ඉන්න ඇත්තො

7 සිරිපාලගෙ මුරුංග..

මම පොඩි කාලෙ අහපු කතාවක් ලියන්න හිතුන.... කතාව සරල උනාට අර්ථය ගොඩක් හොඳයි කියල හිතුන..

කතා නායකයට අපි සිරිපාල කියමුකො..

සිරිපාලගෙ ගෙදර ඉස්සරහ කඩුල්ල අයිනෙ මුරුංග ගහක් තිබුණ.  කඩුල්ල කීවම දන්නවනෙ ඉතින් අර හරහට උණ ලී දාල වහන කඩුල්ල. හරියටම කඩුල්ල මායිම මුරුංග ගහ... ගෙදර බයිසිකලයක් විතරක් තිබුන හින්ද, පොඩි කඩුල්ලක් තිබුනෙ...
දවසක් සිරිපාල පිල උඩ වාඩි වෙලා ඉන්න ගමන් කල්පනාවක් ආව. (දන්නවනෙ ඉතින් අපේ හිත කියන එක හිතන්න ගත්තම මේ ලෝකෙ නැති දේවල් හිතනවනෙ... ඒ වෙලාවට සීමා මායිම් නෑනෙ.)

හිත ගැන වෙන දවසක කියන්නම්කො... දැන් ඉතින් සිරිපාලගෙ කතාව කියන්නම්..

මුරුංග ගහ කීවට තාම ඉතින් පොඩි ගහ. ඵල දරන්න මල් පිපිලත් නෑ. සිරිපාලට කල්පනා උනා මුරුංග ගහ ඵල දරන්න ගත්තම මුරුංග ටිකක් කඩාගෙන බයිසිකලෙන් හංදියෙ කඩේට මුරුංග ටිකක් විකුණන්න පුලුවන් නේද කියල.
"අප්පට සිරි පළවෙනි මුරුංග මුරේ හැදුන ගමන් කඩල හංදියෙ කඩේට ගිහින් දාන්න ඕනෙ. ඒකෙන් තරමක ආදායමක් ගන්න ඇහැකි." සිරිපාල හිතුව.
"හ්හ්හ්ම්... නියමයි... ඒ හම්බෙන සල්ලි ඉතුරු කරන්න ඕනෙ. දියුණු වෙන්නනම් ඉතින් එහෙම ඉතුරු කරන්න එපායැ." සිරිපාල හිතුව.
"ඒ ගමන්ම තව මුරුංග ගස් ටිකක් හදන්න ඕනෙ... එතකොට වැඩි අස්වැන්නක් ගන්න පුලුවන්... එතකොට වැඩි වැඩියෙන් සල්ලි හොයන්න පුලුවන්. වැඩි වැඩියෙන් ඉතුරු කරන්නත් පුලුවන්... ඉක්මනට දියුණු වෙන්නත් පුලුවන්." සිරිපාලට හිනාවකුත් ගියා.
ඒ ගමන සිලරිපාලට කල්පනා උනා, මුරුංග වෙළඳාම දියුණු හින්ද පොඩි ලොරියක් ගන්න. එතකොට පුලුවන්නෙ මුරුංග අරන් පොළට වෙළඳාමෙ යන්නත්. එහෙම උනාම වෙන ගම් වල පොළවල් වලටත් මුරුංග අරන් යන්න පුලුවන්..
එතකොට ඉතින් ගෙපැල ටිකක් ලොකුවට හදල, පිළිවෙලකට මුරුංග මුදලාලි විදියට ඉන්න පුලුවන්. 
සිරිපාලට හරි ආඩම්බරකාර හිනාවකුත් ගියා.
සිරිපාල පිලෙන් නැගිටල මිදුලට බැස්ස.. ගේත් හදල, ලොරිය වත්ත ඇතුලෙ නවත්තන්නෙ කොතනද කියල බලන්න.... මොක්ද ඉතින් මුදලාලිගෙ ලොරිය පාරෙ තියන්නත් බෑනෙ.
"අප්පට සිරි... කොහොමද ඉතින් ලොරිය වත්තට ගන්නෙ..?" සිරිපාල ඔලුවත් කහ කහ කල්පනා කරන්න උනා..
කඩුල්ල පොඩිනෙ... ලොකු ගේට්ටුවක් දාන්න ඕනෙ... 
"මේ පොඩි කඩුල්ලෙන් කොහොමද ලොරිය ගන්නෙ.."


එහෙනම් ඉතින් මේ ගස් ටික කපල කඩුල්ල ලොකු කරන්න ඕනෙ කියල හිතපු සිරිපාල, කුස්සියට ගිහින් මන්නෙ අරන් මුරුංග ගහ කපල පටන් ගත්ත කඩුල්ල ලොකු කරන්න...
"අපොයි දෙවියනේ...!"
මුරුංග ගහ බිමට පාත් උනාට පස්සෙනෙ සිරිපාල පියවි සිහියට ආවෙ..

