න හැකියාව තියෙන්නෙ ඒ කෙනාට ගොඩක්ම කිට්ටු කෙනෙක්ට විතරමයි. අසීමිත විදියට විස්වාස කරන කෙනෙක්ට විතරමයි. මොකද, අපි වැඩිය නොදන්න කෙනෙක්, අවිශ්වාස කරන කෙනෙක් කියන දෙයක් අපි එච්චර ගනන් ගන්නෙ නෑ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. අර පහුගිය දවසක මූණු පොතේම දාල තිබුණ "අපිට රිද්දල, අපිව දාල යන්නෙ, කවදාවත්ම අපිව දාල යන්නෙ නෑ කියල පොරොන්දු උන අයමයි කියල. අන්න ඒ කතාවම තමා මෙතන්ටත් අදාල වෙන්නෙ. අපිව රවට්ටන්නෙත්, රවට්ටල සාර්ථක වෙන්න පුලුවන් වෙන්නෙත්, කිසිම දවසක අපිව රවට්ටන්නෙ නෑ කියල, වචනෙන් නොකීවත්, හිතේ ඇතුලෙම පදිංචි වෙච්ච අයට විතරයි.)
එතකොට තේරෙණවද කෙනෙක්ව රවට්ටන එක මොනතරම් බරපතල වරදක්ද කියල.
අපි හරි සතුටු වෙනව රවට්ටල, ඒ කාරනේ කෙරුන කියල. ඒත් ඒක මොනතරම්නම් පවක්ද..? වරදක්ද..?
ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කවුරුත් ඔය දේ නොහිතන එකයි. ඒ වෙලාවට අපි සාර්ථක වෙන්න හැමදේම කරනව. කවදාවත් ආපහු හැරිල බලන්නෙ නෑ. රැවටෙන කෙනා ඉන්න තැනට තමන්ව ආදේශ කරල බලන්නෙ නෑ "මම එතන ඉඳල මට මේ දේ උනානම් මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද" කියල. අනිකට හෙණ ගැහුවත් අපේ සාර්ථකත්වය විතරමයි බලන්නෙ.

(මම හිතන්නෙ ඒක මේ රේස් දුවන සමාජ ක්‍රමය නිසා ඇති වෙච්ච දෙයක් වෙන්න ඇති.)

ඉතින් එහෙම එකේ....... කෙනෙක් තමන්ව රවට්ටල, පාවිච්චි කලා කියන එක කාලෙකට පස්සෙ ඒ කෙනාට තේරුනොත්..??????


මොන තරම් පරාජිත, අසරණ හැඟීමක් ඇති වෙයිද..? මොකද, මම කලින් කීව වගේම කෙනෙක්ව රවට්ටල, ඒ කෙනාව පාවිච්චි කරන්න, ඒ කෙනාගෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙම කෙනෙක්ට විතරක්ම නිසා.

ඉතින්.... කෙනෙක්ව රවට්ටන්න එපා... අවංක වෙන්න.. 
ඒ කෙනාගෙම හොඳට කරන්න පුලුවන් එකම දේ ඒ කෙනාට ඇත්ත කියන එක මිසක්, ඇත්ත වහන් කරල බොරුව පෙන්නන එක නෙවේ... මොකද එහෙම කරල, දවසක ඇත්ත ඇති හැටියෙන් දැනගත්තම ඇති වෙන හැඟීම, කඩා වැටීම ගොඩක් දරුණු වෙනව අනිවාර්යෙන්ම. සමහරවිට මුලින්ම ඇත්ත කීවනම් ඒ කෙනාව ගොඩක් සතුටෙන් තියන්න තිබුන කියල හිතෙන්න පුලුවන්..... 
ඒත් ඒ දේ තේරුම් යනකොට... ගොඩක් පරක්කු වැඩි වෙයි. 

අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි. 
රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

7 පාට කණ්නාඩි

ඉස්සර මම ඔෆිස් ගියේ අත් දිග කමිසෙ ඇඳල, යට කරල, බෙල්ට් දාල, සපත්තු මේස් දාල සම්මත ක්‍රමේට. (සමාජ සම්මතේට අනුව මහත්තයෙක් වගේ)
ඒත් දැන් මම යන්නෙ ටී ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් ඇඳල, දුවන්න දාන සපත්තු දෙකක් දාල. (කෝච්චියෙ යන ගොඩක් යාලුවො අහනව අද ටෙනිස් මැච් එකකටද ගියෙ කියල. ඒත් අවුලක් නෑ උන් දන්නව ඇත්ත.)
ඉස්සර බස් එකට නැග්ගම (කොන්)දොස්තර අය්ය කතා කලේ "මහත්තය, ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙන්න" කියල...
දැන්නම් අයිය කතා කරන්නෙ "ඒයි මල්ලි, පස්සට යන්නකො කීවම" කියල.
සාරිය ඇන්ද දවසට "නෝන" නැත්නම් "මිස්" වෙන නෝනම, පහුවදා සාය, හැට්ටෙ ඇන්ද ගමන් "නංගි" නැත්නම් "අක්ක" වෙනව.
කොහොමද නෑදෑ කම වෙනස් වෙන හැටි..?
ඔන්න ඕක තමා අපේ රටේ අත්ත තත්වෙ... මිනිස්සු හැම දේ ගැනම තීරණ ගන්නෙ පිටින් බලල... පිටින් පේන දේ දැකපු ගමන් ඔක්කොම තීරණය කරල ඉවරයි..
නිකන් හිතන්න පොලිසියකින් වැඩක් කර ගන්න ගියා කියල ටී-ෂර්ට් එකක් ඇඳන් ඩෙනිමකුත් එක්ක... අප්ප.. පොලිසියෙ කුස්සියෙ උයන එකත් කතා කරන්නෙ "ඕයි, තමුසෙ මොකද ඔතන" කියන විදියට... හැබැයි ඉතින් මිනිස්සු 7ක් මරල, ගෑණු 5ක් දූෂණය කරලත්, සුදු අත් දිග කමිසෙ ඇඳල, යට කරල, සපත්තු මේස් දාල පොලිසියට යන තිරිසනාට "මහත්තය, කාව හම්බෙන්නද..? මොකද්ද කාරනාව" කියල පිලිගන්නෙ කාකි කිට් එක දාපු ඉහළ පන්ති පාස් අපේම රාලහාමිලා.
වෙනස තියෙන්නෙ පිටින් පේන්න අඳින දේ... අපේ අය තීරණය කරන්නෙ හොඳ සහ නරක පිට පොත්තෙන්...ඒකයි අද වෙලා තියෙන්නෙ.
තව එකක්... කොච්චර බලු කම කරත් පොත්ත සුදුනම්, කර බාගෙන ඉන්නව.. හැබැයි කලු හමනම් ඉතින්... හප කරලම දානව..
මට මේක ලියන්න හිතුනෙත් කෙනෙක් එහෙම කියපු කතාවක් නිසාමයි....
අපි පුරුදු වෙලා ඉන්නෙ අපි කැමති පාටකින් පාට කණ්නඩියක් දාල, පිටින් පේන දේ දිහා බලල, ඒ කෙනා ගැන චරිත සහතික දෙන්න...
ඒත්..... ඒ කෙනා ඇතුලෙ ඉන්නෙ අපි දෙන චරිත සහතිකේට හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුලුවන්...
ඉතින්... නරකද පාට කණ්නාඩි ගලවල, පිටින් පේන දේට වඩා දෙයක් ඇතුලෙ තියෙනව කියල හිතාගෙන, ඒ ඇතුලෙ ඉන්න ඇත්ත කෙනා අඳුන ගන්න උත්සාහ කරොත්...?
ඇත්ත... කෙනෙක්ව එහෙම තේරුම් ගන්න එක ලේසි නෑ. ඒත.... අපි උත්සාහ කලොත්.... ගොඩක් දුරට බැරි වෙන එකකුත් නෑ..
මොකද.... සුදු ඇඳල, සුදට සුදේ යක්කු ඉන පුලුවන්... ඒ වගේම, කිළිටි පෙරොගෙන, නාබර ගොඩේ දෙවි වරු ඉන්නත් පුලුවන්...

"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අමාරුම දේ තේරුම් ගන්න එක..ඒත්... ඒ තේරුම් ගැනීමට පිට පොත්ත, පෙනුම නම්, කිසිම වැදගැම්මකට නෑ කියන එකයි සත්‍යය...
අන්න ඒ සත්‍යය අවබෝධ කර ගන්න මේ එක්ක පොඩි උත්සාහයක් දරමු...

පාට කණ්නාඩි ගැලවුවොත්, අනිව හරි දේ දකිනව..

7 දෙවෙනි වරම....

දින චරියාවෙ තවත් එක ඒකාකාරී දවසක්... උදෙන් ඔෆිස් යන්න ඕනෙ.. හැමදාමත් වගේ යන්න කලින් මේස උඩ තිබුණ පත්තරේ අතට ගත්ත..
..... මේ මම....? මගේ පින්තූරෙ.. ඒත් අහවල් එකක් කරනවද අවමගුල් දැන්වීම් කොලමෙ..? මේක උභතෝකෝටික ප්‍රශ්ණයක්..

ටිකක් ඉන්න.....
කලින් දවසෙ නින්දට යන්න කලින්, පපුව අසාමාන්‍ය විදියට රිදෙන්න ගත්තනෙ.. හරිනෙ... මාව රෝහලට අරන් ගියෙ මගෙ බිරිඳ, අල්ලපු ගෙදර අයගෙ උදව්වෙන්නෙ..
ඒත්.....
මට එහෙදි දීපු බෙහෙත් වලට හොඳට නින්ද ගියානෙ..
ඒක හීනයක්ද..?
කොහොම හරි ඔෆිස් එකට ගොඩවෙද්දි වෙලාව 10යි... දැන්නම් ලොක්කගෙන් හොඳටම බැණුම් තමයි.. අද උදේ තේ එකත් නැති වෙන්ව අනිව.

කෝ.... මොකෙක්වත් නෑනෙ... ඔෆිස් එක පාලුයි... මීටිමක්වත්ද..?

