ඉන්න ඇත්තො

5 නූතන ජුදාස්ල

නත්තලත් පහු උනා දන්නෙම නැතුව. කිතුණුවෙක් නොවුනට, මොකක් හරි දෙයක් නොලීවොත් පොඩි අඩුවක් වගේ දැනුන. ඒ නිසා ලියන්න හිතුන.කාලෙක ඉඳල පොඩි අදහසකුත් තිබුන... ඔහෙ ලියනව.. මේක කියවන කිතුණුවන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනව....මගෙ අතින් වරදක් ලියවුනොත් සමාවෙන්න... ඒක නිවැරදි කරලත් දෙන්න.

මම අහල තියෙන විදියටත්, ක්‍රිස්තු චරිතය චිත්‍රපටියෙ දැකල තියෙන විදියටත්, ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ ඇණ ගහන්න අල්ලල දෙන්නෙ එතුමා සමීපයෙම ඉන්න කෙනෙක්. එතුමන් පිළිබඳව සියලු ඔත්තු සපයන්නෙ තම සමීපයේම ඉන්න කෙනෙක්. ඒ බව එතුමන් දැන සිටියා විතරක් නෙවෙයි, අවසාන භෝජන සංග්‍රහයෙදි ඒ ගැන සඳහනකුත් කරනව. ඒ පාවාදීම කරන්නෙ මුදලක් වෙනුවෙන්. (මම හරිද..? ඒ රිදී 30ක් වෙනුවෙන්ද..?) ඔහු කලේ වරදක් බව දැනෙනකොට කෝච්චිය ගොහින් හමාරය.
නමින් ඔහු "ජුදාස් ඉස්කැරිඔට්" (මම හරිද..?). මුදල් වලට ඇති කෑදර කම නිසා ජූජකයන්ට ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔත්තු දුන් ජුදාස්, එතුමන් තනිවම සිටින අවස්ථාවක අල්ලගැනීමටත් උදව් දුන්න. අන්තිමේදි තමන් කළ වරද නිසා ලැබුණ මුදලත් ආපසු දුන් ජුදාස්, සිය දිවි හානි කරගත්තයි කියල එක කතාවක් තියෙනව.
ඒ කොයි හැටි වෙතත් ජුදාස් කියන පුද්ගලයට මේ විදියෙ ලොකු පාවාදීමක් කරන්න පුලුවන් උනේ එයා ක්‍රිස්තුස් වහන්සේට ගොඩක් කිට්ටුවෙන් හිටිය නිසයි. මොකද කෙනෙක්ගෙ සිතුම්-පැතුම්, යන එන තැන්, ගති ගුණ, කරන කියන දේවල් හොඳින් තේරුම් ගන්න, අධ්‍යනය කරන්න පුලුවන් වෙන්නෙ ඒ කෙනාව ළඟින්ම ඇසුරු කරන කෙනෙක්ට විතරයි. එහෙම කරන්න නම් තමන්ගෙ කෙනෙක් වගේ ජීවත් වෙන්න ඕනෙ.
එදා ජුදාස් කලෙත් ඒකනෙ. ක්‍රිස්තුස් වහන්සේගෙ දූතයන් 12 දෙනාගෙන් කෙනෙක් විදියටයි ජුදාස් හිටියෙ. ඒ නිසාම ක්‍රිස්තුස් වහන්සේට ගොඩක් කිට්ටුවෙන් ඉන්න පුලුවන් උනා. ඒ නිසාවෙන්ම ඔහුට ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන්නත් පුලුවන් උනා. 
එදා ජුදාස් එහෙම කළා. රිදී 30ක් වෙනුවෙන් හරි තමන්ගෙ කෙනෙක්ට බොරු කරා. තමන්ගෙම කෙනෙක්ව රැවැට්ටුව. ඒත් ඒකෙ ප්‍රථිඵල එයාම වින්ද.
එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට හිටි ජුදාස් වගේම, අපි අතරත් නූතන ජුදාස්ලනම් කොච්චර ඉන්නවද..?
නිකමට හිතල බලන්න...
අපි අතරම, අපිට ගොඩක් කිට්ටුවෙන්, අපේම කෙනෙක් විදියට ඉන්න, ඒත් අපිට හතුරු කම් කරන, අපිව රවට්ටන, අපිටම බොරු කියන කරන, (සිංහල භාෂවෙන් කීවොත් අඟේ ඉඳන් කණ කන) නූතන ජුදාස්ල කොච්චරනම් අපි අතරෙ ඉන්නවද..? 
එක්කො මුදල් නිසා, නැත්නම් රුසියාවට වඩා ලොකු ඉරිසියාව නිසා, එහෙමත් නැත්නම් විනෝදෙට, ඒ මොකක්වත් නැත්නම් පුරුද්දට එහෙම කරන ජුදාස්ලා ඕනෙ තරම් අපි එක්ක ජීවත් වෙනව. ලොකුම අභාග්‍යය තමයි අපිට ජේසු තුමා වගේ ඒ ජුදාස්ලව අඳුන ගන්න බැරි එක. ඒක ලොකුම අපරාදයක්... මොකද අපි එක්කම ඉන්න එවුන් අපිව වලේ දානව කියල අපි දන්නෙ නෑ... අපි ඒක දැන ගන්නෙ අපි වලට වැටුනට පස්සෙ.
ඒකයි දුක.
අනේ අපිටත් පුලුවන්නම් නූතන ජුදාස්ල කල් තියා අඳුන ගන්න.... 
එක්කො එයාල හරි මගට ගන්න තිබුන... එහෙම බැරිනම්, එයාලගෙන් ඈත් වෙන්න තිබුන.

