ඉන්න ඇත්තො

4 [108] ඇති/නැති දා.....

මේ හෙඩිමෙන් මම මගෙ මූණු පොතේ "සිත් විනිවිද" පිටුවෙ නිකන් අදහසක් දැම්ම පහුගිය දවසක. ඒ ඇත්තටම හිතට දැනුන දෙයක් නිසයි....
මගෙ බ්ලොග් එක කියනව කෙනෙක් නම් එයාට දැනිල ඇති මම ගොඩක් වෙලාවට යාලුවන්ට ගරු කරන, යාලුවන්ට නෑයන්ට වඩා සලකන කෙනෙක් කියල. මොකද "නෑයො", "වේයො", "මීයො" වගේ නොපෙනි කපන ජාතියක් නෙවෙයි "යාලුවො" කියන්නෙ. මම ඒක විශ්වාස කලා ගොඩක්. ඒක විශ්වාස කරන්නත් මට හේතු තිබුණ. ඒ හින්දම වෙන්න ඇති මම යාලුවන්ට බ්ලොග් පෝස්ට් කීපයක් ලීවෙ. මම හැමවෙලේම උන්ව හඳුන්වන්න පාවිච්චි කලේ "මගේ උන්" කියල.
අපිට තේරෙන කාලේ ඉඳල අපි එක්ක යාලුවො ඉන්නව. අපේ පවුලෙ අය ඇරුනම අපිට ලෙන්ගතු හැම කෙනෙක්ම යාලුවෙක් වෙනව.
(ආ හැමදාම කියන එකක් අමතක උනා. මේ ලියන්නෙ මගෙ අදහස්, මට හිතෙන දේ. කෙනෙක්ට මීට වඩා වෙනස් විදියට හිතෙන්න පුලුවන්. මගෙ එක්ක එකඟ වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒත් තරහ වෙන්න එපා. කාටවත් රිද්දන්න හිතාගෙන නෙවෙයි ලියන්නෙ. ඒත් මේක කියවල නිකන් හරි හිත රිදුනනම්, හිතල බලන්න ඔයාල අතිනුත් එහෙම වරදක් උනාද කියල. මට නෙවෙයි, ඔයාගෙ කවුරු හරි යාලුවෙක්ට)
ඒත් ටිකක් දැනුම් තේරුම් තියෙන කාලෙ වෙනකොට තේරුම් ගන්න පුලුවන් වෙනව අපිට ඇති දා අපි ළඟ ඉන්න යාලුවො සහ අපිට නැති දා අපි එක්ක ඉන්න, දාල නොයන යාලුවො කියල කොටස් 2ක් ඉන්නව කියල.
(අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරන පරිදි වෙනත් ආකාරයක මිතුරු වර්ගීකරණයක් කරන්න පුලුවන්. ඒත් මම සරලවම කීවෙ.)
ඇත්තටම අපිට තියෙන දාට අපි ගාව ඕනෙ තරම් මිනිස්සු ඉන්නව. ඒක බොහොම සාමන්‍යයයි. ඒත්.. ඇත්තටම යාලුවො කියල තමන්ගෙ අය අපිට ඕනෙ වෙන්නෙ අපිට නැති දාටයි.
(මම මේ ඇති/නැති දා කියල කියන්නෙ සල්ලිම නෙවෙයි. ඒක හොඳට මතක තියා ගන්න.)
අපි අසරණ උනාම. ලෙඩක්, දුකක් ඇති උනාම. එහෙම නැත්නම් ලොකු සිත් තැවුලක් ඇති උනාම. ගොඩක් වෙලාවට එහෙම අවස්ථාවක තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක්, තමන් ළඟ ඉන්න එකයි වැදගත්. ඒ කෙනාගෙන් වෙන කිසිම දෙයක් අවශ්‍ය නෑ. තියෙන ප්‍රශ්ණෙට උත්තරයක් තමන්ගෙ යාලුව ළඟ නැති වෙන්න පුලුවන්. ඒත් වටින්නෙ ඒ කෙනා තමන් ළඟ ඉන්න එකයි.
යාලුවෙක් කියන්නෙ හැම වෙලේම අපි කරන හැම දේම හරී කිය කිය, අපිට ඕනෙ හැම දේම කරල දෙන කෙනෙක් නෙවෙයි. අපි කරන හරි දේ නිහතමානීව හරියට දකින, වැරදි දේ කොන්ද කෙලින් තියාගෙන වැරදි කියල, වැරැද්ද පෙන්නල හරි මගට ගන්න, අපිට ඕනෙ දේ කරල දෙන්න බැරි උනත්, අමාරු අවස්ථා වල මග ඇරල නොයන, ඒ අමාරු කාල පහු කරන කොට අපිට ශක්තියක් වෙලා ළඟින් ඉන්න පුලුවන්, අපේ සතුටෙදි අවංකව සතුටු වෙන්න පුලුවන් අයෙක්. උතුම් මිනිසෙක්.
1. අපි ජීවත් වෙන ලෝකෙ, සමාජෙ අපි දුවන රේස් එක නිසා අපිට අනිත් අය ගැන හොයන්න වෙලාවක් නෑ කියල කෙනෙක්ට කියන්න පුලුවන්. 
2. එහෙම නැත්නම් යාලුවො නැතුව ජීවත් වෙන්නම බැරිද කියල තව කෙනෙක්ට කියන්න පුලුවන්. 
3. අපිට අපේ තියෙන ප්‍රශ්ණ එක්ක යාලුවො ගැන හොයල බලන්න වෙලාවක් නෑ කියල තවත් කෙනෙක්ට කියන්න පුලුවන්. 
4. බැන්දට පස්සෙ කොහෙද අනේ යාලුවො ගැන හොයන්න වෙලාවක් කියල තවත් කෙනෙක් කියන්න පුලුවන්.

ඒත් ඔය දේවල් අපි කියන්නෙ අපේ වාසියට. මොකද අපි එක්ක දුක සැප බෙදාගෙන කාලයක් හිටිය යාලුවෙක්ව; අපි පෝසත් උනා කියලවත්, රටේ ලොකු තැනක රස්සාවක් කලා කියලවත්, කසාද බැන්ද කියලවත්, ඉහළට ඉගෙන ගත්ත-යාලුව ඉගෙනගෙන නෑ ඒ නිසා ගැලපෙන්නෙ නෑ කියලවත්, ගොඩක් බිසී කියලවත් අමතක කරනවනම්, මග අරිනවනම්, ඒක තරම් තවත් ගුණමකු කමක් නෑ කියලයි මම හිතන්නෙ.
කැස්සට උක් දණ්ඩක් කාල රොඩ්ඩ විසි කරනව වගේ , යාලුවගෙන් උදව් ඕනෙ කාලෙ සාරෙ උරා බීල, දෙපයින් හිට ගත්ත දාට රොඩ්ඩ විසිකරනවනම්, ඒ තරම් ගුණමකුකමක් හොයන්න අමාරු වෙයි.

ටිකක් හිතල බලන්න... තමන්ගෙ යාලුවෙක් ඉහළින් වෑජඹෙන කාලෙට වඩා, ලෙඩක්-දුකක් හැදුන කාලෙක, එහෙම නැත්නම් අසරණ උන කාලෙක, මානසිකව ඇද වැටුන කාලෙක ලඟ ඉන්නව තරම් උතුම් දෙයක් තවත් නැති වෙයි. ඒ ඒ වෙලාවට එයාට මුදලින්, බලයෙන්, ශක්තියෙන් උදව් කරල නෙවෙයි... හිතර හයියක් වෙන්න පුලුවන්නම්, එයාගෙ දේවල් වලට ඇහුම්කන් දෙන්න පොඩි වෙලාවක් වැය කරන්න පුලුවන්නම්, අන්න ඒක තරම් තවත් ශක්තියක් එයාට නැති වෙයි. සමහර වෙලාවට ඒ උදව්ව අසරණ ජීවිතයක් රැක ගන්න කල සත් ක්‍රියාවක් වෙයි.
ඇති දාට වඩා නැති දාට හැර නොයන මිතුරෙක් (උතුම් මිනිසෙක්) වෙන්න..

2 [107] "බෑ.." කියවපු අයට පසු වදනක්.

"බෑ.." කියන පෝස්ට් එක ලීවට පස්සෙ ඒක ලද වාචික ප්‍රතිචාර සහ සමහර පළ නොකෙරුණ ප්‍රතිචාර නිසාම මට හිතුන ඒ වෙනුවෙන් පසු වදනකුත් ලියන්න.
ගොඩක් දිග නෑ.
බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය.
එහිදී සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලල අමාරුවෙ දානවට වඩා, ඉල්ලන්නෙම නැතුව ඉන්න පුලුවන් නේද කියල.
ඔව්. අත් දෙකම උස්සල ඔව්. ඒ මම එක දෙයක් මතක් කරන්න ඕනෙ. ඒ, මම මෙතන යාලුවො කියන්නෙ; අද හම්බෙලා, "ගුඩ් මෝනින්" කියල හිනාවෙලා යන, බස් එකේ දවසක් දෙකක් සීට් එකක් දෙන කෙනෙක්, ජීවිතේ නිකන් යන එන ගමන් හායි, බායි කියන අයට නෙවෙයි. 
"යාලුවෝ" කියන දේට ලොකු අරුතක් තියෙනව. (මම මීට කලිනුත් යාලුවො ගැන කියල ඇති ඕනෙ තරම්. මම නම් ඇත්තටම එයාලට කියන්නෙ "මගේ අය" කියල.) ගොඩක් අය වරදවා ගන්නෙත් අන්න ඒකයි, එකට කෑවට, එකට ඉඳ ගත්තට, එකට වැඩ කරාටම යාලුවෙක් වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉතින් අපිට යාලුවො කියන අය කොච්චර ඉඳීද..?(මූණු පොතේ මට Friends744ක් ඉන්නව. ඒත්... ඒ එයාල ඔක්කොම එක වගේද.? ඒකෙන් කී දෙනාටද මගේ උපන්දිනේ දවස මූණු පොතේ නැත්නම් සුබ පතන්න මතක් වෙන්නෙ. ටික දවසක් කිසි සද්දයක් නැති උනාම අඩුම ගානෙ පොඩි කෙටි පණිවිඩයක් දාන්න හිතන්නෙ "කොහොමද" කියල අහල.)
නෑ.. එහෙම නෑ.
යාලුවෙක් කියන්නෙ තමන්ගෙ කෙනෙක්. හිතේ තියෙන දේ කියන්න පුලුවන් කෙනෙක්. කිසිම භේදයක් නෑ ඒකට. ගෑණු-පිරිමිද, ජාති, ආගම්, කලු-සුදු කිසි භේදයක් නෑ.
ඒ අය තමන්ගෙ කෙනෙක්ට දෙයක් කරන්නෙ කවදාවත් ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සමහර වෙලාවට තමන්ගෙ දේවල් කැප කරල අනිත් කෙනා වෙනුවෙන උදව් කරනව. ඒත් කිසිම වෙලාවක තමන්ට නැති වෙන දේ ගැන පසු තැවෙන්නෙ නෑ. අනික තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. (එහෙම කලාම සමහර වෙලාවට බැණුම් අහන්න, ගුටි කන්න පවා සිද්ද වෙන්න පුලුවන්. ඒත් ඒක තම යාලුකම)
කෙනෙක්ට තමන්ගෙ යාලුවෙක් වෙනුවෙන් වෙලාව නෑ කියනව නම් ඒ හරිම විහිලුවක්.
සමහර වෙලාවට තමන්ගෙ යාලුවන්ව දැනෙන වෙලාවල් තියෙනව. යාලුවට දුකක් කරදටයක් වෙලා කතා කරන්න ඕනෙ කියල හිතුන වෙලාවටම කිසිම හේතුවක් නැතුව කොල් එකක් දෙන අවස්ථා තියෙනව. අන්න ඒක තම සැබෑ යාලු කම. හරියට නිවුන්නු වගේ. (මට මගේ ජීවිතේ එහෙම අත්දැකීම් තියෙනව)
සැබෑ යාලුවන් ගොඩක් ඕනෙ වෙන්නෙ අපි සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්න වෙලාවට. මොකද අපි වටේ ඉන්න කප්පරක් "යාලු මාලුවො" අපිට දුකක්, කරදරයක් උනාම අපි ලඟ නෑ. එක්කො බොර දියේ මාලු බාන්න හදනව. ඉතින් අන්න ඒ වගේ වෙලාවටයි තමන්ගෙ කෙනෙක් ඕනෙ වෙන්නෙ. සමහරවිට එයාට උදව් කරන්න බැරි වෙයි. ඒත් කරදරයක් නැතුව අපේ දුක අහගෙන ඉන්න පුලුවන් වෙයි. ඒකත් වටිනව සමහර වෙලාවට.
හිතන්න; වචන 5000-10000ක විතර  පැවරුමක් දුම දාගෙන ලියන වෙලාවක (බාර දෙන්න තියෙන්නෙ හෙට) මගේ යාලුව මම ලියන විෂය අල බෝලයක්වත් නොදන්නව වෙන්න පුලුවන්. ඒත්, මහ රෑ මගෙ එක්ක ඒක ලියන්න, තනියට ලඟ ඉන්නවනම්... කොච්චර හයියක් වෙයිද..????
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
මහ රෑ කනත්තක් ගාවින් තනියම යනකොට බය නැති වෙන්න කෝල් එකක් දුන්නම, "මම නිදි බන්" කියල කෝල් එක කට් කරන, එහෙමත් නැත්නම් කතා නොකරම ඉන්න යාලුවෙක්ට වඩා, ගෙදර යනකල් බය නැති වෙන්න කතා කරන්න යාලුවෙක් කොච්චර වටිනවද..?
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
තමන්ගෙ කියල, යාලුවෙක් කියල කට පුරා කියන්න පුලුවන් කෙනෙක් ගැන.
එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න, බැරි කමක් කියන්න හිතන්න ඕනෙ නෑ. මොකද එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගෙ නෑයෙක් හිතන තරම් දේවල් හිතන්නෙ නෑ තමන්ගෙ යාලුව ගැන.
වේයන් වගේ නෑයන්ට වඩා, ඒ වගේ යාලුවෙක් වටිනව.

