ඉන්න ඇත්තො

4 මං ආසා ගී - හන්තානට පායන හඳ

හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...


අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න


ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...


හන්තානට පායන ...

අමරසිරි පීරිස් කියන අසහාය ගායක ගායනා කරන මේ ගීතයට මම ගොඩක් ආසා කරනව... ඇයිද කියල හේතුවක් පැහැදිළි කරන්න දන්නෙ නැති දෙයක් මේ ගීතයත් එක්ක බැඳිල තියෙනව..
පේරාදෙණිය සරසවිය හා බැඳුණු මේ ගීතය ඇහෙනකොට, දෑස් පියාගෙන සරසවි බිම මතක් කරගන්න මට පුලුවන්... ඒත් වැඩේ කියන්නෙ මම සරසවියට යන්න වරම් ලද කෙනෙක් නෙවෙයි..
මගෙ මාමල ඉන්න කාලෙ, මගෙ මිත්‍රයන් බලන්න ගියා ඇරෙන්න මම එහෙ ගිහින් නෑ... ඒත් මහ පුදුම විදියට මම පේරාදෙණිය සරසවියට ඇලුම් කරනව... මගේ ෆ්ලිකර් එක බැලුවොත් ඔයාලට දකින්න පුලුවන් ඒකෙ මම සරසවි පින්තූර දාල තියෙනව. මම මගෙ පළවෙනි එකම ඡායාරූප ප්‍රදර්ශණේ කරන්න කලිනුත් එහෙ ගියා ඡායාරූප ගන්න... මම නුවර ගියොත් අනිවාර්යෙන්ම යන තැනක් සරසවිය... එතනට ගියාම හිතට දැනෙන් දේ පැහැදිළි කරන්න මම දන්නෙ නෑ... ඒත්.... මම හරිම ආසයි ඒ බිමට... ඒ නිසාම මම මේ ගීතයටත් ආසා කරනව... මොකද, මට සරසවි බිම සිහි වෙන නිසා....

4 පළමු උපන්දිනේ.....

ආ මග කෙටියි යා යුතු මග දුරයි
නිරතුරු නුවණැසින් 
තරණය කළ යුතුයි

මේ ඇරඹුමයි 
මාවත බෝ දුරයි
නුවණින් අවදියෙන් 
යා යුතු බව දනිම්

මේ මග තැනිතලා සේම සෙල්තලා 
හමුවේවි
සිත සවි නොඹිඳ එමග ගෙවා දිරි වඩා
ජයබිම දකිමි අදිටනින්
 
ආ මග කෙටියි.... 


සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් 
හමුවේවි
නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා
තරණය කරමි මග සොඳින්


ආ මග කෙටියි....  

ගීතය අහන්න මෙතනින් 

එක් ලඟ ලඟම ගීත දෙකක් ලියන්න අදහසක් තිබුනෙ නෑ... ඒත්, අද දවස මගෙ බ්ලොග් අඩවියට විශේෂ දවසක් නිසා..  මට හිතුන් මේ ගීය ලියන්න ඕනෙ කියල. මොකද මම ආ මග කෙටියි.... යා යුතු මග ගොඩක් දුර නිසා..
අද දවසට මම මගේ බ්ලොග් අඩවියට පළවෙනි පෝස්ට් එක ලියල හරියටම අවුරුද්දක් වෙනව.. මම මගෙ "පනහයි" කියල ලියපු 50 වෙනි පෝස්ට් එකේදි කීව වගේ, මම හේතු කීපයක් නිසා මේක ලියන්න පටන් ගත්ත.. මම ඇත්තටම ගොඩක් හෙමින් ගමනක් ඇවිත් මීට ටික දවසකට කලින් මගෙ 50 වෙනි පෝස්ට් එක ලීව... සමහර විට ඒ 50 ලීවට වඩා වැඩි වේගෙකින් මම පහුගිය දවස් ටිකේ ලීව... සමහර විට මට පහුගිය දවස් ටික ඒ විදියට ලියන්න වෙලාව ලැබුණ කියනවට වඩා හිතේ තිබුණ බර ගොඩක් වැඩි නිසා ලීව කියල කියන එක හරි කියලයි මට හිට්තෙන්නෙ.. (දැන් ඉතින් හිතන්න ඕනෙ නෑ ඒ මොකද කියල... ඒ මොකද කියල හිතුවට ඒකට හේතු හම්බෙන්නෙත් නෑ.)
කොහොම හරි මම ආව හෙමින් ගමන හෙමින්ම යන්න තමයි අදහස... මේ කුරිරු ලෝකෙ යහතින් ජීවත් උනොත්, ඉස්සරහටත් තව ලියන්න හිතනව... එක එක විදියෙ දේවල්..
මම ලියන සමහර දේවල් විතරක් කියපවු මගෙ එක යාලුවෙක් මගෙන් ඇහුව "ඇයි ඔය තරම් මිනිස්සු එක්ක තරහ" කියල.. මම මිනිස්සු එක්ක තරහ නෑ... මගෙ ලඟින්ම ඉන්න මාව දන්න (මාව දැනෙන) අය දන්නව මම මිනිස්සුන්ට කොච්චර ආදරේ කරනවද කියල...මම කවුද කියල. 
ඒත් මම දන්නව මාව පිටින් දකින අය මගෙ ගැන හිතන දේ...ඒකට මම තරහ නෑ... 
මට ගොඩක් කිට්ටු මගෙ සමහර යාලුවො මටම කියල තියෙනව මා එක්ක කතා කරන්න කලින්, මම මහ "ලොකු කම තියෙන", "අලි ඔලුවෙන් ඉන්න" කෙනෙක් කියල හිතුව කියල... ඒත් මාව ආශ්‍රය කලාට පස්සෙ ඒ අදහස වෙනස් උනා කියල.
වෙන්න ඇති...
මම ඉස්කෝලෙ යන කාලෙත් මට එහෙම චෝදනාවක් තිබුන... මම හිනා වෙන්නෙ "නෝන්ඩියට" කියල..
අනේ මම එහෙම හිනා උනේ නම් නෙ ඒ කාලෙවත්... ඒ කාලෙ එහෙම හිතපු මගෙ කවුරු හරි යෙහෙළියෙක් මේක කියවනවනම්, මං ගැන එහෙම හිතාගෙන හිටියනම් ඒ අදහස දැන්වත් වෙනස් කර ගන්න...
දැන් ඒ පරණ කතා ඇති..



මම ආයෙමත් ආදරෙන් මතක් කරන්න කැමතියි "සංසාරේ අපි" ලියන "ජීවිතේ මල්" අක්කව... එයා තමයි මට බ්ලොග්කරණයේ ආසාව ඇති කලේ.. එක එක දේවල් කියල දුන්නෙ....
ඊට අමතරව මගෙ බ්ලොග් අඩවියට එක වරක් හරි ගොඩ වෙලා, මගේ දේවල් අගේ කල, කොමෙන්ටු දැම්ම, හැම කෙනෙක්ටම මම ගොඩක් ආදරෙයි.. ඒ වගේම ණයගැතියි... මොකද එයාලගෙ ඒ දේවල් තමා හැමදාම මාව දිරිමත් කරන්නෙ...  මම නම් වශයෙන් නොකීවට මට සමා වෙන්න..
මට ඒ දීපු සහයෝගෙ ඉදිරියටත් ඔයාලගෙන් ලැබෙයි කියල මම බලපොරොත්තු වෙනව.. තනිවම මේ ගමන යන්න බෑ... හැමදාමත් මගෙ අඩු පාඩු පෙන්නල දීල, මගේ දේවල් අගේ කරල, මගෙ එක්ක ඉඳීවි කියල මම බලපොරොත්තු වෙනව...

සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් 
හමුවේවි
නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා
තරණය කරමි මග සොඳින්


ප. ලි. මගෙ බ්ලොග් එකේ පෙනුම මම ටිකක් අද උදේ වෙනස් කලා...ඇත්තටම මම ඒක කරන වෙලේ මට මතක් උනේ නෑ මගෙ බ්ලොග් එකට අදට අවුරුද්දක් වෙනව කියල.. ඒ හැමදේම කරල ඉවර උනාට පස්සෙ තමයි මට ඒ බව මතක් උනේ



3 මං ආසා ගී - මල් පිට මල්

මල පිට මල් හැලෙන දිගු මාවතේ 
පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ 
ඉඟි නලුවට වශී වී 
අත්තල නගයි තුරු පත් පවා
අත්තල නගයි තුරු පත් පවා


දිය පිට දිය රැළි නගන ගං දියේ
සැඩ රළ මතින් ඔරුවක නැගී 
එතෙරට යනු දැක ඔබයි මමයි 
සැඩ නල පවා හමන හැටි පුදුමයි
සැඩ නල පවා හමන හැටි පුදුමයි..  