3 මං ආසා ගී - පායා ඇයි හිනැහෙන්නේ

පායා ඇයි හිනැහෙන්නේ 
නිල් ගුවනේ තරු රාසී නැති වී... 
නැතිවී... නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ...

ඇගෙ වත මට නොපෙනේ නම් 
පුන් සඳ ඇයි හිනැහෙන්නේ
නැති දා ඇගෙ ගී රාවේ 
කොවුලනි ඇයි ගී ගැයුවේ...

වනයේ පිපි මල් ගොමුවේ 
සමනලයනි ඇයි නැටුවේ
නැතිවී... නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල්වන් දෙනෙතේ කාන්තී
පායා ඇයි හිනැහෙන්නේ...

ඇගෙ දිමුතු දසන් නොපෙනී 
මට මොකටද මුතු පන්තී 
ඇගෙ කඳුළැලි නැති විටදී 
ඕනෑ නෑ දියමන්තී...

එච් ආර් ජෝතිපාලයන් ගායනා කරන මේ සින්දුව අද මම උදේ කෝච්චියෙ යන ගමන් ඇහුව. ටිකක් විතර ඒ කටහඬට සමාන විදියට මේ ගීතය ගායනා කලා කෙනෙක්.. ඇත්තටම උදේ කෝච්චියෙ යකඩ සද්දෙ අහගෙන යන අයට ඒක ලොකු සහනයක් වෙන්න ඇති.. කාටවත් කරදරයක් වෙන්නෙ නැති විදියට ගායනා කල නිසාත්, ඇත්තටම ලස්සනට ගායනා කල නිසාත් වෙන්න ඇති ගොඩක් අය සල්ලි දුන්න... තේරුමක් දැනුනෙ නැති උනත් එක විදේශිකයෙකුත් සල්ලි දුන්න..
ඇත්තටම මමත් ආස ගීයක්. පුරුදු විදියට යූ ටියුබ් එකේ ගීය හොයද්දි හම්බුනා ඒකෙ අලුත් වෙලුම. ඒත් ඒකනම් පරණ එක වගේ ලස්සන නෑ... මේ ගීයට ගැළපෙන්නෙ ජෝතිපාල කටහඬම තමයි. සින්දු දෙකේ වෙනස ඔයාලම බලන්නකො.

අලුත් එක අහන්න
පරණ එක අහන්න

4 ඇයි අපිට අමතක..?

අද මම හවස (ඇත්තටමනම් ඊයෙ 17 වෙනිද) කෝච්චිය එනකල් ඉන්නකොට මට පරණ සිද්දියක් මතක් උනා.. කතාව දික් වෙන්නෙ නැති වෙන්න කියන්නම්... 
ගොඩක් කාලෙකට ඉස්සර මහ පරණම යාලුවෙක් හම්බුනා ටවුමෙදි.. මම හිතන්නෙ අවුරුදු 10කින් විතර හම්බුනේ.. ඒ හම්බෙනකොට යාලුවගෙ වෑන් එකේ කුණු ගෑවිච්ච බල්ලෙක් හිටිය. පෙනුමෙන්නම් ටවුමෙ දඩවතේ යන එකෙක් වගේ.. යාලුව එක්ක විස්තර කතා කරන ගමන් මම බල්ල දිහා බලන නිසා යාලුව කතාව කීව. ඒ එයාලගෙ ගෙදර ඇති කරපු බල්ලෙක්ලු..ඒත් අවුරුදු 2කට විතර කලින් බල්ල ආගිය අතක් නෑලු.. මැරිල කියල තම අගෙදර අය හිතල තියෙන්නෙ.. එදා යාලුව ටවුමට ඇවිත් බැංකුවටද කොහෙද ගිය වෙලාවක, බල්ලෙක් ආවලු වලිගෙ වනගෙන. (ඔයාල දන්නවනෙ බල්ලො තිරිසනා උනත් තමන්ගෙ ස්වාමියා ගොඩක් දවසකින් දැක්කම දක්වන ප්‍රතිචාර) පෙනුම ගෙදර හිටිය එකා වගේ නිසා නම කීවලු.. අනේ මෙන්න බල්ල ඇවිත් ඉස්සර වගේම කරට නැග්ගලු. (කරට කීවම දන්නවනෙ. නැත්නම් ඒකත් අහයි)දැන් ඉතින් ගෙදර අරන් යනව.. බල්ලත් වෑන් එකේ අයිතිකාරය වගේ ඉන්නව..
බලන්න තිරිසනා උනත් තමන්ට කන්න දුන්න මනුස්සයට දක්වන ලෙන්ගතුකම. ඒ සතාට අවුරුදු ගානක් ගිහිනුත් කළ ගුණ අමතක වෙලා නෑ... ඇත්තටම බල්ල කියන සතා කළ ගුණ තියෙන, අමතක නොවෙන සතෙක්ලු.