2 [106] පිට පොත්තයි, ආත්මාර්ථයයි...

Selfish එහෙමත් නැත්නම් Egoistic කියන වචන ගොඩක් අය දන්නව... සමහරවිට සිංහලෙන් කීවොත් තමයි ඕක දන්නෙ නැත්තෙ.. මොකද කියනවනම් අද සමාජෙ මේ වචන ඒ තරමටම මිනිස් ජීවිත එක්ක එකතු වෙලා. හරියට පානුයි, පරිප්පුයි අපේ ජීවිත වලට එකතු වෙලා වගේ..
මේ මම කතා කරන්නෙ මගෙ අදහස්.. නැත්නම් කාවවත් හදන්නවත්, කාගෙවත් වැරැද්දක් පෙන්නන්නවත් නෙවෙයි.. (මොකද නැත්නම් හෙට ඉඳන් මම මේක ලීව කියල මට කතන්දර අහන්න වෙනව. මම ලියන්නෙ මට හිතෙන දේවල්. ඒ ලියන දේවල් අනුගමනය කරන්න මම මගෙ උපරිමය කරනව.. හැබැයි මම කාටවත් කියන්නෙ නෑ ඒ විදියට හැදෙන්න කියල. කියවල, තමන්ට හොඳනම් විතරක් හිතල බලන්න. කියන දේ කරන්නත්, කරන දේ කියන්නත් මම මගෙ උපරිම උත්සාහය දරනව.. ඒ මම. ඔයාල ඔයාලගෙ විදියට හිතන්න.)
අපිට අපි ආත්මාර්ථකාමි කියල කවදාවත් හිතෙන්නෙ දැනෙන්නෙ නෑ.. ඒත් අපි අනිත් මිනිස්සු හරි ආත්මාර්ථකාමී කියලනම් කියනව.. (අර ජේසුස් වහන්සෙත් කියල තියෙනවලුනෙ "තමන්ගෙ ඇහේ තියෙනවනෙ පොල් කීරට වඩා, අනිත් එකාගෙ ඇහේ තියෙන කෙන්ද පේනව" කියල. (හරිද මන්ද කීව. පොල් කීර නෙවෙයි, පොල් පරාලෙ තමා හරි එක.))
අපි කොච්චර ආත්මාර්ථකාමී උනත් අපි පිටට පෙන්නන් හදන්නෙනම් ඉතින් පට්ටම පරාර්ථකාමී කියල තමා.
පිට පොත්ත හරිම සුදුයි, සුමුදුයි, සුසිනිඳුයි. ඒත් ඉතින් ඇතුලට එබිල බැලුවොත් තමයි තේරෙන්නෙ තරම කොහොමද කියල..
ඒක මිනිස් ස්වභාවය වෙන්න ඇති. හැබැයි මම කියන්නෙ නෑ පරාර්ථකාමී ගති පැවතුම්, අදහස් ඇති කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියල.. එහෙම අය ඉන්නව.. හැබැයි බොහොම අතලොස්සයි.. දැන් කෙනෙක්ට කියන්න පුලුවන් "අද කාලෙ එහෙම නැතුව බෑ" කියල. ඒකත් ඇත්ත. මම ඒකත් පිළිගන්නව. එහෙම නොවුනොත් අමරුවෙන් හම්බ කරගන්න තුට්ටු 2ටත් විදල යයි. කෙල්ලෙක් නම් අමාරුවෙන් පරිස්සම් කර ගන්න දේවල් වලටත් දන්නෙම නැතුව විදල යයි. (අර කතාවක් තියෙන්නෙ හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියල. අන්න ඒ වගේ)
ඒත් එහෙමෙයි කියල පට්ටම ආත්මර්ථකාමී වෙන්න ඕනෙද..?
මම නම් කියන්නෙ කෙනෙක් පරාර්ථකාමී වෙන්නම ඕනෙ නෑ. තමන් ආත්මාර්ථකාමී නම්, ඒක කෙලින්ම පෙන්නන්න, පිට පොත්තට විතරක් සුදු නොවී. මොකද එහෙම උනාම මිනිස්සුන්ට හරි රූපෙ අඳුන ගන්න බැරි වෙනව. හිතන්නෙ හරිම සුදු චරිතයක්, පට්ටම පරාර්ථකාමී කියල. ඒත් අන්තිමේ කෙල වෙනකල්ම දන්නෙ නෑ.
(මම කලින් පෝස්ට් එකේ කීව වගේ ඇත්ත තත්වෙ පෙන්නන්න. කෙලින් කියන්න. (උඩින් මිතුරු, යටින් හතුරු නොවී).)
අපි කවුරුවත් සුදුම චරිතත් නෙවෙයි, ඒ වගේම කලුම චරිත්මත් නෙවෙයි. ඒත් හොඳම දේ අපිට පුලුවන් වෙන්න ඕනෙ අපේ ඇත්ත රූපෙන්ම ජීවත් වෙන්න. ඒක පිටට පෙන්නන්.
එහෙම නැතුව කෙනෙක්ව කිට්ටු කරගන්න හරි, උදව්වක් ගන්න හරි, හිත දිනා ගන්න හරි, මොකක් හරි තමන්ගෙ අවශ්‍යතාවයකට විතරක් එක රූපයක් පෙන්නල, තමන්ගෙ ඇත්ත ස්වරූපය හංගන් ඉන්න එක නෙවෙයි. මොකද එහෙම උනාම වෙන්නෙ කවද හරි තමන්ගෙ අවශ්‍යතාවය හමාර වෙන දවසට හරි, ඒ දේ සිද්ද වෙන්නෙ නෑ කියල හිතුන දවසට හරි, ඇත්ත රූපෙ එළියට එනව. 
අන්න එදාට....  
අපි ලෝකෙට, තමන්ගෙ අයට බොරු කාරයෙක්, මවා පාන්නෙක් වෙනව.
ඉතින් මුව හම පොරෝ ගත්ත වෘකයෙක් වෙනවට වඩා තමන්ගෙ ඇත්ත ස්වරූපයෙන්ම ඉන්න එක කොච්චර වටිනවද..? හිතල බලන්නකො....

8 [105] බෑ

මේ කතාව තනිකරම මගෙ. මොකද මම මෙහෙමයි. ඒ හින්දම සමහරුනම් මගෙ එක්ක තරහ වෙන වෙලාවලුත් තියෙනව. තවත් සමහරු එහෙම තරහ ගිහින් මූණට හොඳට ඉඳන් පන්න පන්න ගහන වෙලාවලුත් තියෙනව. (එහෙම ගහන්න ගිහින් තමන්ගෙම යාලුවන්ගෙන් මදි නොකියන්න කාපු අයත් ඉන්නව. එහෙම වෙලාවට හිතෙනව මෙහෙම හිටියත් අපි කරන දේ අගයන මිනිස්සුත් ඉන්නව කියල)

හරි, කැටයම් නැතුව පටන් ගන්නම්...

කියන්න හදන්නෙ පරණ කියමනකුත් තියෙන කතාවක්. "ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි කාටවත් බය වෙන්න ඕනෙ නෑ" ඔයාල අහල ඇතිනෙ ඒක.
ඉතින් එහෙම එකේ බිම ඉඳ ගන්න එකේ කේස් එකක් නෑනෙ. තමන් කැමතිනම් කරන්න පුලුවන්.  
එතකොට මොකද්ද කේස් එක....?
ආ.... ඒ කියන්නෙ ඇත්ත කියන එක.
හරි. හරියටම හරි.
අද අපි අතර ඉන්න ලොකු, කුඩා කවුරුත් (පොඩි උන් කවදාවත් බොරු කියන්නෙ නෑ. ඒකනෙ උසාවිය උනත් පොඩි උන්ගෙ සාක්ෂි පිළිගන්නෙ. මම කියන්නෙ වයසින් පොඩි උන්) කැමති නෑ රැවටෙන්න. ඒකට ගෑණු, පිරිමි භේදයක් නෑ. ඒ කියන්නෙ කාගෙවත් බොරු අහන්න, විස්වාස කරන්න, ඒ ඔස්සේ කටයුතු කරන්න අපි කවුරුත් කැමති නෑ. මොකද එහෙම කලාම, අන්තිමේ ඇති වෙන්නෙ පසු තැවිල්ලක්. ඒ පසුතැවිල්ලෙ තරම පුංචි වෙන්නත් පුලුවන්, සමහරවිට ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන තරමට ලොකු වෙන්නත් පුලුවන්. ඒක එක එක්කෙනාගෙ දරාගැනීමේ ශක්තිය මත තීරණය වෙන්නෙ.
ඒ කොයි හැටි වෙතත්, මම අද කියන්නෙ අන්න ඒ තත්වෙට එන්න කලින්, බොරු නොකියමු කියලයි. 
ඇයි බොරු කියන්නෙ.????
මිනිස්සු එක එක හේතු හින්ද බොරු කියනව. ඒත් මේ කියන්නෙ ඒ එක එක හේතු වලින් එකක්. ඒ අනිත් කෙනාගෙ හිත රිදෙයි කියල කියන බොරු.
කෙටිම උදාහරනෙ.
ඔයාලගෙ යාලුවෙක් ඔයාගෙන් මොකක් හරි දෙයක් ඉල්ලනව. ඒක එයාට ගොඩක් වැදගත් දෙයක්. ඔයාට ඒ දේ දෙන්න පුලුවන් කියල එයා විස්වාස කරනව. ඒත් යාලුව ඒක ඉල්ලනකොටම ඔයා දන්නව ඔයාට ඒක දෙන්න විදියක් නෑ කියල. මොකද අපි හිතමුකො ඒක ඔයාටත් ඕනෙ කියල එදාටම.
ඒත් යාලුවට දුක හිතෙයි, යාලුව තරහ වෙයි, යාලුව නැති වෙයි කියල හිතල ඔයා එයාට කියනව "හරි බලමුකො, තව කල් තියෙනවනෙ" එහෙම නැත්නම් "බලමුකො" කියල. ඒත් ඔයාගෙ යටි හිත දන්නව මේක කොහෙත්ම වෙන්නෙ නෑ කියල.
ඉතින් අදාල දවස ආවම එක්කො යාලුවව මග අරිනව, දුර ඉන්න කෙනෙක්නම් ෆෝන් ඕෆ් කරල, ඔන්ලයින් ඉන්න ඒව ඕෆ්ලයින් කරල,සද්ද නැතුව ඉන්නව.
අනේ ඉතින් තමන් ඉල්ලපු දේ යාලුවගෙන් ලැබෙයි කියල යාලුවව විස්වාස කල අර යාලුව, ලෝක අමාරුවක වැටෙන්නෙ. වචනෙ විස්වාස කල නිසා වෙන විකල්පයක් බලන්නෙත් නෑ. අන්තිමේ එයාගෙ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්නෙත් නෑ.
හැබැයි ඉතින් බොරුව කියපු කෙනත් ටිකක් පසු තැවෙනව. (ඒත් ඒක පුද්ගලානුබද්ධයි. හිතක් පපුවක් තියෙන, හිතේ තෙත්මනයක් කෙනෙක්නම් තමයි ඉතින් එහෙම පසු තැවෙන්නෙ.මම කලේ බොරුවක්නෙ කියල). ඒත් ඉතින් ඒ පසුතැවීමෙන් තේරුමක් නෑ. වෙන්න ඕනෙ දේ වෙලා ඉවරයිනෙ.
යාලුව උදව්ව ඉල්ලපු වෙලාවෙම කෙලින්ම කීවනම් ඉවරයි "අනේ සමාවෙන්න, මට ඒක කරන්න බෑ. මටත් ඒක එදාටම ඕනෙ" එහෙම නැත්නම් "සමාවෙන්න, මට ඒක දෙන්න බෑ, අපේ අම්ම කැමති නෑ." හේතුව මොකක් උනත් කෙලින්ම කීවනම් ඉවරයි. "සමාවෙන්න, ඒක කවදාවත් වෙන්නෙ නෑ. බලාපොරොත්තු තියාගන්න එපා"
එක සැරෙන් වැඩේ ඉවරයි. යාලුවට එවෙලෙට ඕනෙනම් දුක හිතෙයි. "අනේ මගෙ යාලුව මට උදව් කලේ නෑනෙ" කියල. ඒත් ඒක හොඳයි, කරන්නම් කියල ඉඳල කරන්නෙ නැති උනාම දැනෙන දුකට වඩා. කළකිරීමට වඩා. එතකොට වෙන්න තියෙන දේට මූණ දෙන්න වෙන ක්‍රමයක් හරි හොයා ගන්නව. නැත්නම් හිත වෙනස් කරගන්නව. එහෙම උනාම දෙන්නටම දුකක් නෑ. අපහසුතාවයක් නෑ.
තේරුන නේද..? මම කීවෙ උදාහරණයක්. ඒත් මම හිතන්ව ඒකෙ තියෙන බරපතලකම ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙයි කියල.
කෙනෙක්ට කියන්න තියෙන දේ කෙලින්ම මූණට එවෙලෙම කීවම ඒක ඉවරයි. ඒක සමහරවිට හිතෙයි පොල්ලෙන් ගැහුව වගේ කියල. ඒත් කරන්නම් කියල ඉඳල නොකරනවට වඩා ඒක හොඳයි. හිත රිද්දන්න බැරිකමට, "බෑ" කියන්න බැරි කමට එහෙමත් නැත්නම් එකපාරම "බෑ" කියන එක හරි නැති කමට "හා" කියල අන්තිමේ අමාරුවෙ දානවට වඩා ඒක සිය දහස් වාරයක් හොඳයි.
කෙනෙක්ට ඒක පොල්ලෙන් ගැහුව වගේ "බෑ" කීව කියල හිතෙන්න පුලුවන්. ඒත් මම නම් දකින්නෙ ඒක කෙලින් කතා කිරීමක් කියල. ඒකෙන්, පසු බලාපොරොත්තු ඇති වීමෙන් වෙන හිත් රිදීම, බලාපොරොත්තු කඩවීම, අපහසුතාවයට කල් වීම් වලක්වනව.
එක පාරයි, ඉවරයි.
ට්‍රයි කරල බලන්න. ට්කක් අමාරු වෙයි. ඒත් හොඳ පුරුද්දක් වෙයි. 
මමත් මුලින්ම කලේ නෑ. ඒත් එක්තරා අවස්ථාවක මගේ ජීවිතේ මට හිටිය හොඳම බොස් (බොසී) මට කීව උඹ කවද හරි අමාරුවෙ වැටෙන්නෙ මිනිස්සුන්ට උදව් කරන්න, උදව්වක් ඉල්ලුවම බෑ කියන්නෙ නැති එකෙන්. ඒක කරන්න අමාරුනම් බෑ කියපන්. හැමෝටම උදව් කරන එක හොඳයි. ඒත් ඒක පුලුවන් පමණින් විතරක් කරපන්. -  ඒ කතාව ඇත්ත. 



