ඉන්න ඇත්තො

0 [109] මුහුදු පතුල යට ඉඳලා.....

හැමදාම ලියන දේවල් වලට වඩා ටිකක් වෙනස් දෙයක් ලියන්න අද හිතුන. මගේ අත්දැකීමක් ඔයාල එක්ක බෙදා ගන්නයි මේක ලියන්නෙ..
මම කාලයක් (බොහොම පොඩි කාලයක් - ගියෙනම් දීර්ඝ කාලයක් ඉන්න.. ඒත් එහෙ ඉන්න එක එපා වෙලා ආව මාස 6කින්) මාලදිවයිනේ රැකියාවකට ගිහින් හිටිය. අන්න ඒ කාලෙ මම ගොඩක් අත්දැකීම් ලැබුව. ගොඩාක් දේවල්... මිනිස්සු ගැන, ජීවිතේ ගැන, මිතුරන් ගැන, පරිසරය, මුහුද ඒ වගේ ගොඩක් දේවල්.
ඒ අතරෙ එක දවසක් මට අවස්ථාවක් ලැබුණ මුහුද යට සංචාරය කරන්න.
ලංකාවෙ ඉද්දි මම ගිහින් තිබුණෙ අඩියෙ වීදුරුවක් දාපු බෝට්ටුවක හික්කඩුවෙ කොරල් පර බලන්න විතරයි.. ඒ තමා මුහුද යට දැකල තිබුණ එකම අවස්ථාව.(හැබැහින්)
ඒත් මාලදිවයිනට ගියාම මම ඊට වඩා මුහුදු පතුලේ අසිරිය දැක්ක.. පාට පාට මාලු, විසිතුරු කොරල් පර, ලංකාවෙ සත්තු වත්තෙදිත්, රූපවාහිනියෙනුත් දැකපු දේවල් හැබැහින් දකින්න වාසනාව හිමි උනා මට.
සබ්මැරීනය මතුපිට පෙනුම
මාලදිවයිනට ගිය මුල්ම දවසෙ මම දැනගත්ත මාලදිවයිනේදි ඔක්ෂිජන් ටැංකියක් පිටේ බඳින්නෙ නැතුව, ඇඟේ වතුර ගෑවෙන්නෙ නැතුව, මුහුදු පතුළෙ කිමිදෙන්න අවස්ථාවක් තියෙනව කියල. ඒ වගේම ජීවිතේ කලාතුරකින් යන්න ලැබෙන වාහනේකින් ගමනක් යන්න අවස්ථාවත් තියෙනව කියල .
ඒ මාලදිවයිනේදි ඕනෙම කෙනෙක්ට යන්න පුලුවන් සබ්මැරීනයකින් මුහුදු පතුලෙ කිමිදෙන්න තියෙන අවස්ථාවයි.
මම හිතා ගත්ත කොහොම හරි ඒකෙ යන්න ඕනෙ කියල. පහළ තියෙන ලිපිනයට ගිහින් බලන්නකො.. ඔයාලටත් යන්න පුලුවන්.
මෙතන්ට ගිහින් බලන්න..
මෙතනදි මට එක වරප්‍රසාදයක් හම්බුණා මම මාලදිවයිනේ රාජකාරි බලපත්‍ර ලාභියෙක් වීම නිසා. සාමන්‍ය ගානට වඩා අඩු මිලකට ඒ ගමන යන්න ලැබුණ.
මුහුදු ගුවන් යානය
දින 3ක නිවාඩුවකට මාලේ නගරයට යන්න ලැබුණ. ඉතින් ඔන්න ගමන් යන්න කලින් දවසෙ ඔක්කොම ලෑස්ති කර ගත්ත. ඔක්කොම කියන්නෙ ඉතින් කැමරාවෙ බැටරිය චාජ් වෙන්න ගැහුව. මොකද යන යන තැන හෙවනැල්ල වගේ ගෙනියන එකම දේ ඒකනෙ. කලින් දවසෙ අපේ දූපතේ නවාතැන් ගත්ත මුහුදු ගුවන් යානයක් (night shutdown sea plane) තිබුන නිසා ගමන තිබුනෙ උදෙන්මයි. 
දෝණිය ටාටා එන්ජිමත් එක්ක
ඔන්න ගුවන් යානෙට යන්න දඩි බිඩි ගාල දත් මැදල, මූණ හෝදල ලෑස්ති උනා. (මොකද උදේ ඇහැරුනේ ටිකක් පරක්කු වෙලා) දුවගෙන ගියා ලොබියට. (එතනදි තමයි එදා දවසට යන්න ඉන්න කට්ටිය එකති වෙන්නෙ. එයාලව අපේ හෝටලේ එක් නිළධරියෙක්.නිළධාරිණියක් දෝණියක (ටාට එන්ජිමක් තියෙන බෝට්ටුවක්) අරගෙන යනව මුහුද මැද තියෙන ගුවන් යානෙට.) කට්ටිය ඔක්කොම ලෑස්තියි. අනේ..... මම කැමරාවෙ බැටරිය චාජ් වෙන්න දාල බැටරිය නැතුව කැමරාව අරන් ඇවිත් කියල මතක් උනේ එතකොට. කාටත් නොකිය ආපහු දිව්ව කාමරේට.  
ඔලේසියා එක්ක (ඔලේසියා උදේ පාන්දර මූණවත් හෝදන්නෙ නැතුව :)
ඔන්න කොහොම හරි බැටරිය අරන් එනකොට කට්ටිය ජැටියටත් ගිහින්. මම ඉතින් හිනා වෙලා නැග්ග දෝණියට. (එදා මගෙ වෙලාවට කැඳවාගෙන යන නිලධාරිණිය ව්දියට හිටියෙ "ඔලේසියා" ස්විස් ජාතික නංගි කෙනෙක්. අපෝ ඉතාලි ඇන්ටි කෙනෙක් එහෙම හිටියනම් පුපුරල මැරෙනව.)
රොෂාන් පෙරේරා - අපේ එකෙක්
ඔන්න නැග්ග ගුවන් යානෙට. දැන් මම ගුවන් ගත වෙනව. තවත් එකක්. ගුවන් නියමුවා ලංකාවෙ කොල්ලෙක්. (රොෂාන් පෙරේරා). දැන් මම යන්නෙ මාලදිවයිනේ ඇවිදින්න තියෙන දේවල් බලන්න චාරිකාවක් යන ආසාවෙන්.