මල පිට මල්.....

වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ 
උණුහුම් වෙමින් තුරුලත වෙලී 
මුදු රස විඳින සඳ ඔබයි මමයි 
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි 
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි..


මල පිට මල්.....

ප්‍රවීණ ගායක නැසී ගිය ම‍ර්ව්න් පෙරේරාගේ පුත් අමල් පෙරේරා ගායනය කරන මේ ගීතයට මම ගොඩක් ආසා කරනව... මම කලින් දැනන් හිටියෙ නෑ මේක ගායනය කරන්නෙ කව්ද කියල... අමල් පෙරේරා සමහර ගායන තරඟ වලදි නවක ගායක ගයිකාවන් පහත් විදියට විවේචනය කරද්දි නම් මට මේ ගායකව පේන්න බෑ.. (ඇත්ත කියන්න එපැයි පැත්ත ගියත්.) මොකද එතන හිටිය සමහර විනිසුරු වරුන්,වරියන් මෙයාට වඩා ගොඩක් ප්‍රවීන අය.. ඒ අය බොහොම හොඳ විදියට ප්‍රතිචාර දක්වද්දිත් මෙයා කැත විදියට විවේචනය කලා.. එ කොහොම වෙතත් අපි "මේ නගරය" නමින් සංගීත සැන්ඳෑවක් සාංවිධානය කලා අමල් පෙරේරා සහ ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමග... ඒක හොඳට තිබුණ... ඔහොම වෙතත් ඉතින්, මනුස්සයගෙ ගති ගුණ කෙසේ වෙතත් හොඳ දෙයක් තියෙන්වනම් ගේ කරන්න ඕනෙනෙ.... මම මේ ගීතයට කැමතියි... මෙයාගෙ ගොඩක් ගීත නෑනෙ... අනිත් ඒව තාත්තගෙ ගීත.. ඒවනම් ගොඩක් තියෙනව මම ආසා ගී...
මේ ගීතය ලීවෙ කව්ද කියලනම් මම දන්නෙ නෑ.. සංගීතය කාගෙද කියලත් දන්නෙ නෑ.

කොහොම හරි මෙන්න ගීතය අහන්න බලන්න ඕනෙනම් ඔයාලටත්...



3 භූමිදානයට පෙර.....

අත්තිවාරමක් නැතුව තට්ටු ගොඩනැගිල්ලක් හදා ගන්න විදියක් තියේනම් මට කියල දෙන්නකො කවුරු හරි..මම ආසයි එහෙම විදියක් ඉගෙන ගන්න..

අපේ ජීවිතත් හරියට තට්ටු ගොඩනැගිලි වගේ කියලයි මට හිතෙන්නෙ.. මොකද එක එක බලාපොරොත්තු එකතු වෙලා, දකින හීන සැබෑ කර ගන්න අපි රේස් එකක් දුවනව..
ජීවිතේ එක එක කාල වලදි අපි එක එක බලාපොරොත්තු එක්ක ජීවත් වෙනව.  ඒ හීන, බලාපොරොත්තු සාර්ථක - අසාරථක වීම කෙසේ වෙතත්, ඒ අතීතය තමයි හැම වෙලේම අපෙ අත්තිවාරම වෙන්නෙ... අපිට වරදින තැන්, අපි සාර්ථක වෙන තැන් ඒ හැම දෙයක්ම අපිට උදව් වෙනව වර්තමානයේ ජීවත් වෙන්න... අනාගතේ ගොඩනගන්න...

මම පුංචිම කාලෙ අම්මලාට කීවෙ මම ලොකු උනාම මාලු කාරයෙක් වෙනව කියල... (සාමාන්‍යයෙන් කවුරුත් කියන්නෙ නෑ එහෙම දෙයක්) ඒ වෙන මොකුත් නිසා නෙවෙයි... මාලු ගේන කෙනා වැඩ දාල ලොකු මාලුවෙක්ව පුංචි පුංචි කෑලි වලට කපනව මම බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන්... මට ඒ කාලෙ මෙලෝ සිහියක් නෑ ඒක දකිනකොට.. ( කොච්චර සිහිය නෑද කියනවනම් එක දවසක් මාලු ගන්න අතේ තිබුන රුපියල් විස්ස ඉරුව ගහක කොලයක් කියල හිතාගෙන.) මාලු ගේන කෙනා තමයි මට හිටිය වීරය..