5 රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය


කලින් ලීව ගීයත් එක්කම, ගොඩක් දවස් ඉඳල ලියන්න හිතාගෙන හිටපු දෙයක් ලියන්න හිතුව.
උඩින්ම දාල තියෙන පින්තූරෙ දැක්කම මොකද හිතෙන්නෙ...?
මේකෙ ඔයාල දන්න කවුරු හරි ඉන්නවනම් බලන්න. මේක අරගත්තෙ මට මතක හැටියට 1989 අවුරුද්දෙ.
මම මගෙ පාසැල් ජීවිතේ නාමිකව විද්‍යාල 6කට ගිහින් තියෙනව. 

මම මුලින්ම ගියෙ පොළොන්නරුව සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලයට. ඒකෙ හිටියෙ බාලාංශ පන්තියෙ විතරයි. අංජුන,අරවින්ද, සුජීවා, දිළිණි, බෙනඩිත්තා, උත්පලා ඒ මට මගෙ පන්තියෙ හිටිය, මගෙ එක්ක එක මේසෙ වාඩිවෙච්ච, මට තාමත් මතක තියෙන මගෙ යාලුවො. 
ඉන් පස්සෙ මම 2 වසරට ආව පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයට. මම මුලින්ම ගියෙ "ලොකු ටීචගෙ" පන්තියට...(ටීචගෙ නම සුමනා වීරසූරිය. ඒත් කවුරුත් කීවෙ ලොකු ටීචර් කියල) මට ඒ පන්තියෙ ඉස්සෙල්ලම හම්බුන යාලුව තමා "අසිත්". නම අසිත් චේතික චන්ද්‍රසිරි.අදටත් මට මතකයි මම ඉස්සෙල්ලම වාඩි උනේ අසිත් ගාවින්. එදා ඉඳල ඔය පින්තූරෙ ගත්ත දවස වෙනකල් අපි එකට හිටිය. ඉන්පස්සෙ අවුරුදි ගානකට පස්සෙ (අවුරුදු 20කට පස්සෙ) 2009 ජූලි මාසෙදි මූණු පොතෙන් මගෙ පුංචි කාලෙ යාලුව ආයෙමත් මට හම්බුනා. මට තාම මතකයි අසිත් ඉස්සර සපත්තුවෙ ලේස් බැන්ද විදිය. ලේස් එක වලලු කර වටේ තමයි ගැට ගහන්නෙ.(උඩින් තියෙන පින්තූරෙ වම් පැත්තෙ ඉඳල දෙවෙනියට ඉන්නෙ අසිත්. ලේස් ගැට ගහල ඉන්න හැටි ඒකෙත් පේනව.)
නලින්ද, සරත්,රජීව්,කැලුම්, කෙනෙත්, ප්‍රසන්න, නිශාන්ත, චමිල,නදුන් මගෙ එක්ක එක පන්තියෙ හිටිය යාලුවො. නයනා, එරංග, සෙව්වන්දි, කාංචනා,ශාරදා,තේජා, නිලූකා රත්නායක ස‍ර්ගෙ පංතියට වෙනකල් මගෙ එක්ක එකට හිටිය යාලුවො. 
රජීව්, ප්‍රසන්න, නිශාන්ත, නයනා,සෙව්වන්දි, නිලූකා මේ පින්තූරෙ නෑ. 
නයනා, අසිත් වගේම අවුරුදු 20කට පස්සෙ මට මූණු පොතෙන් හම්බුනා. මතක හැටියට අපි 4 වසරෙ ඉන්නකොට සිල්ව සර්ගෙ ඉංග්‍රීසි පන්තියට ගියා. එක දවසක් පන්තිය පටන් අරන් ටික වෙලාවකින් සිල්ව සර් කල විහිලුවකට තරහ ගිය නයන පොත් ටිකත් අරන් ගෙදර ගියා. (ඉස්සර නයන කොච්චි කරල වගේ. මං හිතනව මේක කියවල තරහ යන එකක් නෑ කියල)
රජීව්, ඒ කාලෙ පොලොන්නරුවෙ ඩී.එම්.ඕ හිටිය දොස්තර සමරනායකගෙ පුතා. සම්බෝල කන්න හරි ආසයි.
එරංග, ඒ කාලෙ දිසපති දියනිය... අපි එක්ක හිටියම හරි උස මහතයි. (එයානම් දන් දොස්තර නෝන කෙනෙක්. මේක කියවන්න වෙලාවක් තියේද දන්නෙ නෑ. කියෙව්වොත් තරහ ගන්න එකක් නෑ කියල හිතනව)