ඔක්කොම ටික මගෙ කාමරේ ඉස්සරහ... සමහරු අඬනව. මොකද මේ...?
නිකමට මම එබුන කාමරේට... අනේ අපොයි... මේ මම මෙහෙම ඉන්නකොට, කාමරේ ඇතුලෙ මම බිම නිදි..
මේ වගේ කතා අහල තිබුනත් මොකද්ද මේ වෙන්නෙ කියල මට විස්වාස නැති උනා. ඇත්තටම ලොකු තිගැස්මකින් පපුව ගැහෙන්න උනා..
පිරිස මැද උන්න මම,
"මේ අහන්න... මම මෙතන ඉන්නවා ඔයාල එක්ක" 
කියල මහ හයියෙන් කෑ ගැහුවත්, කිසි කෙනෙක්ට මගෙ හඬ ඇහුනෙ නෑ. ඒ හැම කෙනෙක්ම බලාගෙන හිටියෙ කාමරේ ඇතුලෙ වැටිල හිටිය මගේ රුව දිහා.

"ඇත්තටම මම මැරිලද..?" මගෙ හිතටත් ඒ ප්‍රශ්ණය ආව. මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

කෝ මගෙ බිරිඳ..? කෝ මගෙ පුංචි සුරංගනාවි..? කෝ මගෙ යාලුවො..?

මගේ බිරිඳ ඊට එහා කාමරේ බොහොම දුකෙන්...කඳුලු හෙලනව. මගෙ පුංචි සුරංගනාවිත් අඬනව, ඒ කිසි දෙයක් තේරිල නෙවේ... අම්ම අඬන නිසා.

අනේ දෙවියනේ... මම මැරිලද..?

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ආදර බිරිඳට "මේ ලෝකෙ ඉන්න ලස්සනම, කරුණාවන්තම කාන්තාව" ඇය වග.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ පුංචි සුරංගනාවිට "මම කොයිතරම් ආදරේද" කියල.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ළඟින්ම උන්, මගේ මිතුරන්ට, "ඔයාල නැත්නම් මම ජීවිතේ ගොඩක් වැරදි කරල. ඔයාල නිසා තමයි මම හරි මග ගියේ" කියන වග.

පොඩි දේකින් හිත් අමනාප වෙච්චි මගේ හොඳම මිතුරට මම කොහොමද "මට සමාවෙන්න" කියල කියන්නෙ...? මට ඔහුගෙන් සමාව ගන්න ඕනෙ..

මට දැනෙන විදියට මේ ජීවත් වෙන මාව කිසි කෙනෙක්ට පේන්නෙ නෑ වගේ...

"ඇත්තටම මම මැරිලද..?" මම ආයෙත් මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

 මම බිම වැතිර ඉන්න මගේම සිරුර ළඟින්ම ඉඳ ගත්ත.... මගේ ඇස් කඳුලින් බර වෙලා. මටත් කෑ ගහල අඬන්න ඕනෙ.. ඒ තරම් හිත බරයි... දුක වැඩියි....

"අනේ දෙවියනේ.... මට තව කිහිප දවසක් දෙන්න....." මම දෙවියන්ගෙන් ඉල්ලුව...

මට මගේ බිරිඳට, මගෙ පුංචි සුරංගනාවිට, මගේ යාලුවන්ට තේරුම් කරන්න, පෙන්නන්න ඕනෙ මම එයාලට කොච්චර ආදරේද කියල.

ඒ අතරෙදි මගෙ බිරිඳ මම ඉන්න කාමරේට ඇතුල් උනා.මට ඕනෙ උනා ඈට කියන්න....
"මේ ලෝකෙට ඇය එක් පුද්ගලයෙක් උනත්, ඇය මට ලෝකයක්" යන වග.

"අනේ දෙවියනේ...." මම ආයෙමත් කෑ ගැහුව..

"අනේ තව ටික කාලයක්..."

එකම එක වතාවක් මගේ පුංචි සුරංගනාවි තුරුල් කරන් සිපගන්න... එකම එක වතාවක් මගේ බිරිඳට තවමත් මාත් එක්ක ඉන්නවට ස්තුති කරන්න...

මම පුලුවන් වීරිය දාල තව එක සැරයක් කෑගැහුව... "අනේ දෙවියනේ... තව එකම එක වතාවක්.. කරුණාකරල"

"ඔයා නින්දෙන් කෑ ගැහුව... නරක හීනයක් දැක්කද..?" 
ඒ මගේ බිරිඳගෙ හඬ.

අනේ දෙවියනේ... ස්තුති වේවා නුඹට.. ඒක හීනයක්... මට නින්ද ගිහින්.

"ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව... කරුණාවන්තම කාන්තාව. මම ඔබට ගොඩාක් ආදරෙයි" අවදි වූ විගස ඈ වැළඳගත් මා පැවසුවා.

ආයෙමත් මම දෙවියන් යැද්ද...

"දෙවියනි, ඔබ ලබා දුන් මේ දෙවෙනි අවස්ථාවට ඔබට ගොඩක් ස්තුතියි.."

------
ඊයක් ඇසුරිනි.. කතෘ පිළිබඳ සඳහනක් නොවීය.
-------

කියවූ ඔබට....

තවමත් ඔබ ප්‍රමාද නැත... 
අහංකාරකම් අමතක කරන්න... 
අතීත වැරදි, තරහ අමතක කරන්න..
ඔබේ ආදරය අන් අයට පවසන්න..(එය ඔවුන් නොදන්නවා වෙන්න පුලුවනි)
මිත්‍රශීලී වෙන්න..
නිතර සිනාමුසුව ඉන්න.. (අන්‍යයන්ට හිනා නොවෙන්න.. අන් අය සමග හිනා වෙන්න.)
අපට දෙවෙනි වතාවක් නොඑන්නට ඇති සම්භාවිතාව 
බොහෝ වැඩිය....

5 සුන්දරත්වය...

මගේ විජිතය බ්ලොග් අඩවියේ "ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය" කියන පෝස්ට් එක අහම්බෙන් කියවන්න හම්බුනා. මම මීට කලිනුත් මීට ටිකක් සමාන පෝස්ට් එකක් ලීව "ඇයි" කියල. ඒකට ගොඩක් ගල්, මල් ආව. ඒත් මේක කියෙව්වම මටත් හිතුන ආයෙම ඒ වගේ එකක් ලියන්න කියල. එදා මම ලීවෙ ඇත්තටම මම දුටු දෙයක් ගැන. ඒත් අද මම ලියන්න යන්නෙ මම දුටු, දකින (මම විතරක් නෙවේ, ඔබ උනත් නිතර දකින, ඇස පිනවන) දෙයක් එක්ක මට ඈති වුන ප්‍රශ්ණයක් ගැන.

මුලින්ම කියන්න ඕනෙ මම කාටව්ත් මඩක් ගහන්න, රිදවන, එහෙමත් නැත්නම් හෑල්ලු කරන්න නෙවෙයි මේ ලියන්නෙ... ඕනෙම කෙනෙක්ට, සභ්‍ය විදියට මේක විවේචනය කරන්න අයිතිය තියෙනව... කිසි ගැටලුවක් නෑ. ඕනෑම සභ්‍ය අදහසක් මම පල කරනව කිසි කොස්සක් නැතුව.

ගෑණු ළමයි විලාසිතා කරන්න ඕනෙ කියන අදහස මමත් තදින්ම විස්වාස කරනව.. මොකද ඉතින් වයසට ගිහින් විලාසිතා කරන්න ගියොත් මිනිස්සු නාකි විසේ කියන්න ඉඩ තියෙනවනෙ.. අනික තරුණ කාලෙ කරන්න ඕනෙ දේවල් ඒ කාලෙදි කරන්නත් ඕනෙ. නැත්නම් කිසි ගතියක් නෑ. (ගෑණු ළමයි කියන්නෙ කොහොමත් විලාසිතා තමා). ඒ නිසා ඒ ගැන කිසි තර්කයක් නෑ. අත් දෙකම උස්සල මම එකඟයි ගෑණු ළමයි විලාසිතා කරන එකට.

"ෆැෂන්" එහෙම නැත්නම් "විලාසිතා" කියන්නෙ ඈත්තටම මොකද්ද...?

මම නිකමට වගේ ගූගල් දෙයියන්ගෙන් ඇහුව. ඒ දෙයියො මාව විකි දෙයියො ගාවට යොමු කරා වැඩිදුර තොරතුරු ගන්න කියල. ඔන්න ඉතින් ඒ දෙයියන්ට අනුව;

Fashion is a general term for a popular style or practice, especially in clothing, footwear, accessories, makeup, or furniture. "Fashion" refers to a distinctive; however, often-habitual trend in a look and dress up of a person, as well as to prevailing styles in behavior. "Fashion" usually is the newest creations made by designers and are bought by only a few number of people; however, often those "fashions" are translated into more established trends. The more technical term, "costume," has become so linked in the public eye with the term "fashion" that the more general term "costume" has in popular use mostly been relegated to special senses like fancy dress or masquerade wear, while the term "fashion" means clothing generally, and the study of it. For a broad cross-cultural look at clothing and its place in society, refer to the entries for clothing, costume, and fabrics.

එහෙම බැලුවම තේරෙන දේ තමයි අපි විලාසිතා කරන්නෙ ලස්සන වෙන්න. අවධානය ගන්න. (මට තේරෙන හැටි වැරදිද මන්ද..?) හැබැයි ඒක අපි අපිට ඔබින විදියට, තැඅට ඔබින විදියට කරන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන්නෙ අපි විහිලුවක් වෙන එකයි..එහෙමත් නැත්නම් අර මම කීව බ්ලොග් එකේ කියල තියෙන ජාතියෙ විදියට මිනිස්සු හිතන එකයි.

අද කාලෙ තියෙන විලාසිතා ගොඩක් බැලුවොත්, ඒව කරන්න වැඩි වියදමක් යන්නෙ නෑ. මොකද රෙදි යාරයක් ගත්තම නවතම විලාසිතා සහිතවම විලි වහගෙන තව පොඩි ළමයෙකුට ඇඳුමක් මහන්නත් ඇති.එහෙම නැතුව සමහරු වලලු කරටම දිගට අඳිනව. ඒත් ඉතින් ටිකක් ඈතින් අඩිය තියල ඇවිදින්න බෑ. මොකද එහෙම ඇවිද්දොත් අනිව මේ දවස් වල කුවෙණිට ඇති වෙලා තියෙන ප්‍රශ්නෙ ඇති වෙනව. තව අය ඉස්සරහෙන් බැලුවම හරිම විනීත විදියට පේන්න අඳිනව.. හැබැයි පිටිපස්සෙන් බැලුවොත් තමා අවුල. මොකද අර පිටකොටුවෙ විකුනන පිට නෑ කියන ඉස්ටයිල් එක නියමෙටම පෙන්නනව.

