ඉන්න ඇත්තො

6 [114] දයාබර ගයනි, පෝල්...


පෝල් වෝකර් කියන්නෙ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්. ඒ නම නොදන්න පොඩි එකෙක්වත් නැති තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, කොටස් 6කින් සමන්විත "The Fast and the Furious" නම් සිනමා කෘතිය නිසා. එහි Brian O'Conner  නම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔහු නිසා.

ඒ නම නොදන්න ඕනෙම කෙනෙක් ඉන්නවනම්. ගූගල් සොයනයේ ඒ නම සඳහන් කරන්න. ඕනෙම කෙනෙක්ට, එයගෙ උපතෙ ඉඳන්, විපත වෙනකල් ඕනෙම විස්තරයක් හොයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාගෙ දුව, පෙම්වතිය, ගෙදර සුරතල් බල්ල ගැන, ඕනෙම් දෙයක්.
(ඒක තමා ප්‍රසිද්ධ නලුවෙක්, නිලියක්ගෙ තත්වය. සමහර වෙලාවට කිසිම පුද්ගලිකත්වයක් නැති තරමටම ඒක සිද්ධ වෙනව.)

එතකොට ගයනි විශාකා ලියනගේ කියන්නෙ කවුද? එයා ගැන කී දෙනෙක් දන්නවද?
ගූගල් සොයනයේ මේ නම සඳහන් කළොත්, අමාරුවෙන් වෙබ් පිටු 4කට යන්න අවස්ථාව හම්බෙනව. බොහොම අමාරුවෙන් ඇගේ ඡායාරූප 2ක් හොයා ගන්න පුළුවන් වුනා.
පහුගිය කාලෙ මූණු පොත පුරා පෝල් වෝකර්ට නිවන් සුව පතපු අපේ අයගෙන් කී දෙනෙක් ම්ව ගයනි වෙනුවෙන් නිවන් සුව පැතුවද? අඩුම තරමෙ ඈ ගැන ලියවුනු පුතවක අන් අය එක්ක බෙදා ගත්තද?
කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ නෑ කියන එක නේද?

කවුද මේ ගයනි විශාකා ලියනගේ?

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය, වර්ෂ 2015 උසස්පෙළ හදාරන්න සූදානම් වෙමින් හිටිය, ඊයේ දිනයේ තමන්ගෙ 17 වෙනි උපන්දිය සමරන ඒත්... අකාරුණික රියදුරෙකුගේ වරදින් මෙලොව හැර ගිය අහිංසක චරිතයක්.

මොකද්ද මේ දෙන්නගෙ ඇති සම්භන්ධය? ඇයි මම මේ දෙන්න ගැන එකට ලියන්නෙ? ඔයාලට එහෙම හිතුන නේද? 

පෝල් වෝකර්  ගැන නම් මම හිතන්නෙ කියන්න ඕනෙ වෙන එකක් නෑ. මොකද එයා ගැන දන්නව හැම කෙනෙක්ම. නොදන්න කෙනෙක් ඉන්නවනම්, එයා අනිත් නළු-නිලියන්ට වඩා ටිකක් වෙනස්, තමන්ගෙ ආදායමෙන් 60%ක් විතරම වගේ දුගී, දුප්පතුන් වෙනුවෙන් වැය කළ, ලෝකයේ විශාලම අසරණ-සරණ සේවාවක් කළ අයෙක්. ස්වභාවික විපත් වලින් අසරණ අය වෙනුවෙන් ඔහු විශාල සේවාවක් කළ අයෙක්. මිය යන විටත් පිලිපීනයේ පහුගිය දා ඇතිවෙච්ච ව්‍යසනයක් වෙනුවෙන් අරමුදල් රැස් කරමින් ඉඳල තියෙන්නෙ.

එතකොට ගයනි විශාකා ලියනගේ...
සිද්ධ වෙච්ච බරපතල අනතුරෙන් ජීවිතයත් මරණයත් සමග පොරබදපු ගයනිගේ මොළය මියගිය බව වෛද්‍යවරු තහවුරු කිරීමත් සමග අතිශය කම්පාවට පත් ඇගේ දෙමව්පිය දෙපළ, ගයනිගේ අවයව තවත් ජීවත් වීමට වරම් ඇති අය වෙනුවෙන් දන් දීමට තීරණය කළා. ඒ අනුව අගේ අක්මාව, ඇස් වෙනත් අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමේ කටයුතු සැලසුම් කලා.
ගයනි උපදින මතු ආත්මයක මෙවන් අකල් මරණ නොවන්නට පින් අත් වන්නට ඒ මහගු පින හේතුවන්න කියල ඒ දෙමව්පියන් ප්‍රාර්ථනා කලා.