කාලයක් යද්දි ඒක වෙනස් උනා..
මගේ මාමල දෙන්නෙක්ම දොස්තරල වෙන්න ඉගෙන ගත්ත ඒ කාලෙ. (අනේ නයා කියලනම් හිතන්න එපා ඔන්න) එයාලගෙ ලොකු ලොකු පොත් දැකල ආසාවක් ඇති උනා දොස්තර කෙනෙක් වෙන්න. ඒ බලාපොරොත්තුව කාලයක් තිබුන..
මම ඉපදුනෙ, හැදුනෙ වැඩුනෙ පොළොන්නරුවෙ නිසා යුද්ධෙ බිහිසුණු කම දැකල තිබුන... ඒ කාලෙදි ජීවිතේ ආයෙමත් බලාපොරොත්තුවක් වෙනස් උනා.. ඒ මම ලොකු උනාම රට වෙනුවෙන් යුද්ධෙට යන යුධ සෙබලෙක් වෙන්න ඕනෙ කියල.. කාලයක් මම හවසට් PT ක‍රන්න යන හමුදා සෙබලු කට්ටියක් එක්ක PT කලා... එයාල කණ්ඩායම අපේ ගේ ඉස්සරහින් අපේ පාසැල් ක්‍රීඩා පිටියට දුවද්දි මමත් එයල එක්ක ගියා... හරි ආඩම්බරෙන් එයාල එක්ක මහ පාරෙ දිව්වෙ ඒ කාලෙ...
ඒත් කඳවුරක ඉහළ නිලධාරියෙක්ගෙ නොසැලකිල්ල හින්ද එක ගමක් මුළුමනින්න ත්‍රස්තවාදීන් අතින් මැරුම් කෑ සිද්දියක් වාර්තා කිරීමට එරෙහිව මගේ තාත්තව හමුදාව විසින් රැගෙන යාමට සෙවීම හා ගෝනිබිල්ලන්ට ගොදුරු වූ "ජනප්‍රිය" මාමා නිසා මට ඒ හමුදා සිහිනය එපා විය.
ආයෙම වතාවක් දොස්තර සිහිනයම ඉස්මතු වූ නිසාම උසස්පෙළ ජීව විද්‍යාව හැදෑරුවද, පිස්සු කෙලීම නිසාම ඒ සිහිනය දැන් මා ගමන් කරන දිශාවට මාරැ විය...
එය එසේ සිදු විය.
තව දුරටත් ඇති වන බලාපොරොත්තු, බිඳ වැටෙන බලාපොරොත්තු, සාර්ථක වන බලාපොරොත්තු එක්ක මම ජීවත් වන්නෙමි...
වරක් ලංකාව හා කළා රැකියාව අත හැර මාලදිවයිනට අවුරුදු 2ක කොන්ත්‍රාත්තුවකට ගිය මම, මාස 6කින් ලංකාවට එන්නේ ලංකාවේ කුමක් කරන්නේද කියන දේ පිළිබ්ඳව කිසිදු බලාපොරොත්තුවක් නැතුවය..
ඒත් මට ගොඩක් අය "නිකන් කාලා බීල ඉන්න තිබුණ එක දාල ආව" කියන නෝක්කඩුව් කීය.ඒත් මා මට සිත් දේ කලෙමි...එය එසේය..
හැබැයි මම කිසිම දවසක මගේ අතීතය අමතක නොකරන කෙනෙක් බව "මගේ අය" (මට එහෙම අය සිටිත්. අතක ඇඟිලි ඇත්තේ 5කි.. ඒ ඇඟිලි 5 අපිට නැතුවම බැරිය..එක ඇඟිල්ලක් නැති වීම තමන්ගේ එදිනෙදා දේවල් වලදී තමන්ට කුමන් හෝ ලොකු අඩුවක් දනවයි. අතේ ඇඟිලි 5 සදාකල් අතේ තිබිය යුතුමය...එකක අඩුව ජීවිත කාලයම විඳවීම්ට හේතුවක් වෙයි.. මම "මගේ අය" කියන්නේ ඒ ඇඟිලි 5ටය..) හොඳින් දන්නා කරුණකි...  සමහර විට අතීතය දුකක් විය හැකිය.. ඒත් මම ඒ දුක වළලා දැමීමට උත්සහ නොකරමි.. හේතුව ඒ දුකත් අපි සමඟ සිටිය යුතු බැවිනි... 
බහුතරයක් කියන්නේ "පරණ දේවල් අමතක කරල දන්න ඕනෙ"... "කුණු ගොඩවල් තියා ගන්න හොඳ නෑ." "පරණ මතකය ආගෙ ගොඩ ගන්න බැරි වෙන්න වළලන්න ඕනෙ" වගේ දේවල්ය. ඒත් මගේ ධර්මය ඊට වඩා ටිකක් වෙනස්ය... මම ඒ පරණ දේවල් මා ලඟම තබා ගනිමි... ඒ ඒ දේවල් ව‍ර්තමානය, අනාගතය ගොඩනගන්න ලොකු උදව්වක් වෙන බව මම විස්වාස කරන නිසාවෙනි... කෙනෙක් මෙය විස්වාස නොකර‍න්නට පුලුවන්... එලෙස මා සමග ත‍ර්ක කළ අයද නැතුවම නොවේ.. "මම පරණ දේවල් කියන්න, හිතන්න එපා, එහෙම ඒව හිතල අපිට ඉස්සරහට යන්න බෑ" එහෙම කියල මගේ එක්ක රණ්ඩු වුනු මගේ ඉහළ නිලධාරීන්ද නැතුවාම නොවෙයි... ඒත් මම සිත්න විදිය ඊට වඩා වෙනස්.. 
අතීතයක් නැති මිනිහෙකුට වර්තමානයක්, අනාගතයක් සාර්ථක කර ගැනීම අසීරුය... අපි හිටි ගමන් අහසින් පාත් වූයේ නැත.. වැරදි, වැරදි හැම දේම ඉගෙන ගන්නෙමු.. හැමදාම වරදින්නේද නැත.. ඒත් එක රැයින් එළි වන්නේද නැත... අපි ගෙවුණු අතීතය අමතක කර වර්තමානයේ පමණක් ජීවත් වීම අසීරුය.. අතීතයේ වැරදුන දේම සිතමින් දුක් විය යුතුයැයි මම නොකියමි... එහෙත්, ඒ දේවල් අමතක කර දමා, අතීතයක් නැති ගානට ජීවත් වීමට උත්සාහ කිරීම හිස් දෙයකි...
එය එසේය...
තට්ටු ගෙයක් හදන විට හොඳ අත්තිවාර්මක් අනිවාර්ය වේ.. එසේ නැතිනම් ගෙය බිමට සමතලා වීම වැළැක්විය නොහැකිය... පදනම ශක්තිමත් නොවූ තැන ඒ මත ගොඩ නගන දේ තාවකාලික වේ... අතීතය අපිට වීවිතය ගොඩ නැගීමට ඇති හොඳම පදනමයි... අතීතයේ වැරදුන තැන්, සාර්ථක තැන් වර්ථමාන බිත්ති බැඳීමට් හොඳ පදනමක් වෙයි.. අනාගත වහල ගැසීමට හොඳ පදනමක් වෙයි..

ඒ නිසාවෙන්ම, අතීතය අමිහිරියැයි සිතා වළලන්නට පෙර වරක්, දෙවරක්, තෙවරක් නොව කිහිප වරක් සිතන්න.... හුදකලාව එය සිතීමට යන කාලය පසු තැවෙනවාට වඩා වටිනාකමක් තිබෙන්නට් පිළිවන...

4 මං ආසා ගී - ලක් වැසියන්

ලක් වැසියන් කෙරෙහි 
නැමී අරහත් මහ මිහිදු හිමී 
පෙව්වෙ උතුම් සදහම් මී 
පුත නුඹටත් පොවමි පෙමී

ජාතිය රන් විමනක් වේ 
ආගම මිණි පහණක් වේ
එය රැක ගන්නනට මෙළොවේ 
සමත් වෙතොත් පුත නුඹ වේ


මේබඳු උතුම් ලංකාවේ 
දසතින් දුසිරිත් බෝවේ
මේ ගැන වැඩ කළොත් ළොවේ
නුඹෙත් මගෙත් නම කියැවේ

ඉටු කළ යුතු යුතුකම්
ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුදනොකළොත් නුඹෙන් පුතේ
මෙළොවට කිසි පළක් නැතේ

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකත් හිරිහැරයක්
නිවනට සරිකොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

කාටත් හිමි පොදු දේ නම්
නැතිබැරි හිඟ අවහිරකම්
මේ දේ මැඬගෙන දස්කම්
පෑම තමයි සුරු විරුකම්

උස්තැන් දැක හැකිලෙන්නේ
මිටිතැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ


සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මේ ගීතය පද රචනා කරල තියෙන්නෙ එස්. මහින්ද හිමියන්... රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් රසවත් වෙච්ච මේ වගේ දේශාභිමානී ගීත දැන් ලියන්න, කියන්න කෙනෙක් නැති එක හරිම දුකක්... ඔහේ දඩ බඩ සංගීතෙකට එකට යන වචන ටිකක් කියන එක තමා දැන් ඉන්න බහුතර ගායකයො කරන්නෙ... අනේ කාලේ, වනේ වාසේ...

මේ ගීතය අහන්න

4 පනහයි...!!!