 
 

2 [104] මහේල

වසර 3කට පෙර ,

දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.

කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------
------------------------------------------------------------
අද ,

වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.

ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
--------------------------
-----------------------------------------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.
--------------------------
------------------------------------------------------------
මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.

" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.

මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
--------------------------
-----------------------------------------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.

"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.

" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධන යයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.

ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.


(
Wright Thompson  නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින් )

මගේ පසු වදන :
 
මා මෙහි කිසිවක් වෙනස් නොකලෙමි. අද මූණු පොතේ මේ ලිපිය කියවූ මට මහේල ගැන ආඩම්බරයක් ඇති වුනි. ඒ වෙන කිසිවක් නිසා නොවන්නට ඇත. මේ නිහතමානී ආඩම්බරකාරයා පිළිකාවෙන් පීඩා විඳින පොඩි උන් වෙනුවෙන් යාපනයේ ගොඩනගන්නට යන පිළිකා රෝහල වෙනුවෙන් මුදල් එකතු කරන්නට ගිය පා ගමනේ අපි සමගම හවුල් කාරයෙක් වූ බැවිනි. මා අද මේ ලිපිය කිවන තුරුම මහේලගේ සොයුරු දිශාල් ගැන දැන නොසිටියෙමි.
ඇමතිගේ රෙදි හෝදන එකාද ඇමතිගේ නම විකුනා පහසුකම් බුක්තිවිඳින අපේ රටේ මහේල වන් නායකයන් තව බිහි වන්නට තර‍ම් අපි වාසනාවන්තද..?
 
 

0 [109] මුහුදු පතුල යට ඉඳලා.....

හැමදාම ලියන දේවල් වලට වඩා ටිකක් වෙනස් දෙයක් ලියන්න අද හිතුන. මගේ අත්දැකීමක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේක ලියන්නෙ..
මම කාලයක් (බොහොම පොඩි කාලයක් - ගියෙනම් දීර්ඝ කාලයක් ඉන්න.. ඒත් එහෙ ඉන්න එක එපා වෙලා ආව මාස 6කින්) මාලදිවයිනේ රැකියාවකට ගිහින් හිටිය. අන්න ඒ කාලෙ මම ගොඩක් අත්දැකීම් ලැබුව. ගොඩාක් දේවල්... මිනිස්සු ගැන, ජීවිතේ ගැන, මිතුරන් ගැන, පරිසරය, මුහුද ඒ වගේ ගොඩක් දේවල්.
ඒ අතරෙ එක දවසක් මට අවස්ථාවක් ලැබුණ මුහුද යට සංචාරය කරන්න.
ලංකාවෙ ඉද්දි මම ගිහින් තිබුණෙ අඩියෙ වීදුරුවක් දාපු බෝට්ටුවක හික්කඩුවෙ කොරල් පර බලන්න විතරයි.. ඒ තමා මුහුද යට දැකල තිබුණ එකම අවස්ථාව.(හැබැහින්)
ඒත් මාලදිවයිනට ගියාම මම ඊට වඩා මුහුදු පතුලේ අසිරිය දැක්ක.. පාට පාට මාලු, විසිතුරු කොරල් පර, ලංකාවෙ සත්තු වත්තෙදිත්, රූපවාහිනියෙනුත් දැකපු දේවල් හැබැහින් දකින්න වාසනාව හිමි උනා මට.
සබ්මැරීනය මතුපිට පෙනුම
මාලදිවයිනට ගිය මුල්ම දවසෙ මම දැනගත්ත මාලදිවයිනේදි ඔක්ෂිජන් ටැංකියක් පිටේ බඳින්නෙ නැතුව, ඇඟේ වතුර ගෑවෙන්නෙ නැතුව, මුහුදු පතුළෙ කිමිදෙන්න අවස්ථාවක් තියෙනව කියල. ඒ වගේම ජීවිතේ කලාතුරකින් යන්න ලැබෙන වාහනේකින් ගමනක් යන්න අවස්ථාවත් තියෙනව කියල .
ඒ මාලදිවයිනේදි ඕනෙම කෙනෙක්ට යන්න පුලුවන් සබ්මැරීනයකින් මුහුදු පතුලෙ කිමිදෙන්න තියෙන අවස්ථාවයි.
මම හිතා ගත්ත කොහොම හරි ඒකෙ යන්න ඕනෙ කියල. පහළ තියෙන ලිපිනයට ගිහින් බලන්නකො.. ඔයාලටත් යන්න පුලුවන්.
මෙතන්ට ගිහින් බලන්න..
මෙතනදි මට එක වරප්‍රසාදයක් හම්බුණා මම මාලදිවයිනේ රාජකාරි බලපත්‍ර ලාභියෙක් වීම නිසා. සාමන්‍ය ගානට වඩා අඩු මිලකට ඒ ගමන යන්න ලැබුණ.
මුහුදු ගුවන් යානය
දින 3ක නිවාඩුවකට මාලේ නගරයට යන්න ලැබුණ. ඉතින් ඔන්න ගමන් යන්න කලින් දවසෙ ඔක්කොම ලෑස්ති කර ගත්ත. ඔක්කොම කියන්නෙ ඉතින් කැමරාවෙ බැටරිය චාජ් වෙන්න ගැහුව. මොකද යන යන තැන හෙවනැල්ල වගේ ගෙනියන එකම දේ ඒකනෙ. කලින් දවසෙ අපේ දූපතේ නවාතැන් ගත්ත මුහුදු ගුවන් යානයක් (night shutdown sea plane) තිබුන නිසා ගමන තිබුනෙ උදෙන්මයි. 
දෝණිය ටාටා එන්ජිමත් එක්ක
ඔන්න ගුවන් යානෙට යන්න දඩි බිඩි ගාල දත් මැදල, මූණ හෝදල ලෑස්ති උනා. (මොකද උදේ ඇහැරුනේ ටිකක් පරක්කු වෙලා) දුවගෙන ගියා ලොබියට. (එතනදි තමයි එදා දවසට යන්න ඉන්න කට්ටිය එකති වෙන්නෙ. එයාලව අපේ හෝටලේ එක් නිළධරියෙක්.නිළධාරිණියක් දෝණියක (ටාට එන්ජිමක් තියෙන බෝට්ටුවක්) අරගෙන යනව මුහුද මැද තියෙන ගුවන් යානෙට.) කට්ටිය ඔක්කොම ලෑස්තියි. අනේ..... මම කැමරාවෙ බැටරිය චාජ් වෙන්න දාල බැටරිය නැතුව කැමරාව අරන් ඇවිත් කියල මතක් උනේ එතකොට. කාටත් නොකිය ආපහු දිව්ව කාමරේට.  
ඔලේසියා එක්ක (ඔලේසියා උදේ පාන්දර මූණවත් හෝදන්නෙ නැතුව :)
ඔන්න කොහොම හරි බැටරිය අරන් එනකොට කට්ටිය ජැටියටත් ගිහින්. මම ඉතින් හිනා වෙලා නැග්ග දෝණියට. (එදා මගෙ වෙලාවට කැඳවාගෙන යන නිලධාරිණිය ව්දියට හිටියෙ "ඔලේසියා" ස්විස් ජාතික නංගි කෙනෙක්. අපෝ ඉතාලි ඇන්ටි කෙනෙක් එහෙම හිටියනම් පුපුරල මැරෙනව.)
රොෂාන් පෙරේරා - අපේ එකෙක්
ඔන්න නැග්ග ගුවන් යානෙට. දැන් මම ගුවන් ගත වෙනව. තවත් එකක්. ගුවන් නියමුවා ලංකාවෙ කොල්ලෙක්. (රොෂාන් පෙරේරා). දැන් මම යන්නෙ මාලදිවයිනේ ඇවිදින්න තියෙන දේවල් බලන්න චාරිකාවක් යන ආසාවෙන්.

මාලදිවයිනේ සවාරිය සබ්මැරීන් ගමනත් එක්ක ඉතිරි කොටසින්......


 
(ඇත්තටම මේක ලියන්න ගත්තෙ 2012-09 වෙනි මාසෙ නිසා තමයි කොටස් 2කින් ලියන්න හිතුවෙ. නැත්නම් මේක කවදාවත්ම ලියවෙන්නෙ නෑ.)

4 [103] ආදරණීය කල්ලා....

මේ ෆොටෝ එක ශෙයාර් කල හැමට තුති.
මේ රූපෙ දැක්කම ආයෙ අලුතෙන් එක වචනයක්වත් ලියන්න ඕනෙ නෑ. මොකද මේ කවුද කියන්න, මේ උතුම් මනුස්සයගෙ ගති ගුණ මොනවද කියන්න මේ රූපෙ දකින ඕනෙම කෙනෙක් දන්නව. ඒ හින්ද අලුතෙන් දෙයක් එකතු කරන්නෙ නෑ.. ඒත් මේ ෆොටෝ එක අද මගෙ මූණු පොතේ දැක්කම මගෙ බ්ලොග් එක වචනයක් හරි ලියන්න ඕනෙ කියල හිතුව.
"අපේ කල්ල ස‍ර්"
සාමාන්‍ය අපිට පොදු ධර්මතාවය අනුව, "හොඳ මිනිස්සු ඉක්මනට යනව, නරක පව් කල අය ඉතිරි වෙනව" කියන එක ඇත්ත කරල අපේ කල්ල සර් අපි අතරින් සමු ගත්ත.
අපි ස‍ර්ට මොනතරම් නම් විහිලු කරන්න ඇද්ද..? ඉස්සර ගතිකෙ පන්ති කරන්න ආවම අපි මේ බයිසිකලේට අපි මොන තරම්නම් වද දෙනවද..? බලු නගුට මල් ගහල, ගඩොල් තියල. ඒත් සර්ට නෙවේ කවදාවත් තරහ ගියෙ. මේ HPල (හොඳ පුතා) එක්ක බෑ කිය කිය බයිසිකලේ සුද්ද කරනව පන්ති ඉවර වෙලා.
කල්ල සර් අපිට දෙයක් කියල දෙන්න පාවිච්චි කල ක්‍රමය වෙන කාටවත් තිබුනෙ නෑ. ඒක විධානයක් උනත්, "කල්ල" දීපු විදියට අපිට තේරුණේ යාලුවෙක් කියන දෙයක් වගේ. ඉතින් අපිට හිතුනෙ නෑ කවදාවත් ඒක නොකර ඉන්න...
ඒ එයාගෙ විදිය.
මට අද වගේ මතකයි අපේ යාලුවෙක්ගෙ පියා මියගිය පුවත අපි දැනගත්තෙ ඉස්කෝලෙ පටන් ගත්තම. ඒත් යන්න විදියක් නෑ පන්තියෙ ඔක්කොටම. ඒත් නේවාසිකාගාරෙ පිටිපස්සෙන් පාරක් තියෙන බව අපිට මතක් කරල දුන්නෙ කල්ල සර්. (සර් එහෙම දෙයක් කීවෙ නෑලු ඕං)

"කල්ල" ගැන කියන්නනම් ඉතින් මගෙ බ්ලොග් එක දවස ගානෙ ලීවත් මදි. චන්ද්‍රසේන සර් ඇත්තටම හැම කෙනෙක්ටම යාලුවෙක් වගේ හිටියෙ.
ඒ නිසා මේ ෆොටෝ එක මම ඔයාල එක්ක බෙදා ගන්නම්... බලන්න දන්න කියන කෙනෙක්ද කියල. "චන්ද්‍රසේන සර්" කියනවට වඩා "කල්ල සර්" කීවම තමා ඕනෙ කෙනෙක් දන්නෙ. කලු මූණෙ තිබුන සිරියාවන්ත සුදු හිනාව අදටත් කාටත් මතක ඇති.