එහෙම බලපුවාම පෝල් වෝකර් සහ ගයනි විශාකා යන දෙදෙනාම එක සමානය. (ඔවුන් දෙදෙනා මිය යන්නේද වෙගය නිසාමය.) වෝකර් තමන් හම්බ කළ දෙයින් තවත් ජීවිත ජීවත් කරා. ගයනි.. ඇගේ ජීවිතෙන් තවත් ජීවිත ජීවත් කරා. පෙනීම දුන්න. ඒ අතින් ඒ දෙන්නම අති විශිෂ්ඨයි. අමරණීයයි.

ඒත්....
අපිට අමතක වුනා...
අපේ රටේම ජීවත් වුන ඒ පුංචි කෙල්ල අපිට අමතක වුනා...
පෝල් වෝකර් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරනකොට, 
මේ ගයනි වෙනුවෙන් එක පහනක්වත් පත්තු කරන්න අපිට අමතක වුනා....
එදා මයිකල් ජැක්සන් මිය ගියාම පැය ගනන් වැඩසටහන් කළ සමහර මාධ්‍ය වලට, මේ අසරණ කෙල්ල අමතක වුනා...

දයාබර ගයනි, පෝල්...

ඔබ දෙදෙනාම කලා වූ මේ මහා කුසලකර්ම බලයෙන්, මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණ උරුම නොවේවා... 
ඔබ දෙපලටම නිවන් සුව.



3 [113] වේයන්, මීයන් සහ නෑයන්

මීයා, වේයා, නෑයා.... 
බැලූ බැල්මට නම් ඉතින් මේ තුන් දෙනාගෙ සමාන කමක් හිතන්න හරි අමාරුයි ටිකක්. එකම දේ මේ තුන් දෙනාම සත්තු 3 දෙනෙක්... නමට අකුරු 2යි. තුන් දෙනාගෙම නම ඉවර වෙන්නෙ "යා" කියන එකෙන්.. ඒක තමා තියෙන සමාන කම.

ටිකක් වැඩියෙන් හිතල බලමු... මොකද්ද ඇති සමාන කම..?

ඊට කලින් කියන්නම්...

මම මේ ළඟදි දවසක කුරුණෑගල ඉඳල පොල්ගහවෙලට ගිය බස් එකේ ගහල තිබුණ එක වැකියක් තදින්ම මගේ හිතට වැදුන..

ඒක දැක්කමනම් මටත් හිතුන හැබෑම නේද කියල..
ඒ වැකිය තමයි.....

"වේයයි, මීයයි, නෑයයි තමයි අපිව කන්නෙ" 

වේයා - අපේ වටින කියන ගෘහභාණ්ඩ, ලිය කියවිලි කනව. 
මීයා - අපිට වටින කියන ලියකියවිලි කනව. 
නෑයා - අපේ අඟේ ඉඳන් කන කනව.

මේ තුන් දෙනාම මේ දේ කරන්නෙ කොහොමද? අපිට නොතේරෙන්න.. 
අපිට ඒ දේවල් නැති වෙලා කියල අපි දැන ගන්නකොට, ගොඩක් පරක්කු වැඩී. මොකද පිටින් ඒ දේවල් විනාශ වෙලා නෑ වගේ අපිට පේන්නෙ. 
ඒත් විපරම් කරල බැලුවම...

අනේ අපොයි.... ගන්න දෙයක් නෑ
වටින කියන හැමදේම නැති වෙලා...

ඉතින්....

ප්‍රවේසමෙන්...!!!

1 ස්තුතියි...

එදා තෙල් ගහන්න ගිහින් වෙච්ච දේ වගේම, ඊට පස්සෙ කතාවත් කියන එක යුතුකමනෙ.. නැත්නම් සාධාරණ නෑනෙ.
පැමිණිල්ල කරන්න මම උදේ ගත්ත කෝල් එකක්. ඒ ගමන පිරවුම්හලේ කළමණාකරු ආපහු ගත්ත මට.
අරගෙන සම්පූර්ණ සිද්ධියම මගෙන් අහගෙන, අදාල පුද්ගලයට කතා කරල, ආයෙ මට ගන්නම් කියල තිබ්බ. 