එරංගා, ප්‍රසන්න දෙන්නත් අවුරුදු 20කට පස්සෙ මූණු පොතෙන් හම්බුනා.
ශාරදා අවුරුදු 10කට විතර පස්සෙ හරිම අහඹු විදියට මට හම්බුනා. ඒ මහාමායා විද්‍යාලෙ හිටිය මගෙ තව යාලුවො දෙන්නෙක් හින්ද. ඒ 97,98 කාලෙ විතර. පස්සෙ මම පොලොන්නරුවෙ ගිය වෙලාවක එයාලගෙ ගෙදරත් ගියා.. අනේ ඒත් ඊට පස්සෙ එයාල කලින් හිටිය ගෙදරින් ගිහින්.. කවුරුත් දන්නෙ නෑ එයාල කොහෙද ඉන්නෙ කියල...
ඒ හැම කෙනෙක් ගැනම තාමත් මොකක් හරි මතක හිටින සිද්දියක් මතකයෙ තියෙනව. මගෙ පාසල් ජීවිතේ කැමතිම කාලෙ මොකද්ද කියල ඇහුවොත් කියන්න තියෙන්නෙ ඒ 2 වසරෙ ඉඳල 5 වසරට වෙනකල් පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයෙ හිටිය කාලෙ කියල තමයි. මම හරි ආසයි ඒ කාලෙට. අපි කා අතරවත් කුහක කම්, කපටි කම් කියන දේවල් තිබුනෙ නෑ. හරි සතුටෙන් , සමගියෙන් හිටිය.. ගෑණු, පිරිමි කියල බේදයක් තිබුනෙ නෑ.
මට තාමත් මතකයි අපේ ඉස්කෝලෙ තිබුණ අට්ටික්ක ගස්, ගල් වල, අපේ පන්ති, පිට්ටනිය, පිට්ටනිය අයිනෙ තිබුන පොඩි කැලෑව.  
ඒ කාලෙ ආයෙ කවදාවත්ම එන්නෙ නෑ. ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා. ඒ කාලෙ හිටිය යාලුවො දැන් එක එක තැන් වල. සමහරු රටෙත් නෑ. ඒත් ආයෙ එක දවසක හරි පුලුවන්නම් අපිට ඒ යාලුවො දකින්න.... උඩින් තියෙන පින්තූරෙ වගේ නැතුව ඇති. කට්ටිය වෙනස් වෙලා ඇති. ඒත්... මට වගේම පරණ දේවල් මතක ඇති.. හම්බෙලා එක දවසක අපිට පුලුවන්නම් ඒ දේවල් ආයෙ මතක් කරන්න... කොච්චර අගේද...? 
මේ පොස්ට් එක කියවන කවුරු හරි කෙනෙක් දන්නවනම් 1986-1989 කාලෙ පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලෙට ගිය කෙනෙක්, කියන්න මම මේ ලියල තියෙන දේ ගැන. (පුලුවන්නම් මගේ මේ ලිපිය ඔයාලත් ශෙයාර් කරල සහයෝගය දෙන්න මගෙ පුංචි යාලුවො හොයා ගන්න.)
එක පැයකට හරි අපිට පුලුවන් උනොත් ඒ යාලුවො එක්ක එකතු වෙලා පරණ යාලු කම අලුත් කර ගන්න... කොච්චර අගේද...?

සුළඟේ ලෙළෙනා මල සේ දඟ පා.. 
අප පාසල් ගිය කාලයේ... 
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ...

1 මං ආසා ගී - පියමන් කෙරුවෙමු

පියමන් කෙරුවෙමු මහවෙල් මැද්දෙන් 
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනක හිඳ 
ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු 
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..

නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි 
කෝල හැඟුම් කෙලි කවට සිනාවයි 
මල් නැටුමයි කලගෙඩි නැටුමයි 
මගේ දෑස තුල යලිත් ඇඳේවිද..

පියමන් කෙරුවෙමු...