අපේ ආදරණීය කල්ල සර්, නුඹට නිවන් සුව...!!!

5 [102] බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...

දැනට අවුරුදු 5කට කලින් ඒ කියන්නෙ 2007 අගෝස්තු මාසෙ 7 වෙනිද මේ මූණු පොතට ආව මම 2008 අප්‍රේල් මාසෙ මව්බිමෙන් චුට්ටක් ඈත් වෙච්ච නිසා ගොඩාක් මූණු පොතට ඇබ්බැහි උනා. ඇත්තටම ඒ හින්දම ගොඩක් සමීපතම යාලුවො, කාලෙකින් (අවුරුදු 10-12කට විතර පස්සෙ) නොදැකපු දයාබර සමීපතම යාලුවො, ගොඩක් කිට්ටු උනා. කාත් කව්රුවත් නැතුව ඉන්නකොට ඒක ලොකු ශක්තියක් උනා. ඇත්තටම ඒ වෙනුවෙන් අදටත් මම මූණු පොතට ස්තුති කරනව හද පිරි සතුටින්.
අද 2012 සැප්තැම්බර් 15. මම මූණු පොතට ඇවිත් අවුරුදු 5යි, මාස 1යි, දවස් 8යි. මේ වෙනකොට මගෙ යාලුවො ලැයිස්තුවෙ 808 දෙනෙක් ඉන්නව.

ඒත් ඇත්තටම හිතට හරි දුකක් දැනෙනව.

ඒ....අවුරුදු 5යි, මාස 1යි, දවස් 8ට කී දෙනෙක් නම් දුරස් වෙලාද... නමට මිතුරු ලැයිස්තුවෙ හිටියත්, ඉඳල හිටල හරි "කොහොමද" කියල අහන අය කී දෙනාද ඉන්නෙ..?
ඒත් ඔය 808 දෙනාම දවසෙ කොයිම හරි මොහොතක මූණු පොතට ගොඩවෙනව. උදේ, දවල්, රෑ, මහ පාන්දර, ගමනක් යන ගමන්, ඔය කොයිම හරි වෙලාවක.. ඒ තමයි ඇත්ත. ඒත් ගොඩවෙන වෙලාව අනිත් අයගෙන් හංගන්න මේ අපූරු මූණු පොත හොයාගත්ත Mark Zuckerberg ඇතුළු කණ්ඩායමම ක්‍රම හදල තියෙන නිසා "තමන්ගෙ අයට" හොරෙන් මේ පැත්තෙ ගොඩවෙලා වෙන්නෙ මොනවද කියල බලල කැමති කෙනෙක්ට කතා කරල, පොඩි "ලයික්" එකක් දාල හොරෙන්ම යන්න පුලුවන් වෙලා තියෙනව....

ඔන්න ඕකයි ඇත්ත කතාව.

මටනම් හිතෙන්නෙ "
මිතුරෙක්/මිතුරියක්
" කියල කියන්නෙ ලැයිස්තුවක පිටස්තර ලෝකෙට පේන්න ඉන්නවට වඩා වැඩි අර්ථයක් තියෙන, වටිනාකමක් තියෙන කෙනෙක්. දෙවියන් හා සමාන චරිතයක්.

"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති.."

4 [101] මං ආසා ගී - මගෙ හීනයෙ...

මගෙ හීනයෙ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතිවාදෝ 
සිත් මානයෙ දැවටෙන්නට 
මගෙ උණුහුම මදි වීදෝ
ආදරේ මට නම් 
ඇයි විරහ සරදම් 
ජීවිතේ මම නම් 
ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතුකැට වැටෙන තරම්
හිත මත දඟකෙරුව තරම් 
උණුහුම හිත හැදුව තරම් 
රැවටුණු හැටි මා මෙතරම් 
හිත හඬන තරම් 
ඔබ දන්නවනම් 
තව කඳුලු දිදී 
රිදවන්නෑ...
මා දැවෙන තරම් 
ඔබ දන්නෑ...

මගෙ හීනයෙ...
 
නොමියෙන මල් මතක පෙතී 
එක එක බිඳ දැමුව හැටී 
නෙතු අග තෙත රැඳුනෙ නිතී 
මගෙ වරදම වෙන්න ඇතී 
හුරු සිනහ සිතින් 
ඔබ ඉන්නවනම් 
තව කඳුලු කතා 
පවසන්නෑ...
මේ කඳුලු මගේ 
දැන් දුක නෑ...

මගෙ හීනයෙ...


හරිම අහම්බෙන් මේ ගීය ඇහුවෙ.... මගෙ 100 පොස්ට් එක ලීවට පස්සෙ මොකක් හරි අපලයක්... ලියන්න කියල හැමදාමත් පටන් ගත්තත් එකක්වත් ලීවෙ නෑ.. දන්නෙ නෑ ඇයි කියල.. ඒත් ඇත්තටම ඒ දරපු උත්සාහ ඔක්කොම අසාර්ථකයි.... අදත් ඒ වගේම ලියන්න පටන් ගත්ත එකක් ඉවර කරනව කියල වාඩි උනේ... ඒත් අවසනාවක මහත...අදත් එමමයි... එහෙම එහෙට මෙහෙට පෙරල ඉන්න අතරෙ තමයි මේ ගීය දැක්කෙ.... ඇහුව ගමන් හරි ලස්සනට දැනුන... ඉතින් හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න.... 100න් නැවතුන බ්ලොග් එක ආයෙ පෙට්ට්‍රල් ගහල ගන්නත් එක්ක ඔන්න ලීව... මේක ගායනා කරන්නෙ නම් තරුණ ගායකයෙක්. "උදය ශ්‍රී වික්‍රමසිංහ". පද, සංගීතය කාගෙද කියල නම් හරියට දන්නෙ නෑ... හොයා ගත්තොත් කියන්න... ගීය අහල බලන්නකො...


අහන්න, බලන්න මෙතනින්.

11 100 න් පසු...

අවුරුද්දකුත් මාස නවයක් තිස්සෙ ලියපු මගෙ බ්ලොග් එකේ 100 වෙනි පෝස්ට් එක පහුගිය දවසක සද්ද නැතුවම ලියවුනා.
මේ සීයට අකුරු අමුණපු අවුරුද්දයි මාස 9 කාලෙ ඇතුළත කොච්චර දේවල් නම් වෙන්න ඇත්ද..? මම මගෙ ගැන ලියල තියෙන පුංචි සටහනේ තියෙනව වගේ, හිතක්-පපුවක් නැති කොම්පියුටරයක් එක්ක දවසෙ වැඩි වෙලාවක් හැප්පෙන මට, ඇස් වලට එන කඳුලු, ඒ ඇස් වලින්ම පනින්න හදන ගිනි පුපුරු, මහ මුහුදටත් වඩා සැරට ගහන රැළි හැම දෙයක්ම නිදහස් කර ගන්න මේ අමුණන අකුරු කොච්චර උදව් කරල තියෙනවද..?
ඉස්සරනම් පුරුද්දට වගේ මුහුදු වෙරළට ගිහින් රළ කරන අරගළ බලාගෙන ඉඳල හිත සැහැල්ලු කර ගත්ත.. (ඒත් ඒක දැන් කරන්න ගියොත් 6.10 මහව, 7.20 මීණගයා මිස් වෙන්න පුලුවන්.. එහෙම උනොත් ඉතින් එළිවෙනකල් මහ පාරෙ..)
මේ අමුණපු අකුරු අතරෙ සමහ‍ර විට ඔයාලගෙ අත්දැකීම තියෙන්න ඇති.. ඒ වෙලාවට හිත් රිදෙන්න ඇති.. සමහර හිත් රිදෙන උදවිය කෙලීන්ම බැණපු වෙලාවල් තියෙනව. ඒත් සමහරු එහෙම නොකර හිතින් බැණපු වෙලාවල් ඇති..(අන්න එහෙම ඒවටනම් මට දුකයි. මොකද හිතේ තියාගෙන මූණට හිනා වෙනවට මම ආස නෑ. සමහරු අනිත් කෙනාට රිද්දන්න හොඳ නෑ කියල එහෙම කරනව. ගොඩක් "තමන්ගෙම අය" කියන කට්ටිය පවා. ඒත් ඒක තමා දරුණුම දේ.. මොකද කෙලින් කීව දේ ඒ වෙලේ හිතුව ඉවරයි.. ඒත් හිතේ තියෙන දේ පැහැව පැහැව ඉඳල පුපුරල ගිය දවසට දරා ගන්න ගොඩක් අමාරු නිසා).. ඒ කොහොම වෙතත්, මගේ දේවල් එක අකුරක් හරි කියවන්න මෙහෙට ගොඩවෙච්ච ඔයාලට මම ණය ගැතියි.. මොකද මම ලියන්නෙ ඔයාල නිසා..
සමහර වෙලාවට මම පෝස්ට් එකක් ලීවම "තමන්ගෙ අය" කියන උදවියට මම ඕනෙ තරම් කරදර කරල ඇති ඒක කියවන්න කියල.. එහෙම වෙලාවට බැණුම් අහපු වෙලාවල් ඇති ඕනෙ තරම්..(තමන්ගෙම කෙනෙක් තමයි ලියන දෙයක් කියවල ඇත්තටම හොඳ නරක කියන්නෙ.. අන්න ඒක වටිනව ගොඩක්.. ෆොටෝ එකක් ගත්තත්, නිර්මාණයක් කලත් ඒක තමන්ගෙ කෙනෙක් අගේ කරනවනම්, දොස් කියනවනම් ඒක කොච්චර වටිනවද කියල දන්නෙ ඒක කරන කෙනා)
ඒ කොයි හැටි වෙතත් මම මේ ලියන එක නතර කරල දාන්න හිතපු අවස්ථාවනුත් ඇති ඕනෙ තරම්.
මම මේ අකුරු අමුණන මගේ, ඔයාලගෙ ඇත්දැකීම දශමෙකින් හරි බෙදා ගන්න, ගුණ දොස් කියන්න ගොඩ වුන ඔයාල නිසා අද මම මේ තරම් දුර ආව..
ඉතින් ඉදිරියටත් මට තවත් අකුරු අමුණන්න අවස්ථාව ලැබුණොත්, ඔයාලගෙ ඒ උදව් තියෙයි කියල මම හිතනව.
මට මේ දුර එන්න උදව් කල "මගේ උන්ට" නම් වශයෙන ස්තුති කරන්න ගිහින් එක නමක් හරි මග ඇරුනොත්, ඒක ලොකු පවක්. (අනික මගේ ක්‍රමේට තමන්ගෙ උන්ට "Thanks", "Sorry" කියන්නෙ නෑනෙ..) ඒ නිසා මම එහෙම කරන්නෙ නෑ...කොච්චර කාර්ය බහුල උනත්, මෙහෙට ගොඩවෙලා ලියන දේ කියවන්න වටිනා කාලය නාස්ති කරන ඔයාල හැමෝටම හද පිරි තුති..
ආයෙම ඇවිත් යන්න එන්න...

7 මනුසතා සහ තිරිසනා

අලියා අපි මේ ගෙදර දාලා යනවා. 
ඔයා අපේ ගෙදර කැඩුවා. ඒකට මට ගොඩක් දුකයි. 
ඒ හින්දා අපි යනවා. 
අපි හිටියොත් ඔයා අපිව මරයි. 
ආයේ ඔයා අපේ ගෙදර කැඩුවොත් 
දළදා කරඬුව ගෙනියන්න ගන්නෙ නෑ. 
අපි නුවර පෙරහැර බලන්න එන්නෙත් නෑ. 
අලියා, මම ඔයාට සුබ පතනවා. 
මෙයට...

