ඉන්න ඇත්තො

7 පාට කණ්නාඩි

ඉස්සර මම ඔෆිස් ගියේ අත් දිග කමිසෙ ඇඳල, යට කරල, බෙල්ට් දාල, සපත්තු මේස් දාල සම්මත ක්‍රමේට. (සමාජ සම්මතේට අනුව මහත්තයෙක් වගේ)
ඒත් දැන් මම යන්නෙ ටී ෂර්ට් එකක් එක්ක ඩෙනිමක් ඇඳල, දුවන්න දාන සපත්තු දෙකක් දාල. (කෝච්චියෙ යන ගොඩක් යාලුවො අහනව අද ටෙනිස් මැච් එකකටද ගියෙ කියල. ඒත් අවුලක් නෑ උන් දන්නව ඇත්ත.)
ඉස්සර බස් එකට නැග්ගම (කොන්)දොස්තර අය්ය කතා කලේ "මහත්තය, ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙන්න" කියල...
දැන්නම් අයිය කතා කරන්නෙ "ඒයි මල්ලි, පස්සට යන්නකො කීවම" කියල.
සාරිය ඇන්ද දවසට "නෝන" නැත්නම් "මිස්" වෙන නෝනම, පහුවදා සාය, හැට්ටෙ ඇන්ද ගමන් "නංගි" නැත්නම් "අක්ක" වෙනව.
කොහොමද නෑදෑ කම වෙනස් වෙන හැටි..?
ඔන්න ඕක තමා අපේ රටේ අත්ත තත්වෙ... මිනිස්සු හැම දේ ගැනම තීරණ ගන්නෙ පිටින් බලල... පිටින් පේන දේ දැකපු ගමන් ඔක්කොම තීරණය කරල ඉවරයි..
නිකන් හිතන්න පොලිසියකින් වැඩක් කර ගන්න ගියා කියල ටී-ෂර්ට් එකක් ඇඳන් ඩෙනිමකුත් එක්ක... අප්ප.. පොලිසියෙ කුස්සියෙ උයන එකත් කතා කරන්නෙ "ඕයි, තමුසෙ මොකද ඔතන" කියන විදියට... හැබැයි ඉතින් මිනිස්සු 7ක් මරල, ගෑණු 5ක් දූෂණය කරලත්, සුදු අත් දිග කමිසෙ ඇඳල, යට කරල, සපත්තු මේස් දාල පොලිසියට යන තිරිසනාට "මහත්තය, කාව හම්බෙන්නද..? මොකද්ද කාරනාව" කියල පිලිගන්නෙ කාකි කිට් එක දාපු ඉහළ පන්ති පාස් අපේම රාලහාමිලා.
වෙනස තියෙන්නෙ පිටින් පේන්න අඳින දේ... අපේ අය තීරණය කරන්නෙ හොඳ සහ නරක පිට පොත්තෙන්...ඒකයි අද වෙලා තියෙන්නෙ.
තව එකක්... කොච්චර බලු කම කරත් පොත්ත සුදුනම්, කර බාගෙන ඉන්නව.. හැබැයි කලු හමනම් ඉතින්... හප කරලම දානව..
මට මේක ලියන්න හිතුනෙත් කෙනෙක් එහෙම කියපු කතාවක් නිසාමයි....
අපි පුරුදු වෙලා ඉන්නෙ අපි කැමති පාටකින් පාට කණ්නඩියක් දාල, පිටින් පේන දේ දිහා බලල, ඒ කෙනා ගැන චරිත සහතික දෙන්න...
ඒත්..... ඒ කෙනා ඇතුලෙ ඉන්නෙ අපි දෙන චරිත සහතිකේට හාත්පසින්ම වෙනස් කෙනෙක් වෙන්න පුලුවන්...
ඉතින්... නරකද පාට කණ්නාඩි ගලවල, පිටින් පේන දේට වඩා දෙයක් ඇතුලෙ තියෙනව කියල හිතාගෙන, ඒ ඇතුලෙ ඉන්න ඇත්ත කෙනා අඳුන ගන්න උත්සාහ කරොත්...?
ඇත්ත... කෙනෙක්ව එහෙම තේරුම් ගන්න එක ලේසි නෑ. ඒත.... අපි උත්සාහ කලොත්.... ගොඩක් දුරට බැරි වෙන එකකුත් නෑ..
මොකද.... සුදු ඇඳල, සුදට සුදේ යක්කු ඉන පුලුවන්... ඒ වගේම, කිළිටි පෙරොගෙන, නාබර ගොඩේ දෙවි වරු ඉන්නත් පුලුවන්...