ඒ අතින් ගත්තම මනුසතා නම් බල්ලට වඩා පහළ තත්වෙක තමයි ඉන්නෙ.. ඒක ඉතින් කොහොම උනත් කණගාටුවෙන් හරි අපි පිළිගන්න වෙනව.(ඇත්ත තිත්තයි තමා. ඒත් ඉතින් පිළිගන්න වෙනවනෙ.)
මිනිස්සු වෙන අපි අතරින් කීයන් කී දෙනාටද කළ ගුණ මතක තියෙන්නෙ...?
මේක ලියන මටත්, කියවන ඔයාලටත් අබමල් රේණුවක හරි උදව්වක් කළ කෙනෙක් අමතා වෙලාම නැද්ද..? හරි ඒ අමතක වීම අපි අමතක කරමුකො... අපිට අමතක වෙන්න පුළුවන්... ඒත් අපි කොච්චර මිනිස්සු අමතක කරනවද උවමනාවෙන්ම.
අපි අතර ජීවත් වෙන ගොඩක් දෙනෙක් කරන්නෙ තමන්ගෙ දේ කෙරුනට පස්සෙ උදව් කළ කෙනා අමතක කරල දානව. මම කියන්නෙ නෑ කෙනෙක් උදව්වක් ගත්ත පලියට ප්‍රති උපකාර කරන්නම ඕනෙ කියල.
"එයාට මම අර උදව්ව කලා, එයා මට මේක කරල දෙන්න ඕනෙ
අපි එහෙම හිතනව නම් ඇත්තටම අපි කරල තියෙන්නෙ උදව්වක් නෙවෙයි... ගණුදෙනුවක්.

ගණුදෙනුවක් කියන්නෙ ගැනීම සහ දීම. අපි ගන්න දේකට ආපහු දෙයක් දීම. ඉතින් උදව් කරනව කියල ආපහු දෙයක් බලාගෙන දෙයක් කරනවනම් ඇත්තටම ඒක නොකර ඉන්න එක වඩා හොඳයි. උදව්වක් කියල කියන්නෙ කෙනෙක්ට ඇත්තටම උදව්වක් වෙන්න ඕනෙ. ඒක කරා කියල ආයෙ තැන තැන ඒක කිය කිය යන්න ඕනෙ නෑ.
ඒත් මම කියන්න පටන් ගත්තෙ අද කාලෙ මිනිස්සු කරන්නෙ ලොකු රැවටීමක් කියල..ඒ කියන්නෙ, අපි කෙනෙක්ගෙන් උදව්වක් ගන්නකල් එයාට ගොඩක් කිට්ටුවෙන් ඉන්නව.. හරිම ලෙන්ගතුකම පෙන්නනව.. හොඳ යාලුවෙක් කියල ඒත්තු ගන්නනව... ඒත් ඒ ඔක්කොම තමන්ගෙ කාරිය කෙරෙන තුරු විතරමයි.

අර සිංහල කියමනක් තියෙන්නෙ " කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" කියල. ඒ කතාව සහතික ඇත්ත අද කාලෙ. ඕව කට කහනවට කියපු කතා නෙවෙයිනෙ... ඒ කියමන අදට හරියටම හරි.. මොකද බහුතරයක් කරන්නෙ තමන්ගෙ වැඩේ කර ගන්නකල් ලඟින් ඉන්නව.. ඉන් පස්සෙ උන්නද, මලාද කියල බලන්නෙ නෑ. (එහෙම බලන්න ඕනෙ නෑ.. ඒත් එහෙම කරන්න යුතුකමක් තියෙනව නෙද අපිට..?)

අපි පුරුදු වෙලා ඉන්නෙ මිනිස්සුන්ව පාවිච්චි කරන්න. තමන්ගෙ වැඩේ කරගන්න මිනිස්සුන්ව පාවිච්චි කරනව... ඊට පස්සෙ බැහැර කරනව.. නැත්නම් තමන්ට අවාසියක් වෙයි කියල. සමහරු ඉන්නව ජීවිතේ වටිනාම දේවල් තමන්ට ලඟා කරල දීපු අයවත් අයිම කරල දානව. මොකද ඉදිරියෙ දවසක තමන්ගෙ ජීවිතේට ඒ කෙනාම තර්ජනයක් වෙයි කියල. ඇත්තටමනම් ඒ මනුස්සයගෙන් එහෙම කිසිම හානියක් නෑ. ඒත් අපි හිතනව ඒ විදියට.