නෙත කඳුලින් හස කැනින් මුවා කල 
සොඳුරු පැතුම් පුරවා මනමත් කල 
මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි 
මා හැදු පාසල් මව්ණි දායාදර 

පියමන් කෙරුවෙමු...

ගීතය අහන්න

ජීවිතේ අපි විවිධ අවස්තාවන් වල විවිධ සමුගැනීම වලට මූණ දීල තියෙනව. සෝමතිලක ජයමහ  සමිතා මුදුන්කොටුව සමග ගායනා කරන්නෙත් ඒ එක්තරා සමුගැනීමක් ගැන. මේ ගීතය මම කොතෙක් අහල තිබුනත්, තේරුමක් ඇතිව අහන්න උනේ මගෙ යාලුවෙක් මේ ගීතය මට දවසක් එව්වට පස්සෙයි. මම ගොඩක් කැමති ගීතයක්.
පදවැල්, සංගීතය කාගෙද කියලනම් දන්නෙ නෑ

3 එතකොට අපි එදාටම දුක් වෙමු.

ගොඩක් දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටිය කතාවක් ලියන්නම හිතෙන මේල් එකක් අද මට ආව...මගෙත් එක්ක ඉස්සර එකට වැඩ කල යාලුවෙක් (දමින්ද ජයසිංහ) තමයි මේල් එක එවුවෙ.
මේල් එකේ කතාව මෙහෙමයි..

 ගමක ගම ගෙදරක මී ගුලක ජීවත් වෙච්ච එක මීයෙක් දවසක් දැක්ක ගම මහත්තය මොකද්ද පාර්සලයක් ගෙනත් ගම හාමිනේට දුන්න.   මොකක් හරි කෑමක් ගෙනල්ල කියල හිතාගෙන මීයත් ඒක දිග අරිනකල් බලාගෙන හිටිය. ඒත් ඇතුලෙ තියෙන දේ දැක්කමක මීයට එලෝ පොල් පෙනුන.
ගම මහත්තය ගෙනත් තිබුනෙ "මී කතුරක්".
ඉහින් කණින් දාඩිය දාන්න පටන් ගත්ත මීය හිතුව මේ කතාව ගම ගෙදරම ජීවත් වෙන අනිත් සත්තුන්ටත් කියන්න ඕනෙ කියල.

ඉස්සෙල්ලම ගියෙ වත්ත පහල කුණු ගොඩ හාර හාර හිටිය කුකුළ් හාමි ගාවට.

"ගමරාළ මී කතුරක් ගෙනල්ල... ගමරාළ මී කතුරක් ගෙනල්ල..."

ඔලුව උස්සල බලපු කුකුළා, "මී කතුරෙන් මට නම් හානියක් නෑ. ඒකෙ හානිය තියෙන්නෙ උඹටයි.. ඒ නිසා උඹ පරිස්සම් වෙයන්." කියල කීව.

ඒ ගමන මීය ගියා මඩ වලේ හිටිය ඌරු හාමි ගාවට.
"ගමරාළ මී කතුරක් ගෙනල්ල... ගමරාළ මී කතුරක් ගෙනල්ල..." මීය කීව.

"මට උඹ ගැන දුකයි මීයො. ඒත් මට කරන්න දෙයක් නෑ . මම උබ වෙනුවෙන් දෙවියන්ගෙන් ඉල්ලන්නම් උඹව මී කතුරට අහු වෙන්න එපා කියල." ඌරා කීව.

මීය ගියා වත්තෙ තණකොල කකා හිටිය හරක ගාවට...
"ගමරාළ මී කතුරක් ගෙනල්ල... ගමරාළ මී කතුරක් ගෙනල්ල..." මීය   ආයෙත් කෑ ගැහුව.

"ආ ඇත්තද මීයො..? මටනම් ඉතින් මී කතුරක් ගැන බය වෙන්න දෙයක් නෑ." හරකා ආයෙත් තණකොල කන්න උනා.

හැමදාමත් එකට එක ගෙදර හිටිය යාලුවො කියපු කතා වලට මීයට ගොඩක් දුක හිතුන.. ඒවගේම කලකිරුන. මී කතුරට තමන් තනියම මූණ දෙනව කියල හිතාගෙන මීය ගෙදර ආව.