"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත."

අමාරුම දේ තේරුම් ගන්න එක..ඒත්... ඒ තේරුම් ගැනීමට පිට පොත්ත, පෙනුම නම්, කිසිම වැදගැම්මකට නෑ කියන එකයි සත්‍යය...
අන්න ඒ සත්‍යය අවබෝධ කර ගන්න මේ එක්ක පොඩි උත්සාහයක් දරමු...

පාට කණ්නාඩි ගැලවුවොත්, අනිව හරි දේ දකිනව..

2 ජීවිතයත්, මරණයත් අතර ජීවත් වීම...



ජීවිතය, මරණය කියන එක කාටවත් අරුමයක් නෙවෙයි.. කෙනෙක් ඉපදුනොත්, ඒ කෙනා කාලයක් ජීවත් වෙලා මරණයට පත් වෙනව. ඒක අනිවාර්යයි.. ඒ ජීවත් වෙන කාලය එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්.. ඒත් කවද හරි මැරෙණවමයි. ඒක වෙනස් කරන්න පුලුවන් ජගතෙක් තාමනම් පහළ වෙලා නෑ. සල්ලි, බලය මහ ඉහළින් තියෙන උදවියත්, මාරය "දැන් හරි" කීවම යන්න වෙනව.
අන්න එහෙම තියෙන අපිම තමයි ඒ ජීවත් වෙන ටික කාලෙට නාඩගම් සම්ප්‍රදාය අනුගමනය කරන්නෙ.

අපි දවසකට කී දෙනෙක්ට රිදවනවද..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව)

අපි කී දෙනෙක්ව අඬවනවද දවසකට..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව) 
අපි කී දෙනෙක්ව සතුටු කරනවද දවසකට..? (දැනුවත්ව හෝ නොදැනුවත්ව) 
 
අපි කී දෙනෙක්ට පුලුවන්ද කෙනෙක්ගෙ හිතේ තියෙන ප්‍රශ්ණෙකට හවුල් වෙන්න.. (ඒ කියන්නෙ ප්‍රශ්ණයක් ඇති කරන්න හරි, වැඩි කරන්න හරි නෙවේ. කෙනෙක්ගෙ ප්‍රශ්නෙකට පිළියමක් හොයා ගන්න උදව් වෙන්න, එහෙමත් බැරිනම් ඒ කෙනාගෙ ප්‍රශ්නෙ අහගෙන ඉඳල ඒ කෙනාගෙ හිත ටිකක් හරි සැහැල්ලු කරන්න. ඇහුම්කම් දෙන්න... සමහරවිට ඒක ඕනෑවටත් වඩා උදව්වක් වෙයි.)

මේ ප්‍රශ්න වලට ඔයාලට තියෙන උත්තර මොනවද..? කියන්න එපා.. හිතින් හිතා ගන්නකො.. ප්‍රශ්න 4න් 1 සහ 2ට රින (-) ලකුණුත්, 3 සහ 4ට ධන (+) ලකුණුත් 100න් දීල, එකතු කරල බලන්න තමන්ට කොච්චර ඉතිරි වෙනවද කියල.