විශේෂයෙන් අපේ සමාජයෙ ලොකු , කුඩා ඕනෙම කෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ අන්න ඒ ක්‍රමේට ජීවත් වෙන්න. කෙනෙක් ලඟින් තියා ගත්ත තමන්ගෙ ජීවිතේ සමහර දේවල් කරගන්න... තමන් ඒ දේවල් ලබා ගත්තට පස්සෙ ඒ කෙනාව අයින් කරනව හරියට කල් ඉකුත් වෙච්ච දෙයක් විදියට... ආයෙ මලාට ඒ දිහා බලන්නෙ නෑ.. එහෙම අය හිටියට, ඉනවද, ඒ අයට මොකද උනේ කියලවත් බලන්න හිතන්නෙවත් නෑ.
ඇත්තටම හරිම දුකයි එහෙම සමාජයක ජීවත් වෙන්න උන එක ගැන.
ඔයාලත් හිතල බලන්න මම ඔය කියන විදියේ තත්වයක් ඇති උනොත් කොහොම වෙයිද..? අපිට කවද හරි දැනුනොත් අපි රැවටිලා, අපිව පාවිච්චි කරල කියල, ඇයි අපිට එහෙම උනේ, එහෙම කලේ.. කියල... මොනතරම් මානසික පීඩනයක් ඇති වෙයිද...?

මම මුලින් කීව කතාවෙ බල්ල වගේ අපිටත් පුලුවන්නම්, අපිට ආදරේ කරන, අපි එක්ක ඉන්න මිනිස්සු එක්ක හැමදාමත් ඉන්න... අපිට අබමල් රේනුවක තරමෙ හරි උදව්වක් කළ කෙනෙක් සදා මතකයේ තියා ගන්න (හැමදාම හායි, බායි ඕනෙ නෑ.. ඉඳල හිටල කොහොමද ජීවිතෙ කියල අහන්න.. ඒ ඇති) අපි සතුටු වෙනව තරම්ම ඒ අය සතුටු නොවුනත්, කළකිරෙන්නෙ නැති වෙයි නේද...? තමන් ගැනම ආඩම්බර වෙන්න පුලුවන් වෙයි නේද..?

4 හිත කීවොත් හරියි කියල විතරක් කරන්න

මේ රූපෙ දැක්කම මොකද හිතෙන්නෙ...???
රූපෙ පේනව පහලට වැටිල ඉන්න කෙනාව උඩ ඉන්න කෙනා අදිනව... දකුණු පැත්තෙ රූප වල තියෙනව ඒ වැටෙන කෙනාව ගොඩ ගන්න දෙවෙනියෙක් එලියෙන් උදව් කරනව..  තේරුම හරිම පැහැදිළියි.
අද මේක ලියන්න හිතුවෙ කියවන ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නත් එක්ක...
මට ගිය සතියෙ ආව මේල් එකක් තමයි මේක ලියන්නත් හේතුව. ඒ මේල් එකේම තමයි මේ පින්තූරෙත් තිබුනෙ. 
ඒ මේල් එකේ තිබුණ විදියටනම් දැන් අපේ රටේ ලේ බැංකු වල ලේ අඩුපාඩුවක් තියෙනව. හේතුව යුද්දෙ නැති නිසා දැන් ඉස්සර වගේ මිනිස්සු ලේ දන් දෙන්නෙ නෑ.. අනික ඒ ලිපියෙ විදියට අපි දන් දෙන ලේ වල ජීව කාලය එක මාසයක්. ඒකෙනුත් අලුත උපන් දරුවන්ට ලේ දෙන්න පුලුවන් අලුත්ම ලේ විතරයිලු.
ඉතින් එහෙම උනම හිතා ගන්න පුලුවන් නේද තියෙන තත්වෙ.?
මම ක්ලිනුත් මේ ගැන මොකක් හරි ලීව... මම ලේ දෙන්න ගිය දවසක ලේ බැංකුවෙ හිටිය කෙනෙකුත් කීව දැන් ලේ දෙනව අඩුයි කියල මිනිස්සු..