එදා රෑ ගම ගෙදර ශබ්ද ගොඩක් ඇහුන.. මී කතුරට ගොදුර අහු වෙලා. ගම හාමිනේ කරුවලේම ආව මී කතුරට අහු වෙලා ඉන්න කෙනා බලන්න. කරුවල නිසා ගම හාමිනේ දැක්කෙ නෑ. මී කතුරට අහු වෙලා හිටියෙ විසකුරු සර්පයෙක්. ඒකගෙ වලිගෙ තමයි මී කතුරට අහු වෙලා තිබුනෙ.. තරහ ගිහින් හිටිය සර්පයා ගම හාමිනේට දෂ්ඨ කලා.
ගමරාළ ඇය රෝහල අරන් ගියා... දින කීපයකට පස්සෙ ගෙදර ආව ගම හාමිනේට සුව නොවෙන උණ රෝගයක් හැදුන... 
ගම හාමිනේ බලන්න ආව කෙනෙක් කීව ගම හාමිනේට කුකුළ් සුප් එකක් හදල දෙන්න , එතකොට උණ සුව වෙයි කියල. ගමරාළ ගෙදර හිටිය කුකුළව මරල සුප් එකක් හදල දුන්න ගම මහගෙට.
ඈ ඒකෙන් සුව උනේ නෑ.
ගමමහගේ බලන්න නෑදෑයො, හිත මිතුරො ගොඩක් ආව. ඒ අයට කන්න දෙන්න ගමරාළ ගෙදර හිටිය ඌරව මැරුව.
ටික දවසක් විඳවපු ගම මහගේ මියැදුනා. මල ගෙදරට සහභාගී වෙන්න ලොකු පිරිසක් ගම ගෙදරට ආව. ඒ අයට කන්න දෙන්න ගෙදර හිටිය හරකව මරන්න ගම රාළට සිද්ද උනා.
වෙච්ච හැම දෙයක්ම තමන්ගෙ ගුලට වෙලා බොහොම දුකෙන් බලා සිටි මී හාමි සුසුමක් හෙලුව.  මී හාමිට කරන්න පුලුවන් උනේ එච්චරයි.
ඔන්න මී හාමිගෙ පුංචි කතාව.

මී හාමිගෙ කතාවනම් එතනින් ඉවර උනා. ඒත් අපි..? අපි තාමත් රේස් එකේ ඉන්නව.
නිකමට චුට්ටක් හිතල බලමු. අපි අපිත් එක්ක එකට වැඩ කරන, එහෙම නැත්නම් ඉස්කෝලෙ ඉන්න, විශ්ව විද්‍යලෙ ඉන්න මිතුරෙකුට, මිතුරියකට ප්‍රශ්නයක් ඇති උනාම, ඒක අපිට අදාල නෑ කියල කොච්චර මග ඇරල යනවද... ඒක එයා බලා ගනී මට නෙවෙනෙ උනේ කියල යන අවස්තා කොච්චරද..? ලෙඩක් අසනීපය උනාම බොරුවට "අනේ" කියනව මිසක් වචනෙකින් හරි උදව්වක්, ශක්තියක් වෙන්නෙ අපි කීයෙන් කී දෙනාද..?
අපිට උදව් කරන්න බැරි උනත්, ඒ කෙනාව ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න දිරිමත් කරන්න බැරි කමක් අපිට නෑ.
ඒත් අපිත් හරියට අර ගම මහත්තයගෙ ගොවිපලේ හිටිය අනිත් සත්තු වගේමයි.. අපි කවදාව්ත්ම හිතන්නෙ නෑ අනිත් කෙනා හැදුන ලෙඩේ අපිටත් හැදෙන්න පුලුවන් කියල... එයා මූණ දීපු ප්‍රශ්නෙම දවසක අපිටත් එන්න පුලුවන් කියල.
අපිට ඒ දේ දැනෙන්නෙ අපිත් ඒ ප්‍රශ්නෙට මූණ දීපු දවසරට විතරයි....එතකොට අපිටත් වෙන්නෙ හරියටම අර ගම මහත්තයගෙ ගොව්පලේ හිටිය අනිත් සත්තු ටිකට වෙච්ච දේම තමයි..අපි එතකොට අපි එදාටම දුක් වෙමු.

3 යුදෙව් බලාපොරොත්තුව..