අපි ගොඩාක්ම වෙලාවට අනිත් කෙනා ගැන හිතන්නෙ නෑ... ඔහෙ ඇරල දානව හිතට එන හැම එකම. හැබැයි අපිට එහෙම මොකක් හරි හිත රිදෙන දෙයක් කවුරු හරි කීවොත්, ඒ මිනිහ නැති වෙනකල් පන්න පන්න ගහනව. අඬනකල් ගහනව.

අඬනව කියන එක අපි හිතන්නෙ ඇස් දෙනෙක් කඳුලු එලියට එන එක කියලනෙ.. එහෙම නෑ.. ඇස් දෙකෙන් කඳුලු එන්න අඬන එක ටිකක් හොඳයි.. ඒකෙන් හිතට ටිකක් සහනයක් දැනෙනව. ඒත් ඊට වඩා ගොඩක් දරුණු දේ තමයි, කඳුලු නේන විදියට, ලෝකෙට හිනාව පෙන්නල, හිතින් අඬන එක. මොකද ඒක කරන්නෙ දුක හිතේ තද කරගෙන. (අපි පුංචි කාලෙ අම්මල අපිව දාල කොහෙ හරි යන්න හදනකොට, අඬද්දිත් අම්මල අපිව දාල යද්දි, හිතට දැනෙන හිර වෙනව වගේ හැඟීම කාටද මතක...? ඒ කඳුලු එන්න අඬලත්.. හිතල බලන්න කඳුලු එන්නෙත් නැතුව, එහෙම වෙනකොට දැනෙන දුක. - මේ උදාහරණෙ කාලෙකට ඉස්සර මගෙ යාලුවෙකුට මම කීව්ව. එයාටනම් ඒක තේරුණා හොඳට.. දන්නෙ නෑ ඔයාලට ඒ හැඟීම දැනිල තියෙනවද, මතකද කියල)
ඉතින් අපි නොදැන හෝ අපි කරන දෙයක් නිසා කෙනෙක්ට අඬන තරමට දුකක් එනවනම්.. ඒක අපි හිතන්නෙ නෑනෙ..
කෙනෙක්ගෙ දුක වගේම සතුටටත් හේතුව පුංචිම පුංචි දෙයක් වෙන්න පුලුවන්.. උදාහරණයක් විදියට උදේට දැක්කම "Good Morning" කියන එක. ඒක අපිට නිකන් වචන 2ක් විතරයි. ඒත් තව කෙනෙක්ට ඒක ලොකු සතුටක් දෙන දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් නොමිලේ දෙන්න පුලුවන් එකම දේ "හිනාව". ඒක අපුට සුලු දෙයක් උනත්, තව කෙනෙක්ට ඒක මහා දෙයක් වෙන්න පුලුවන්. ඒත් අපි නිකමටවත් එහෙම හිතනවද....?
අන්තිම කතාව ටිකක් දරුණුයි.. මේ දේ කරන්න පුලුවනුත් තමන්ගෙ කෙනෙට විතරයි ගොඩක් වෙලාවට. (තමන්ගෙ කෙනෙක් කීවෙ වේයො වගේ නෑයන්ම විතරක් නෙවෙයි. යාලුවො කියන කුලකය ගත්තම ඒකෙත් එක කොටසක්, බොහොම ටික දෙනෙක් ඉන්නව තමන්ගෙ අය කියල. අපේ උන්... ඒක අපේ එකා/ එකී කියල කියන්නෙ.. අන්න ඒ අය.. එක බඩවැල කඩාගෙන ආවෙ නැති උනත් සහෝදරයො/ සහෝදරියො) 
කෙනෙක්ට ප්‍රශ්නයක් උනාම සමහර විට කොච්චර කිට්ටු උනත් ඒ ප්‍රශ්නෙට උත්තර අපි ලඟ නැති වෙන්න පුලුවන්. ඒත් ප්‍රශ්නෙන් දුක් විඳින කෙනාට, එයාගෙ ප්‍රශ්නෙට ඇහුම්කම් දෙන එකත් ගොඩක් වටිනව. (අත්දැකීමෙන්) තමන්ගෙ ප්‍රශ්නෙ කෙනෙක්ට තේරෙනව, දැනෙනව කියල හිතෙන එකත් ඒ කෙනාට සහනයක්.
ඒත් අපි එහෙම කරනවද...? "අයියෝ, ඕක මොකද්ද..? අමතක කරල දාන්න.. සුලු දෙයක්නෙ..", "අත ඇරල දාන්න...", "අයියෝ ඕකද..?", "ආ ඇත්තද...?", "දැන් ඕක ගැන හිත හිත ඉන්න කාලයක් නෑනෙ", "හිතුව කියල වැඩක් වෙනවයැ"..... අපි දෙන උත්තර ඕව නේද.? එහෙමත් නැත්නම් තව කෙනෙක් එක්ක අරයගෙ ප්‍රශ්නෙ කියල හිනා වෙනව...
ගොඩක් වෙලාවට කරන්නෙ ඔය දේවල් නේද...?