ඊට විනාඩි 10කට විතර පස්සෙ ආයෙම ආව දුරකථන ඇමතුම.
අදාල සිද්ධි දෙකම හොයල, කතා කරල මට ගත්ත  කියල තමා කීවෙ.
සිද්ධි දෙකේම වරද පිළිගත්ත. ආයතන සේවකයො හොර කරල කියල පිළිගත්ත. දෙන්න ඕනෙ දඬුවම මොකද්ද කියලත් මගෙන් ඇහුව. ඔවුන් රැකියාවෙන් නෙරපන්න තීරණය කලා කියල තමා කීවෙ. ඒත් මගෙ අදහස උනේ අවවාද කරල, තියා ගන්න එක රස්සාවක් නැති කරනවට වඩා. හැබැයි ඒ සිද්ධිය ආයෙ වෙන්න බෑ.
ඒ ගමන ඒකට එකඟ උනා. ඒ වගේම මේ වගේ දේවල් වලක්වන්න පියවර 2ක් ගැන කීව. එකක් ආරක්ෂක කැමරා සවි කරන එක. අනික තෙල් සංස්ථාවට දන්වා යන්ත්‍ර වල වෙනසක් සිදු කිරීම. ඒ දෙකම ඉදිරි සතිය ඇතුලත වෙන බවත් සඳහන් කලා.
එසේ නොවුනහොත්, ඒ පිළිබඳව පියවර ගන්න බව මා සඳහන් කල විට ඔහු එයටද එකඟ උනා.

තව එක දෙයක් ඔයාල වෙනුවෙන් සඳහන් කරන්න ඕනෙ.
එම යන්ත්‍රයක,ඕනෑම වෙලාවක, අන්තිම ඉන්ධන සැපයුම් 5 නැවත පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ඔහු සඳහන් කලා. (වැදගත් පුවතක්)

දැන් ඒ සුදුසු පියවර ගන්නේදැයි මම ඇහැ ගහගෙන ඉන්නෙ... බලමුකො...
කොහොම වෙතත් වරද පිළිගැනීම ගැන සතුටු වෙනව.
ඒක ලොකු දෙයක්...

7 [112] ප්‍රවේසම් වෙන්න...

මේක කියන්න හිතුවෙ ඔයාලටත් පරිස්සම් වෙන්න. අද කාලෙ රුපියලත් ගොඩක් වටිනවනෙ. ඒ නිසා හරියට හොරු. එහෙම නැතුව මේ කියන ආයතන එක්ක මගෙ කිසිම පුද්ගලික තරහක් නෑ. අඩුම තරමින් එහි හිමි කරුවත් මා නොදනී. හුදෙක් සියලු දෙනාගේ යහපත් උදෙසා දැනගැනීම පිණිස පමණි.

මේක කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉන්න අයට විශේෂයි. ඒත් කුරුණෑගල හරහා ගමන් යන පිට පළාත් වල අයටත් වැදගත් වෙයි. කුරුණෑගල - කොළඹ පාරෙ තමන්ගෙ රථයට පෙට්‍රල් ගහන අයටයි මේ පණිවිඩය.
 

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල් වල ලොකුවට ගහල තියෙන්නෙ "ඉන්ධන පිරවීමට පෙර මීටරය "0" දැයි හොඳින් බලන්න" කියලනෙ.
 

සිද්ධිය මෙහෙමයි.
 

දිනය : 2013-02-21
වේලාව : පස්වරු 8.20ට පමණ
ස්ථානය : කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හල. (සිපෙට්කෝ අනුබද්ධ)

අද පස්වරු 8.20ට පමණ මෝටර් රථයට ඉන්ධන පිරවීමට ගිය මම රුපියල් 1000 නෝට්ටුවක් දී 1000ක ඉන්ධන ඉල්ලුව. යන්ත්‍රයේ 1000 සටහන් කල කොලුවා මෝටර් රථයට තෙල් ගහන අතර මම දුරකථනය පරික්ෂා කලා. ඒ අතර එක වරම "මහත්තය සල්ලි දුන්නද?" කියල අහපු කොල්ල, ආපසු "සොරි අමතක උනා" කියන සැනින්, යන්ත්‍රය නතර උනා. 


එහි රුපියල් 1000 සටහන් උනත්, ලීටර් ගණන සඳහන් වී තිබුනේ ලීටර 50 ලෙසින්.
 

දන්නා තරමින් රුපියල් දහසට පෙට්‍රල් ලීටර 50 ගැසිය නොහැකිය.
 