හුගිය දවසක අපූරු ඡායාරූප වැඩමුළුවක් තිබුන.. ඒක සංවිධානය කලේ මූණු පොතේ "සේයා රූ කතා බහ" කියන එකතුව. ඇත්තටම වැඩේ නම් නියමයි. ඒක ඉනවර වෙනකල් ඉන්න බැරි උනා. ඒකටනම් දුකයි.. ඒත් හිටිය ටික වෙලාව ගොඩක් හොඳයි.
දේශකයො දෙන්නෙක්ගෙ කතා ඇහුව මම.. ඒකෙන් එක කතාවක තිබුණ ගොඩක් හිත් ගත්ත දෙයක් ගැන ලියන්නම හිතුන..දේශණය ඡායාරූප ගැන. ඡායාරූප රචනාවක් විස්තර කරගෙන යද්දි ඒකෙ එක තැනක කියපු විස්තරයක් ගැන තමයි කතාව. ඡායාරූප රචනාව කරල තිබුනෙ ජ‍ර්මනියෙ යුදෙව් කෞතුකාගාරයක් ඇතුලෙ ගත්ත ඡායාරූප වලින්. ඒ Jewish Museum Berlin කියන කෞතුකාගාරය.
දේශකය ගැන කීවෙ නැත්නම් ඒක වැරැද්දක්නෙ. එයා තමයි, මොරටුව විශ්ව විද්‍යාලයයේ නිර්මාණ සහ සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් වාස්තු විද්‍යාඥ, ප්‍රවීන ඡායාරූප ශිල්පි සිතුමිණි රත්නමලල මහතා. හරි අපූරු මනුස්සයෙක්. දැක්කෙනම් එදාමයි... ඒත් නිකන් දන්න කෙනෙක් වගේ...
හරි ඒ ගැන ඒ ඇති. කතාව කියන්නම්.
කෞතුකාගාරෙ ඇතුලෙ ඇවිදන් යනකොට අපේ කෞතුකාගාරෙ වගේ බඩු මුට්ටු ගොඩ ගහල තිබුනෙ නෑ කීව. තැන් තැන් වල පුංචි පුංචි දේවල් තිබුනෙ කීව. ඒ ඇරෙන්න මුළු කෞතුකාගාර ගොඩනැගිල්ලම කෞතුක දේවල් සිහි වෙන විදියට ගොඩනගල තියෙනව කීව. ඒ කාලෙ හිට්ලර් යුදෙව්වො සමූලඝාතනය කරනකොට, තිබුණ තතවය සිහි වෙන්න දේවල් තිබුණලු.. ඇත්තටම එතුමා විස්තර කල විදියට මට විස්තරයක් කියන්න බෑ. මොකද මම ඒ කෞතුකාගාරය බලන්න නොගිය නිසා. 
ඒත් ඒ එක තැනක තිබුණ කීව පොඩි ලියුම් කෑල්ලක්. මම කියන්න යන්නෙ අන්න ඒක ගැන.
ලියුම අවුරුදු 16ක පොඩි ගෑණු ළමයෙක්, තමන්ගෙ පෙම්වතාට ලියපු එකක්. ඒ කාලෙ හිට්ලර් යුදෙව්වන් සමූලඝාතනය කලේ ගම් පිටින්. බොහොම අමානුෂික විදියට. හැම මිනිහෙක්ම හිටියෙ බයෙන්. කොයි වෙලාවෙ හරි තමන්ට මරණය අත් වෙයි කියන බයෙන්. 
මම පුංචි කාලෙ පොළොන්නරුවෙ ජීවත් උනේ...මට මතකයි ඒ කාලෙ මටත් තිබුණ ඒ බය. කොයි වෙලාවෙ හරි කොටි ඇවිත් අපිව මරයි කියල. ඉතින් මට හිතා ගන්න පුලුවන් ඔය කියන මිනිස්සු හිට්ලර් අතින් මැරුම් කන්න වෙයි කියල බයෙන් කොහොම ජීවත් වෙන්න ඇත්ද කියල.
කොහොම හරි මේ ගෑණු ළමය කාලෙකින් නොදැකපු තමන්ගෙ පෙම්වතාට ලිපියක් ලියල. තමන් හිට්ලර් අතින් මැරුම් කෑවත්, තමන්ගෙ පෙම්වතා කවද හරි ආව දවසක ඒක එයාට ලැබෙයි කියන බලාපොරොත්තුව ඇතුව. ඒ ලිපිය බෝතලයක් ඇතුලට දාල වහල.(බෝතලයක් ඇතුලට දාල වහපුවාම කිසිම හානියක් වෙන්නෙ නෑනෙ. අව්ව, වැස්ස, ගංවතුර වගේ ස්වභාවික උවදුරු වලින් ආරක්ෂා වෙනවනෙ.) එහෙම කල නිසාම තමයි අදටත් අපිට උනත් බලන්න අර කියන කෞතුකාගාරය ඇතුලෙ මේ ලිපිය තියෙන්නෙ.
පුංචි දේටත් ඇස් බොඳ වෙන මට, ඔය කතාව අහද්දිත් ඇස් බොඳ උනා.. ඒක නිසයි මම මේක මගෙ බ්ලොග් එකේ ලියන්න හිතුවෙ.
ඒ පුංචි පෙම්වතියට හිතේ තිබුණ බලාපොරොත්තුව ගැන චුට්ටක් හිතන්න. ඒ වගේ තමන් මැරෙන්න යන මොහොතක උනත්, තමන් ගොඩක් ආදරේ කරන කෙනාට තමන්ගෙ හිතේ තියෙන දේ කියන්නත්, ඒ කියන දේ කවද හරි දවසක එයාට ලැබෙයි කියල හිතන්න තරම් බලාපොරොත්තු සහගතව ඉන්නත් පුලුවන් හිතක්....
ඇත්තටම අපිට තියෙනවද එහෙම හිතක්..?
ඕනෙම දෙයක් ගැන හරි ඉක්මනට අපි බලාපොරොත්තු අත් අරිනව.. විස්වාසය අත අරිනව...හරිම ඉක්මනට අපි ඒක කරනව... අපි බලාපොරොත්තු සහගතව ඉන්නෙ නෑ කාලයක්.. අපිට ඉන්න බෑ එහෙම..
මට හිතෙන්නෙ එහෙම..
ඒ කතාව අහපුවම මට තව දෙයක් හිතුන...
අමරසිරි පීරිස් මහත්මයගෙ " හන්තානට පායන සඳ" ගීතයෙ ඒ පෙම්වතා වගේම කෙනෙක් නේද මේ පෙම්වතියත්...?
හිතන්න....