මෙහෙම ඡායාරූපයක් ඔයාල දකින්න ඇති පහුගිය කාලෙ මූණු පොතේ..මේකෙ තියෙන විදියට මේක ලංකාදීප පුවත් පතේ පළ උන එකක්... ඇත්ත කතාවක්...
මට මේක දකිනකොට මටත් හිතුන මට හිතෙන දේත් ලියන්න ඕනෙ කියල.

පොඩි එකාගෙ කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් ඒ පොඩි එකා දන්නෙ නෑ, එයාගෙ තාත්තල, සීයල, අත්තල, මුත්තල එකතු වෙලා මේ අලියගෙ ගෙදර කඩල කියල.. සමහරවිට පොඩ්ඩ දැනන් හිටියනම් ඒ කතාව, එයා අලියට කියන එකක් නෑ මෙහෙම දෙයක්...
අපි එයාලගෙ වාස භූමි අල්ලගෙන, ඒවගෙ ගෙවල්, දොරවල් හදාගෙන, වගාවල් කරන්න ගත්තම ඒකට වැරදි එයාලද..? අපිද..?
අපි නිතර යන එන පාර හරස් කරල එක පාරට කවුරු හරි කෙනෙක්, පිරිසක් වැටක් ගැහුවොත්, ගෙයක් හැදුවොත්, අපි මොකද කරන්නෙ..?
අවුරුදු 20-30 ගමන් කරපු පාරෙ එහෙම දෙයක් කලොත් අපි කවුද, ඒ හදල තියෙන දේ මග ඇරල වෙන පාරකින් යන්නෙ..?
කීයෙන් කී දෙනෙක් එහෙම කරයිද..?
එච්චර එපා, අපි ඉස්සරහින් යන වාහනේ පාරෙ නවත්තල තියෙනව මොකක් හරි හේතුවක් හින්ද... කීයෙන් කී දෙනෙක් ඒ මිනිහට බැණ බැණ නලාව හඬවනවද..? පාරෙ යන බස් කාරයන්ට කොච්චර වෛර කරනවද පාර හරස් කරනවට....
ඉතින් එහෙම අපි, අහිංසක තිරිසන් සත්තුන්ගෙ ගෙවල් දොරවල්, යන එන පාරවල්, වාසභූමි අල්ලගෙන, එයාලගෙ කෑම තියෙන තැන් විනාස කරල, එයාලටම බණිනව...අපිට හිරිහැර කරනව කියල.
මටනම් හිතෙන්නෙ එහෙමයි.
ලොකුම වැරැද්ද කරන්නෙ අපි.
මට මතකයි මම පුංචි කාලෙ අපි හිටියෙ පොළොන්නරුවෙ.. නවනගරෙ.. වන ජීවි කාර්යාලෙ තිබුනෙ අපේ ගෙවල් ලඟ.. ඉතින් කොහෙ හරි අනාථ වෙච්ච අලි පැටියෙක් ගෙනාවොත් අපි යනව බලන්න. ඒ අලි පැටියව එතන්ට ගේන ටිකට එයාගෙ වලිගෙ කෙඳි ටික ගලවල.. ගොඩක් වෙලාවට ගේන්නෙ එක්කො කාගෙ හරි මර උගුලකට අහු වෙච්ච, වලකට වැටිල තුවාල උන, අසරණ වෙච්ච කෙනෙක්ව.. ඉතින් ඒ අසරණයව අපේ අය තවත් අසරණ කරනව..
ඉතින් මටනම් හිතෙන්නෙ ලෝකෙ සත්තු අතරින් දියුණුම මොළයක් තියෙනව කියල කියාගන්න "මනුසතා" මේ අහිංසක තිරිසන් සතාගෙ වාසභූමි අත්පත් කරගෙන, එයාලට ඉන්න හිටින්න තැන් නැති කරල, කන්න බොන්න නැති කරල, යන එන මං හරස් කරල අන්තිමේ උන් ඒ වෙනුවෙන් සටන් කලාම, මරල දානව කිසි හිතක් පපුවක් නැතුව "මනුසතාට" එරෙහි උනා කියල.
ඒක හරිද..?
ඇයි මේ තරමට ආත්මාර්තකාමී.....????????

4 මං ආසා ගී - ගීයෙන් ගයන්න

ගීයෙන් ගයන්නෙ ඔබ ගැන 
පද වැලක සත්සරින් 
ඒ ඔබ ගැන මහදේ ලියැවුනු 
ආදරේ නමින් 
මට මෙය කියන්න 
ඔබ හට හද සැලෙනවා ඉතින් 
ගීයෙන් අහන්න සුහදේ 
අමතන්නෙ ආදරෙන්...

පෑයූ ඉර තරු බැස යනවා 
කන්ද මුවාවී 
ඒ මිහිකතගෙන් සමුගන්නට 
හෙට යලි ඒවී 
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා 
සිතට මුවා වී 
හිනැහෙන්න ලඳේ 
සැමදා අප හිත් සැනසේවී...


පෑයූ ඉර සඳු එලියයි 
ඝණ අඳුර මකාලූ 
ඒ සඳ තරු යට හමුවෙමු හද 
ගිමන නිවාලූ 
පායන්න හැකිද සඳ සේ ඝණ 
අඳුර මකාලූ 
ඒ සඳ තරු යට 
අපගේ පෙම් පවස නිවාලූ ...


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන 
පද වැලක සත්සරින් 
ඒ ඔබ ගැන මහදේ ලියැවුනු 
ආදරේ නමින් 
මට මෙය කියන්න 
ඔබ හට හද සැලෙනවා ඉතින් 
ගීයෙන් අහන්න සුහදේ 
අමතන්නෙ ආදරෙන්...

ෂ‍්රලි වෛජයන්ත ගායනා කරන මේ ගීතය සංගීතය, පද රචනය කාගෙද කියලනම් දන්නෙ නෑ.. ඒත් මම හරිම ආස ගීයක්. කොහොමත් මම එයාගෙ ගීත වලට ඉස්සර ඉඳලම ආසයි... මේ ගීය අහම්බෙන් මට ලඟදි දවසක අහන්න හම්බුනා වැඩ කරන ගමන්. "බීරි මාක් කණේ මූඩි කුට්ටම" ගහගෙන අහපු නිසාද මන්ද, ගීයෙ සංගීතයත් එක්කම ගායකයගෙ කටහඬ පුදුම විදියේ හැඟීමක් දුන්න ගීයට.. ඔයාලත් අහල බලන්න...
මම කියන දේ ඔයාලටත් දැනෙනවද කියල.. හැබැයි මම ඇහුවෙනම් පරණ ගීය වෙන්න ඕනෙ.
ඒත් මට ඔයල වෙනුවෙන් හොයා ගන්න පුලුවන් උන ගීයනම් මම අහපු එකට වඩා වෙනස්.. (අර මම ක්කලින් කීව හැඟීම දැනුනෙ නෑ මේකෙන්. කාට හරි මම අහපු එක ඕනෙනම් කියන්න.. මම එවන්නම්..) "ඔබේ බටෙන්" මට හම්බුන එක මෙතනින් බලන්න

6 රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

අද මූණු පොතේ දැකපු කියමන් දෙකක් නිසා දෙයක් ලියන්න හිතුන.
කියමන් දෙකම ඉස්සෙල්ල කියන්නම්... බලන්න ඔයාලට මොනවද හිතෙන්නෙ කියල.


පළවෙනි එක...
"කෙනෙක් ඔබව පාවිච්චි කලා යැයි කාලෙකට පසු දිනෙක ඔබට හැඟුනොත් කුමක් දැනේවිද..?"


දෙවෙනි එක
"ඔබ  යම් කෙනෙකු රවටා සාර්ථක වුවහොත් හිතන්න එපා ඔහු හෝ ඇය මෝඩයෙකු ලෙස....
සිදු වූයේ ඔහු හෝ ඇය පමණට වඩා ඔබව විශ්වාස කල එකයි."


කතා දෙකම පේන විදියට කියන්නෙ එකම කතාවක්.
රැවටීම.. 
අපි ගොඩක් දෙනෙක් අතරෙ තියෙන දෙයක්. අපේ ගොඩක් අය හරිම දක්ෂයි තව කෙනෙක්ව රවට්ටන්න... ඒක සමහරවිට පොඩි කාලෙ ඉඳලම වෙන දෙයක් වෙන්න ඇති..
අපි පුංචි කාලෙ, අපේ අම්මල, තාත්තල  බිල්ලො, හප්පො, ගෙම්බො ගැන කියල රවට්ටනව.. ඒ නම් ඉතින් හොඳ අරමුණකට කිහල කියමුකො... එක්කො කෑම කවා ගන්න.. එක්කො කියන දේ නාහන වෙලාවක මෙල්ල කර ගන්න. එහෙම යනකොට ඔන්න පොඩි උන් අම්මලට, තාත්තලට "අන්න....." කියල මොකක් හරි එකකට අත දික් කරල රවට්ටනව වැදගත් දෙයක් පෙන්නන්න වගේ.. (ඒකත් ඉතින් නොතේරුම් කමනෙ...)
හැබැයි ඉතින් ඔන්න යමක් කමක් තේරෙන්න පටන් ගන්නකොට තමයි වැඩේ නියමෙටම කරන්නෙ...

සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් කෙනා තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..
හැබැයි ඉතින් රවට්ටන්න බොරු කියන කෙනාටනම් දහසකුත් හේතු තියෙනව ඒ දේ කරන්න...
"ආදරේට, බේර ගන්න, හොඳ මාර්ගෙට ගන්න, තරහ වෙනවට, දුක හිතෙනවට, වැඩි හොඳට" මෙකී නොකී හේතු සිය දහස් ගණනක් තියෙන්න පුලුවන්.. (පුලුවන් නෙවෙයි, තියෙනව. මම මේ කියන්නෙ අත්දැකීමෙන්).
හැබැයි ඉතින් හේතුව මොකක් උනත්, අන්තිමේ කෙනෙක්ව රවට්ටල ඉවරයි.
ඉතින් අර උඩින් තියෙන දෙවෙනි කියමන බැලුවොත්, රවට්ටන කෙනා හිතනව එයා අනිත් එක්කෙනාව සාර්ථකව රැවැට්ටුව කියල (එයානම් හරිම මෝඩයි, මම කියන දේ පිළිගත්ත කියල).. 
එයාගෙ පැත්තෙන් එයා 500%ක් හරි. හැබැයි එයා හිතන්නෙ නෑ, රැවටුනා කියන කෙනා තමන් ගැන තමන්ටත් වඩා විශ්වාස කරල කියල.
(මොකද මම තදින්ම පිළිගන්න, විශ්වාස කරන දෙයක් තමයි, කෙනෙක්ව සාර්ථකවම රවට්ටන්න, බොරු කියන්න හැකියාව තියෙන්නෙ ඒ කෙනාට ගොඩක්ම කිට්ටු කෙනෙක්ට විතරමයි. අසීමිත විදියට විස්වාස කරන කෙනෙක්ට විතරමයි. මොකද, අපි වැඩිය නොදන්න කෙනෙක්, අවිශ්වාස කරන කෙනෙක් කියන දෙයක් අපි එච්චර ගනන් ගන්නෙ නෑ. ඒක නිරායාසයෙන්ම වෙන දෙයක්. අර පහුගිය දවසක මූණු පොතේම දාල තිබුණ "අපිට රිද්දල, අපිව දාල යන්නෙ, කවදාවත්ම අපිව දාල යන්නෙ නෑ කියල පොරොන්දු උන අයමයි කියල. අන්න ඒ කතාවම තමා මෙතන්ටත් අදාල වෙන්නෙ. අපිව රවට්ටන්නෙත්, රවට්ටල සාර්ථක වෙන්න පුලුවන් වෙන්නෙත්, කිසිම දවසක අපිව රවට්ටන්නෙ නෑ කියල, වචනෙන් නොකීවත්, හිතේ ඇතුලෙම පදිංචි වෙච්ච අයට විතරයි.)
එතකොට තේරෙණවද කෙනෙක්ව රවට්ටන එක මොනතරම් බරපතල වරදක්ද කියල.
අපි හරි සතුටු වෙනව රවට්ටල, ඒ කාරනේ කෙරුන කියල. ඒත් ඒක මොනතරම්නම් පවක්ද..? වරදක්ද..?
ප්‍රශ්නෙ තියෙන්නෙ අපි කවුරුත් ඔය දේ නොහිතන එකයි. ඒ වෙලාවට අපි සාර්ථක වෙන්න හැමදේම කරනව. කවදාවත් ආපහු හැරිල බලන්නෙ නෑ. රැවටෙන කෙනා ඉන්න තැනට තමන්ව ආදේශ කරල බලන්නෙ නෑ "මම එතන ඉඳල මට මේ දේ උනානම් මට මොන වගේ හැඟීමක් ඇති වෙයිද" කියල. අනිකට හෙණ ගැහුවත් අපේ සාර්ථකත්වය විතරමයි බලන්නෙ.