ඒ ගැන ප්‍රශ්ණ කලේ වෙනත් අයෙකුට ඉන්ධන ගහන්න ගිය එක බලෙන් නතර කරමිනි. ඔහුගේ පිළිතුර වුයේ "1000 උඩ තියෙනවනෙ, හරිනෙ" කියන එකයි. වාහනෙන් බැස්ස මම නැවත ඔහුගෙන් ප්‍රශ්ණ කල විට පිරවුම් හලේ වෙනත් අයෙක් විත්, යන්ත්‍රය පරීක්ෂා කලවිට එහි සටහන් වූයේ රුපියල් 531ක ඉන්ධන සැපයූ බවකි. එසේ පරික්ෂා කිරීමට එන විටත් ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් නිසි පරිදි ඉන්ධන සැපයූ බවයි. ඉන් පසු වහාම ඉතිරි ඉන්ධන සැපයූ ඔවුන් ප්‍රශ්ණය එතනින් වසා දැමීය. ඔවුන්ට එසේ වීමට නිසි පිළිතුරක් නොවීය. බොරු හේතු සියයක් විය.

නමුත් මීට දින කීපයකට පෙර මගේ පියා 1000ක ඉන්ධන ගැසූ විටත් රථයේ එතරම් ඉන්ධන පිරවූ බවක් පෙන්නුම් නොකල බව මට මතකය. ඒත් මේ ඉන්ධන පිරවුම් හලෙන්මය.
ඉන්ධන පිරවීමට පෙර "0" පරික්ෂා කරන අපි, අවසන් වූ පසු මුදල පරික්ෂා කරයි. එසේ නැත්නම් ඔහු විස්වාස කර ගමන අරඹයි. ඉන්ධන පුරවන අතර අපේ කතා, ලොතරැයි මිලදී ගැනීම වැනි දෑ කරයි.
ප්‍රවේසම් වෙන්න...
 

අන් ඉන්ධන පිරවුම්හල් ගැන කීමට නොදනිමි. එහෙත්, කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හලෙන් එම සිද්ධිය දෙවතාවක්ම සිදු විය. එය ඔබටත් සිදුවීමට බොහෝ ඉඩ ඇත. 
කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා විට අන් කිසි දෙයක් නොව, මීටර දෙසම බලා සිටින්න.. නැත්නම් ඔබේ පොකට්ටුවට ඔවුන් තට්ටු කරනවා පමණක් නොව, නොසිතූ පරිදි මග සිටීමටද සිදු විය හැක.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සංගම් ඇත. එහෙත් ඉන්ධන ලබා ගන්නන්ට අසාධාරණයක් වූ තැන ඔවුන්ට සංගම් නැත. පිළිසරණක්ද නැත. ඒ නිසා මේ පිළිබඳව ඔබේ මිතුරු-මිතුරියන් දැනුවත් කරන්න.

2 [111] ගීයකින් ලියමි... ආයෙමත් ආදරෙන්


"මිරිඟුවක හිත තියලා... නුඹ දුරක ඇදුනා... රංචු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා... ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැඳුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...."

ගීයට පසු වදනක්...


මුලින්ම කියන්න ඕනෙ මේක සම්පූර්ණ කතාව ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ ගැන ලියපු කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කරුණාකරල සඳහන් කරන්න. මමත් ආසයි ඒක දැන ගන්න. 
මොකද මම මේ කතාවට සම්බන්ධ උනේ අතර මගකින්. ඉතින් "හන්තානට පායන සඳ" පසු කතාව ලීව වගේ මේක ලියන්න බෑ. 
ඒත් මේ ගැන වචනයක් හරි ලියන්න ඕනෙ.

රචිතා වාකිෂ්ඨත් මේක ලියල තියෙන්නෙ  සරසවියෙ වෙච්ච ඇත්ත කතාවක් ඇසුරෙන් කියල තමා කීවෙ.