අද 2011-11-17 මගේ බ්ලොග් එකේ 50 පොස්ට් එක මම ලීව.... ඇත්තටම සතුටුයි... මම මේ සිංහලෙන් මේ බ්ලොග් එක ලියන පටන් අරන් මේ මාසෙ 25 වෙනිදට හරියටම අවුරුද්දක්.... බ්ලොග් එක පටන් ගත්තෙ මම 2006 උනත් එදා මම කලේ මගෙ ඡායාරූප කීපයක් මේකෙ දාල තියපු එක විතරයි... එහෙම අවුරුදු 4ක් නිකන්ම තිබුණ මගෙ බ්ලොග් එක 2010 දි මම වෙනස් කලා...
දෙදහස් 10 නොවැම්බර් මාසෙදි මම විවිධ වූ හේතු නිසා මේක ලියන්න පටන් ගත්ත... ඔලුවෙ තියෙන බර නිදහස් කරගන්න හිතාගෙන හිතට එන දේවල් ලියන්න ඕනෙ කියල මම මේක පටන් ගත්ත...2010 දෙසැම්බ‍ර් මාසෙ මගෙ කුළුඳුල් ඡායාරූප ප්‍රදර්ශණෙන් පස්සෙ මම ආයෙම මගෙ බ්ලොග් එකේ නම වෙනස් කලා...."සිත් විනිවිද" කියල.. ඒ මගෙ ඡායාරූප ප්‍රදර්ශ්නේට දාපු නම.
ඒ නම මට දුන්නෙ "සංසාරේ අපි" බ්ලොග් එක ලියන "ජීවිතේ මල්". මම ප්‍රදර්ශණේට නමක් හොයනකොට කිසි ලෝභ කමක් නැතුව ඒ නම දුන්න. ඒ විතරක් නෙවෙයි කවියකුත් ලියල දුන්න... අපි දෙන්නගෙ වාසගම එක උනාට මම ජීවිතේ මල් අඳුන ගත්තෙ මූණු පොතෙන්.. අද වෙනකනුත් දැකල නැති උනාට, සිංහල බ්ලොග්කරණයේ ගොඩක් පාඩම් මම එයාගෙන් ඉගෙන ගත්ත.. මගෙ පළවෙනි බ්ලොග් පෝස්ට් එකට සුබ පතල පළවෙනි කමෙන්ට් එක දැම්මෙ ජීවිතේ මල්... ඒ දිරි ගැන්වීමට ගොඩක් පින්.
ඒ වගේම හැමදාමත් මගෙ දේවල් වලදි තිරේ ඉස්සරහ නොහිටියට, තිරේ පිටිපස්සට වෙලා ඉඳන් මට හයිය දෙන, මාව දිරි ගන්වන මගෙ පව්ලෙ අය, මිතුරු කමට එහා ගිය සහෝදර කමක් තියෙන මගේ මිතුරු මිතුරියන් (මට එහෙම ගොඩක් අය නෑ) මට අමතක කරන්න බෑ.
මට ගොඩක් පොස්ට් ලියන්න හේතු දුන්න චූටි මල්ලි, බුද්දි අමතක කරන්න බෑ.
මගෙ බ්ලොග් එකේ ගොඩාක් යාලුවො නැති උනත්, හැමදාම මම ලියන දේ කියවල, අඩු පාඩු කියන, හොඳ ලියන, කියන මගේ යාලුවො ටික, මගෙ අක්ක,ගොඩය මල්ලි, නෙල්...., නම් නොකීවත් තව ගොඩක් අය මට ලොකු ශක්තියක් දෙනව මේව ලියන්න...
මගේ දේවල් කියවල, කෙනෙක් හොඳ හෝ නරක කියනකොට තමයි මට සතුටු... ඒක ලියන, මොනයම් හෝ කලා කෘතියක් කරන කෙනෙක් හොඳට දන්නව ඇති.. ඒ ලැබෙන සාතුට කවදවත් මිල කරන්න බෑ. ඒකට මිලක් නෑ. මම ෆොටෝ එකක් අරන් ඒක ෆිලිකර් එකට දපුවම ඒක බලල කෙනෙක් "ඒක ලස්සනයි" කීවම, මම බ්ලොග් පෝස්ට් එකක් ලියල පළ කලාම ඒක කියවල "හොඳයි" කීවම ලැබෙන සතුට වෙන කිසි දේකින් ගන්න බෑ. ලැබෙන්නෙ නෑ.
අවුරුද්දක කාලෙකදි මම අර්ධ ශතකයක් ගැහුව... ටෙස්ට් ඉනිමක්...  ගොඩක් ලියන්න දේවල් හිතේ තිබුනත් ලියන්න වෙලාව හොයා ගන්න එකත් වෙලාවකට ප්‍රශ්ණයක්...
ඒත් පුලු පුලුවන් වෙලාවට ලියන්න බලනව...


මෙච්චර කාලයක් මගෙ එක්ක හිටිය වගේම, ගල්,මල් එක්ක ඉස්සරහටත් මගෙ එක්ක ඔයාල ඉඳීවි කියල මම විස්වාස කරනව...

මම ලියපු දේවල් මම කවදාවත් කෙනෙක්ට රිද්දන්න, මඩ ගහන්න ලීවෙ නෑ... මම එහෙම කියන්නෙ අවංකවමයි... 
මොකක් හරි හේතුවක් නිසා කෙනෙක්ට හිත රිදුනනම්, අනේක වාරයක් මට සමාවෙන්න..



1 ඇත්ත කියමු, බිම ඉඳගමු.

ඊයෙ උදේ එක රේඩියෝ චැනල් එකක ගිය විහිලු කතාවක් ඇහුව...
කතාව මේකයි... (මම කතාව නොකියම මගෙ කතාව ලීවොත් ඉතින් බැණුම් අහන්න වෙනවනෙ.. අර දවසක් රජ්ජුරුවන්ගෙ බූරු කණ් දෙකේ කතාව නොකිය ඉඳල එහෙම උනානෙ)


ඔන්න එක දවසක් අපි කියමුකො නිමල් කියල... නිමල්ට පොඩි චාන්ස් එකක් හම්බුනා අපායට ගිහින් එන්න. මිනිහත් ඉතින් හරි සතුටෙන් ගියා ගමන.. මොකද ඉතින් ලේසියෙන් හම්බෙන චාන්ස් එකක් නෙවෙයිනෙ... එහෙ යන්න වෙන්නෙ කජ්ජ ගැහුවම විතරනෙ.. (ඒ කීවෙ මළාම).. මිනිහට ෆුල් සැට... මොකද එහෙ ගිහින් ඇවිත් ඉතින් රස කර කර විස්තර කියන්න පුලුවන්නෙ මෙහෙ අයට..
ඔන්න ඉතින් ගමන ගියා කියමුකො... දැන් ඉතින් එක යම පල්ලෙක් (පිළිගැනීමේ යමපල්ල කියමුකො) අපේ නිමල් අයියව එක්කන් යනව ඉන්ඩක්ෂන් එක දෙන්න... එක එක ක්‍රියාදාම කියා දිදී යනව. නිමල් අයියත් එක එක ප්‍රශ්ණ අහ අහ යනව...
ඔය අතරෙ නිමල් අයිය දැක්ක එක බිත්තියක ඔරලෝසුවක් ගහල තියෙනව... හැබැයි එක වැඩ කරන්නෙ නෑ. ඒ ගමන නිමල් අයිය යම පල්ලගෙන් ඇහුව මොකද්ද ඒ සීන් එක කියල.. දීපු උත්තරේ ඇහුවම නිමල් අයිය ෆුල් හොල්මන්...


යම පල්ල : "මනුස්ස ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම අපායෙ ඔරලෝසුවක් තියෙනව. ඒ අය බොරු කියන කියන වාරයක් පාසා ඔරලෝසුවෙ කටු කැරකෙනව.ඒ කියන්නෙ එක බොරුවකට එක තප්පරයක් යනව."
නිමල් අයිය : "එතකොට මේ වැඩ කරන්නෙ නැති ඔරලෝසුව කාගෙද..?"
යම පල්ල : "ඒක තෙරේසා මව්තුමියගෙ"
නිමල් අයිය : "හ්ම්ම්ම්"


තව ටිකක් දුර යනකොට තියෙනව දෙපාරක් විතරක් කැරකිච්ච ඔරලොසුවක්..


නිමල් අයිය : "එතකොට මේ දෙපාරක් විතරක් කැරකිච්ච ඔරලෝසුව කාගෙද..?"
යම පල්ල : "ඒක ______________ ගෙනෙ" (මට ඈත්තටම ඒ කියපු නම මතක නෑ. නිකන් බොරු නමක් කියල මෆෙ ඔර්ලෝසුව කරකව ගන්න ඕනෙ නෑනෙ.)


ඔහොම යද්දි ඉතින් එක එක විදියට කැරකෙන ඔරලෝසු තියෙනව... යම පල්ල ඒව කාගෙද කියලත් කියනව.. නිමල් අයියට එක පාරම කල්පනාවක් ආව... 


නිමල් අයිය : එතකොට අපේ මන්ත්‍රීතුමාගෙ ඔරලෝසුව කොයි...?
යම පල්ල නිමල් අයියව එක්කන් ගියා ටිකක් එහාට...


යම පල්ල : "අන්න අර අතන ෆෑන් එක විදියට කැරකෙන්නෙ, මන්ත්‍රීතුමාගෙ ඔරලෝසුව තමයි."
ගජරාමෙට උපරිම වේගෙන් කැරකෙන ඔරලෝසුවක් පෙන්නුව යමපල්ල.... නිමල් අයිය ඇස් දෙකත් උඩ තියාගෙන බලා හිටිය මන්ත්‍රීතුමාගෙ ඔරලෝසුව දිහා..
"යකෝ මෙහෙමත් බොරු කියන්න පුලුවන්ද..? කියන්නෙම බොරුනෙ..."


ඔන්න ඕකයි කතාව

ප.ලි.

අපේ රටේ ඉතින් දේසපාලුවො කියන්නෙ බොරු කියන්න උපන් හපන්කම් ඇති අය කියල බාලාංශ පන්තියෙ ළමයෙක් උනත් දන්නවනෙ... දේශපානය කරන්න එක සුදුසුකමක් තමයි හැරෙන හැරෙන අතට බොරු කීමට ඇති හැකියාව... මිනිසුන් රැවටීමට ඇති හැකියාව.