ඇයි අපි මෙහෙම දේවල් කරන්නෙ..?

"දැන් කාලෙ ලෝකෙ වෙනස්..." (ඇයි දැන් ලෝකෙ හතරැස්ද..?)
"ඕව කරන්න කාටද වෙලාව තියෙන්නෙ.....?"
"එයාව නලවනව ඇරෙන්න වෙන වැඩ නෑ...."
"අයියෝ...පොඩි එකා වගේ.."

මෙහෙම උතතර තියෙන්න පුලුවන්.
ඇත්ත... අපි දුවන්නෙ රේස් එකක්... ඒක අපි දිනන්න ඕනෙ... ඒත්... අපි ඒ ගමනෙදි වැටෙන, අපේම එවුන් පාගගෙන, අපේ රේස් එක විතරක්ම දිනා ගන්න එකද හරි..?
එහෙමත් නැත්නම් ඒ වෑටෙන එකා පාගන්නෙ නැතුව, අපිට ඒකවත් ඇදගෙනවත් යන්න බැරිද.? අඩුම ගානෙ වැටෙන්න නොදී ඉන්න බැරිද..?
අපි මේ හැමදේම කරන්නෙ අපේ පුද්ගලික ප්‍රතිරූපෙ ගොඩ නගා ගන්න නේද..? අනිත් කෙනා නිසා ඒ ගොඩ නගා ගන්න පුද්ගලික ප්‍රතිරූපෙට හානියක් වෙයි කියල හිතන නිසා නේද ඒ අය ඈත් කරන්නෙ...? තමන්ගෙ එවුන්ගෙන්ම ඈත් වෙන්නෙ...?
කලකදි ළඟ උන් එවුන් පවා දාල යන්න අන්න ඒ ප්‍රතිරූපෙට හානි වෙයි කියල නේද..?
ඒත් අපි ඒකට අපේ ලේසියට, එක එක හේතු කියනව.. එක එක නම් දා ගන්නව.. ඒත් අන්තිමේ අපි කරල තියෙන්නෙ එකම දේ.

ඇයි අපිට බැරි දෙයක් කියනකොට, කරනකොට, ඒක තව කෙනෙක්ට දුකක්, කඳුල දෙන දෙයක් වෙයි කියල දෙපාරක් හිතන්න බැරි...
කටින් වචනයක් ගියොත් ගියාමයි.. ආයෙ ඒක මකන්න බෑ... මකන්න වෙන්නෙ නෑ....ඒ වගේමයි ඒ නිසා හිතක් රිදුනොත්, කැඩුනොත්... 
ආයෙ ගොඩ නැගෙන්න අවුරුදු ගණනාවක් යයි... 
එච්චර කලක්  ඒ කෙනා ජීවත් නොවුනොත්..? 
අපේ හෘද සාක්ෂිය අපිට නිදහසේ ඉන්න ඉඩ දෙයිද..?
හිතන්න....
 