අපේ රටට වඩා ගොඩක් විලාසිතා කරන්නෙ යුරෝපීය රටවල කියලයි මට හිතෙන්නෙ... (මම වැරදි ඇති සමහරවිට). හැබැයි ඒ රටවල විලාසිතා නිර්මානය කරනකොට ඒවා අඳින කාල වකවානු අනුවයි විලාසිතා නිර්මානය වෙන්නෙ. ඒ කියන්නෙ සීත කාලෙට ඔබින විදියට ඇඟ වැහෙන ඇඳුම්, රස්නෙ කාලෙට ඇඳුම් අඩුවෙන් යනාදී පිළිවෙලටයි එයාල ෆැෂන් කරන්නෙ.

ඒත් වැඩේ කියන්නෙ අපේ අක්කල ෆැෂන් කරන්නෙ එහෙමනම් නෙවෙයි. අපේ අක්කල ෆැෂන් කියල වැඩියෙන් කරන්නෙ අඩුවෙන් අඳින එක. කොච්චර සීතල උනත් අඳින්නෙ අඩුවෙන්.. වැඩියෙන් ඇඟ පේන්න අඳින එක තමයි ෆැෂන් කියල හිතන්නෙ. (මේ මට හිතෙන හිතෙන විදිය. වටපිට බැලුවම වැඩියෙන් දකින්න තියෙන්නෙ එහෙම දේවල්. ඉතින් එහෙම හිතන එක අසාධාරණද...?)

කාන්තා ශරීරය කොහොමත් සුන්දරයි කියල කවියොත් ගොඩක් වර්ණනා කරනව. ඒත් ඒ නිරුවත් සිරුරම නෙවෙයිනෙ. ඒත් අපේ අය අඳින විදියට හිතෙන්නෙ වැඩියෙන් පෙනුන තරමටයි වැඩියෙන් සුන්දරව පේන්නෙ කියල. මටනම් හිතෙන විදියට ෆැෂන් කියන්නෙ එකක්. ඇඟ පෙන්නනව කියන්නෙ තව එකක්. ඒ දෙක පටල ගන්න හොඳ නෑ. 

අතීතයෙත් ශිෂ්ඨාචාරගත් මිනිස්සු ඇඳුම් භාවිතා කරන්න පටන් ගත්තෙ තමන්ගෙ විලි වහගන්න. ඉතින් ක්‍රමක්‍රමයෙන් ශිෂ්ඨාචාර දියුණු වෙනකොට ඒ ඇඳුම් විකාශනය වෙලා අංග සම්පූර්ණ ඇඳුම් භාවිතා කරන්න පුරුදු උනා. එහෙම දියුණු වෙච්ච අපි, ආයෙත් යන්න හදන්නෙ පරණ ගල් යුගයටමද..? ඇඳපු ඇඳුම් එකින් එක අඩු කරල, යාන්තම් විලි (විතරක්) වැහෙන තරමට පොඩි රෙදි කෑල්ලක් විතරක් අඳින තරමටම අපි දියුණු වෙලාද...?

කාන්තා සුන්දරත්වය ඇඟ වැහෙන්න ඇන්ද කියල අඩු වෙන්නෙ නෑ කියන එකයි මගෙනම් හැඟීම. එහෙම වෙන්න වෙන්න ඒකට තව අගයක් ලැබෙනව. නොපෙනෙන දේවල් වැඩි වැඩියෙන් පේන්න පේන්න ඒ අගය අඩු වෙනව කියලයි මටනම් හිතෙන්නෙ. (හැබැයි එහෙම පේන්න අඳිනකොට වෙන අගයක් ලැබෙනව වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒ සුන්දරත්වය, ලස්සන නම් නෙවෙයි.)


 ඉතින් ඇයි අපි විහින් ඒ තත්වෙට වැටෙන්න හදන්නෙ..? 

ඔය ඔලු ගෙඩි ඇතුලෙ තියෙන මොළගෙඩි වලින් චුට්ටක් හිතල බලන්න..... 

ෆැෂන් නැත්නම් විලාසිතා කියන්නෙ, 

ඇඟ වැඩිපුරම පෙන්නන එකමද..?

  

6 (අ)මනුස්සකම...

මේක ලියන්න ටිකක් කල් ගිය එකත් එක අතකට හොඳයි කියල මට හිතෙනව... සිත් විනිවිද දකින්න කියල පටන් ගත්ත මගේ බ්ලොග් එකේ ලියන්න පටන් ගත්ත මගේ ශෛලිය වෙනස් නොකර ඉන්න මට ඒ නිසා පුලුවන් උනා.
පහුගිය දවසක මට පුලුවන් උනා අපේ සමාජයේම ජීවත් වෙන එක්තරා අමනුස්සයො පිරිසකගෙ සිත් විනිවිද දකින්න.
දිනේ පහුගිය බ්‍රහස්පතින්දා... ස්ථානය සමුද්‍රදේවි කාර්යාල දුම්රිය.
මම මගේ යාලුවෙකුත් එක්ක ගෙදර යන්න කියල ගොඩ උනා සමුද්‍රෙට (ඒකෙ යන අය කියන්න එහෙමනෙ.) මරදානෙන් ගොඩ උනාට මොකද, වාඩිවෙන්නනම් හම්බුනේ නෑ. (කොහොමත් ඒකෙ ඉඳල හිටල යන එවුන්ට ලොවෙත් වාඩිවෙන්න හම්බෙන්නෙ නෑ.)
අපිත් ඉතින් ඕකෙ රඟෙ දන්න හින්ද අයිනකට වෙලා හිටිය. ඔන්න කොළඹ කොටුවෙන් ගොඩ උනා ඒ පෙට්ටියෙ අයිතිකාරයො ටිකක්. අපි දිහා දැම්ම නිකන් බැල්මක්, හරියට අපි උන්ගෙ ඉඩමක ගෙයක් හැදුව වගේ.. අනේ ඉතින් අපේ ඇඟේ වදින්නෙ නෑනෙ කියල, අපිත් හිටිය සද්ද නැතුව.
කෝච්චිය කට කපල සෙනඟ. මොකද කලින් යන්න තිබුණ එකක් ගිහින් නෑ.හුස්ම ගන්නත් අමාරු තරම්. ඔය අතරෙ එකෙක් කියනව උදේ එනකොට කල හපන්කමක්. හැමදාම නොයන කෙනෙක් උන්ගෙ කොටසෙ වාඩි වෙලා ඇවිත් එලවපු හැටි... හරි වීරකමක් වගේ කියන්නෙ.. හරියට කොටි එලවල මාවිල්ආරු සොරොව්ව අල්ලගත්ත වගේ.
ඊළඟ නැවතුමෙන් නැග්ග ඔන්න ඉතුරු සෙට් එක. දැන් හරි.. ගණ පූර්ණෙ හරි. ඒත් ඉතින් අපරාදෙ කියන්න බෑ මේ (අ)මනුස්සයො ටිකනම් බොහොම සැපසේ ඉන්නව. කෝච්චියෙ දොරේ ඉඳන් කට්ටිය එල්ලිලා. එළියෙ ඉන්න මිනිස්සු කෑ ගහනව ගොඩ වෙන්න බැරුව. දන්නවනෙ ඉතින් කොච්චියෙ එල්ලිල යන එක ලේසි නෑ. අනික සීග්‍රගාමී එකක තනි අතින් එල්ලිලා යන එක කොහොමද කියල හිතා ගන්න පුලුවන්නෙ.. (බැරි උනත් හිතල බලන්න..)
අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ ඒ මොන දුෂ්කරතා මැද මිනිස්සු මැරුණත්, මුන්ට නෙවේ ගානක් තිබුනෙ. කෝච්චියෙ හිටිය අනිත් හැම මනුස්සයම තමන්ට පුලු පුලුවන් විදියෙන් දොරේ යන අයට ඇතුලට එන්න උදව් කරනකොටත්, මේ (අ)මනුස්සයො තමන්ගෙ ආතල් එක ගන්නව. (තමන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ. ඒක කිසිම ප්‍රශ්ණයක් නෑ. වැඩේ තියෙන්නෙ උන්ගෙ ආතල් එක තවත් මිනිස්සු කොටසකට කරදරයක්නම්... අන්න එතනදි පොඩි ප්‍රශ්ණයක් වෙනව. අවස්ථාවෙ හැටියට ඒක ලොකු ප්‍රශ්ණයක් උනා)
මෙච්චර සෙනඟ පිරුණ කෝච්චියෙ මේ (අ)මනුස්ස රැළ තමන්ගෙ ආතල එක ගන්න උන්ගෙම එකෙක් බිම වාඩි කරා. ඒ කරල ඒ වාඩි වෙච්ච එකා වටේට 4 දෙනෙක් හිට ගත්ත. (දැන් ඔයාලට හිතාගන්න පුලුවන්ද මුන් මොකද කරන්නෙ කියල.?) වටේ ඉන්න 4 එකතු වෙලා කාඩ් ගහනව. බිම වාඩි වෙලා ඉන්න එකත් ආතල් එකේ ඉන්නව.. මොකද , අසනීප වෙච්ච එකෙක් බිම වාඩි වෙලා ඉන්නව කියල කිසි කෙනෙක්ට ඒ අහලටවත් එන්න දෙන්නෙ නෑ. කට්ටිය වටේට හොඳට වැට බැඳල වගේ ඉන්නව. ඒ මදිවට දොරේ ඉන්න අය ඇතුලට යන්න කියල කෑ ගහනකොට මුන් කෑ ගහනව මෙතන ලෙඩෙක් ඉන්නව.." අම්මෝ හිර වෙනවා" කියල. කොහොමින් හරි මුන් කිසි කෙනෙක්ට එතනට එන්න බැරි විදියට අගේට වැඩේ කරගෙන ගියා.
මම බහින තැනට එනකොටනම් කට්ටිය ටිකක් වැඩේ නවත්තන සයිස් එකක් තමයි දැක්කෙ. මොකද ඒ වෙනකොට කිහිපදෙනෙක් මේ කාලකණ්නි රැළ කරන්න මොකද්ද කියල දකින්න උන නිසා සහ මිනිස්සු පෙරලගෙන ඇතුලට එන්න පටන් ගත්ත නිසා. 
සෙනඟ වැඩි කමටම මටත් බොහොම පැහැදිළි ඡායාරූපයක් ගන්න බැරි වෙච්ච එක ගැන මම දුක් වෙනව. මොකද එහෙම උනානම් මට මේ කාලකන්නි මූණු ටික පැහැදිළිව පෙන්නන්න තිබුන.
මේක කියවන ඔයාල කවුරු හරි කෙනෙක් දන්න අය ඒ අතර ඉන්න පුලුවන්නෙ.. එහෙමනම් උන් එදා කල වරද වරදක් කියල උන්ටම තේරුම් ගන්න තිබුන.
මේ වගේ කාලකණ්ණි අමනුස්සයොත් ඉන්නවනෙ අපි එක්කම. මුන් හිතාගෙන ඉන්නෙ මේ දුම්රිය උන්ගෙ දේපල කියල ගෙදරින් ගෙනාපු. ඒත් ඉතින් නිකමටවත් මේක පිරිසිදුව එහෙම තියාගන්නනම් හිතක්වත් නෑ. (දවසක් මම ඒ වගේ කතාවක් ලීව) ඒ උනාට මොකද ඉහටත් උඩින් මනුස්සකම.
මේ වගේ මානව හිමිකම් අගයන, අනිත් එකා ගැන හිතන, අනිත් එකාට උදව් කරන කාලකණ්ණි (අ)මනුස්සයො ඉන්නකල් අපිට දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න පුලුවන් වේවි නේද..?
 