"ලේ බැංකුව හිස් ලු! ඇයි ඒ? දැන් යුද්දේ ඉවර නිසා, ගොඩක් මිනිස්සු ලේ දන් දෙන එක නවත්තලලු! 50% කට වඩා ලේ දන් දෙන අය අඩු වෙලා කියලා තමයි ලේ බැංකුවේ නිලධාරීන් කියන්නේ! විශේෂයෙන්ම අප්‍රේල් මාසේ ලේ ඇත්තෙම නැතිතරමට, බැංකුව හිස් වෙනවලු! මිනිස්සු වෙසක් දවසට, වෙනත් පෝය දවස් වලට, නත්තලට එහෙම වැල නොකැඩි ගිහින් දන් දෙන්නේ! එතකොට ඒවා රහත් වෙනවද? ලේ දන් දුන්නට,ඒ දෙන ලේ තියාගන්න පුළුවන් දවස් 30 ක් වගේ කාලයක් විතරයි! ඒ වගේම අලුත උපන් දරුවන්ට, දෙන්නේ අලුත්ම ලේ විතරයි! ඉතින් හැම දවස් දාහතරකට සැරයක්, ලේ බැංකුවට ලැබෙන අලුත්ම ලේ ටික, කාසල් මාතෘ රෝහල, කොළබ මහා රෝහල, රිජ්වේ ළමාරෝහල වගේ ඒවාට දීලා,ඒවායේ ඉතුරු වෙලා තියෙනවනම්, දවස් 14 වැඩි ලේ නැවත ගෙන්න ගන්නවලු, වැඩිමල් රෝගීන් සදහා අවශ්‍ය වෙලාවට රෝහල් වලට සපයන්න!"
 (මේ කොටස උපුටා ගත්තෙ මට ආව මේල් එකෙන්.)

ලේ දෙන එක ඇත්තටම ගොඩක් අමාරු කාර්යක් නෙවෙයි. අනික බය වෙන්න ඕනෙ දේකුත් නෙවෙයි. මේක කියවන ඔයාල මාව දැක්කොත් කියයි මට ලේ දෙන්න බෑ. ලේ දෙන්න ගියොත් මට ලේ දෙයි කියල. ඒත් නෑ.. මම දැනට 5 වතාවකට වඩා ලේ දීල තියෙනව. ඒ කිසිම වතාවක මට කිසි කරදරයක් වෙලා නෑ. එක සැරයක් මම කියන දේ අහන්නෙ නැතුව වැඩ කරල කලන්තයක් හැදෙන්න ගියා.. නැත්නම් කිසිම කරදරයක් වෙන්නෙ නෑ.. ඒක විස්වාසයි... අත්දැකීමෙන් කියන්නෙ. (ලේ දෙන්න යන්න බය කෙනෙක් ඉන්නවනම් එන්න නාරාහේන්පිටට සතියෙ දවසක... මම එන්නම් තනියට. මාව දැක්කම හිතෙයි මම කියන්නෙ බොරු නෙවෙයි කියල.)
අපි ජිවත් වෙන්නෙ පොඩි කාලයයි. ඒත් ඒ පොඩි කාලෙදි, අනුන්ට අන්චි අදින්නෙ නැතුව, අනුන්ට වල කපන්නෙ නැතුව අපිට පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න පුලුවන්නම් (අනිත් අයගෙ හිත රිද්දන්නෙ නැතුව) කොච්චර ලොකු දෙයක්ද...? කොච්චර ලොකු පිනක්ද..
ඒ වගේම මැරෙන්න ඉන්න ලෙඩෙක්ව ලේ ටිකක් දීල බේර ගන්න පුලුවන්නම් එක පැයකට හරි ඒක කොච්චර ලොකු පිනක් වෙයිද අපි මැරුනට පස්සෙ යන තැනකට.
අපි මැරුණම ගෙනියන්නෙ කළ හොඳ විතරයි.. එකතු කර ගත්ත පින් විතරයි.. ඉතුරු වෙන්නෙ හොඳ නම විතරයි.
අනිත් එකාට අන්චි ඇදල, වල කපල ලබා ගත්ත තානාන්තරවත්, හොයාපු සල්ලිවත්, සල්ලි වලින්, අනියම් දේවල් වලින් එකතු කරගත්ත නමවත්, මිනිස්සුවත් අපි යද්දි අරන් යන්නෙ නෑ.. අපිට අරන් යන්න බෑ.

මම කීවට කරන්න එපා...හිතල බලන්න. හිත කීවොත් හරියි කියල විතරක් කරන්න....

ප.ලි. : මට මේ මෙල් එකත් එවුවෙ නලින්ද .. නලින්දට ගොඩක් පින්. නලින්ද හැමදාම එවන්නෙ මේ වගේ හොඳ දෙයක්ම තමයි.