7 දෙවෙනි වරම....

දින චරියාවෙ තවත් එක ඒකාකාරී දවසක්... උදෙන් ඔෆිස් යන්න ඕනෙ.. හැමදාමත් වගේ යන්න කලින් මේස උඩ තිබුණ පත්තරේ අතට ගත්ත..
..... මේ මම....? මගේ පින්තූරෙ.. ඒත් අහවල් එකක් කරනවද අවමගුල් දැන්වීම් කොලමෙ..? මේක උභතෝකෝටික ප්‍රශ්ණයක්..

ටිකක් ඉන්න.....
කලින් දවසෙ නින්දට යන්න කලින්, පපුව අසාමාන්‍ය විදියට රිදෙන්න ගත්තනෙ.. හරිනෙ... මාව රෝහලට අරන් ගියෙ මගෙ බිරිඳ, අල්ලපු ගෙදර අයගෙ උදව්වෙන්නෙ..
ඒත්.....
මට එහෙදි දීපු බෙහෙත් වලට හොඳට නින්ද ගියානෙ..
ඒක හීනයක්ද..?
කොහොම හරි ඔෆිස් එකට ගොඩවෙද්දි වෙලාව 10යි... දැන්නම් ලොක්කගෙන් හොඳටම බැණුම් තමයි.. අද උදේ තේ එකත් නැති වෙන්ව අනිව.

කෝ.... මොකෙක්වත් නෑනෙ... ඔෆිස් එක පාලුයි... මීටිමක්වත්ද..?

ඔක්කොම ටික මගෙ කාමරේ ඉස්සරහ... සමහරු අඬනව. මොකද මේ...?
නිකමට මම එබුන කාමරේට... අනේ අපොයි... මේ මම මෙහෙම ඉන්නකොට, කාමරේ ඇතුලෙ මම බිම නිදි..
මේ වගේ කතා අහල තිබුනත් මොකද්ද මේ වෙන්නෙ කියල මට විස්වාස නැති උනා. ඇත්තටම ලොකු තිගැස්මකින් පපුව ගැහෙන්න උනා..
පිරිස මැද උන්න මම,
"මේ අහන්න... මම මෙතන ඉන්නවා ඔයාල එක්ක" 
කියල මහ හයියෙන් කෑ ගැහුවත්, කිසි කෙනෙක්ට මගෙ හඬ ඇහුනෙ නෑ. ඒ හැම කෙනෙක්ම බලාගෙන හිටියෙ කාමරේ ඇතුලෙ වැටිල හිටිය මගේ රුව දිහා.

"ඇත්තටම මම මැරිලද..?" මගෙ හිතටත් ඒ ප්‍රශ්ණය ආව. මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

කෝ මගෙ බිරිඳ..? කෝ මගෙ පුංචි සුරංගනාවි..? කෝ මගෙ යාලුවො..?

මගේ බිරිඳ ඊට එහා කාමරේ බොහොම දුකෙන්...කඳුලු හෙලනව. මගෙ පුංචි සුරංගනාවිත් අඬනව, ඒ කිසි දෙයක් තේරිල නෙවේ... අම්ම අඬන නිසා.

අනේ දෙවියනේ... මම මැරිලද..?

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ආදර බිරිඳට "මේ ලෝකෙ ඉන්න ලස්සනම, කරුණාවන්තම කාන්තාව" ඇය වග.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ පුංචි සුරංගනාවිට "මම කොයිතරම් ආදරේද" කියල.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ළඟින්ම උන්, මගේ මිතුරන්ට, "ඔයාල නැත්නම් මම ජීවිතේ ගොඩක් වැරදි කරල. ඔයාල නිසා තමයි මම හරි මග ගියේ" කියන වග.

පොඩි දේකින් හිත් අමනාප වෙච්චි මගේ හොඳම මිතුරට මම කොහොමද "මට සමාවෙන්න" කියල කියන්නෙ...? මට ඔහුගෙන් සමාව ගන්න ඕනෙ..