3 බොන්න....ඒත්... ටිකක් හිතල...

රෝහල ඇඳ උඩට වෙලා තනියම ඉන්නකොට කොච්චරනම් දේවල් හිතන්න පුලුවන්ද...? හෙද ඇන්ටිලගෙ කරච්චලේ නැත්නම් කොච්චර දේවල් ලියන්න පුලුවන්ද..?
හරි, ඒ ඔක්කොම තියෙද්දි ආයෙමත් ආව ඊයක් ගැන ලියන්න හිතුන. සමහරවිට මේක ඔයාල අහල ඇති. බොරුවට ගොතල කියන කතාවක් කියල හිතන්නත් පුලුවන්. ඒත්..... මෙහෙම කතා ඇත්තටම නොවෙනව කියල කියන්නත් බෑ කාටවත්..
මම මේක ලියල කාටවත් තමන් කරන දෙයක් නවත්තන්න කියන්නෑ ... මම ඉල්ලන එකම දේ හිතල බලන්න කියන එක විතරයි..
මම කතාව කියපු විදියටම ලියන්නම්...  


අරමුණක් නැතුව සාප්පු සංකීර්ණයෙ ඇවිදගෙන යන අතරෙ, එක සාප්පුවක මුදල් අයකැමි ගාව ඉන්න අවුරුදු 5-6 ක විතර පොඩි පිරිමි ළමයෙක්ට මුදල් අයකෑමි මෙහෙම කියනව ඇහුන.

"සමාවෙන්න බබෝ, ඔයා ළඟ තියෙන සල්ලි මදි මේ බෝනික්ක ගන්න." (අනිවර්යෙන්ම මේ අපේ රටේනම් වෙන්න බෑ.)

ඒ එක්කම මගෙ පැත්තට හැරුන පොඩි දරුව,
"අංකල්, බලන්න මේ සල්ලි මදිලු මට අර බෝනික්ක ගන්න." සල්ලි ඔක්කොම මගෙ අතේ තියන ගමන් පොඩි එකා කීව.

"ඔව්නෙ බබෝ, ඒ අංකල් කියන්නෙ ඇත්ත. ඔයා ගාව තියෙන සල්ලි මදි ඒ බෝනික්ක ගන්න.."
පොඩි එකාගෙ මූණ මැලවිලා ගියා. මම ඇහුව, මේ බෝනික්ක අරන් දෙන්න බලාපොරොත්තු වෙන්නෙ කාටද කියල.

"මගෙ නංගි මේ බෝනික්කට හරි ආසයි. මේක අරන් දෙන්න කියල හැමදාම අම්මට කරදර කර. මට ඕනෙ මගෙ නංගිගෙ උපන්දිනේට මේ බෝනික්ක අරන් දෙන්න."
"බෝනික්කව අම්මට අරන් දෙන්න ඕනෙ. එතකොට අම්ම එහාට ගියාම නංගිට දෙන්න පුලුවන්"  එහෙම කියද්දි පොඩි එකාගෙ මූණ මැලවුනා.
"මගෙ නංගි දිව්‍යලෝකෙ ගිහින් ඉන්නෙ.. තාත්ත කීව අම්මත් එහෙ යන්න ඉන්නෙ කියල. මම බෝනික්ක අරන් අම්මට අරන් දුන්නම අම්ම ඒක නංගිට ගිහින් දේවි."

මගෙ හිත මොහොතකට නැවතුනා වගේ දැනුන. (කතාව කියන කෙනාට එහෙම හිතුනට මටනම් ඇස් වලට අඳුලු ආව.)

"මම තාත්තට කීව අම්මට දැන්ම දිව්‍යලෝකෙ යන්න එපා කියන්න කියල.. මම බෝනික්ක අරන් එනකල් අම්ම බලාගෙන ඉඳීවි"

මෙහෙම කියල පොඩි එකා සාක්කුවෙන් පින්තූරයක් එලියට අරන් මට පෙන්නුව. ඒ එයාගෙම පින්තූරයක්.
"මම මේකත් අම්මට දෙනව නංගිට ගිහින් දෙන්න කියල. එතකොට නංගිට මාව කවදාවත්ම අමතක වෙන එකක් නෑ.මම අම්මට ගොඩක් ආදරෙයි. මම කැමති නෑ අම්ම මාව දාල කොහෙවත් යනවට. ඒත් තාත්ත කියනව අම්ම ඉක්මනටම නංගි ගාවට යන්න ඕනෙ කියල." එහෙම කියල අයෙමත් බෝනික්ක දිහා හරිම දුකෙන් බලාගෙන හිටිය.

හනිකට මගෙ පසුම්බියෙන් බෝනික්ක මිලදී ගන්න ඕනෙ කරන මුදල් එලියට ගත්ත මම,
"අපි ආයෙ ගැනල බලමු බබෝ සල්ලි හරියට තියෙනවද කියල. සමහරවිට මට වරදින්න ඇති"
"හා අංකල්, මම හිතන්නෙ මගෙ ගාව තියෙන සල්ලි ඇති" එහෙම කීව පුංචි දරුව සියලුම මුදල් මා අත තැබූ අතර, ඔහුට නොදැනෙන්න මගේ මුදල්ද එකතු කොට ගණන් කල මා බෝනික්කා මිලදී ගැනීමට අමතරවත් මුදල් එහි ඇති බව කීමෙන් සතුටට පත් පුංචි දරුවා,
"මට එහෙනම් අම්මට සුදු රෝස මලකුත් ගන්න පුලුවන්. අම්ම හරි ආසයි සුදු රෝස මල් වලට" බෝනික්කා මිලදී ගත් පුංචි දරුවා, අසල වූ මල් කඩයක් වෙත ගියා.

ඒ සිද්දියෙන් පසු, මට ඒ කුඩා දරුවාගේ මතකයෙන් මිදෙන්න බෑරි උනා. නිවසට පැමිනි මා, ඊට දින දෙකට පෙර සිදු වූ රිය අනතුරක් ගැන පුවතක් දුටුවා. බීමතින් රිය පැදවූ ට්‍රක් රථ රියදුරෙක් නිසා තරුණ මවක් සහ ඇගේ දියණිය අනතුරට පත් වූ අතර දියණිය අනතුර ශිදු වූ ස්ථනයේදීම මිය ගිය අතර මව අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත අර තිබුනා. මව දැන් යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වන බව ඒ පුවතේ සඳහන්.

ඔවුන් අර කුඩා පිරිමි දරුවාගේ මව සහ සොහොයුරිය වීමට බොහෝ ඉඩ ඇති බව මට සිතුනා.
ඊට දින දෙකකට පසුව කුඩා පිරිමි දරුවා පිළිබඳ ශෝචනිය පුවත් පුවත් පතක පලවුනා. මව මියගිය බවත් සඳහන්ව තිබුනා.

අවමගුලට සහභාගී නොවී සිටීමට මට නොහැකි උනා. සුදු රෝස මල් කළඹක් රැගෙන එහි ගිය මට දකින්නට ලැබුනේ සුදු රෝස මලක් පපුව මත තබා මිනිපෙට්ටියක තැන්පත් කර තිබූ කුඩා පිරිමි දරුවාගේ මවගේ දේහයයි. පසෙකින් එදා මිලදී ගත් බෝනික්කාද, ඔහුගේ ඡායාරූපයද විය.

-------------------------------------- X --------------------------------------

මේ කතාව කියවීමෙන් පසු, නොයෙක් දේ හිතෙන්න පුලුවන්. මා කිසි දිනෙක මෙය කියවන ඔබෙන් බොන්න එපා යැයි නොඉල්ලමි. ඒ මට ඊට අයිතියක් නැති නිසාවෙනි. ඒත් ඔබට ඊට වඩා දෙයක් කල හැකි බව මා තදින්ම විස්වාස කරමි.

ඒ කුඩා දරුවා, තමන්ගේ මවට, කුඩා සොහොයුරියට ඇති ආදරය අප්‍රමාණ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ. 
ඒත්..... කාලකණ්නි බීමත් රියදුරෙක් ඒ සියල්ල ඔහුගෙන් උදුරාගෙන හමාරය. ඒ වෙනුවෙන් ඒ කාලකණ්නියාට ගත වන්නට ඇත්තේ තත්පර කීපයක් පමණි.

5 ඇඟෙන් ඇටයක් යයිද එහෙම කලොත්....?