හැබැයි ඉතින් අපි ගොඩක් වෙලාවට බොරු කියන්න පෙළඹෙනව එක එක හේතු හින්ද. දෙමව්පියන්ට, ළමයින්ට, තමන්ගෙ හොඳම මිත්‍රයින්ට, තමන්ගෙ පෙම්වතාට, පෙම්වතියට, ගුරුවරුන්ට, ඔෆිස් එකේ බොස්ට නා නා විද බොරු ඒ ඒ වෙලාවට අපේ ගැලවීමට කියන්න අපි පෙළඹෙනව..
ඒත් ඉතින්, ඇත්තටම බොරුව තරම කොච්චර උනත් (ලොකු/පොඩි), බොරුව බොරුවමයි... අපි බොරුව කියන්නෙ කෙනෙක්ව රවට්ටන්න... තවත් කෙනෙක් ඇත්ත දැනගන්න එක වලක්වන්න...ඒ අපේ වාසියට... 
ඉතින් කෙනෙක් රවට්ටන එක පවක්.. 
ඒකත් තමන්ට ගොඩක්ම කිට්ටු කෙනෙක්ව බොරුවක් කියල රවට්ටන එක මහම මහ ලොකු පවක්... 
අපි එක පොඩි බොරුවක් හරි කෙනෙක්ට කීවොත්, ඒ බොරුව එළි වෙන එක වලක්වන්න තව බොරු 100ක්, 1000ක්, කෝටියක් කියන්න වෙනව...ඒ විදියට බොරු කෝටියක් උනත් කියල අපි කියපු පොඩි බොරුව වහගන්න අපි පසුබට වෙන්නෙ නෑ... හැබැයි ඒත් එහෙම කරද්දි අපිට අමතක වෙනව අපි බොරු කියල රවට්ට ගන්නෙ අපිවමයි කියන එක.
ඇයි අපිට බැරි ඇත්තට මූණ දෙන්න....පැත්තක් ගියත් ඇත්තක් කියන්න... අපායෙ තියෙන අපේ බොරු ඔරලෝසුව කවදාවත්ම කරකවන්නෙ නැතුව ඉන්න..
අර කතාවකුත් තියෙන්නෙ, ඇත්ත කියන්නයි, බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනෙ නෑ කියල.

0 මං ආසා ගී - අහන් ඉන්න... අහගෙන ඉන්න.....

අහන් ඉන්න... අහගෙන ඉන්න....
මගෙ හිත මොනවද 
මුමුණනවා....
ළය පුරා 
නෙක නෙක පාටින් 
මුදු මල් පෙති ඇහැරෙනවා 
පොද වැස්සක 
සීතල ඇවිදින් 
හිතට එබෙනවා...
කෝඩුකාර 
මල් රේණු මගින් 
සුවඳ බෙදනවා 
ඒ සුවඳින් 
මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න... අහගෙන ඉන්න....
මගෙ හිත මොනවද 
මුමුණනවා....
සිලි සිලියේ 
හමන සුළඟ 
කොඳුරන්නෙ අපටමයි
සතුට මිසක 
දුක මොකටද 
සෙනෙහස මහ මෙරයි... 
අමාවකේ 
දුක දුරලන දසක් තරු කැට නුඹටයි...
ඒ එළියෙන් 
දැල්වෙන ලෝකය මගෙමයි මටමයි....
අහන් ඉන්න... අහගෙන ඉන්න....
මගෙ හිත මොනවද 
මුමුණනවා....


මේ ගීතයත් මම ඉස්සෙල්ලම ඇහුවෙ, අර මම හැමදාම කියන චූටි මල්ලි දවසක් එවපු මේල් එකක් බලල.. එදා ඒ ගැන මම පොස්ට් එකක් ලීව.. අද මට හිතුන මේක ලියන්න කියල.. ගොඩක් සංවේදී ගීයක්.. මම හරි ආසයි... මේකට එක එක විදියෙ රූප රචනා තියෙනව "යූ ටියුබ්" එකේ.. ඒත් මම මේකෙ නිළ රූප රචනාව අදයි දැක්කෙ..
මෙන්න ඒක බලන්න ඕනෙනම්
සෝමලතා හේරත් මැණිකේ මහත්මිය ලියපු මේ ගීතය ගායනා කරන්නෙ මේකලා ගමගේ.
සංගීතය රුවන් ශ්‍රී වල්පොලගේ

සුදු සැරයටි දිනයේ මම තනියම වාහනේ එනකොට අහගෙන ආව නාලිකාවෙ මේ ගීතය වාදනය උනා.. ඒ අතරම ලංකාවෙ ඉන්න අන්ධ අයගෙ අත් දැකීම් ඇහුව... ලංකාවෙ පළවෙනි අන්ධ උපාධිදාරිණිය එයාගෙ අත්දැකීම එදා ඒ වැඩසටහනෙන් කීව.. ඒක අහද්දි මගෙ ඇස් වලටත් ඇත්තටම කඳුලු ආව.. 
මේ ගීතයත් ඔයාල බලන්න... හිත ගොඩක් සැහැල්ලු වෙලාවක, තනියම, කරුවලේ මේක අහල බලන්න. ඔයාලටත් මම කියන දේ දැනෙන්න පුලුවන්.. අපි අතරෙ ඉන්න මෙවන් විවිධ අපහසුතා ඇති අයට මෙය උපහාරයක්ම වේවා..

මේකට රූප හොයද්දි මට http://maroonsrose.blogspot.com/ සයිට් එකෙන් මට ගැළපෙන දේ ලැබුණ.

2 අපිටම අවංක වෙමුද...?

11-11-11 දින ලියමි...


11 - 11 - 11 (2011-11-11) තවත් අවුරුදු 100 කින් එන දවසක්.. ඒ කියන්නෙ අපිට 11-11-11 කියල ආයෙ ලියන්න වෙන්නෙ 2111-11-11.. අපි ඒ වෙනකොට ජීවත් වෙන්නෙ නෑ කියන එක ඉර හඳ වගේ විශ්වාසයි.. එහෙම දවසෙ මොනව හරි ලියන්න ඕනෙ. ඒත් ඉතින් මේක පල වෙන්නෙ 12 වෙනිදනම් තමා... වැඩේ පටන් ගත්තෙ 11 උනාට ඉවර වෙන්නෙ 12... (ගැත්තාට සමාවෙන්න ඒ නිසා.)
නොවැම්බර් මාසෙ මළවුන්ගේ මාසෙ උනාට, ඒක හොඳ මාසයක්... මේ මාසෙදි ලොකු සෙනසුරු මාරුවක් වෙනව කියලත් කියනව.. ඒක වෙලා ඉවර වෙනකල් මට එච්චර හොඳ නෑ කියල ගොඩක් දෙනෙක් කීව... මම ඔය දේවල් ගොඩක්ම විශ්වාස නොකළට, මෙදා සැරේ ටිකක් පරිස්සම් වෙන්න හිතුව..
හැම වෙලේම 15 වෙනිදා වෙනකල් ඉවසනව කියල හිතින් හිතල සද්ද නොකර ඉන්නව..
බලමු 15 වෙනිදගෙන් පස්සෙවත් ලොකු වෙනසක් වෙයිද කියල..
ඒ කොහොම වෙතත්, මම ඉස්සෙලම බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙත් 2010 අවුරුද්දේ මේ මාසෙ.. ඒ කියන්නෙ නොවැම්බර් මාසෙ... දැන් අවුරුද්දකුත් වෙන්න එනව.