මට දැනෙන විදියට මේ ජීවත් වෙන මාව කිසි කෙනෙක්ට පේන්නෙ නෑ වගේ...

"ඇත්තටම මම මැරිලද..?" මම ආයෙත් මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

 මම බිම වැතිර ඉන්න මගේම සිරුර ළඟින්ම ඉඳ ගත්ත.... මගේ ඇස් කඳුලින් බර වෙලා. මටත් කෑ ගහල අඬන්න ඕනෙ.. ඒ තරම් හිත බරයි... දුක වැඩියි....

"අනේ දෙවියනේ.... මට තව කිහිප දවසක් දෙන්න....." මම දෙවියන්ගෙන් ඉල්ලුව...

මට මගේ බිරිඳට, මගෙ පුංචි සුරංගනාවිට, මගේ යාලුවන්ට තේරුම් කරන්න, පෙන්නන්න ඕනෙ මම එයාලට කොච්චර ආදරේද කියල.

ඒ අතරෙදි මගෙ බිරිඳ මම ඉන්න කාමරේට ඇතුල් උනා.මට ඕනෙ උනා ඈට කියන්න....
"මේ ලෝකෙට ඇය එක් පුද්ගලයෙක් උනත්, ඇය මට ලෝකයක්" යන වග.

"අනේ දෙවියනේ...." මම ආයෙමත් කෑ ගැහුව..

"අනේ තව ටික කාලයක්..."

එකම එක වතාවක් මගේ පුංචි සුරංගනාවි තුරුල් කරන් සිපගන්න... එකම එක වතාවක් මගේ බිරිඳට තවමත් මාත් එක්ක ඉන්නවට ස්තුති කරන්න...

මම පුලුවන් වීරිය දාල තව එක සැරයක් කෑගැහුව... "අනේ දෙවියනේ... තව එකම එක වතාවක්.. කරුණාකරල"

"ඔයා නින්දෙන් කෑ ගැහුව... නරක හීනයක් දැක්කද..?" 
ඒ මගේ බිරිඳගෙ හඬ.

අනේ දෙවියනේ... ස්තුති වේවා නුඹට.. ඒක හීනයක්... මට නින්ද ගිහින්.

"ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව... කරුණාවන්තම කාන්තාව. මම ඔබට ගොඩාක් ආදරෙයි" අවදි වූ විගස ඈ වැළඳගත් මා පැවසුවා.

ආයෙමත් මම දෙවියන් යැද්ද...

"දෙවියනි, ඔබ ලබා දුන් මේ දෙවෙනි අවස්ථාවට ඔබට ගොඩක් ස්තුතියි.."

------
ඊයක් ඇසුරිනි.. කතෘ පිළිබඳ සඳහනක් නොවීය.
-------

කියවූ ඔබට....

තවමත් ඔබ ප්‍රමාද නැත... 
අහංකාරකම් අමතක කරන්න... 
අතීත වැරදි, තරහ අමතක කරන්න..
ඔබේ ආදරය අන් අයට පවසන්න..(එය ඔවුන් නොදන්නවා වෙන්න පුලුවනි)
මිත්‍රශීලී වෙන්න..
නිතර සිනාමුසුව ඉන්න.. (අන්‍යයන්ට හිනා නොවෙන්න.. අන් අය සමග හිනා වෙන්න.)
අපට දෙවෙනි වතාවක් නොඑන්නට ඇති සම්භාවිතාව 
බොහෝ වැඩිය....

4 මගේ තනියට

අඳුරට
එළිය දුන්
ඔබේ ආදරයම
ජීවිතේ සතුටත් අරන්
නොකියම යන වග
හීනෙන්වත්,
දැන උන්න නම් ...
හැමදාම 
ළඟ ඉන්න 
හෙවනැල්ලට 
විතරක්ම
ආදරේ කරනව
කළුවරේ තනි කලත් ...