මාලදිවයිනේ සවාරිය සබ්මැරීන් ගමනත් එක්ක ඉතිරි කොටසින්......


 
(ඇත්තටම මේක ලියන්න ගත්තෙ 2012-09 වෙනි මාසෙ නිසා තමයි කොටස් 2කින් ලියන්න හිතුවෙ. නැත්නම් මේක කවදාවත්ම ලියවෙන්නෙ නෑ.)

4 [103] ආදරණීය කල්ලා....

මේ ෆොටෝ එක ශෙයාර් කල හැමට තුති.
මේ රූපෙ දැක්කම ආයෙ අලුතෙන් එක වචනයක්වත් ලියන්න ඕනෙ නෑ. මොකද මේ කවුද කියන්න, මේ උතුම් මනුස්සයගෙ ගති ගුණ මොනවද කියන්න මේ රූපෙ දකින ඕනෙම කෙනෙක් දන්නව. ඒ හින්ද අලුතෙන් දෙයක් එකතු කරන්නෙ නෑ.. ඒත් මේ ෆොටෝ එක අද මගෙ මූණු පොතේ දැක්කම මගෙ බ්ලොග් එක වචනයක් හරි ලියන්න ඕනෙ කියල හිතුව.
"අපේ කල්ල ස‍ර්"
සාමාන්‍ය අපිට පොදු ධර්මතාවය අනුව, "හොඳ මිනිස්සු ඉක්මනට යනව, නරක පව් කල අය ඉතිරි වෙනව" කියන එක ඇත්ත කරල අපේ කල්ල සර් අපි අතරින් සමු ගත්ත.
අපි ස‍ර්ට මොනතරම් නම් විහිලු කරන්න ඇද්ද..? ඉස්සර ගතිකෙ පන්ති කරන්න ආවම අපි මේ බයිසිකලේට අපි මොන තරම්නම් වද දෙනවද..? බලු නගුට මල් ගහල, ගඩොල් තියල. ඒත් සර්ට නෙවේ කවදාවත් තරහ ගියෙ. මේ HPල (හොඳ පුතා) එක්ක බෑ කිය කිය බයිසිකලේ සුද්ද කරනව පන්ති ඉවර වෙලා.
කල්ල සර් අපිට දෙයක් කියල දෙන්න පාවිච්චි කල ක්‍රමය වෙන කාටවත් තිබුනෙ නෑ. ඒක විධානයක් උනත්, "කල්ල" දීපු විදියට අපිට තේරුණේ යාලුවෙක් කියන දෙයක් වගේ. ඉතින් අපිට හිතුනෙ නෑ කවදාවත් ඒක නොකර ඉන්න...
ඒ එයාගෙ විදිය.
මට අද වගේ මතකයි අපේ යාලුවෙක්ගෙ පියා මියගිය පුවත අපි දැනගත්තෙ ඉස්කෝලෙ පටන් ගත්තම. ඒත් යන්න විදියක් නෑ පන්තියෙ ඔක්කොටම. ඒත් නේවාසිකාගාරෙ පිටිපස්සෙන් පාරක් තියෙන බව අපිට මතක් කරල දුන්නෙ කල්ල සර්. (සර් එහෙම දෙයක් කීවෙ නෑලු ඕං)