"නිරෝගී, වයස අවුරුදු 18 වැඩි, නියමිත බර ඇතිකෙනෙකුට, අවුරුද්දකට, හතර පාරක් ලේ දෙන්න පුළුවන්එකේ, හදිස්සියකදීතව කෙනෙක්ගේ ජිවිතයක් බේරගන්න පුළුවන් වෙන්න නිරෝගී අය, ලේ දන්දෙන්න යොමු වෙන්න කියලා මම කාරුණික ඉල්ලීමක් කරනවා, සියලුම බ්ලොග් කියවන්නන්ගෙන්! ඉතින් පුළුවන් අය පුළුවන් ඉක්මනට, ලේ ටිකක් දන් දීලා, කගේ හරි ජිවිතයක් බේරගන්න උදවුකරන්න! සමහර විට ඔයා බේරාගන්නේ මගේ ජිවිතේ වෙන්නත් පුළුවන් දවසක!"
(මේ කොටස උපුටා ගත්තෙ මට ආව මේල් එකෙන්.)

4 පැනල යන්නෙ නැතුව ඔටුවො අඳුන ගමු...

මේ ඡායාරූපය දිහා හොඳට බලන්න... (මේකත් මට යාලුවෙක් එවපු මේල් එකකින් ගත්ත එකක්... දැක්කම දෙයක් ලියන්නම හිතුන.)
මේක 2005 අවුරුද්දෙ හොඳම ඡායරූප අතරින් එකක්.
පේන විදියටනම් කාන්තාරෙ ඔටුවො යනව... උඩින් ගත්ත ෆොටෝ එකක්.. පොඩිවට හෙවනැළි තියෙනව. එහෙමනෙ ඔයාලාටත් හිතෙන්නෙ?
හරි මමත් හිතුවෙ එහෙමයි.... කලු පාටට ඔටුවො ඉන්නව. සුදු පාට උන්ගෙ හෙවනැළි කියල..ඒත් පොඩ්ඩක් හොඳට බැලුවොත් පේනව සුදු පාටට ඉන්නෙ ඔටුවො... කලු පාටට තියෙන්නෙ උන්ගෙ හෙවනැළි කියල... ඉර බහින වෙලාවක උඩින් ගත්ත ෆොටෝ එකක් නිසා තමයි අපි හිතන විදියට මේක පේන්නෙ. ඒත් හොඳට ළං වෙලා බැලුවම පේනව වෙනස...
මේල් එකේ තිබුණ දේම කියන්නම්.
සැබෑ ජීවිතෙත් අපි මූණ දෙන ගැටළුත් මේ වගේමයි..
මුලින් බැලුවම අපිට මහ මේරු පර්වතය වගේ ලොකුවට පේන ප්‍රශ්න ටිකක් කිට්ටු වෙලා ආයෙම බැලුවම තමයි පේන්නෙ   කොයි තරම් කුඩාද කියල..  ඒ නිසා ප්‍රශ්න වලින් පැනල යන්න එපා.
අපි හැම වෙලේම පුරුදු වෙලා ඉන්නෙ ප්‍රශ්නෙ දිහා උඩින් පල්ලෙන් බලල තීරණ ගන්න... එහෙම උනාම අපි කරන්නෙ ප්‍රශ්නෙට මූණ දෙනවට වඩා ප්‍රශ්නෙන් පැනල යන්න... නැත්නම් ප්‍රශ්නෙ මග අරින්න.. 
එහෙමත් නැත්නම් ප්‍රශ්නෙට මුල හොයල ඒ ගැන හිතල විසඳුම දෙනව නෙවේ... ඒකෙන් පැනල යන්න ඕනෙ විදියට ප්‍රශ්නෙ මගක් හිතල තීරණ ගන්න එක...  ඔය තුනම හරිම භයානකයි... මොකද එහෙම උනාම අපි ගොඩක් වෙලාවට කරන්නෙ බොරු කියන එක. බොරු කරන එක.. 90%ක්ම... ඔයාලත් ඔයාලගෙම හිතෙන් අහල බලන්න... හැබැයි අවංක වෙන්න තමන්ටම. (කාට වංක උනත් තමන්ට, තමන්ගෙ හෘද ශාක්ෂියට බොරු කරන්න බෑ. ඒක මැරෙණ මොහොතෙත් අපි පස්සෙන් එනව.) අපි කරන්නෙ මොකක් හරි බොරුවක් කියල, බොරුවක් කරල, අනිත් කෙනාව රවට්ටල ශේප් එකේ මාරු වෙනව. "මම දන්නෙ නෑ", "මට මතක නෑ" ඒ වගේ උත්තර තමා කටට එන්නෙ. හරි ලේසියෙන් එහෙම ප්‍රශ්න වලින් පැනල යනව..
ඇත්තටම ඒක කාට නැතත්, අපි අපිටම කරගන්න අසාධාරණයක්, පවක්, ලොකු හානියක්.
ඉතින් ඇයි අපිටත් බැරි උඩ තියෙන පින්තූරෙ ඔටුවන්ව අඳුන ගත්ත වගේ, ප්‍රශ්නෙට කිට්ටු වෙලා, හරියටම ප්‍රශ්නෙ අඳුන ගෙන, අවංකව , තමන්ගෙ හදවතට, හිතට එකඟව ප්‍රශ්නෙට මූණ දෙන්න.. කාවවත් රවට්ටල, බොරු කියල, බොරු කරල ප්‍රශ්නෙන් පැනල යන්නෙ නැතුව.
මොකෝ කියන්නෙ.? කරල බලමුද..? 
අවංකව කියන්නෙ... ජීවිතේ කවදාවත් වරදින්නෙ නෑ.