ප.ලි : සිතුමිණි රත්නමලල මහත්මය ගොඩක් ස්තුතියි, කෞතුකාගාරෙ නම අහල කෙටි පණිවිඩයක් යවපු ගමන් ඒකට ප්‍රතිචාර දැක්වුවට.
ආසාවක් ඇති උනා ඇත්තටම කවද හරි දවසක බලන්න යන්න ඒ කෞතුකාගාරෙ.. එහෙම ගියොත් ඒ දවසට ආයෙම පොස්ට් එකක් ලියන්නම්.

0 තිබුණනම් හිනා වෙන්න

මාත් ආසයි
හිනා වෙන්න
සතුටින්...
ඔයාල වගේම.
ආදරේ කරන්න,
හිත පුරාවටම
ආදරෙන්, 
ගලා යන්න ඉඩදෙන්න
මගෙ හැඟුම් ගංගාව...


ඒත්....,
තේරෙන්නෙ නෑ මට
ඇයි කියල
බය හිතෙන්නෙ, 
හිනා වෙන්න
මේ තරම්...
රතු වේවි කියල,
දෑස්.
ආදරේ කරන්න 
හිත පුරාවට,
නැති වේවි කියල 
නුඹ.
ඉඩ හරින්න හැඟුමන්
නිදහසේ ගලා යන්න, 
ගසාගෙන යාවි යැයි
නුඹ.
අනේ ඒත්......
තිබුණනම් හිනා වෙන්න......!!!

2 ගිහින් එන්නම්

"ගිහින් එන්නම්"
කියල කීවට
ආයෙ නේන වග,
දනී මගෙ හිත..
නෙතු අග නලියන
කඳුළු කැට,
වේලෙන්න හිනා උනේ
නොතෙමන්න
නුඹෙ නෙත..


"පරීරීස්ස්ස්සමට ඉන්න, 
බුදු සරණයි"
නුඹේ එවදන්
රැඳේ දෙසවන
මගේ තනියට
හැමදාම...

නිවාවි
හිතේ කකියන 
දුක.....

"පරීරීරීස්ස්සමට ගිහින් එන්න",
නැවත
නුඹ නේන මුත්

"පරීරීරීස්ස්සමට ඉන්න...!!!!"

9 ගීයට පසු වදනක්....