(මම හිතන්නෙ ඒක මේ රේස් දුවන සමාජ ක්‍රමය නිසා ඇති වෙච්ච දෙයක් වෙන්න ඇති.)

ඉතින් එහෙම එකේ....... කෙනෙක් තමන්ව රවට්ටල, පාවිච්චි කලා කියන එක කාලෙකට පස්සෙ ඒ කෙනාට තේරුනොත්..??????


මොන තරම් පරාජිත, අසරණ හැඟීමක් ඇති වෙයිද..? මොකද, මම කලින් කීව වගේම කෙනෙක්ව රවට්ටල, ඒ කෙනාව පාවිච්චි කරන්න, ඒ කෙනාගෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙන්නෙ තමන්ගෙම කෙනෙක්ට විතරක්ම නිසා.

ඉතින්.... කෙනෙක්ව රවට්ටන්න එපා... අවංක වෙන්න.. 
ඒ කෙනාගෙම හොඳට කරන්න පුලුවන් එකම දේ ඒ කෙනාට ඇත්ත කියන එක මිසක්, ඇත්ත වහන් කරල බොරුව පෙන්නන එක නෙවේ... මොකද එහෙම කරල, දවසක ඇත්ත ඇති හැටියෙන් දැනගත්තම ඇති වෙන හැඟීම, කඩා වැටීම ගොඩක් දරුණු වෙනව අනිවාර්යෙන්ම. සමහරවිට මුලින්ම ඇත්ත කීවනම් ඒ කෙනාව ගොඩක් සතුටෙන් තියන්න තිබුන කියල හිතෙන්න පුලුවන්..... 
ඒත් ඒ දේ තේරුම් යනකොට... ගොඩක් පරක්කු වැඩි වෙයි. 

අන්තිමේ ඉතිරි වෙන්නෙ පසුතැවීම විතරයි. 
රවට්ටන්න පෙර ටිකක් හිතල බලන්න...

7 පාට කණ්නාඩි

ඉස්සර මම ඔෆිස් ගියේ අත් දිග කමිසෙ ඇඳල, යට කරල, බෙල්ට් දාල, සපත්තු මේස් දාල සම්මත ක්‍රමේට. (සමාජ සම්මතේට අනුව මහත්තයෙක් වගේ)
ඒත් දැන් මම යන්නෙ ටී ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් ඇඳල, දුවන්න දාන සපත්තු දෙකක් දාල. (කෝච්චියෙ යන ගොඩක් යාලුවො අහනව අද ටෙනිස් මැච් එකකටද ගියෙ කියල. ඒත් අවුලක් නෑ උන් දන්නව ඇත්ත.)
ඉස්සර බස් එකට නැග්ගම (කොන්)දොස්තර අය්ය කතා කලේ "මහත්තය, ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙන්න" කියල...
දැන්නම් අයිය කතා කරන්නෙ "ඒයි මල්ලි, පස්සට යන්නකො කීවම" කියල.
සාරිය ඇන්ද දවසට "නෝන" නැත්නම් "මිස්" වෙන නෝනම, පහුවදා සාය, හැට්ටෙ ඇන්ද ගමන් "නංගි" නැත්නම් "අක්ක" වෙනව.
කොහොමද නෑදෑ කම වෙනස් වෙන හැටි..?
ඔන්න ඕක තමා අපේ රටේ අත්ත තත්වෙ... මිනිස්සු හැම දේ ගැනම තීරණ ගන්නෙ පිටින් බලල... පිටින් පේන දේ දැකපු ගමන් ඔක්කොම තීරණය කරල ඉවරයි..
නිකන් හිතන්න පොලිසියකින් වැඩක් කර ගන්න ගියා කියල ටී-ෂර්ට් එකක් ඇඳන් ඩෙනිමකුත් එක්ක... අප්ප.. පොලිසියෙ කුස්සියෙ උයන එකත් කතා කරන්නෙ "ඕයි, තමුසෙ මොකද ඔතන" කියන විදියට... හැබැයි ඉතින් මිනිස්සු 7ක් මරල, ගෑණු 5ක් දූෂණය කරලත්, සුදු අත් දිග කමිසෙ ඇඳල, යට කරල, සපත්තු මේස් දාල පොලිසියට යන තිරිසනාට "මහත්තය, කාව හම්බෙන්නද..? මොකද්ද කාරනාව" කියල පිලිගන්නෙ කාකි කිට් එක දාපු ඉහළ පන්ති පාස් අපේම රාලහාමිලා.
වෙනස තියෙන්නෙ පිටින් පේන්න අඳින දේ... අපේ අය තීරණය කරන්නෙ හොඳ සහ නරක පිට පොත්තෙන්...ඒකයි අද වෙලා තියෙන්නෙ.
තව එකක්... කොච්චර බලු කම කරත් පොත්ත සුදුනම්, කර බාගෙන ඉන්නව.. හැබැයි කලු හමනම් ඉතින්... හප කරලම දානව..
මට මේක ලියන්න හිතුනෙත් කෙනෙක් එහෙම කියපු කතාවක් නිසාමයි....
අපි පුරුදු වෙලා ඉන්නෙ අපි කැමති පාටකින් පාට කණ්නඩියක් දාල, පිටින් පේන දේ දිහා බලල, ඒ කෙනා ගැන චරිත සහතික දෙන්න...
ඒත්..... ඒ කෙනා ඇතුලෙ ඉන්නෙ අපි දෙන චරිත සහතිකේට හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුලුවන්...
ඉතින්... නරකද පාට කණ්නාඩි ගලවල, පිටින් පේන දේට වඩා දෙයක් ඇතුලෙ තියෙනව කියල හිතාගෙන, ඒ ඇතුලෙ ඉන්න ඇත්ත කෙනා අඳුන ගන්න උත්සාහ කරොත්...?
ඇත්ත... කෙනෙක්ව එහෙම තේරුම් ගන්න එක ලේසි නෑ. ඒත.... අපි උත්සාහ කලොත්.... ගොඩක් දුරට බැරි වෙන එකකුත් නෑ..
මොකද.... සුදු ඇඳල, සුදට සුදේ යක්කු ඉන පුලුවන්... ඒ වගේම, කිළිටි පෙරොගෙන, නාබර ගොඩේ දෙවි වරු ඉන්නත් පුලුවන්...

"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අමාරුම දේ තේරුම් ගන්න එක..ඒත්... ඒ තේරුම් ගැනීමට පිට පොත්ත, පෙනුම නම්, කිසිම වැදගැම්මකට නෑ කියන එකයි සත්‍යය...
අන්න ඒ සත්‍යය අවබෝධ කර ගන්න මේ එක්ක පොඩි උත්සාහයක් දරමු...

පාට කණ්නාඩි ගැලවුවොත්, අනිව හරි දේ දකිනව..

2 ජීවිතයත්, මරණයත් අතර ජීවත් වීම...



ජීවිතය, මරණය කියන එක කාටවත් අරුමයක් නෙවෙයි.. කෙනෙක් ඉපදුනොත්, ඒ කෙනා කාලයක් ජීවත් වෙලා මරණයට පත් වෙනව. ඒක අනිවාර්යයි.. ඒ ජීවත් වෙන කාලය එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්.. ඒත් කවද හරි මැරෙණවමයි. ඒක වෙනස් කරන්න පුලුවන් ජගතෙක් තාමනම් පහළ වෙලා නෑ. සල්ලි, බලය මහ ඉහළින් තියෙන උදවියත්, මාරය "දැන් හරි" කීවම යන්න වෙනව.
අන්න එහෙම තියෙන අපිම තමයි ඒ ජීවත් වෙන ටික කාලෙට නාඩගම් සම්ප්‍රදාය අනුගමනය කරන්නෙ.

අපි දවසකට කී දෙනෙක්ට රිදවනවද..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව)

අපි කී දෙනෙක්ව අඬවනවද දවසකට..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව) 
අපි කී දෙනෙක්ව සතුටු කරනවද දවසකට..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව) 
 
අපි කී දෙනෙක්ට පුලුවන්ද කෙනෙක්ගෙ හිතේ තියෙන ප්‍රශ්ණෙකට හවුල් වෙන්න.. (ඒ කියන්නෙ ප්‍රශ්ණයක් ඇති කරන්න හරි, වැඩි කරන්න හරි නෙවේ. කෙනෙක්ගෙ ප්‍රශ්නෙකට පිළියමක් හොයා ගන්න උදව් වෙන්න, එහෙමත් බැරිනම් ඒ කෙනාගෙ ප්‍රශ්නෙ අහගෙන ඉඳල ඒ කෙනාගෙ හිත ටිකක් හරි සැහැල්ලු කරන්න. ඇහුම්කම් දෙන්න... සමහරවිට ඒක ඕනෑවටත් වඩා උදව්වක් වෙයි.)

මේ ප්‍රශ්න වලට ඔයාලට තියෙන උත්තර මොනවද..? කියන්න එපා.. හිතින් හිතා ගන්නකො.. ප්‍රශ්න 4න් 1 සහ 2ට රින (-) ලකුණුත්, 3 සහ 4ට ධන (+) ලකුණුත් 100න් දීල, එකතු කරල බලන්න තමන්ට කොච්චර ඉතිරි වෙනවද කියල.

අපි ගොඩාක්ම වෙලාවට අනිත් කෙනා ගැන හිතන්නෙ නෑ... ඔහෙ ඇරල දානව හිතට එන හැම එකම. හැබැයි අපිට එහෙම මොකක් හරි හිත රිදෙන දෙයක් කවුරු හරි කීවොත්, ඒ මිනිහ නැති වෙනකල් පන්න පන්න ගහනව. අඬනකල් ගහනව.

අඬනව කියන එක අපි හිතන්නෙ ඇස් දෙනෙක් කඳුලු එලියට එන එක කියලනෙ.. එහෙම නෑ.. ඇස් දෙකෙන් කඳුලු එන්න අඬන එක ටිකක් හොඳයි.. ඒකෙන් හිතට ටිකක් සහනයක් දැනෙනව. ඒත් ඊට වඩා ගොඩක් දරුණු දේ තමයි, කඳුලු නේන විදියට, ලෝකෙට හිනාව පෙන්නල, හිතින් අඬන එක. මොකද ඒක කරන්නෙ දුක හිතේ තද කරගෙන. (අපි පුංචි කාලෙ අම්මල අපිව දාල කොහෙ හරි යන්න හදනකොට, අඬද්දිත් අම්මල අපිව දාල යද්දි, හිතට දැනෙන හිර වෙනව වගේ හැඟීම කාටද මතක...? ඒ කඳුලු එන්න අඬලත්.. හිතල බලන්න කඳුලු එන්නෙත් නැතුව, එහෙම වෙනකොට දැනෙන දුක. - මේ උදාහරණෙ කාලෙකට ඉස්සර මගෙ යාලුවෙකුට මම කීව්ව. එයාටනම් ඒක තේරුණා හොඳට.. දන්නෙ නෑ ඔයාලට ඒ හැඟීම දැනිල තියෙනවද, මතකද කියල)
ඉතින් අපි නොදැන හෝ අපි කරන දෙයක් නිසා කෙනෙක්ට අඬන තරමට දුකක් එනවනම්.. ඒක අපි හිතන්නෙ නෑනෙ..
කෙනෙක්ගෙ දුක වගේම සතුටටත් හේතුව පුංචිම පුංචි දෙයක් වෙන්න පුලුවන්.. උදාහරණයක් විදියට උදේට දැක්කම "Good Morning" කියන එක. ඒක අපිට නිකන් වචන 2ක් විතරයි. ඒත් තව කෙනෙක්ට ඒක ලොකු සතුටක් දෙන දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් නොමිලේ දෙන්න පුලුවන් එකම දේ "හිනාව". ඒක අපුට සුලු දෙයක් උනත්, තව කෙනෙක්ට ඒක මහා දෙයක් වෙන්න පුලුවන්. ඒත් අපි නිකමටවත් එහෙම හිතනවද....?
අන්තිම කතාව ටිකක් දරුණුයි.. මේ දේ කරන්න පුලුවනුත් තමන්ගෙ කෙනෙට විතරයි ගොඩක් වෙලාවට. (තමන්ගෙ කෙනෙක් කීවෙ වේයො වගේ නෑයන්ම විතරක් නෙවෙයි. යාලුවො කියන කුලකය ගත්තම ඒකෙත් එක කොටසක්, බොහොම ටික දෙනෙක් ඉන්නව තමන්ගෙ අය කියල. අපේ උන්... ඒක අපේ එකා/ එකී කියල කියන්නෙ.. අන්න ඒ අය.. එක බඩවැල කඩාගෙන ආවෙ නැති උනත් සහෝදරයො/ සහෝදරියො) 
කෙනෙක්ට ප්‍රශ්නයක් උනාම සමහර විට කොච්චර කිට්ටු උනත් ඒ ප්‍රශ්නෙට උත්තර අපි ලඟ නැති වෙන්න පුලුවන්. ඒත් ප්‍රශ්නෙන් දුක් විඳින කෙනාට, එයාගෙ ප්‍රශ්නෙට ඇහුම්කම් දෙන එකත් ගොඩක් වටිනව. (අත්දැකීමෙන්) තමන්ගෙ ප්‍රශ්නෙ කෙනෙක්ට තේරෙනව, දැනෙනව කියල හිතෙන එකත් ඒ කෙනාට සහනයක්.
ඒත් අපි එහෙම කරනවද...? "අයියෝ, ඕක මොකද්ද..? අමතක කරල දාන්න.. සුලු දෙයක්නෙ..", "අත ඇරල දාන්න...", "අයියෝ ඕකද..?", "ආ ඇත්තද...?", "දැන් ඕක ගැන හිත හිත ඉන්න කාලයක් නෑනෙ", "හිතුව කියල වැඩක් වෙනවයැ"..... අපි දෙන උත්තර ඕව නේද.? එහෙමත් නැත්නම් තව කෙනෙක් එක්ක අරයගෙ ප්‍රශ්නෙ කියල හිනා වෙනව...
ගොඩක් වෙලාවට කරන්නෙ ඔය දේවල් නේද...?