ඒක එහෙමයි කියමුකො...
මම ගොඩක් වෙලාවට හිතපු, සහ දැකපු කාරනාවක් ගැන මට අද ලියන්න හිතුන... මේක මට විතරක් උරුම වුන අත් දැකීමක් නෙවෙයි, මේක කියවන හැම කෙනෙක්ම කවද හරි දවසක අත් දැකල ඇති.
වැඩි කැටයම් නෑ..
කතාව කෙටියෙන් මෙච්චරයි..
අපි කීයෙන් කී දෙනෙක්ට පුලුවන්ද තව කෙනෙක්ගෙ ජයග්‍රහණයක් බලල, අවංකව සතුටු වෙන්න..?
අද සමාජෙ එහෙම වෙන අවස්තා කොච්චරනම් දුලභද...?
කෙනෙක් ජයග්‍රහණයක් ලබපු වෙලාවක, හිත යටින් ඉරිසියා නොකර, එහෙම නැත්නම් "අනේ මේක ඇයි මට හම්බුණේ නැත්තෙ" කියල හිතන්නෙ නැතුව, අවංක සිතින්, හද පිරි අවංක සතුටින් සුභ පතන්න පුලුවන් මිනිස්සු කීයෙන් කී දෙනාද අපි අතර ඉන්නෙ..?මම පිළිගන්නව අපි කවුරුත් පෘතඃජන මිනිස්සු කියල... ආශාව, තන්හාව කියන දේවල් අපි දුරු කරල නෑ කියල..
ඒ උනත්....
ඇත්තටම අපිට පුලුවන් වෙන්න ඕනෙ වෙනත් කෙනෙක්ගෙ සතුටක් එක්ක සතුටු වෙන්න අවංකවම, වෙනත් කෙනෙක්ගෙ ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වෙන්න අවංකවම..ඒ කෙනාගෙ ජයග්‍රහණයට අවංකව සුභ පතන්න..
ඒත් ඉතින් අවාසනාවකට වගේ අපි අතර ඉන්න ගොඩක් අය කරන්නෙ එහෙම දේකදි සුභ පතනව... හැබැයි ඉතින් හිතේ තියෙන්නෙ "අනේ කෙල වෙලාම පලයන්" කියන හැඟීම... හැබැයි ඉතින් අපරාදෙ කියන්න බෑ ඒ වගේ දේවල් මූණෙන් හංගන්න නම් අමාරුයි... ඒත් අපේ ගොඩක් අය කරන්නෙ අර "කපන්න බැරි අත ඉඹිනව" වගේ දෙයක්..
මමනම් දකින්නෙ එහෙම කෙනෙක් ජයග්‍රහණයකදි, සතුටකදි ඒ කෙනාට ඒ විදියට සුභ පතනවට වඩා ඒ සුභ පැතීමවත් නොකර ඉන්නවනම් හොඳයි කියන එක... මොකද එහෙම කෙනා කොයි වෙලෙත් හිතන්නෙ අර මනුස්සය ලබපු ජයග්‍රහණයට කැළලක් කරන්නෙ කොහොමද කියල... මඩක් ගහන්නෙ කොහොමද කියල.. ලබපු සතුට ඉක්මනින්ම දුකක් බවට හරවන්නෙ කොහොමද කියල... ඒත් එහෙම කලා කියල තමන්ට ලැබෙන ඇති දේකුත් නෑ..
ඉතින් ඒක සාපයක්නෙ.
එහෙම එකේ ඒ වංක සුභ පැතීම කරනවට වඩා හොඳයි වචනයක්වත් කතා නොකරම ඉන්න එක...ඒකෙන් අඩුම ගානෙ කරා පව ටිකක් හරි අඩු වෙනව..

මම ඔය අත්දැකීම විඳල තියෙනව... මම සමහරුන්ගෙ ඇස් වලින් ගින්දර පිට වෙනව දැකල තියෙනව "නියමයි මචං", "ෂා නියමයිනෙ" කියල කියන වෙලාවල් වලදි... ඉතින් ඒ මිනිස්සු කොයි තරම්නම් පවක්ද කර ගන්නෙ..?
කොයි හැටි වෙතත්, අද දවස මම සතුටු වෙන දවසක්... ඒ ඇත්තටම මගෙ යාලුවෙක් වෙනුවෙන්... මට ඉන්න හොඳම යාලුවෙක් වෙනුවෙන්..
කෙනෙක් තමන්ගෙ ජීවිතෙ ලබන්න පුලුවන් ලොකුම ජයග්‍රහණයක් අද මගේ යාලුවෙක් ලබපු නිසා...අධ්‍යාපනයේ නගින්න පුලුවන් ඉහළම හිනිපෙත්තට නැගපු නිසා..ඒ "ආචාර්ය උපාධිය" අද දවසෙදි ලබපු නිසා...
අවුරුදු 4ක් තිස්සෙ නොයෙක් දුක්, කරදර විඳගෙන ආපු ඒ දුර ගමනෙ අවසානෙ ලබන්න පුලුවන් ඉහලම ජයග්‍රහණයත් එක්ක සතුටු වෙන ඇයට මම සුභ පතනව... අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඇය සමත් වෙච්ච එක ගැන මට සතුටුයි...  
ඒ සතුටත් එක්කම හිතන්න පුංචි දෙයක් අන්තිමේ කියන්නම්...
අපිට පුලුවන්නම් තවත් කෙනෙක්ගෙ සතුටෙදි අවංකව සතුටු වෙන්න, දුකේදි අඬන්න බැරි උනත් හිනා නොවී ඉන්න.... අපි මේ දුවන රේස් එක කොච්චර ලස්සන වෙයිද...?


7 Vegetarian

මාතෘකාව ඉංගිරිසිය උනාට කතාව ෆුල් සිංහල.. ගණන් ගන්න එපා ඒ නිසා... කියවලම බලන්නකො..


මාතෘකාව දැක්කම මොනවද හිතෙන්නෙ..? ආයෙ ඉතින් කැටයම් දානව කියන්නෙ නැතුව.. මොනව හිතෙන්නද ඉතින්... එක්කො අවන් හලක් ගැන කියන්න ඕනෙ... එහෙම නැත්නම් ඉතින් මස්, මාලු නොකන කෙනෙක් වෙන්න ඕනෙ..


හරියට හරි..
අවන්හලක් නම් ඉතින් "වෙජිටේරියන්" කියල දැම්මොත් ඒක වෙජිටේරියන්මනෙ... ආයෙ ඒකෙ ෆුල් බෝඩ්, හාෆ් බෝඩ් නෑනෙ..(එහෙම කීවමයි මතක් උනේ... අපේ යාලුවෙක් මේ ළඟදි ඇහුවනෙ මචං, අපේ ලයිෆ් ඉන්සුවරන්ස් එක "ෆුල්" එකක්ද කියල... එතකොටම අපේ තව එකෙක් ඇහුව ඇයි මචං "තර්ඩ් පාටි" දාන්නත් පුලුවන්ද කියල..) ෆිෂ්ටේරියන්, එග්ටේරියන් එහෙමත් නෑනෙ.. තවත් සරල කලොත් හරක තණකොල කන නිසා අවුලක් නෑ කියලත් කතාවක් ඒකෙ නෑනෙ..
එහෙනම් ඉතින් දැන් කතාවෙ ඉතිරි වෙන්නෙ මේ අපි ගැනම තමා..
අපි කෑම තෝර ගන්න විදිය අනුව අපි අපිවම එක එක වර්ග වලට බෙදා ගෙන... ඒකෙ එක පැත්තක් තමා ඔය මම කීවෙ..
දැන් කාලෙ ගොඩක් දෙනෙක් හරි උජාරුවෙන් කියන කතාවක් තමයි "මම වෙජිටේරියන්" කියන එක. ඒක හරියටම අර තත්වෙ මනින තවත් එක මිම්මක් වගේ.. මස් හොදි කෑවත්, "මම නම් වෙජිටේරියන් අනේ" කියල කියන එක පොඩි ගතියක් තියෙනව මගෙ හිතේ...
මම නම් ඉතින් ඇත්තම කීවොත් මස් කන්නෙ නෑ... ඒ තියා මාලු කන්නෙත් නෑ... හැබැයි ඉතින් ඒක ඔන්න පව් අරවන්නවත්, එහෙමත් නැත්නම් ප්‍රතිපත්තිමය තීරණයක්වත් නෙවෙයි.. හැබැයි මම හරක් මස් කන්නෙ නෑ.. ඒ මම පොඩි කාලෙ අපෙ ආච්චි ("අපෙ ආච්චි" කියන්නෙ අම්මගෙ අම්ම. තාත්තගෙ අම්ම "ගමේ ආච්චි") ගෙදර හරක් ඇති කරා.. ඉතින් මට හැමදාමත් උදේට එළකිරි ජොග්ගුවක් හම්බෙනව. මම ඒක බොන්න හරි ආසයි... අපි හිටියෙ වෙනම ගෙදරක, ඒත් ආච්චිලාගෙ ගෙදර ළඟ... උදේට අම්ම, තාත්ත වැඩට යන්නෙ මාව ආච්චිලාගෙ ගෙදර දාල. ඉතින් උදෙන්ම කිරි ජොග්ගුව ගහනව... ඉතින් අන්න ඒ නිසා මම හරක් මස් කන්නෙ නෑ. අනිත් මස් ජාති, මාලු ජාති මම කන්නෙ නැත්තෙ මට අප්පිරිය නිසා... හැබැයි එහෙම කියල මට තැනකට ගියාට පස්සෙ කන්න දෙයක් ඇත්තෙම නැත්නම් මම කනව.
ඒක එහෙමයි. හැබැයි මම කියන්නෙ නෑ මම "වෙජිටේරියන්" කියල...
ඒක එහෙමයි කියමුකො...