කලින් ලීව පෝස්ට් එක කියවපු ගොඩක් යාලුවො ගොඩක් දේවල් කීව ඒ ගීතය ගැන... ගොඩක් අය ඒකට කැමතියි.. ඒ අතුරින් සමහර අය පේරාදෙණිය සරසවියට ගිය, අවුරුදු 3,4ක් එහෙ ජීවත් වෙච්ච, සරසවියෙදි පෙම් කළ, ඒ වගේම හන්තානට පායන සඳ ඇත්තටම දැකපු අය... ඒ කියද්දි මටත් හිතුන දවස හන්තානට සඳ පෑව්වම බලන්න තියේනම් කියල..
ඒ කොහොම වෙතත්, මගෙ පෝස්ට් එක කියවපු එක යෙහෙළියක්, මට ගීතයෙ නිදාන කතාව ඇතුලත් පුවත් පතක පළ කෙරුන ලිපියක් එවල තිබුණ.. මට ඇත්තටම හිතුන ඒක කෙටියෙන් බ්ලොග් එකේ ලියන්න... මොකද සමහර කෙනෙක් ඒ කතාව නොදන්නව වෙන්න පුළුවන්... අනික, මම ඒකෙන් තමා දැනගත්තෙ කව්ද මේ ගීය රචනා කළේ කියල...  
ධම්මික බණ්ඩාර කියල එක්තරා ගුරුවරයෙක් තමා මේ ගී පද ලියල තියෙන්නෙ... එයා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්... 
එයාගෙ යාලුවො ගොඩක් ඉඳල තියෙන්නෙ පේරාදෙණියෙ.. ඉතින් ඒ නිසා එයා නිවාඩුවට එහෙ ගියාලු. මම හිතන්නෙ මම වගේම ඒ පරිසරයට ආදරේ කල කෙනෙක්.. එයාට හිතුනලු පේරාදෙණිය ගැන සින්දුවක් ලියන්න..ඒත් එයාගෙ සරසවි ජීවිතේදි ඒක වෙලා නෑ.. අන්තිමේ එයා ගුරුවරයෙක් වෙනව.
උසස් පෙළ පන්තියේ දෙදෙනෙක් අතර ආදරයක් එයා දකිනව... ඒත් සද්ද නැතුව ඒක බලාගෙන ඉන්නව...
ඒ ප්‍රේම කළ යුවල අතරින් සිසුවිය 'ඒ' සාමර්ත 3ක් අරගෙන සරසවියට යනව.. ඒත් සිසුවාට සරසවි ගමන අහිමි වෙනව..
වසර ගණනාවකට පස්සෙ ධම්මිකට ඒ සිසුව හම්බෙනව..
"කෝ අර උඹත් එක්ක එකට බත් එක කාපු කෙල්ල ? " කියල අහන ධම්මිකට හම්බෙනව පුදුම හිතෙන පිළිතුරක්..
"ඒක ඉවරයි. එයා කැම්පස් ගියා. එයාට දුර ගමනක් තියෙනව. පේරාදෙණියෙ ගියාම එයාට දකින්න කොච්චර සුන්දර දේවල් තියේවිද..? ඒ එයාට මම හින්ද ඒ දේවල් විඳින්න බැරි වේවි.. ඒ නිසා ලියුම් ගොඩක් ලියල වෙන් උනා.. ඒත් එයා නම් කැමති උනේ නෑ."
ඒ කතාව අහපු ධම්මිකට කාලයක් තිස්සෙ ලියන්න හිටිය ගීයට නිමිත්තක් ලැබුණ... අන්තිමේ ඒ ලියවෙච්ච ගීතය තමයි " හන්තානට පායන සඳ" කියල අමරසිරි පීරිස් කියන ගැඹුරු හඬින් අපි අහන්නෙ..
පේරාදෙණිය සරසවි බිමට පේන සුන්දරම දසුන හන්තානට පායන සඳ, ඒ තරුණයට දකින්න වරම් නැති උනත්, ඒ තරුණිය ඒක හොඳින් දකිනව.. විඳිනව...
ඇය තවමත් ඔහුට ආදරේ නිසා තනිවම සරසවියෙ වෙසෙනව... ඒත් ඔහු ඇයට කියන්නෙ ඒ තනිය නැති වෙන්න කෙනෙක් ළං කර ගන්න කියල.. 
"කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න"


"ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න..."




තමන් ගැන මතකය අමතක කර ගලා යන මහවැලියට දමා, ආදරේට අත වනන කෙනෙක් එක්ක එකතු වෙන්න කියල තමන් ගොඩක් ආදරේ කළ තමන්ගෙ පෙම්වතියට කියන මේ පෙම්වතා අද කාලෙ ආත්මාර්තකාමී පෙම්වතුන්ට, පෙම්වතියන්ට කොයි තරම්නම් ආදර්ශයක්ද කියල මට හිතෙනව..
බහුතරයක් තමන්ගෙ පෙම්වතිය විශ්ව විද්‍යාලයට යනවට අකමැතියි...ගොඩක් අය තමන් ආදරය කල කෙනා තමන්ගෙන් වෙන් උනොත් කරන්නෙ පලි ගන්න එක... ඒ කාලෙ ගත්ත පින්තූර විකෘති කරල ප්‍රසිද්ද කරනව. එහෙමත් නැත්නම් දුරකතන මගින් තර්ජනය කරනව... සමහරු තමන් කාලාන්තරයක් ආදරේ කල කෙනාව මරලත් දානව...
ඒත් එහෙම වන සිව්පාවුන්, වැනි මිනිසුන් මැද, මේ වගේ දෙවි දේවතාවන් වගේ මිනිස්සුත් ඉන්නව..


කොහොම වෙතත්, ධම්මික බණ්ඩාර අතින් ලියවෙච්ච මේ ගීතය ඉතා සංවේදී සත්‍යය කතාවක් ගැබ් වෙච්ච, හරිම අපූරු ගීයක්..

ගී පද මාලාව : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
ගායනය : අමරසිරි පීරිස්

ධම්මික බණ්ඩාරගේ මේ අත්දැකීම පුවත්පතට ලියල තිබුණෙ අජිත් අලහකෝන් කියල කෙනෙක්.. පුවත්පතනම් මොකද්ද කියල සඳහනක් තිබුනෙ නෑ.