0 ගුණ මකුවා...

2012 අවුරුද්දෙ පළවෙනි පෝය දවස අද.... ඔන්න කොහොමින් හරි පන්සලකට ගියා.ගිය අවුරුද්දෙ අන්තිම දවසෙත් පන්සල් යන්න බැරි උනා.  හැබැයි දැන් ඉතින් පන්සල් නොගිය කියල නෑ.. එක එක චැනල් වල නා නා විද බණ යනවනෙ... සාදු කියන එක විතරයි තියෙන්නෙ.
අද මම මොකක් හරි වැඩක් කරන ගමන් ඇහුන චැනල් එකක් බණක්.. සම්පූර්ණ බණ මතක නෑ.. ඒත් ඒකෙ කියපු සමහර දේවල් මතකයි.. ඒක ඇහෙනකොට මට දෙයක් ලියන්න සිහි උනා.
මාතෘකාව නම් ටිකක් සැර වැඩිද මන්ද...
ඒත් ඉතින් මොනව කරන්නද...?

ගුණ + මැකුවා = ගුණමකුවා


අපිට සමාජයේ නිතර අහන්න ලැබෙන වචනයක් මේක. මම ලීව වගේ විසංධි කරල ලීවම හරිම සරලව තේරුම් ගන්න පුලුවන් තේරුම. අපි සමහර මිනිස්සුන්ව හඳුන්වන්න මේ නාම පදය පාවිච්චි කරනව...
ඒ කියන්නෙ කළ ගුණ මකා දමන කෙනාට කියන නාම පදයක් තමයි මේක.. "ගුණ මකුවා".
සිංහල අපිට කළ ගුණ සලකනව කියන එක සාමන්‍ය දෙයක්..අපේ ජීවිතත් එක්ක බැඳිල තියෙන දෙයක්. ඒක අපි අතරෙ තියෙන මනුස්සමේ එක ගුණාංගයක්..
තමන්ට කන්න වේලක් දුන්න කෙනෙක්, වතුර උගුරක් දීපු කෙනෙක්, තමන්ට අකුරක් හරි කියල දුන්නු කෙනෙක්, තමන්ට වචනෙකින් හරි උදව් කල කෙනෙක් වෙනුවෙන් කළ ගුණ සැලකීම අපේ පුරුද්දක්... ඇත්තටම කළ ගුණ සලකනව කියල මහ ලොකුවට දේවල් කරන්න ඕනෙ නෑ. ඒ කෙනා තමන්ට උදව්වක් කලා කියන එක මතක තියෙන එකත් ලොකු දෙයක්..
ඒත් අවාසනාවක තරම...
අද කාලෙ ජීවත් වෙන ගොඩක් අයට අන්න ඒ දේ අමතක වෙනව... 
මම හිතන්නෙ එක හේතුවක් වෙන්න ඇති රුසියාවට වඩා ලොකු ඉරිසියාව... 
අනික අපි දුවන රේස් එක..
අපිට කොයි තරම් උදව් කල කෙනෙක් උනත්, අපිට හරි ඉක්මනට අමතක වෙන්ව... ඒක හරිම ඉක්මනට වෙන්ව. ඇත්තටම හරි අවාසනාවක් ඒක..

තමන්ට කන්න අහක දාන පාන් කෑල්ලක දුන්න මනුස්සයෙක් දැක්කම වළිගෙ වනන්න තරම් තිරිසන් සතෙක් වෙන බල්ලට මතක තියේනම්, දි‍යුණුම සතා වන මනුසතාට ඇයි මේ තරම් ඉක්මනට කළ ගුණ අමතක වෙන්නෙ..?

කුණ කටුව කියන සතා විෂ සහිත සතෙක් වගේම ගුණ මකුවත් විෂ සහිතයි... 
එහෙනම් ඇයි අපි කුණකටුවෙක් වගේ ගුණමකුවෙක් වෙන්න හදන්නෙ විහින්..?