මේක පොඩි සිද්ධියක්..
සිද්ධිය පොඩි උනාට වැඩේ ලොකුයි. වරද නම් පොඩි නෑ.
ඇඩ් නැතුව කතාව මෙහෙමයි.

දිනය : හරියටම මතක නෑ. මේ සතියෙ කියමුකො.
ස්ථානය : මහව දුම්රිය(සවස 6.10 කොටුවෙන් මහව බලා ධාවනය වන)

 මහවෙ (යන අය කියන්න එහෙමනෙ. සමහරු 6.10 කියලත් කියනව) හැමදාම යන අය දන්නව ඒකෙ යන සෙනඟ කොච්චරද කියල..යන්නෙ හිටගෙන ගොඩක් අය.. අයිතිකාරයොනම් ඉතින් මාරුවට ඉඳගෙන යනව. අමුත්තන්ට ඉඳගන්න හම්බෙන්නෙ කලාතුරකින් තමා.
ඒකෙ යන කඩල විකුණන, වඩේ විකුණන, හකුරු විකුණන ස්ථිර අය ඉන්නව.. එයාල ඉතින් කිසි කරදරයක් නැතුව වෙළදාම කරගෙන යනව.
මම කියන දවසෙත් පුරුදු විදියටම මම දෙමටගොඩින් නැග්ග කුරුණෑගල යන්න. වාඩිවෙනව බොරු ඉතින්. බෑග් ටික උඩින් දාල, මමත් හිටගෙන හිටිය. මගෙ වටේම් හිටියෙ ඉතින් අයිති කාරයො තමයි (කෝච්චියෙ). එයාල ඉතින් තොර තෝංචියක් නැතුව කතාව. කෝච්චියෙ සද්දෙට උඩින් කතා කරන්නත් එපායැ. ඒ නිසා කියන දේවල් පැහැදිළිව ඇහෙනව. 
අපරාදෙ කියන්න බෑ හරිම සභ්‍යය විදියෙ කතා තමා කියන්නෙ. (සමහරු ඉන්නවනෙ ඉතින් ඔය ගෑණු ළමයිට සභ්‍ය කතා කියන්න ආස අය. එහෙම අය හරියට ඉන්නව කොච්චියෙ)
කොහොම හරි ඔය යන අතරෙ ආව ඇපල් වෙළෙන්දෙක්. ඇපල් කපල, ලුණු, මිරිස් කුඩු දාල දෙනව කොලේක ඔතල. (මතක් වෙද්දිත් කටට කෙල උනනව.) රුපියල් 20. හැමෝම ගන්නව. හරිම රසයි. මමනම් ඉතින් සතියට 6.10 යෙ යන්නෙ එක දවාසනෙ. ඒත් ඉතින් ඇපල අයිය හිටියොත් කනව. හැමදාම යන අය හැමදාම කනව ඇති.
ඔන්න ඉතින් මම හිටිය පෙට්ටියෙ හිටිය අයිතිකාරයො හැමෝම ඇපල් කනව.සමහරු බෙදාගෙන කනව. සමහරු තනියම එක ගානෙ කනව. මමත් මොකො. ගත්ත ඇපලයක්. මට එහා පැත්තෙ හිටිය එක "අයිය" කෙනෙක්. එයත් පෙනුමෙන් හා ක්‍රියාවෙන් කොච්චි කතා නායකයෙක් වගේ. එයත් කනව ඇපලයක්. කනව කීවට මම දකිනකොට අන්තිම කෑල්ල කටේ දාගෙන ඔතල දුන්න කොලේ ගුලි කරනව.
මම හිතුව ඉතින් සාක්කුවෙ හරි, මල්ලෙ හරි දාගෙන පස්සෙ විසි කරන්න වෙන්න ඇති ගුලි කරේ කියල. (මට එහෙම ලෙඩක් තියෙනවනෙ). අනේ අපරාදෙ කියන්න බෑ. ගුලි කරල අගේට වටපිට බලල දැම්මෙ නැතෑ කොලේ එයාගෙ පිටිපස්සට. (එතනම බිම, එයාට නොපෙනෙන්න)..  වටපිට බැලුවෙ හරියට හොරකමක් කරන්න වගේ. `ඒ කියන්නෙ එයාම දන්නව එයා කලේ ලොකු වැරැද්දක් කියල.
හැබැයි මිනිහ දැක්ක මිනිහ ඒ කළ වැඩේ වෙන කවුරු දැක්කෙ නැත්ත, මම දැක්ක වග. ටිකක් විතර ලැජ්ජ හිතෙන්න ඇති. ( මම එහෙම කීවෙ, මිනිහ හෙමින්ම මිනිහගෙම සපත්තුවට ඒ කොල ගුලිය පාග ගත්ත නිසා.)
දැන් ඉතින් යනව. මමත් යනව. මම මිනිහගෙ මූණ බලනව. බිම තියෙන කොල ගුලිය දිහා බලනව. ආයෙ මූණ බලනව. අන්තිමේ කොහොම හරි අඹේපුස්සෙන් මිනිහ බහින්න ලෑස්ති.
මගෙ කට නලියනව ඉන්නම බෑ. මිනිහ කොලේ අමතක කරල යන්න යන්නෙ.

"ඔබතුමා බහින ගමන් ඔබතුමාම බිම දාපු කොලෙත් අරන් ගියානම් නේද හොඳ...?" මම ඇහුව.

මොකද්ද කියනව වගේ මිනිහ ඔලුව වැනුව.

"ඔබතුමා බිම දාපු කොලේ, ඒකත් අරන් බැස්සනම් කොච්චර හොඳද..?" මම ආයෙත් කීව.

"ඔයා ඒක දැක්ක නේද.? ඔයාට ඒක හරි ප්‍රශ්ණයක් නේද..?" මිනිහ මගෙන් අහනව.

"හැමදාම යන කෝච්චියනෙ. කැතයි නේද එහෙම දාපුවම. අපිමනෙ යන්නෙ හැමදාම" මමත් කීව. මොකද මාව මරන්නයැ. (වටපිට බැලුවම එක තැනකවත් කොලයක් බිම දාල නෑ. ඒ කොල ගුලිය විතරයි තියෙන්නෙ)
 
අනේ අපරාදෙ කියන්න බෑ සපත්තුවෙන් පාගගෙන ඒ කොල ගුලිය අරන් ගියා දොර ගාවටම. හැබැයි මිනිහ පරදින්නත් කැමති නෑ. ඒ යන ගමන් සමච්චල් හිනාවකුත් එක්ක මට කියනව;

"ඔයිට වැඩිය ලොකු වැරදි කරන මිනිස්සු ඉන්නව ඕනෙ තරම්." 

"එකනෙ.. ඒත් ඉතින් අනිත් අය කෙසේ වෙතත්, අපි හරි දේ කලාම හරි නේද..?" මමත් ඇහුව.

මිනිහ බැස්ස. මම ආව ඉතින්. ඔන්න අපේ රටේ අපි. ගෙදර සාලෙ මැද්දෙනම් එහෙම කාපු දේ ඔතපු කොලේ ගුලි කරලා දායිද..? (එහෙනම් හාමිනේගෙන් හොඳ කොසු පාරක් කාල) ගෙදර වාහනේ කාපට් ගසල, සුද්ද කරල තියාගෙන ඉන්නව. පොඩි එකෙක් කඩල ඇටයක් හරි බිම දැම්මොත් ඌ හමාරයි.

එහෙව් එකේ යකෝ මුන්ට හෙන ගහනවද ඉතින් තමන් උදේ හවස යන එන කෝච්චිය ටිකක් පිරිසිදුව තියා ගත්තම.

3 ටිකක් හිතන්න....