ඉතින් මම කියන්න හදපු දේ කියල ඉවර කරමුකො මේක..


දැන් ඉතින් ඔය "වෙජිටේරියන්" කියන සමහර අයනම් ඇත්තටම ඉන්නව, එයාල අඩුම ගානෙ කේක් කෑල්ලක්වත් කන්නෙ නෑ. මොකද කේක් හදද්දි ඒකට බිත්තර දාන නිසා. ඒ අයට මම ගරු කරනව..ඒ ඇත්තටම ඒ අය එක ප්‍රතිපත්තිමය තීරණයක් නිසා (මම එහෙම කියන්නෙ ඒක එක්කො "පව්" නිසා වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් වෙන හෙතුවක් වෙන්න පුලුවන් නිසා) ඒ කැප කිරීමක් කරන නිසා. හැබැයි ඒ අය මාංශමය ආහාර නොගත්ත කියල කිසි අසනීපයක් නැතුව දෙයියනේ කියල ජීවත් වෙනව..


දැන් එහෙම කීවම "බොරුවට වෙජිටේරියන්" අයත් ඉන්නවද..?
(හිකිස්..!!!)
ඔව්නෙ ඉතින්...
සමහරු ඉන්නව නමට "වෙජි", හැබැයි කුකුල් මස් හොදි එක්ක පාන් කනව.හරි ඉතින් පව් සිද්ද වෙන්නෙ කුකුල් මස් කෑලි කෑවොත්නෙ..
කතාව ඇත්තනෙ බලද්දි..
තව සමහරු ඉන්නව, ෆ්‍රයිඩ් රයිස් එක කනව චිකන්.. ඇයි, ඒකෙ චිකන් කෑලි අයින් කරන්න බෑනෙ. ඇත්තනෙ... චූටි චූටි කෑලිනෙ තියෙන්නෙ.
හැබැයි ඉතින් ඒව ටිකක් සධාරණ හේතු.... ඒත් ඉතින් සමහරු මස් කෑම සාධාරණීකරනය කරන්න අපේ බුදු දහම, ගෞතම බුදු රජාණන් වහන්සේවත් පාවා දෙන එක තමයි නරක.
"පන්සිල් පද වල මස් කන්න එපා කියල නෑ" කියන එකවත්, "බුදු හාමුදුරුවො මස් කන්න එපා කියල නෑ" කියන එකවත් සාධාරණ හේතු විදියට මටනම් හිතෙන්නෙ නෑ. (මේක මගේ අදහස)
අනික ගවය කියන සතා හින්දු ආගමට වැදගත් උනාට සින්හල අපිට ගව මස් කෑම ප්‍රශ්නයක් නෑ කියන අයත් ඉන්නව. හැබැයි ඉතින් ඒ කියන්නෙ ගවය ඉපදෙන්නෙම අපිට කන්නද කියල ප්‍රශ්නයක් එනව...
අර නිහාල් නෙල්සන් මහත්තයගෙ සින්දුවෙ කියනව වගේ, ගවය කියන්නෙ ඇත්තටම අපිට කිරි දුන්න අම්ම කෙනෙක්... ඉතින් එහෙම එකෙක් මරාගෙන කනව කියන එක පව කෙසේ වෙතත්, ඒක යුක්තිසහගතද...? ඒකයි හිතන්න ඕනෙ.
මම කවදාවත් ගව ඝාතනය තහනම් කරන්න කියන මතේ ඉන්නෙ නෑ... මොකද, ලංකාවෙ "කසිප්පු" කියන්නෙ තහනම් කල බීමක්... පෙරල අහු උනොත්, දඩයක්, සිර දඬුවමක් හෝ ඒ දෙකම උනත් ලබන්න පුලුවන්.. ඒත් අපේ රටේ ගජරාමෙට කසිප්පු පෙරණව... ඒ ඇයි..? අපේ මිනිස්සු බොන නිසා...  
ඉතින් එහෙනම් අපි අපේ රටේ ගව ඝාතනය තහනම් කලා කියල වැඩක් වෙයිද..? අපේ මිනිස්සු මස් කන නිසා නේද හරක් මරන්නෙ..? ඉතින් අපි හරක් මස් කන එක නතර කලොත්, කා වෙනුවෙන්ද හරක් මරන්නෙ..? ඔය ගැන කෙලින්, දැනෙන්න කතා කල එක කෙනයි අපිට හිටියෙ... අද ඒ කෙනත් අපි අතර නෑ.. ඒ අපේ සෝම හාමුදුරුවෝ..
ඒ කොහොම වෙතත්, අපිට පුලුවන්නම් බොරුවට, නමට, status එකට වෙජිටරියන් වෙන්නෙ නැතුව, සැබෑ වෙජිටේරියන් වෙන්න.. කොච්චර දෙයක්ද....?

අපි ඕනෙම දෙයක් කරද්දි අපි කරන අපේ හිතට එකඟව හරි දේ හරියට කරනව මිසක්, ලෝකෙට පේන්න , සමාජෙන් හොඳ නම ගන්න, හිතාගෙන දෙයක් කරල තව දෙයක් එළියට දෙනවනම්, රැවටෙන්නෙ අපිමයි නේද...?
ඒ ලබන සතුට, හොඳ නම තාවකාලිකයි නේද..?



6 මං ආසා ගී - අවසාන මොහොත මාගේ

අවසාන මොහොත මාගේ
පෝරකය දෑස මානේ
පෙනේවී රූපේ ඔබගේ  මැවි මැවී මාගෙ අම්මේ
දැනෙයි ඔබෙ සුවඳ අම්මේ..

පොඩි කාලෙ වීදි අතරේ සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ මඩ වතුර බීවා
ගලන ලේ කිරි වුනේ නොමැතිදෝ ඔබෙ ළයේ
මා ඔබෙ පුතු නොවේද අම්මේ
ඔබෙ පුතු නොවේද අම්මේ...

මේ කෲර ලෝක තලයේ නොමිනුසුන් සමඟින්
ඇසුරේ ගෙවු නිසයි මාගේ ජීවේ
මේ ලෙසින් අඳුරේ 
මදුවිතින් මත් වෙලා
කෙලෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බෑනෙ අම්මේ
අඳුරු වීලා මාගේ ලෝකේ....

බාචි සුසාන් කියන ගායකය ගායනා කරන මේ ගීතය මම අහම්බෙන් ඇහුවෙ අද...සමහරවිට ඔයාල හිනා වෙයි... මේක පරණ සින්දුවක් කියල... ඒත් ඇත්තටම මම අදයි ඇහුවෙ. ඒ ගමන "යූ ටියුබ්" එකට පින් සිද්ද වෙන්න මේක හොයාගෙන ආයෙ ඇහුව..ගී පද ලීවෙ කව්ද කියලනම් දන්නෙ නෑ මම... කොහොම උනත් ඇත්තටම හරි ලස්සනයි... මෙහෙම චරිත අපිට අනන්තවත් හම්බෙනව උදේ හවස....

http://www.youtube.com/watch?v=hPWeku_4okc&feature=related


3 ටිකක් හිතන්න....