5 මං ආසා ගී - ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ  
ගී ගයමින් හිඳ මා තුරුලේ 
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ  මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින් 
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
 
ඇය යන්න ගියා මැකිලා

ගීය අහන්න ම, බලන්න මෙතැනින්

 කවදාවත් යළි නොඑන්න මැකී ගිය ඈ ගැන ගයන මේ ගීතයත් මං ආසම කරන ගායක අමරසිරි පීරිස් මහත්මයහෙ මං ආසම කරන ගීතයක්.. හන්තානට පායන සඳ ගීතය වගේම මේකටත් සැබෑ කතාවක් ඇති කියල මට හිතෙනව.. ඒත් මම ඒක දන්නෙ නෑ.. කොටින්ම මේ ගීය ලිව්වෙ කව්ද, සංගීතය කාගෙද කියලත් මම දන්නෙනම් නෑ. ඒත් මම ගොඩක්ම ආස ගීයක්. අර කලින් ගීයකට කීව වගේ, මේකත් කරුවලේ ඉඳගෙන අහද්දි ගොඩක් දැනෙයි... ඒක මේ ගායකයගෙ කට හඬට අනන්‍ය දෙයක්ද මන්ද...
ඔයාලත් එහෙම රස විඳල බලන්න...

0 යන්න ගියා මැකිලා...

ඉතින්, 2011 අවුරුද්ද ගෙවුන...
ගොඩක් දේවල් වෙච්ච අවුරුද්දක්... දුක, සතුට පිරිච්ච (සතුටට වඩා දුකද මන්ද...?) දවස් 365ක්. ඒ දවස් 365 පටන් ගත්ත ජනවාරි පළවෙනිද ඉඳල ඉවර වෙච්ච දෙසැම්බර් 31 වෙනිද වෙනකල් හැම සිදුවීමක්ම හොඳට මතකයි අද ඊයෙ වගේ.
ඒ කොයි හැටි වෙතත් ඉතින් අවුරුද්ද පටන් ගත්තනම් ඉවර කරන්නත් ඕනෙනෙ. කතාවක් තියෙනව පටන් ගන්න අවුරුද්දෙදි ලෝක විනාසෙ වෙනව කියල. ඒ කියන්නෙ 2012 දි... ඒක එහෙම නම් ඉතින් කරන්න දෙයක් නෑ.. ඒකටත් මූණ දෙන්න ඕනෙනෙ.
2011 අවුරුද්ද ඔයාල වෙනුවෙන් ලියපු දෙවල් ඔයාල කියෙව්ව කියල මම දන්නව... ඉතින් ලබන්නා වූ අලුත් අවුරුද්දෙදිත් ඔයාලට කියවන්න මොනව හරි හරවත් දෙයක් ලියන්නයි බලාපොරොත්තුව... 2011 ඉවර කරන දවසෙ හරි අපූරු අත්දැකීමක් ලැබුව. සයිබර් අවකාශයෙ හම්බ වෙච්ච යාලුවො කට්ටියක් එක්ක අපූරු ගමනක් ගියා... ඒකනම් ඇත්තටම හරි අපූරු අත්දැකීමක්...
ඉතින් .... ගෙවුණු අවුරුද්දෙදි මගෙ ළඟින්ම හිටිය මගේ පවුලෙ අයටත්, මගේම පවුලක් වගේ මගේ ළඟින් හිටිය මගේ යාලුවොනුත් මං වෙනුවෙන් කළ කී දෑ වෙනුවෙන් මම ලබන්නාවූ අවුරුද්ද සියලු රෝග නිවාරණය වන, සියලු සැප සම්පත් වලින් පිරි, සාමය - සතුට පිරි වාසනාවන්ත වන වසරක් ප්‍රාර්ථනා කරනව.
ලෝකයේ වෙනස් නොවන එකම දෙය "වෙනස් වීම" කියල කතාවක් තියෙනව... ඒ වගේම පරිසරය අනුව වෙනස් නොවන දේ වඳ වෙනව කියල දේකුත් තියෙනව. 
(අවට පරිසරය, ආශ්‍රය කරන අය හින්ද වෙන්ස් නොවෙන "මගේ විදිය" කලින් කීව දෙවෙනි වැකියට මාව ගෙනියයිද කියල වෙලාවකට හිතෙන්ව.. ඒත් ඉතින් කරන්නනම් දෙයක් නෑ.. මොකද මම චරිතාංග නලුවෙක් නොවෙන හින්ද)


මේක පළ කෙරෙනකොට අලුත් අවුරුද්ද ලබල සතියකුත් ගෙවිල ගිහින් හින්ද මම ආයෙමත් සුභ අලුත් අවුරුද්දක ප්‍රාර්ථ්නා කරනව ඔයාලට...
සියලු රෝග නිවාරණය වන, සියලු සැප සම්පත් වලින් පිරි, සාමය - සතුට පිරි වාසනාවන්ත වන වසරක් ඔයාල හැමෝටම...!!!