ඇයි අපි මෙහෙම දේවල් කරන්නෙ..?

"දැන් කාලෙ ලෝකෙ වෙනස්..." (ඇයි දැන් ලෝකෙ හතරැස්ද..?)
"ඕව කරන්න කාටද වෙලාව තියෙන්නෙ.....?"
"එයාව නලවනව ඇරෙන්න වෙන වැඩ නෑ...."
"අයියෝ...පොඩි එකා වගේ.."

මෙහෙම උතතර තියෙන්න පුලුවන්.
ඇත්ත... අපි දුවන්නෙ රේස් එකක්... ඒක අපි දිනන්න ඕනෙ... ඒත්... අපි ඒ ගමනෙදි වැටෙන, අපේම එවුන් පාගගෙන, අපේ රේස් එක විතරක්ම දිනා ගන්න එකද හරි..?
එහෙමත් නැත්නම් ඒ වෑටෙන එකා පාගන්නෙ නැතුව, අපිට ඒකවත් ඇදගෙනවත් යන්න බැරිද.? අඩුම ගානෙ වැටෙන්න නොදී ඉන්න බැරිද..?
අපි මේ හැමදේම කරන්නෙ අපේ පුද්ගලික ප්‍රතිරූපෙ ගොඩ නගා ගන්න නේද..? අනිත් කෙනා නිසා ඒ ගොඩ නගා ගන්න පුද්ගලික ප්‍රතිරූපෙට හානියක් වෙයි කියල හිතන නිසා නේද ඒ අය ඈත් කරන්නෙ...? තමන්ගෙ එවුන්ගෙන්ම ඈත් වෙන්නෙ...?
කලකදි ළඟ උන් එවුන් පවා දාල යන්න අන්න ඒ ප්‍රතිරූපෙට හානි වෙයි කියල නේද..?
ඒත් අපි ඒකට අපේ ලේසියට, එක එක හේතු කියනව.. එක එක නම් දා ගන්නව.. ඒත් අන්තිමේ අපි කරල තියෙන්නෙ එකම දේ.

ඇයි අපිට බැරි දෙයක් කියනකොට, කරනකොට, ඒක තව කෙනෙක්ට දුකක්, කඳුල දෙන දෙයක් වෙයි කියල දෙපාරක් හිතන්න බැරි...
කටින් වචනයක් ගියොත් ගියාමයි.. ආයෙ ඒක මකන්න බෑ... මකන්න වෙන්නෙ නෑ....ඒ වගේමයි ඒ නිසා හිතක් රිදුනොත්, කැඩුනොත්... 
ආයෙ ගොඩ නැගෙන්න අවුරුදු ගණනාවක් යයි... 
එච්චර කලක්  ඒ කෙනා ජීවත් නොවුනොත්..? 
අපේ හෘද සාක්ෂිය අපිට නිදහසේ ඉන්න ඉඩ දෙයිද..?
හිතන්න....
 

7 දෙවෙනි වරම....

දින චරියාවෙ තවත් එක ඒකාකාරී දවසක්... උදෙන් ඔෆිස් යන්න ඕනෙ.. හැමදාමත් වගේ යන්න කලින් මේස උඩ තිබුණ පත්තරේ අතට ගත්ත..
..... මේ මම....? මගේ පින්තූරෙ.. ඒත් අහවල් එකක් කරනවද අවමගුල් දැන්වීම් කොලමෙ..? මේක උභතෝකෝටික ප්‍රශ්ණයක්..

ටිකක් ඉන්න.....
කලින් දවසෙ නින්දට යන්න කලින්, පපුව අසාමාන්‍ය විදියට රිදෙන්න ගත්තනෙ.. හරිනෙ... මාව රෝහලට අරන් ගියෙ මගෙ බිරිඳ, අල්ලපු ගෙදර අයගෙ උදව්වෙන්නෙ..
ඒත්.....
මට එහෙදි දීපු බෙහෙත් වලට හොඳට නින්ද ගියානෙ..
ඒක හීනයක්ද..?
කොහොම හරි ඔෆිස් එකට ගොඩවෙද්දි වෙලාව 10යි... දැන්නම් ලොක්කගෙන් හොඳටම බැණුම් තමයි.. අද උදේ තේ එකත් නැති වෙන්ව අනිව.

කෝ.... මොකෙක්වත් නෑනෙ... ඔෆිස් එක පාලුයි... මීටිමක්වත්ද..?

ඔක්කොම ටික මගෙ කාමරේ ඉස්සරහ... සමහරු අඬනව. මොකද මේ...?
නිකමට මම එබුන කාමරේට... අනේ අපොයි... මේ මම මෙහෙම ඉන්නකොට, කාමරේ ඇතුලෙ මම බිම නිදි..
මේ වගේ කතා අහල තිබුනත් මොකද්ද මේ වෙන්නෙ කියල මට විස්වාස නැති උනා. ඇත්තටම ලොකු තිගැස්මකින් පපුව ගැහෙන්න උනා..
පිරිස මැද උන්න මම,
"මේ අහන්න... මම මෙතන ඉන්නවා ඔයාල එක්ක" 
කියල මහ හයියෙන් කෑ ගැහුවත්, කිසි කෙනෙක්ට මගෙ හඬ ඇහුනෙ නෑ. ඒ හැම කෙනෙක්ම බලාගෙන හිටියෙ කාමරේ ඇතුලෙ වැටිල හිටිය මගේ රුව දිහා.

"ඇත්තටම මම මැරිලද..?" මගෙ හිතටත් ඒ ප්‍රශ්ණය ආව. මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

කෝ මගෙ බිරිඳ..? කෝ මගෙ පුංචි සුරංගනාවි..? කෝ මගෙ යාලුවො..?

මගේ බිරිඳ ඊට එහා කාමරේ බොහොම දුකෙන්...කඳුලු හෙලනව. මගෙ පුංචි සුරංගනාවිත් අඬනව, ඒ කිසි දෙයක් තේරිල නෙවේ... අම්ම අඬන නිසා.

අනේ දෙවියනේ... මම මැරිලද..?

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ආදර බිරිඳට "මේ ලෝකෙ ඉන්න ලස්සනම, කරුණාවන්තම කාන්තාව" ඇය වග.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ පුංචි සුරංගනාවිට "මම කොයිතරම් ආදරේද" කියල.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ළඟින්ම උන්, මගේ මිතුරන්ට, "ඔයාල නැත්නම් මම ජීවිතේ ගොඩක් වැරදි කරල. ඔයාල නිසා තමයි මම හරි මග ගියේ" කියන වග.

පොඩි දේකින් හිත් අමනාප වෙච්චි මගේ හොඳම මිතුරට මම කොහොමද "මට සමාවෙන්න" කියල කියන්නෙ...? මට ඔහුගෙන් සමාව ගන්න ඕනෙ..

මට දැනෙන විදියට මේ ජීවත් වෙන මාව කිසි කෙනෙක්ට පේන්නෙ නෑ වගේ...

"ඇත්තටම මම මැරිලද..?" මම ආයෙත් මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

 මම බිම වැතිර ඉන්න මගේම සිරුර ළඟින්ම ඉඳ ගත්ත.... මගේ ඇස් කඳුලින් බර වෙලා. මටත් කෑ ගහල අඬන්න ඕනෙ.. ඒ තරම් හිත බරයි... දුක වැඩියි....

"අනේ දෙවියනේ.... මට තව කිහිප දවසක් දෙන්න....." මම දෙවියන්ගෙන් ඉල්ලුව...

මට මගේ බිරිඳට, මගෙ පුංචි සුරංගනාවිට, මගේ යාලුවන්ට තේරුම් කරන්න, පෙන්නන්න ඕනෙ මම එයාලට කොච්චර ආදරේද කියල.

ඒ අතරෙදි මගෙ බිරිඳ මම ඉන්න කාමරේට ඇතුල් උනා.මට ඕනෙ උනා ඈට කියන්න....
"මේ ලෝකෙට ඇය එක් පුද්ගලයෙක් උනත්, ඇය මට ලෝකයක්" යන වග.

"අනේ දෙවියනේ...." මම ආයෙමත් කෑ ගැහුව..

"අනේ තව ටික කාලයක්..."

එකම එක වතාවක් මගේ පුංචි සුරංගනාවි තුරුල් කරන් සිපගන්න... එකම එක වතාවක් මගේ බිරිඳට තවමත් මාත් එක්ක ඉන්නවට ස්තුති කරන්න...

මම පුලුවන් වීරිය දාල තව එක සැරයක් කෑගැහුව... "අනේ දෙවියනේ... තව එකම එක වතාවක්.. කරුණාකරල"

"ඔයා නින්දෙන් කෑ ගැහුව... නරක හීනයක් දැක්කද..?" 
ඒ මගේ බිරිඳගෙ හඬ.

අනේ දෙවියනේ... ස්තුති වේවා නුඹට.. ඒක හීනයක්... මට නින්ද ගිහින්.

"ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව... කරුණාවන්තම කාන්තාව. මම ඔබට ගොඩාක් ආදරෙයි" අවදි වූ විගස ඈ වැළඳගත් මා පැවසුවා.

ආයෙමත් මම දෙවියන් යැද්ද...

"දෙවියනි, ඔබ ලබා දුන් මේ දෙවෙනි අවස්ථාවට ඔබට ගොඩක් ස්තුතියි.."

------
ඊයක් ඇසුරිනි.. කතෘ පිළිබඳ සඳහනක් නොවීය.
-------

කියවූ ඔබට....

තවමත් ඔබ ප්‍රමාද නැත... 
අහංකාරකම් අමතක කරන්න... 
අතීත වැරදි, තරහ අමතක කරන්න..
ඔබේ ආදරය අන් අයට පවසන්න..(එය ඔවුන් නොදන්නවා වෙන්න පුලුවනි)
මිත්‍රශීලී වෙන්න..
නිතර සිනාමුසුව ඉන්න.. (අන්‍යයන්ට හිනා නොවෙන්න.. අන් අය සමග හිනා වෙන්න.)
අපට දෙවෙනි වතාවක් නොඑන්නට ඇති සම්භාවිතාව 
බොහෝ වැඩිය....

4 මගේ තනියට

අඳුරට
එළිය දුන්
ඔබේ ආදරයම
ජීවිතේ සතුටත් අරන්
නොකියම යන වග
හීනෙන්වත්,
දැන උන්න නම් ...
හැමදාම 
ළඟ ඉන්න 
හෙවනැල්ලට 
විතරක්ම
ආදරේ කරනව
කළුවරේ තනි කලත් ...




2 මගේ කවිය...


ඇගේ තනුවට
මගේ කවි පෙළ
නුඹේ ස්වරයෙන්
ගයන තරමටම
නුඹ
චපල බැව්
දැන සිටියානම්...!!!

-------------------------------------------------------------------------------------------------------------
අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..