ලියන්න හිතාගෙන හිටිය දේ මොන විදියෙන් පටන් ගන්නවද කියන එක හිතා ගන්න අමාරුයි ටිකක්.. ඒත්, මේක ලියන්නම ඕනෙ...ඒ වෙන කිසි දෙයක් හින්ද නෙවෙයි.... 
මටම ඇති වෙච්ච සිත් රිදීමක් හින්ද..
මම ඇත්තටම ලියන්නෙ මගෙ අදහස්.... ඒ ඇරෙන්න මම අලුතෙන් ලියන්න පටන් ගත්තෙ මම ආස කරන ගීත... මම හිතනව ඒක කාටවත් හානියක් වෙන්නෙ නෑ කියල.. අනික මම කිසිම කෙනෙක්ට මඩ ගහන්න, එහෙමත් නැත්නම් කිසිම කෙනෙක්ට කඩේ යන්නත් මගෙ මේ සිංහල පිටුව පාවිච්චි කරල නෑ තවමත්...
දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් පහුගිය දවසක "විදුර රලපනාව සහෝදරය වෙනුවෙන් ඡන්දයක් දෙන්න" කියල මම මගෙ පිටුවෙ ඇඩ් එකක් දැම්මෙ කඩේ යන්න නෙවෙයිද කියල. ඇත්ත.. මම එහෙම එකක් දැම්ම... ඒ අපේ සහෝදරයෙක්, අන්තර් ජාතික මට්ටමේ තරඟයකට සහභාගි වෙලා අපේ රටේ නම ජාත්‍යන්තරේ බබලවන්න කළ උත්සාහයකට ගරු කරන්න... සහයෝගය දක්වන්න... 
මේක කියවන ඕනෙම සහෝදරයෙක්, සහෝදරියක්, එහෙම උත්සාහයක් දරනවනම්, මම ඕනෙම වෙලාවක ලෑස්තියි ඒ වෙනුවෙන් සහයෝගයක් දෙන්න.. 
"කව්ද මේ.." ලිපියත් මඩක් නෙවෙයි කියන එක, ඒ අදාල මල්ලිම දන්නව.. 
හරි ඇඩ් ඇති..
මම ලියන ඕනෙම දේකට දාන විවෙචන වලට මම ගොඩක් ගරු කරනව... මොකද, ඒ දේවල් තමයි උදව් වෙන්නෙ මට හැදෙන්න... මම ලියන දේවල් වල අඩු පාඩු හදා ගන්න..
ඒ හින්දම මම කවදාවත් මගෙ ලිපියක් ගැන ඕනෙම කෙනෙක්, ඕනෙම දෙයක් කීවට තරහ වෙන්නෙ නෑ.. තරහ ගන්නෙ නෑ.. ඒ කියන දේ කොච්චර හිත රිදෙන විදියට මට කීවත්, මම ඉවසල ඉන්නව.. (ඒ මගේ හැටි නෙවෙයි. ඒක මම හිතල කරනව. නැත්නම් මම චුට්ට ඇත්නම් තද වෙන කෙනෙක් කියල තමයි මගෙ යාලුවො කියන්නෙ.)
මම පොඩි කලෙ, මගෙ තාත්ත එක්තරා ත්‍රස්තවාදී ක්‍රියාවක් ගැන ප්‍රසිද්ධ පුවත්පතකට ලියපු පුවතක් සම්භන්ධයෙන් උරණ වෙච්ච නිලධාරියෙක් තාත්තව ප්‍රශ්ණ කරන්න හමුදා කඳවුරකට අරන් යන්න දරපු උත්සාහය (අන්තිමේ අරන් ගියා. ඒත් තාත්ත කරදරයක් නැතුව ආපහු ආව) සහ ඒ වටා ඇති වෙච්ච සිද්ධි හරියට ත්‍රාස ජනක ජවනිකා වගේ මට අදටත් මතකයි.  
මම ඒ කතාව කීවෙ, ඒ නිලධාරියත් හරියට ඇත්ත මොකද්ද කියල නොදැන දඟලපු නිසා.
ඉතින් ඔන්න දැනුයි ප්‍රධාන මතෘකාව.
මම පහුගිය දවසක, "අපේ ජීවිතේ මග ඇරෙන දේවල්" කියල ලිපියක් ලීව. ඒ ලිපියෙ අන්තර්ගතය මොකද්ද කියල ඒක සම්පූර්ණයෙන් කියවපු කෙනෙක්ට තේරෙයි.
ඒ ලිපිය ලියන්න මට හිතුනෙ චූටි එවපු "උපුල් ශාන්ත සන්නස්ගලගෙ" අම්ම ගැන පුවත් පතකට ලියල තිබුන ලිපිය කියෙව්වම බව ඇත්තයි... ඒත් එතන මම එයා ගැන ලිපියක් ලීවෙ නෑ... උපුල් ශාන්ත සන්නස්ගල හොඳද, නරකද, කළ වැඩ හොඳද, නරකද කියන්න මම ගියෙ නෑ... මට එහෙම කරන්න ඕනෙත් නෑ....(අපි එහෙම බැලුවොත්, අපිට කිසිම කෙනෙක් කියන කරන හොඳ දෙයක් ගන්න බෑ.. මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් නෑ සර්ව සම්පූර්ණ... ජීවිතෙ කිසිම දවසක, කිසිම වරදක් නොකරපු. අපි කරන්න ඕනෙ කාගෙන් උනත්, ජීවිතේට හොඳ දෙයක් ගන්න පුලුවන්නම්, පාඩමක් ඉගෙන ගන්න පුලුවන්නම් ඒ දේ ගන්න එකයි. නැතුව එයාගෙ ජාතකේ හොයන එක නෙවෙයි.. සිංහල අපිට සමහර වෙලාවට වරදින්නෙ එතන)
මට මගෙ ලිපිය ලියන්න අදහස ආවෙ එයාගෙ ලිපියෙ එක කොටසක් කියවපුවම... මම ඒ ගැන බොහොම පැහැදිලිව ලියල තියෙනව... ඒත් මම මුලින්ම "මූණු පොතේ" මගෙ ලිපිය ගැන දානකොට මම 
"සිංහල සන්නස්ගල (හැමෝම දන්නවනෙ එහෙම කීවම) එයාගෙ අම්ම ගැන එක පත්තරේකට ලියපු ලිපියක්... මට මතක හැටියට ඒක පත්තරේ තියෙනකොටම මම ඒක දැක්ක.. ඒත් කියෙව්වෙ නෑ... මට එදා ඒක කියවන්න කම්මැලි හිතුන... " 
කියන කොටස දැම්ම tag line එකක් විදියට.. මේක දැකපු ගමන් අපේ එක සහෝදරයෙක්, සන්නස්ගලගෙ ජාතකේම කියල , ඊට අදාල වෙබ් ලිපින දාල කොමෙන්ටුවක් දැම්ම මූණු පොතේ...
ඒක දාපු විදියට මට හොඳටම විස්වාසයි ඒ සහෝදරය මගෙ ලිපිය කියෙව්වෙ නෑ කියල...එයා ඒක කියෙව්වනම් කවදාවත් ඒ කල දේ කරයි කියල මම හිතන්නෙ නෑ. මොකද මගෙ ලිපියෙ කොතනකවත් මම කියල නෑ සන්නස්ගල "කලුද" නැත්නම් "සුදුද" කියල.. මට එහෙම කියන්න ඕනෙත් නෑ.
අන්න ඒ නිසා, මට ඇත්තටමට හිත රිදුන ඒක කියවපුවම.... මම ඒ දාල තිබුන සියලුම දේ මූණු පොතෙන් මකල, දැන් තියෙන එක ආයෙම දැම්ම ඉතින්... මම ඒ සහෝදරයට පුද්ගලිකවම පණිවිඩයක් දැම්ම... ඒත් එයා මට පිළිතුරක්වත් දැම්මෙ නෑ... මම තරහ නෑ ඒ සහෝදරය එක්ක...
ඒත් මම එක දෙයක් ඉල්ලන්නම් මේක කියවන අයගෙන්... (කියවයිද දන්නෙ නෑ..) අපි දෙයක්, කෙනෙක් ගැන පිටින් බලල නිගමන ව්ලට එළඹෙනවට වඩා, ඒ ගැන කියවල, කතා කරල, හොයල බලල, තීරණ වලට එන එක නේද හොඳ..?
මනුස්සයෙක් ඇඳන් ඉන්න ඇඳුම, කොණ්ඩෙ පීරන විදිය, දාල ඉන්න සෙරෙප්පු දෙක දිහා බලල ඒ මනුස්සය කව්ද කියන තීරණේ ගන්නවට වඩා, ඒ ඇතුලෙ ඉන්නෙ කව්ද කියන එක තේරුම් ගන්න එක නේද හරි..? 
ටිකක් හිතන්න..