පහුගිය දවසක රූපවාහිනී චැනල් එකකට ඇවිත් හිටිය මේ ගීය ගායනය කරන ආත්මා ලියනගේ. එයා තමා මේ කතාව කීවෙ.මම ඒ වැඩසටහන බලන්න වාඩි උනේ මගදි. ඒත් ඒකෙ කීව විදියට;

ගමෙන් ආව අහිංසක තරුණයෙක්, නුවරින් ආව මිල මුදල් තියෙන, තරුණියකට ආදරේ කරනව. ගමෙන් ආව අහිංසක තරුණය අවංකව ආදරේ කරනව.
ආදරේ කරන අතරෙදි සරසවියෙ තියෙන  "සිත් කවිය" බිත්ති සඟරාවට මේ තරුණය ආදර කවි ලීව. හැමදාම.
ඒ අතරෙදි එක පාරම ඒ ආදර කවි "සිත් කවියෙ" දකින්න නැති වෙනව. දෙමව්පියන්ගෙ බලපෑමට හරි, මිල මුදල් නිසා හරි ගොඩක් ආදරෙන් ඉන්න මේ දෙන්න විරසක වෙනව. ඒ තරුණිය ඔහුගෙන් ඇත් වෙනව.
ඒ වෙනුවෙන් ඒ තරුණයගෙ අකුරෙන් විරහ පද වැල් ලියවෙනව "සිත් කවියෙ".

මෙහෙම කාලයක් ඉන්නකොට ආයෙමත් මේ දෙන්න එකතු වෙන්ව. ඒත් මේ තරුණයට ඒක හරි පුදුමයක්. තරුණය ආයෙමත් නිසඳැසක් ලියනව,

ඒ නිසඳැසේ අවසාන වෙන්නෙ."ඔබ මගේ ජීවිතයට ආයෙ ආවා, ඒත් ආයේ යයිද කියලා සැකයි "

මේ සරසවියෙම අකුරු කරන රචිතා වාකිෂ්ඨ (චන්ද්‍රා වාකිෂ්ඨගේ දියණිය) මේ නිසඳැස ඇසුරු කරගෙන  තිලිණ රුහුණගේ එක්ක එකතු වෙලා ආත්මා ලියනගේ ගායනා කරන මෙන්න මේ අපූරු ගීය නිර්මාණය කරනව. 

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.

3 [110] මට සමාවෙන්න...

"මට සමාවෙන්න"

"ඇයි..? මොකටද..? ඔයා මට කිසි වරදක් කළේ නෑනෙ...."
 

"මට සමාවෙන්න. මම ඔයාට ගොඩක් රිද්දනව. ඔයා මං නිසා ගොඩක් දුක් විඳිනව. මම වරදක් කරන හැම වෙලාවකම ඒක මකල දාන්න ඔයා මගේ ළඟ ඉන්නව හෙවනැල්ල වගේ. ඒත් මම කරන වරදක් මකන වාරයක් වාරයක් ගානෙ ඔයාට ඔයාව නැති වෙලා යනව. "
 

"ඒක ඇත්ත. ඒත් මම ඒක හිතන්නෙ නෑ. මම ඉපදිලා ඉන්නෙ ඒකට. මම ඉපදුනේ ඔයාට උදව් කරන්න ඔයාට ඕනෙ වෙලවට. මම ඔයා එක්ක ඉන්නව හැම වෙලේම. ඔයාට උදව් කරන එක මට සතුටක්.මම දන්නව මට ඔයා දාල යන්න වෙන බව දවසක. ඒත් මම එදා වෙනකල් ඉන්නව. මම නැති දවසට අලුත් කෙනෙක් ඉඳී ඔයා ගාව. මම සතුටු වෙනව මම ඔයා වෙනුවෙන් කරන දේ ගැන. දුක් වෙන්න එපා. මට බෑ ඔයා දුකෙන් ඉන්නව බලාගෙන ඉන්න."

මකනයක්, පැන්සලක් අතර දවසක ඇති වෙච්ච මේ දෙබස මට එව්වෙ මගේ ලඟින්ම හිටිය මගේ යාලුවෙක්. (මම කියන මගේ එකෙක්.) මේකත් තව එක ඊයක්. අහම්බෙන් පරණ ඊ පිළිවෙළ කරද්දි මට මේක හම්බෙලා කියවද්දි ඇස් ටිකක් බොඳ වුනා. මට හිතුන මේක ඔයාල එක්ක බෙදා ගන්න. ගොඩක දවසකින් දෙයක් ලීවෙත් නැති නිසා ඔන්න මේක ලීව.
නිකන්ම කියවල යන්න එපා. මොනව හරි හිතෙන දෙයක් ලියල යන්න. අපිට ගොඩක්ම ආදරේ කරන, අපේ දුක දුකක් විදියට හිතන, ඒ දුක නැති කරන්න උත්සාහ කරන ඕනෙම කෙනෙක්ට මේ දෙබස apply කරන්න පුලුවන්. හිතල බලන්න.