3 Life goes on

හැර යාම කියල මීට කලින් මම පොස්ට් එකක් ලීව.. කියවපු අයට මතක ඇති.. නැත්නම් මෙතනින් කියවන්නකො..
මට අද පරණ ආව ඊයක් හම්බුනා.. ඒක ඇත්තටම ඇඩ් එකක්....
එදා ලීවෙ ආදරේ නිසාම හැර යාමක් ගැන. ඒත් මේ ඊය නම් කියන්නෙ වෙන හැර යාමක් ගැන... ඒත් මට ඒක ලියන්න හිතුනෙ හේතු දෙකක් උඩ...
එක, මේකත් එක්තරා හැර යාමක් නිසා.
දෙක, අපේ මිනිස්සු මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන විදියයි, සුද්ද මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන විදියයි අතරෙ වෙනස මම මේකෙන් දැකපු නිසා
කෙනෙක්ගෙ ජීවිතෙන් එක් කෙනෙක් අයින් වෙලා, ඒ වෙනුවට තවකෙක් එන "වෙන් වීමක්" මේකෙ පේන අදහස.  (මේ ඊය මගේ ළඟම යාලූවෙක්ට යවල මම බැණුනුත් ඇහුව.)
බලන්න පින්තූරෙ දිහා හොඳට... එකම කතක්, එකම විදියට පිරිමි දෙන්නෙක් එක්ක ඉන්න එකම විදියෙ පින්තූර දෙකක්.. ඒ පින්තූර දෙකට "Life goes on. Drive carefully" කියල පුංචිවට සඳහනක් තියෙනව.
ඒ කියන්නෙ මේක පාවිච්චි කරල තියෙන්නෙ රිය පැදවීම ගැන දැනුවත් කරන්නනෙ.... ඒක මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑනෙ...  
ඒත් අපේ රටේ, ඒ දැනුවත් කිරීම කරන්න පාවිච්චි කරන මාධ්‍යය ඔයාල කවුරුත් දැකල ඇති..මිනිස්සුන්ට සියුම්ව මිනිස් ජීවිත වල වටිනාකම කියන්න උත්සාහ කරනව වෙනුවට, අනතුරකින් මිය ගිය දරුවෙකුගෙ රුවක් මහා විසාලෙට ගහල "මෙවන් විපතක් ඔබට නොවේවා" කියන වැකියක්, එහෙමත් නැත්නම් අනතුරකින් මිය ගිය, ලේ විලක් මැද ඉන්න මිනිසෙක්, හිස කඳෙන් වෙන් වී ගිය සිරුරක් අනතුරට පත් රථයත් එක්කම පාරක්, පාරක් ගානෙ ගහන එක තමා කරන්නෙ...
මිනිස් ජීවිතයක වටිනාකම බල්ලට ගිය අවධියකයි අපි ජීවත් වෙන්නෙ...සියුම්ව දෙන්න ඕනෙ දේ පොල්ලෙන් ගහල දෙන ක්‍රමවේදය කොයි තරම් දුරටනම් හරි යයිද කියන එකයි ගැටලුව... මොකද ඒකෙන් දුර්වල මනස් ඇත්තන් මානසිකව වට්ටන්නට හැකියාව උදාවන මුත්, එහි අරමුණ ඉෂ්ඨ කර ගත හැකිද යන්න දෙවරක් හිතන්න...
"අනතුරු වලකමු" යන්න සියුම්ව දන්වන්න මේ දැන්වීමත් කොතෙක් සාර්ථකදැයි මෙතනින් බලන්න..

 

3 මං ආසා ගී - අවසානයට පෙර ඇ ගියා


ඇරඹුමම කදුලක් වෙලා
මා බල ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඇ ගියා....

දුක් බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්න ට කියා
අවසානයට පෙර ඇ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්න ට සිත් ඇති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඇ ගියා....

ඇරඹුමම කදුලක් වෙලා...



අනන්තය වන තෙක්ම එකට ඉන්නට පෙරුම් පිරූ අයෙක්, අනන්තය ළඟදි තමන් තනිකර ගියාම දැනෙන දුක කසුන් කල්හාරගෙ කට හඳින් හොඳට දැනෙනව මම හිතන්නෙ....
කසුන් කල්හාරගෙ ගීත ගොඩක් දුක් මුසු උනත් දැන් ඉන්න නාහෙන් අඬන එවුන්ගෙ ගංජ සින්දු වලට වඩා ගොඩක් ලස්සනයි.. අරුත් බරයි...   අවාසනාවකට මම මේ ගීයෙ පද රචනය කාගෙද කියල දන්නෙ නෑ... ඒක කියන එක ඔයාලටම ඉතුරු කලා... මෙන්න මෙතනින් සින්දුව අහන්නකො... බලන්නත් දෙයක් තියෙනව ඔන්න එහෙනම්...



 Credit for the picture : Michiel S (Photochiel)
-------------------------------------------------------------------------------------------------------------
අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. -------------------------------------------------------------------------------------------------------------

5 සුන්දරත්වය...

මගේ විජිතය බ්ලොග් අඩවියේ "ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය" කියන පෝස්ට් එක අහම්බෙන් කියවන්න හම්බුනා. මම මීට කලිනුත් මීට ටිකක් සමාන පෝස්ට් එකක් ලීව "ඇයි" කියල. ඒකට ගොඩක් ගල්, මල් ආව. ඒත් මේක කියෙව්වම මටත් හිතුන ආයෙම ඒ වගේ එකක් ලියන්න කියල. එදා මම ලීවෙ ඇත්තටම මම දුටු දෙයක් ගැන. ඒත් අද මම ලියන්න යන්නෙ මම දුටු, දකින (මම විතරක් නෙවේ, ඔබ උනත් නිතර දකින, ඇස පිනවන) දෙයක් එක්ක මට ඈති වුන ප්‍රශ්ණයක් ගැන.

මුලින්ම කියන්න ඕනෙ මම කාටව්ත් මඩක් ගහන්න, රිදවන, එහෙමත් නැත්නම් හෑල්ලු කරන්න නෙවෙයි මේ ලියන්නෙ... ඕනෙම කෙනෙක්ට, සභ්‍ය විදියට මේක විවේචනය කරන්න අයිතිය තියෙනව... කිසි ගැටලුවක් නෑ. ඕනෑම සභ්‍ය අදහසක් මම පල කරනව කිසි කොස්සක් නැතුව.

ගෑණු ළමයි විලාසිතා කරන්න ඕනෙ කියන අදහස මමත් තදින්ම විස්වාස කරනව.. මොකද ඉතින් වයසට ගිහින් විලාසිතා කරන්න ගියොත් මිනිස්සු නාකි විසේ කියන්න ඉඩ තියෙනවනෙ.. අනික තරුණ කාලෙ කරන්න ඕනෙ දේවල් ඒ කාලෙදි කරන්නත් ඕනෙ. නැත්නම් කිසි ගතියක් නෑ. (ගෑණු ළමයි කියන්නෙ කොහොමත් විලාසිතා තමා). ඒ නිසා ඒ ගැන කිසි තර්කයක් නෑ. අත් දෙකම උස්සල මම එකඟයි ගෑණු ළමයි විලාසිතා කරන එකට.

"ෆැෂන්" එහෙම නැත්නම් "විලාසිතා" කියන්නෙ ඈත්තටම මොකද්ද...?

මම නිකමට වගේ ගූගල් දෙයියන්ගෙන් ඇහුව. ඒ දෙයියො මාව විකි දෙයියො ගාවට යොමු කරා වැඩිදුර තොරතුරු ගන්න කියල. ඔන්න ඉතින් ඒ දෙයියන්ට අනුව;

Fashion is a general term for a popular style or practice, especially in clothing, footwear, accessories, makeup, or furniture. "Fashion" refers to a distinctive; however, often-habitual trend in a look and dress up of a person, as well as to prevailing styles in behavior. "Fashion" usually is the newest creations made by designers and are bought by only a few number of people; however, often those "fashions" are translated into more established trends. The more technical term, "costume," has become so linked in the public eye with the term "fashion" that the more general term "costume" has in popular use mostly been relegated to special senses like fancy dress or masquerade wear, while the term "fashion" means clothing generally, and the study of it. For a broad cross-cultural look at clothing and its place in society, refer to the entries for clothing, costume, and fabrics.

එහෙම බැලුවම තේරෙන දේ තමයි අපි විලාසිතා කරන්නෙ ලස්සන වෙන්න. අවධානය ගන්න. (මට තේරෙන හැටි වැරදිද මන්ද..?) හැබැයි ඒක අපි අපිට ඔබින විදියට, තැඅට ඔබින විදියට කරන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන්නෙ අපි විහිලුවක් වෙන එකයි..එහෙමත් නැත්නම් අර මම කීව බ්ලොග් එකේ කියල තියෙන ජාතියෙ විදියට මිනිස්සු හිතන එකයි.

අද කාලෙ තියෙන විලාසිතා ගොඩක් බැලුවොත්, ඒව කරන්න වැඩි වියදමක් යන්නෙ නෑ. මොකද රෙදි යාරයක් ගත්තම නවතම විලාසිතා සහිතවම විලි වහගෙන තව පොඩි ළමයෙකුට ඇඳුමක් මහන්නත් ඇති.එහෙම නැතුව සමහරු වලලු කරටම දිගට අඳිනව. ඒත් ඉතින් ටිකක් ඈතින් අඩිය තියල ඇවිදින්න බෑ. මොකද එහෙම ඇවිද්දොත් අනිව මේ දවස් වල කුවෙණිට ඇති වෙලා තියෙන ප්‍රශ්නෙ ඇති වෙනව. තව අය ඉස්සරහෙන් බැලුවම හරිම විනීත විදියට පේන්න අඳිනව.. හැබැයි පිටිපස්සෙන් බැලුවොත් තමා අවුල. මොකද අර පිටකොටුවෙ විකුනන පිට නෑ කියන ඉස්ටයිල් එක නියමෙටම පෙන්නනව.

අපේ රටට වඩා ගොඩක් විලාසිතා කරන්නෙ යුරෝපීය රටවල කියලයි මට හිතෙන්නෙ... (මම වැරදි ඇති සමහරවිට). හැබැයි ඒ රටවල විලාසිතා නිර්මානය කරනකොට ඒවා අඳින කාල වකවානු අනුවයි විලාසිතා නිර්මානය වෙන්නෙ. ඒ කියන්නෙ සීත කාලෙට ඔබින විදියට ඇඟ වැහෙන ඇඳුම්, රස්නෙ කාලෙට ඇඳුම් අඩුවෙන් යනාදී පිළිවෙලටයි එයාල ෆැෂන් කරන්නෙ.

ඒත් වැඩේ කියන්නෙ අපේ අක්කල ෆැෂන් කරන්නෙ එහෙමනම් නෙවෙයි. අපේ අක්කල ෆැෂන් කියල වැඩියෙන් කරන්නෙ අඩුවෙන් අඳින එක. කොච්චර සීතල උනත් අඳින්නෙ අඩුවෙන්.. වැඩියෙන් ඇඟ පේන්න අඳින එක තමයි ෆැෂන් කියල හිතන්නෙ. (මේ මට හිතෙන හිතෙන විදිය. වටපිට බැලුවම වැඩියෙන් දකින්න තියෙන්නෙ එහෙම දේවල්. ඉතින් එහෙම හිතන එක අසාධාරණද...?)

කාන්තා ශරීරය කොහොමත් සුන්දරයි කියල කවියොත් ගොඩක් වර්ණනා කරනව. ඒත් ඒ නිරුවත් සිරුරම නෙවෙයිනෙ. ඒත් අපේ අය අඳින විදියට හිතෙන්නෙ වැඩියෙන් පෙනුන තරමටයි වැඩියෙන් සුන්දරව පේන්නෙ කියල. මටනම් හිතෙන විදියට ෆැෂන් කියන්නෙ එකක්. ඇඟ පෙන්නනව කියන්නෙ තව එකක්. ඒ දෙක පටල ගන්න හොඳ නෑ. 

අතීතයෙත් ශිෂ්ඨාචාරගත් මිනිස්සු ඇඳුම් භාවිතා කරන්න පටන් ගත්තෙ තමන්ගෙ විලි වහගන්න. ඉතින් ක්‍රමක්‍රමයෙන් ශිෂ්ඨාචාර දියුණු වෙනකොට ඒ ඇඳුම් විකාශනය වෙලා අංග සම්පූර්ණ ඇඳුම් භාවිතා කරන්න පුරුදු උනා. එහෙම දියුණු වෙච්ච අපි, ආයෙත් යන්න හදන්නෙ පරණ ගල් යුගයටමද..? ඇඳපු ඇඳුම් එකින් එක අඩු කරල, යාන්තම් විලි (විතරක්) වැහෙන තරමට පොඩි රෙදි කෑල්ලක් විතරක් අඳින තරමටම අපි දියුණු වෙලාද...?

කාන්තා සුන්දරත්වය ඇඟ වැහෙන්න ඇන්ද කියල අඩු වෙන්නෙ නෑ කියන එකයි මගෙනම් හැඟීම. එහෙම වෙන්න වෙන්න ඒකට තව අගයක් ලැබෙනව. නොපෙනෙන දේවල් වැඩි වැඩියෙන් පේන්න පේන්න ඒ අගය අඩු වෙනව කියලයි මටනම් හිතෙන්නෙ. (හැබැයි එහෙම පේන්න අඳිනකොට වෙන අගයක් ලැබෙනව වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒ සුන්දරත්වය, ලස්සන නම් නෙවෙයි.)


 ඉතින් ඇයි අපි විහින් ඒ තත්වෙට වැටෙන්න හදන්නෙ..? 

ඔය ඔලු ගෙඩි ඇතුලෙ තියෙන මොළගෙඩි වලින් චුට්ටක් හිතල බලන්න..... 

ෆැෂන් නැත්නම් විලාසිතා කියන්නෙ, 

ඇඟ වැඩිපුරම පෙන්නන එකමද..?