"කල්ල" ගැන කියන්නනම් ඉතින් මගෙ බ්ලොග් එක දවස ගානෙ ලීවත් මදි. චන්ද්‍රසේන සර් ඇත්තටම හැම කෙනෙක්ටම යාලුවෙක් වගේ හිටියෙ.
ඒ නිසා මේ ෆොටෝ එක මම ඔයාල එක්ක බෙදා ගන්නම්... බලන්න දන්න කියන කෙනෙක්ද කියල. "චන්ද්‍රසේන සර්" කියනවට වඩා "කල්ල සර්" කීවම තමා ඕනෙ කෙනෙක් දන්නෙ. කලු මූණෙ තිබුන සිරියාවන්ත සුදු හිනාව අදටත් කාටත් මතක ඇති.

අපේ ආදරණීය කල්ල සර්, නුඹට නිවන් සුව...!!!

5 [102] බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...

දැනට අවුරුදු 5කට කලින් ඒ කියන්නෙ 2007 අගෝස්තු මාසෙ 7 වෙනිද මේ මූණු පොතට ආව මම 2008 අප්‍රේල් මාසෙ මව්බිමෙන් චුට්ටක් ඈත් වෙච්ච නිසා ගොඩාක් මූණු පොතට ඇබ්බැහි උනා. ඇත්තටම ඒ හින්දම ගොඩක් සමීපතම යාලුවො, කාලෙකින් (අවුරුදු 10-12කට විතර පස්සෙ) නොදැකපු දයාබර සමීපතම යාලුවො, ගොඩක් කිට්ටු උනා. කාත් කව්රුවත් නැතුව ඉන්නකොට ඒක ලොකු ශක්තියක් උනා. ඇත්තටම ඒ වෙනුවෙන් අදටත් මම මූණු පොතට ස්තුති කරනව හද පිරි සතුටින්.
අද 2012 සැප්තැම්බර් 15. මම මූණු පොතට ඇවිත් අවුරුදු 5යි, මාස 1යි, දවස් 8යි. මේ වෙනකොට මගෙ යාලුවො ලැයිස්තුවෙ 808 දෙනෙක් ඉන්නව.

ඒත් ඇත්තටම හිතට හරි දුකක් දැනෙනව.

ඒ....අවුරුදු 5යි, මාස 1යි, දවස් 8ට කී දෙනෙක් නම් දුරස් වෙලාද... නමට මිතුරු ලැයිස්තුවෙ හිටියත්, ඉඳල හිටල හරි "කොහොමද" කියල අහන අය කී දෙනාද ඉන්නෙ..?
ඒත් ඔය 808 දෙනාම දවසෙ කොයිම හරි මොහොතක මූණු පොතට ගොඩවෙනව. උදේ, දවල්, රෑ, මහ පාන්දර, ගමනක් යන ගමන්, ඔය කොයිම හරි වෙලාවක.. ඒ තමයි ඇත්ත. ඒත් ගොඩවෙන වෙලාව අනිත් අයගෙන් හංගන්න මේ අපූරු මූණු පොත හොයාගත්ත Mark Zuckerberg ඇතුළු කණ්ඩායමම ක්‍රම හදල තියෙන නිසා "තමන්ගෙ අයට" හොරෙන් මේ පැත්තෙ ගොඩවෙලා වෙන්නෙ මොනවද කියල බලල කැමති කෙනෙක්ට කතා කරල, පොඩි "ලයික්" එකක් දාල හොරෙන්ම යන්න පුලුවන් වෙලා තියෙනව....

ඔන්න ඕකයි ඇත්ත කතාව.

මටනම් හිතෙන්නෙ "
මිතුරෙක්/මිතුරියක්
" කියල කියන්නෙ ලැයිස්තුවක පිටස්තර ලෝකෙට පේන්න ඉන්නවට වඩා වැඩි අර්ථයක් තියෙන, වටිනාකමක් තියෙන කෙනෙක්. දෙවියන් හා සමාන චරිතයක්.

"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති.."