ලියන්න හිතාගෙන හිටිය දේ මොන විදියෙන් පටන් ගන්නවද කියන එක හිතා ගන්න අමාරුයි ටිකක්.. ඒත්, මේක ලියන්නම ඕනෙ...ඒ වෙන කිසි දෙයක් හින්ද නෙවෙයි.... 
මටම ඇති වෙච්ච සිත් රිදීමක් හින්ද..
මම ඇත්තටම ලියන්නෙ මගෙ අදහස්.... ඒ ඇරෙන්න මම අලුතෙන් ලියන්න පටන් ගත්තෙ මම ආස කරන ගීත... මම හිතනව ඒක කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල.. අනික මම කිසිම කෙනෙක්ට මඩ ගහන්න, එහෙමත් නැත්නම් කිසිම කෙනෙක්ට කඩේ යන්නත් මගෙ මේ සිංහල පිටුව පාවිච්චි කරල නෑ තවමත්...
දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් පහුගිය දවසක "විදුර රලපනාව සහෝදරය වෙනුවෙන් ඡන්දයක් දෙන්න" කියල මම මගෙ පිටුවෙ ඇඩ් එකක් දැම්මෙ කඩේ යන්න නෙවෙයිද කියල. ඇත්ත.. මම එහෙම එකක් දැම්ම... ඒ අපේ සහෝදරයෙක්, අන්තර් ජාතික මට්ටමේ තරඟයකට සහභාගි වෙලා අපේ රටේ නම ජාත්‍යන්තරේ බබලවන්න කළ උත්සාහයකට ගරු කරන්න... සහයෝගය දක්වන්න... 
මේක කියවන ඕනෙම සහෝදරයෙක්, සහෝදරියක්, එහෙම උත්සාහයක් දරනවනම්, මම ඕනෙම වෙලාවක ලෑස්තියි ඒ වෙනුවෙන් සහයෝගයක් දෙන්න.. 
"කව්ද මේ.." ලිපියත් මඩක් නෙවෙයි කියන එක, ඒ අදාල මල්ලිම දන්නව.. 
හරි ඇඩ් ඇති..
මම ලියන ඕනෙම දේකට දාන විවෙචන වලට මම ගොඩක් ගරු කරනව... මොකද, ඒ දේවල් තමයි උදව් වෙන්නෙ මට හැදෙන්න... මම ලියන දේවල් වල අඩු පාඩු හදා ගන්න..
ඒ හින්දම මම කවදාවත් මගෙ ලිපියක් ගැන ඕනෙම කෙනෙක්, ඕනෙම දෙයක් කීවට තරහ වෙන්නෙ නෑ.. තරහ ගන්නෙ නෑ.. ඒ කියන දේ කොච්චර හිත රිදෙන විදියට මට කීවත්, මම ඉවසල ඉන්නව.. (ඒ මගේ හැටි නෙවෙයි. ඒක මම හිතල කරනව. නැත්නම් මම චුට්ට ඇත්නම් තද වෙන කෙනෙක් කියල තමයි මගෙ යාලුවො කියන්නෙ.)
මම පොඩි කලෙ, මගෙ තාත්ත එක්තරා ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන ප්‍රසිද්ධ පුවත්පතකට ලියපු පුවතක් සම්භන්ධයෙන් උරණ වෙච්ච නිලධාරියෙක් තාත්තව ප්‍රශ්ණ කරන්න හමුදා කඳවුරකට අරන් යන්න දරපු උත්සාහය (අන්තිමේ අරන් ගියා. ඒත් තාත්ත කරදරයක් නැතුව ආපහු ආව) සහ ඒ වටා ඇති වෙච්ච සිද්ධි හරියට ත්‍රාස ජනක ජවනිකා වගේ මට අදටත් මතකයි.  
මම ඒ කතාව කීවෙ, ඒ නිලධාරියත් හරියට ඇත්ත මොකද්ද කියල නොදැන දඟලපු නිසා.
ඉතින් ඔන්න දැනුයි ප්‍රධාන මතෘකාව.
මම පහුගිය දවසක, "අපේ ජීවිතේ මග ඇරෙන දේවල්" කියල ලිපියක් ලීව. ඒ ලිපියෙ අන්තර්ගතය මොකද්ද කියල ඒක සම්පූර්ණයෙන් කියවපු කෙනෙක්ට තේරෙයි.
ඒ ලිපිය ලියන්න මට හිතුනෙ චූටි එවපු "උපුල් ශාන්ත සන්නස්ගලගෙ" අම්ම ගැන පුවත් පතකට ලියල තිබුන ලිපිය කියෙව්වම බව ඇත්තයි... ඒත් එතන මම එයා ගැන ලිපියක් ලීවෙ නෑ... උපුල් ශාන්ත සන්නස්ගල හොඳද, නරකද, කළ වැඩ හොඳද, නරකද කියන්න මම ගියෙ නෑ... මට එහෙම කරන්න ඕනෙත් නෑ....(අපි එහෙම බැලුවොත්, අපිට කිසිම කෙනෙක් කියන කරන හොඳ දෙයක් ගන්න බෑ.. මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ සර්ව සම්පූර්ණ... ජීවිතෙ කිසිම දවසක, කිසිම වරදක් නොකරපු. අපි කරන්න ඕනෙ කාගෙන් උනත්, ජීවිතේට හොඳ දෙයක් ගන්න පුලුවන්නම්, පාඩමක් ඉගෙන ගන්න පුලුවන්නම් ඒ දේ ගන්න එකයි. නැතුව එයාගෙ ජාතකේ හොයන එක නෙවෙයි.. සිංහල අපිට සමහර වෙලාවට වරදින්නෙ එතන)
මට මගෙ ලිපිය ලියන්න අදහස ආවෙ එයාගෙ ලිපියෙ එක කොටසක් කියවපුවම... මම ඒ ගැන බොහොම පැහැදිලිව ලියල තියෙනව... ඒත් මම මුලින්ම "මූණු පොතේ" මගෙ ලිපිය ගැන දානකොට මම 
"සිංහල සන්නස්ගල (හැමෝම දන්නවනෙ එහෙම කීවම) එයාගෙ අම්ම ගැන එක පත්තරේකට ලියපු ලිපියක්... මට මතක හැටියට ඒක පත්තරේ තියෙනකොටම මම ඒක දැක්ක.. ඒත් කියෙව්වෙ නෑ... මට එදා ඒක කියවන්න කම්මැලි හිතුන... " 
කියන කොටස දැම්ම tag line එකක් විදියට.. මේක දැකපු ගමන් අපේ එක සහෝදරයෙක්, සන්නස්ගලගෙ ජාතකේම කියල , ඊට අදාල වෙබ් ලිපින දාල කොමෙන්ටුවක් දැම්ම මූණු පොතේ...
ඒක දාපු විදියට මට හොඳටම විස්වාසයි ඒ සහෝදරය මගෙ ලිපිය කියෙව්වෙ නෑ කියල...එයා ඒක කියෙව්වනම් කවදාවත් ඒ කල දේ කරයි කියල මම හිතන්නෙ නෑ. මොකද මගෙ ලිපියෙ කොතනකවත් මම කියල නෑ සන්නස්ගල "කලුද" නැත්නම් "සුදුද" කියල.. මට එහෙම කියන්න ඕනෙත් නෑ.
අන්න ඒ නිසා, මට ඇත්තටමට හිත රිදුන ඒක කියවපුවම.... මම ඒ දාල තිබුන සියලුම දේ මූණු පොතෙන් මකල, දැන් තියෙන එක ආයෙම දැම්ම ඉතින්... මම ඒ සහෝදරයට පුද්ගලිකවම පණිවිඩයක් දැම්ම... ඒත් එයා මට පිළිතුරක්වත් දැම්මෙ නෑ... මම තරහ නෑ ඒ සහෝදරය එක්ක...
ඒත් මම එක දෙයක් ඉල්ලන්නම් මේක කියවන අයගෙන්... (කියවයිද දන්නෙ නෑ..) අපි දෙයක්, කෙනෙක් ගැන පිටින් බලල නිගමන ව්ලට එළඹෙනවට වඩා, ඒ ගැන කියවල, කතා කරල, හොයල බලල, තීරණ වලට එන එක නේද හොඳ..?
මනුස්සයෙක් ඇඳන් ඉන්න ඇඳුම, කොණ්ඩෙ පීරන විදිය, දාල ඉන්න සෙරෙප්පු දෙක දිහා බලල ඒ මනුස්සය කව්ද කියන තීරණේ ගන්නවට වඩා, ඒ ඇතුලෙ ඉන්නෙ කව්ද කියන එක තේරුම් ගන්න එක නේද හරි..? 
ටිකක් හිතන්න..

0 මනුස්සකම...