2 මගේ කවිය...


ඇගේ තනුවට
මගේ කවි පෙළ
නුඹේ ස්වරයෙන්
ගයන තරමටම
නුඹ
චපල බැව්
දැන සිටියානම්...!!!

-------------------------------------------------------------------------------------------------------------
අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..



3 Life goes on

හැර යාම කියල මීට කලින් මම පොස්ට් එකක් ලීව.. කියවපු අයට මතක ඇති.. නැත්නම් මෙතනින් කියවන්නකො..
මට අද පරණ ආව ඊයක් හම්බුනා.. ඒක ඇත්තටම ඇඩ් එකක්....
එදා ලීවෙ ආදරේ නිසාම හැර යාමක් ගැන. ඒත් මේ ඊය නම් කියන්නෙ වෙන හැර යාමක් ගැන... ඒත් මට ඒක ලියන්න හිතුනෙ හේතු දෙකක් උඩ...
එක, මේකත් එක්තරා හැර යාමක් නිසා.
දෙක, අපේ මිනිස්සු මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන විදියයි, සුද්ද මිනිස්සුන්ගෙ හිත් වලට කතා කරන විදියයි අතරෙ වෙනස මම මේකෙන් දැකපු නිසා
කෙනෙක්ගෙ ජීවිතෙන් එක් කෙනෙක් අයින් වෙලා, ඒ වෙනුවට තවකෙක් එන "වෙන් වීමක්" මේකෙ පේන අදහස.  (මේ ඊය මගේ ළඟම යාලූවෙක්ට යවල මම බැණුනුත් ඇහුව.)
බලන්න පින්තූරෙ දිහා හොඳට... එකම කතක්, එකම විදියට පිරිමි දෙන්නෙක් එක්ක ඉන්න එකම විදියෙ පින්තූර දෙකක්.. ඒ පින්තූර දෙකට "Life goes on. Drive carefully" කියල පුංචිවට සඳහනක් තියෙනව.
ඒ කියන්නෙ මේක පාවිච්චි කරල තියෙන්නෙ රිය පැදවීම ගැන දැනුවත් කරන්නනෙ.... ඒක මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑනෙ...  
ඒත් අපේ රටේ, ඒ දැනුවත් කිරීම කරන්න පාවිච්චි කරන මාධ්‍යය ඔයාල කවුරුත් දැකල ඇති..මිනිස්සුන්ට සියුම්ව මිනිස් ජීවිත වල වටිනාකම කියන්න උත්සාහ කරනව වෙනුවට, අනතුරකින් මිය ගිය දරුවෙකුගෙ රුවක් මහා විසාලෙට ගහල "මෙවන් විපතක් ඔබට නොවේවා" කියන වැකියක්, එහෙමත් නැත්නම් අනතුරකින් මිය ගිය, ලේ විලක් මැද ඉන්න මිනිසෙක්, හිස කඳෙන් වෙන් වී ගිය සිරුරක් අනතුරට පත් රථයත් එක්කම පාරක්, පාරක් ගානෙ ගහන එක තමා කරන්නෙ...
මිනිස් ජීවිතයක වටිනාකම බල්ලට ගිය අවධියකයි අපි ජීවත් වෙන්නෙ...සියුම්ව දෙන්න ඕනෙ දේ පොල්ලෙන් ගහල දෙන ක්‍රමවේදය කොයි තරම් දුරටනම් හරි යයිද කියන එකයි ගැටලුව... මොකද ඒකෙන් දුර්වල මනස් ඇත්තන් මානසිකව වට්ටන්නට හැකියාව උදාවන මුත්, එහි අරමුණ ඉෂ්ඨ කර ගත හැකිද යන්න දෙවරක් හිතන්න...
"අනතුරු වලකමු" යන්න සියුම්ව දන්වන්න මේ දැන්වීමත් කොතෙක් සාර්ථකදැයි මෙතනින් බලන්න..