කලින් ලියපු හැම දේකටම වඩා වෙනස් දෙයක් ලියන්න හේතුවක් ඇති උනා... කවදාවත්ම මෙහෙම දෙයක්නම් ලියන්න හිතුවෙ නෑ..ඒත් අඩුම ගානෙ මේක කියවන අයගෙන් එක්කෙනෙක් හරි ටිකක් හිතන්න පුරුදු වෙන්න පුලුවන්.. ඒ නිසා ලියනව..  සමාවෙලා ටිකක් කියවල බලන්න..
සාමාන්‍යයෙන් සිකුරාදා දවසෙ 7.15 මඩකලපු කෝච්චියෙ ගෙදර යන එක මගෙ පුරුද්දක්.. එදා (2011-09-08) සිකුරාදා නොවුනත්, පුරුදු කෝච්චියෙ ගෙදර යන්න කොටුවට ගියා.. පුරුදු විදියටම කන්න, බොන්න අරන් කොච්චියට ගොඩ උනා. මම යන්නෙ දෙවෙනි පන්තියෙ... (ලොකු කමකට නෙවෙයි... කරදර අඩුයි.. ඒකයි..)
හැබැයි එදානම් වැඩේ අවුල්.
ගාල කඩා ගත්ත හරක් රැලක් වගේ කෙල්ලො, කොල්ලො ටිකක් නැග්ග මම නැගපු පෙට්ටියටම... කන් දෙක අගුල් වැටුන වගේ උන්ගෙ සද්දෙට. අර කවුද පඩි ගත්ත වගේ කියන කතාවනම් ඇත්තයි කියල මට හිතුන..කොටින්ම එලියෙ යන කෝච්චියක සද්දෙවත්, යකඩ කටෙන් කෑ ගහල කියන දෙයක්වත් ඇහෙන්නෙ නෑ.. හිතාගන්න පුලුවන් ඇතිනෙ..වැඩේ කියන්නෙ ඒ එක්ක නැගපු ගුරුවරුත් ඊට දෙවෙනි නෑ.. හැබැයි ඉතින් වරදකුත් නෑ.. මොකද ගුරුවරු උනාම ළමයිට වඩා සද්ද වෙන්න ඕනෙනෙ.. ඉතින් මුන්ගෙ තිබුන සද්දෙ එක්ක බලපුවම, එයාට ඊට හයියෙන් කෑ ගහන්න ඕනෙ..
කමක් නෑ, බීරි මාක් කනේ මූඩි කුට්ටමක් මගෙ බෑග් එකේ තියෙනවනෙ, කොම්පුටරෙත් ගහගෙන සින්තුවක්වත් අහනව කියල හිතුව.. ඒ එක්කම එක සිංහල අය්ය කෙනෙකුත් නැගල වාඩි උන මගෙ ළඟින්.. එයත් කතා කලේ මේ සද්දෙ ගැන තමයි..
කොහොමහරි කෝච්චිය යන්න ළඟයි... අනේ අවුරුද්දක විතර පොඩි එකෙකුත් වඩාගෙන අම්මෙකුයි, තාත්තෙකුයි නැග්ග අපි හිටිය පෙට්ටියට..දැන් එයාල හිටගෙන.. වාඩි වෙන්නනම් ඉඩක් නෑ.. හිටිය හැම එකාම එයාල දිහා බැලුවෙ මොන එහෙකට මේකට නැග්ගද මන්ද කියල වගේ... රටේ ජනගහනයෙන් බහුතරය ගැහැණු වගේ, මේ පෙට්ටියෙත් හිටිය බහුතරය ගැහැණු... හැබැයි, ඒ එකෙක්වත් ජීවිතේ කවදාවත් අම්මෙක් වෙන්නෙ නැති එවුන් ගානට තමයි හැසිරුනේ..
හිටගෙන යන එක අමාරු බව මම දන්නව... ඒ මදිවට පොඩි එකෙක් වඩාගෙන හිටගෙන යන එක තව අමාරුයි..තවත් බලා ඉන්න බැරිම තැන මම නැගිට්ට. බබත් අරන් වාඩි වෙන්න කියල මම එතනම හිටගත්ත... මගෙත් කට හොඳ නෑනෙ, තියෙන තරහට මාව වෙවුලනව... "මේකෙ යන එවුන්ට කවදාවත් ළමයි හම්බෙන්නෙ නෑනෙ" මගෙ කටට බ්‍රේක් තිබුනෙම නෑ. ඒ කතාව ඇහුනම වටේම හිටිය එවුන් (සමාවෙන්න ඕනෙ මම හැම වෙලේම "එවුන්" කියන වචනෙ පාවිච්චි කලාට.. උන්ට ඒ ආමන්ත්‍රණයත් හොඳ වැඩී) මගෙ මූණ බැලුව..  ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනෙ නෑ කියල කතාවකුත් තියෙන්නෙ.. මොකද උන් මාව මරන්නද.. මගෙ දිහා බලපු හැම එකගෙම මූණ දිහා මමත් බැලුව..මම බැලුව සැර වැඩිද මන්ද... ඒක ඉවස ගන්න බැරි වෙච්ච ඉස්සරහම හිටිය උන් 4 දෙනා මගෙ දිහා බලල මොනවද කීව.. භාෂාව තේරුණෙ නැති උනාට ඒ බැනෙ මට කියන එක මට තෙරුණ. ඒ මදිවට මුන් උන්ගෙ එතනම හිටිය ගුරුවරයටත් කතා කරල ඒ විදියටම මාව පෙන්නල මොනවද කීව...
මම කෙලින්ම අර ඉඩ දුන්න අයගෙන් ඇහුව "මුන් බණින්නෙ මට නේද" කියල. මොකද එයාල මුස්ලිම් ජාතිකයො.. එයාලට තෙරෙනවනෙ.. ඒ අය හරි අහින්සක විදිය හිනා වෙලා කීව "ඔව්" කියල.
ඒ ගමන මට ආව කේන්තිය කියන්න මට වචන නෑ.. 
මම කෙලින්ම උන්ගෙ පැත්තට හැරිල, උන්ට තේරෙන භාෂාවෙන්, "උඹල හිතාගෙන ඉන්නෙ කවදාවත් උඹලට ලමයි හම්බෙන්නෙ නෑ කියල. මට උඹලගෙ භාෂාව තෙරුනෙ නැති උනාට ඒ වාඩි වෙච්ච අයට ඒක තෙරෙනව... මම දන්නව උඹල බැන්නෙ මට කියල. උඹල වගේ නැහැදිච්ච එවුන්ට ඉස්කෝලෙදිවත් මනුස්සකම උගන්නල නෑ. කොහෙද ටීචර්ලත් ඒකටම එකතු වෙල හිනා වෙනවනෙ..." කියල කෑ ගැහුව. මම එහෙම කියන කොට හැම එකාම නැගිටල බැලුවෙ අර වාඩිවෙන්න සීට් එක දින්න අය දිහා.. උන් හිතුවෙ නෑ ඒ අයට උන්ගෙ කතාව තේරෙයි කියල..අනික හිතන්න නැතුව ඇති තනි මම කවදාවත් කතා කරයි කියල.
ඒ ගමන හැම එකාම බිම බලා ගත්ත.. ටිකකින් එතන්ට ආව එතන හිටිය ගුරුවරුන්ගෙන් ප්‍රධාන කෙනා කියල හිතන්න පුලුවන් ටීචර් කෙනෙක්... ඇවිත් ඇහුව ඇයි කියල... මම පැහැදිළි කරල කීව මුන්ට ඉස්කෝලෙ මනුස්සකම කියන්නෙ මොකද්ද කියලවත් උගන්නල නෑ කියල.. අනික අනිත් ගුරුවරුන්ට කියල දෙන්න ළමයිට ආදර්ශයක් වෙන්න හැසිරෙන්නෙ කොහොමද කියල.. ඒ ගමන ඒ ගුරුවරී මගෙන් සමාව ඉල්ලල එයාගෙ ගෝල බාලයන්ට මොනව හරි හයියෙන් හයියෙන් කීව... ඒ ගමන මට හිනා වෙච්ච එවුන්ම මට වාඩි වෙන්න සීට් එකක් දුන්න... ඒත් මම කීව මට හිටගෙන යන්න පුලුවන් තාම කියල.. 
ඔය අතරෙ තමන්ගෙ ඉස්කෝලෙ කෙල්ලන්ට කාඩ්බෝඩ් වීරයො වෙන්න හදන මෝඩ කොල්ලො දෙතුන් දෙනෙක් ආවෙ නැතුවම නෙවෙයි සිංහල මිනිස්සුන්ට බැණ බැණ මට ගහන්න.. ඒත් ඒක දුර දිග යන්න දුන්නෙ නෑ අර කලින් කීව ගුරුවරිය... ඒක එහෙම නොවෙන්න, කතාව ඊට පස්සෙ යන්නෙ ජාතිවාදී කතාවක් හැටියටනෙ.. ඒ නිසා මම ඒ ගැන ගොඩක් හිතුව..
කොහොම හරි මම කුරුණෑගලින් බැස්ස.. අර ලොකු ගුරුවරී කීවෙනම් ළමයි "Played 3 matches." ඉතින් මහන්සිනෙ... නැගිටල යන්න බෑ කියලයි... හැබැයි උන්ට එහෙම එකක්නම් තිබුනෙ නෑ... දෙමටගොඩ, කැළණිය හරියෙ ඉඳල මම බහිනකොටත් උන් එකෙක්වත් සීට් වල වාඩි වෙල හිටියෙ නෑ... සින්දු කීව. නැටුව..
ඔන්න "මනුස්සකම". අපි මහලොකුවට කතා කරන්නෙ මනුස්සකම අගයන සමාජයක් ගැන.
ඒ ටීචර් කියපු විදියට එයාල "කල්මුනේ විද්‍යාලයෙ". ඔයාල දන්න කෙනෙක් ඉන්නවනම් වැරදිලාවත්, කියන්න ඉස්කෝලෙ ළමයිට කෙසේ වෙතත්, ගුරුවරුන්ට මනුස්සකම ගැනත්, තමන්ගෙ සිසුන් ඉස්සරහ ආදර්ශමත් විදියට හැසිරෙන හැටිත් උගන්වන්න කියල.. එහෙම නැතුව වැටුන එකා පාගල, තමන්ගෙ ගමන යන්නව්ත්,ජාති-ආගම් බේද වපුරන හැටිවත් උගන්වල සමාජෙට අමනුස්සයො බිහි කරන්න එපා කියල.. 
 
එහෙම නැත්නම්;
ලොවේ සැමා, 
එකම දැයේ දූ දරුවන් වේවා... 
වාද නැතී, 
බේද නැතී, 
ලස්සන ලොව හෙට අපට උදා වේවා 
සින්දුවක් විතරක්ම වෙයි. 
 

2 2600 සම්බුද්ධත්ව ජයන්තිය..

අපි 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරනව. ප්‍රධාන තේමාව "පිළිවෙතින් පෙළගැසෙමු" යන්නයි.. බුදුන් උපන් දේශයටත් වඩා අපි බුදු දහම වෙනුවෙන් කැප වෙලා කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.. පහුගිය දවස් වල 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න නා නා විද උත්සව, බෝධි පූජා, පිංකම් බහුලව තිබුන.. ඇත්තටම හරිම අලංකාරයි.. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වන විදියේ දේවල්.
ඒත්....
ඊයෙ දවසෙ මූණු පොත පෙරළද්දි දැක්ක ඡායාරූප කීපයක් නිසා මට මේක ලියන්න හිතුන... ඒකයි දවස පටන් ගත්ත ගමන්ම අනිත් දේවල් ඔක්කොම පැත්තක තියල, මේක ලියල ඉවර කරන්න හිතුවෙ... මම දන්නව මම මේක ලීව කියල කිසිම වෙනසක් වෙන්නෙ නෑ.. ඒත්, අඩුම ගානෙ මේක කියවන ඔයාල නිකමට හරි හිතයිනෙ "අනේ කාලේ, වනේ වාසේ" කියලවත්.. මට මගෙ හිත නිදහස් කර ගන්න පුලුවන් එහෙම උනාම..
ඔයාල දන්නවනෙ, පහුගිය කාලෙ යුරෝපීය ජාතිකයන් බුදු දහමට ගරහන දේවල් කොච්චර කලාද කියල... තවමත් එහෙම දේවල් වෙනව.. අඩ නිරුවත් කාන්තාවන් බුදු පිළිම ළඟ ඡායාරූප ගන්නව... බුදුන්ගෙ රුව රැගත් බිස්කට් හදල කනව, බාර් වලට බුදුන්ගේ පිලිම ගන්නව.. මේ වගේ නොයෙක් දේ කරනව... තවමත් ඒ දේවල් සිද්ද වෙනව.
බුදුදහමට ඇලුම් කරන යුරෝපීයන් ඉන්නව.. ඒත් එක්තරා සුලු පිරිසක් තමයි මෙහෙම දේ කරන්නෙ...
හරි, ඒ අපේ අය නෙවෙයිනෙ... ඒ සුදු ජාතිකයො..
දැන් මම කියන්න හදන්නෙ මම දැක්ක දේ... ඇත්තටම මම මේ දේ දැක්කෙ ඡායාරූප වලින්.. ඡායාරූප ශිල්පියාට දොස් කියන්න බෑ.. එයා එයාගේ රාජකාරිය හරියට කරල... 
පහුගිය දවසක සුද්දන්ගෙ රටේ, ඒ කියන්නෙ එංගලන්තෙ ඉන්න අපේ කලු සුද්දො (මම හිතන්නෙ ඒ නම වැරදි නෑ) 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන්න ඉතා අලංකාර උත්සවයක් සංවිධානය කරල.. මොකක් හරි අපේ බොදු සංවිධානයකින් ඒක කරල තියෙන්නෙ... ඉතින් ගොඩක් උගත් අය තමා ඉන්න ඇත්තෙ.. උත්සවයෙ ඡායාරූප දැක්කමනම් ඒකෙ ඉන්නව ලංකාවෙ ඉන්න උගත් ඇමති වරයෙක්, භික්ෂූන් වහසේලා සහ විශාල උගතුන් පිරිසක්..
මම ඔයාලට බලන්න ඒකෙන් ඡායාරූප 3ක් තෝර ගත්ත... මම මේ ලිපිය ලියන්නෙ කාටවත් පහරක් ගහන්නවත්, රිද්දන්නවත් නෙවෙයි.. මට ඒක දැකල ඇති උන දුක මෙහෙම ලියල හරි තුනී කර ගන්න.. මට හිතා ගන්න බැරි අපේ උගත්යැයි කියන්නා වූ ඇත්තනුත් මේ වගේ දේවල් කරන්න අනුබල දෙනවානම්, මේ වගේ දේවල් අනුමත කරනවනම්, තව කුමන කතාද...?
ඡායාරූප ගැන මා කිසිත් නොකියමි... ඒවා ගැන කතා ගෙතීම, අර්ථ දැක්වීම මෙය කියවන ඔබ සතුයි.. අපේ ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ පිළිමයක් වේදිකාව මත තබාගෙන, නර්තනයේ යෙදෙන ලඳුන් ඡායාරූප වල දැක්වේ.. ඒවා ඉතා උද්යෝගයෙන් බලා සිටින ප්‍රබුද්ධ පිරිස දැක්වෙන ඡායාරූපද එහි අඩංගු වීය...
එක් අතකට බුදුන්ට ලේ නෑයන් සිටින අපේ රටේ කලු සුද්දන් කරන මේ විකාර ගැන ඒ තරම්ම පුදුම විය යුතුද කියන එකත් ප්‍රශ්නයක්..
අන්තිමේ..මට එක සිංදුවක් මතක් උනා.
මේ රටේ මිනිස්සු, තනිකර කෙලින්නෙ පිස්සූ...?


2 F - R - I - E - N - D - S

 
ලියන්න කියල ගොඩ දවසක් තිස්සෙ හිතාගෙන හිටිය දෙයක්.. අදනම් ලියනවමයි කියල හිතුව.. පහුගිය දවස් වල බ්ලොග් කියෙව්ව මිසක්, ලියන්න තරම් ඔලුවක් තියෙන්න නැතුව ඇති.... ඒකයි ලියන්න දේවල් අනන්ත තිබුනත් ඔහේ බලාගෙන හිටියෙ...
ඉස්සෙල්ලම සමාවෙන්න ඕනෙ, සිංහල බ්ලොග් එකේ ඉංග්‍රීසි හෙඩිමක් දැම්මට... ඒක දැම්මෙනම් හේතුවක් ඇතුව. සිංහල භාෂාවෙ FRIENDS කියන වචනෙට ලිංග බේදයක් තිබුනට ඒක ඉංග්‍රීසියෙදි නෑ.. අන්න ඒක නිසා මම ඒක පාවිච්චි කරන්න හිතුව..ඒක හොඳයි කියල හිතුන..මම FRIENDS කියන එක අර්ථ දක්වන්න යන්නෙ නෑ.. මොකද එහෙම කරන්න තරම් මහ ලොකු දාර්ශනිකයෙක් නෙවේ මම...
මට, මේක කියවන ඔයාලට, අපි හැම කෙනෙක්ටම යාලුවො කියන අය ඉන්නව..අපිට තේරෙන කාලෙ ඉඳල, අපි මරෙනකල්ම, අපිට යාලුවො ඉන්නව... අලුතෙන් යාලුවො හම්බෙනව...අපිට ඉන්න අය අපෙන් ඈත් වෙනව..(සදහටම, ඒ වගේම තාවකාලිකව) අපි කැමති අය අපෙන් වෙන් වෙනව... අපි අකමැති අය අපිට කිට්ටු වෙනව.... ඕක තමා ලෝක ස්වභාවය කියලයි බුදු හාමුදුරුවොත් දේශණා කරල තියෙන්නෙ... ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට ඕක තේරුම් ගන්න අමාරුයි...
හරි... ඒක එහෙමයි..මම කියන්න හැදුවෙ ඒක නෙවෙයිනෙ... 
මම කතා කරන ඔය යාලුවො අතරෙන්, කීයෙන් කී දෙනෙක්ද අපේ සැබෑම යාලුවො කියන එක අඳුන ගන්න කාටවත් පුලුවන්ද....? 
කතාවක් තියෙනව " සැබෑ යාලුවන් හදන්න බෑ.. උපදින්න ඕනෙ" කියල.. 

ඒ කියන්නෙ ඇත්තටම සැබෑ යාලුවො කියන අය හරියටම කියනවනම් තමන්ගෙම හදවතේ කොටසක් වගේ... එහෙමත් නැත්නම් දකුණු අත වගේ.... ඒ කියන්නෙ, එයාල අපි ළඟ ඉන්නෙ අපි හිනා වෙද්දි විතරක්ම නෙවෙයි...
චුට්ටක් හිතල බලන්න, අපිට වාහනයක් තියෙනවනම්, අපේ අතේ වියදම් කරන්න ඕනෙ තරම් සල්ලි තියෙනවනම්, අපිට යාලුවො කොච්චර ඉඳියිද...? හිතන්න පුලුවන්ද...? ඒ ඉන්න ඈයන්ගෙන්, අපිට වියදම් කරන්න සල්ලි අතේ නැති දවසට කී දෙනෙක් ඉතුරු වෙයිද..? 
හිතා ගන්නවත් පුලුවන්ද...? 
එහෙම දවසට, අර කලින් හිටිය එක්කෙනෙක්ගෙන් පුංචිම පුංචි උදව්වක් ඉල්ලල බලන්න කොයි තරම් වේගයෙන් අතුරුදහන් වෙයිද... ඒ උදව්ව නොකරන්න කොයිතරම් නම් හේතු එයාල ගාව තියෙයිද කියල..අපි ජීවිතේ ජයග්‍රහණ ලබනකොට, අපි දියුණු වෙනකොට, අපි වටේ ඉන්න යාලුවන්ගෙන් කීයෙන් කී දෙනාද අවන්කව සතුටු වෙන්නෙ...? එහෙම කරන්න පුලුවන් වෙන්නෙ ඇත්තටම අවංක මිත්‍රයෙක්ට විතරයි... අවංකවම වෙන කෙනෙක්ගෙ දියුණුව දිහා බලල සතුටු වෙන්න පුලුවන් එහෙම කෙනෙක්ටම විතරයි...
අද අපි ජීවත් වෙන ලෝකෙ හැම දේම ක්ෂණික වෙලා... ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික ඉඳි ආප්ප, ක්ෂණික පපඩම් වගේ...... ක්ෂණික මිතුරෝ...  හදිස්සියෙම මිත්‍ර වෙනව... විනාඩියයි.. දෙකයි.... (ඒක හොඳ ගුණයක් කියමුකො... මිත්‍රශීලී කම).. ගන්න පුලුවන් සාරය උපරිම උරාගත්ත.... මූඩිය කඩපු සෝඩ බෝතලේ වගේ නැති වෙලා යනව.... අපි තේරුම් ගන්නත් කලින් අලුත් යාලුව අතුරුදන් වෙලා ඉවරයි... ඕක තමා අද ලෝකෙ 'FRIENDSHIP' එක කියන්නෙ... මොකක් හරි දෙයක් ලබා ගන්න, එහෙමත් නැත්නම් කෙනෙක්ට රිදවන්න, කෙනෙක් වට්ටන්න කොට්න්ම කීවොත්, තමන්ගෙ වාසියටමයි මිතුරන් ඇති කර ගන්නෙ.. 
ඒත් සැබෑ මිත්‍රයන් කියන අය කවදාවත් එහෙම නෑ... ඒ අය කවදාවත්ම යාලුවෙක්ට උදව්වක් කරන්නෙ නෑ, ආපහු දෙයක් බලාපොරොත්තුවෙන්..  ඒ අයගෙ හිත් වල දෙබිඩි අදහස් නෑ.... යාලුවෙක් වෙනුවෙන් හිනා උනොත්, ඒ අවන්කවමයි. යාලුවෙක් වෙනුවෙන් සතුටු උනොත් ඒ අවංකවමයි... සතුටෙදි හිනාවෙන්න වගේම, දුකේදි අඬන්නත් පුලුවන් දේව ගති සැබෑ මිතුරන් ඇතුලෙ අඩුවක් නැතුවම තියෙනව... (ඒ බව මම අත්දැකීමෙන්ම දන්නව).. ඒකයි කියන්නෙ "සැබෑ මිතුරන් කියන්නෙ දෙවියන්ගෙන් ලද තිළිණයක්" කියල... සැබෑ මිතුරන්ට තමන්ගෙ අවංක මිතුරන් දැනෙනව... ඒ නිසාමයි... ඒ අය අපි ලඟ හැමදාමත් ඉන්නව කියල කියන්නෙ... 
නිමකමට කල්පනා කරල බලන්න, දවසක ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක තමන්ගෙ යාලුවෙක් ළඟ හිටියනම්, කතා කරන්න තිබුනනම් කියල හිතනකොට, තමන්ගෙ හොඳම යාලුවො කතා කරල නැද්ද කියල... හරියට ඉවෙන් දැනගෙන වගේ... ඕනෙම කෙනෙක්ට අඩුම ගානෙ එක අවස්ථාවක් හරි ඇති කියල මම හිතනව... මටනම් එහෙම කියන්න ඕනෙ තරම් අවස්ථා තියෙනව.. 
අන්න ඒක තමා සැබෑ මිතුරුකම කියන්නෙ... අද කාලෙ හොයා ගන්න අමාරුම දේ... සල්ලි වලට ගන්න බැරි දේ.. අපි කොච්චර FaceBook එකේ Friends ඇඩ් කරන් හිටියත්, දවසට email කොච්චර ආවත්, කොච්චර 'like' තිබුනත්, හිතල බලන්න එතනින් අවංක යාලුවො කීදෙනෙක් ඉඳියිද...? ඒක දැනෙන්න ඉතින් අපිට මොකක් හරි දුකක්, කරදරයක්, එහෙමත් නැත්නම් ලොකු ජයග්‍රහණයක් ලබන්නම ඕනෙ...
නැත්නම් ඉතින් අපි හැමදාමත් රැවටෙනව විතරයි... අපිට ඉන්න උඩින් මිතුරු-යටින් හතුරු මිතුරන් මූණට හිනා වෙලා, කකුලෙන් අදිනකල්, දිය රෙද්දෙන් බෙල්ල කපනකල් දන්නෙ නෑ..