ඉන්න ඇත්තො

1 [118] රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අයට


ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...
මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා..
අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්...
මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න...
මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ..
හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා...
අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්...
ඉතින් මට මොකද...
අසරණ මීයා ඌරා ලගට යනවා..
ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..
අදාලම නෑ...
ඌරගේ උත්තරේ...
මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
හරකෝ ගමයා මී කතුරක් ගෙනත්...
වෙන ගෙදරකටවත් පලයන්...
අපිට පාඩුවේ ඉන්න දීලා...
එක නපුරු රෑක මී කතුර තියන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..
මීයට වැඩේ හරි...
මෙහෙම හිතපු ගම මහගේ ලහියේ යනවා සද්දේ ආපු තැනට...
මී කතුරට අහුවෙලා තිබුනේ අධි විෂ සර්පයෙක්..
කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා..
උන්දෑ මැරෙන්නේ නෑ..
දැඩිව අසනීප වෙනවා..

මට සුප් ටිකක් හදලා දෙන්න..
කුකුලා සුප් එකට යනවා...
ගම මහගේ එන්න එන්නම දුර්වල වෙනවා..
එලු සුප් දීලා බලමු...
එළුවටත් බඩු හරි...
ගමයා දැන් නැට්ටටම හිදිලා..
ඌරාව යවනවා පොල් රොටි, පෝක් විකුනන පෙදෙසෙකට..
ගම මහගේ මැරෙනවා..
ගමයා හරකව නානාට දීලා අවසන් කටයුතු කරනවා...
මීයා තාම යහතින් ගොවිපලේ...

රටේ ලෝකේ ප්රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න..
( පට්ට නිසා උස්සපු එකක්
Jeewantha
ගෙන්)

අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. -------------------------------------------------------------------------------------------------------------

1 මං ආසා ගී - රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්

රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්
මගෙ දෙනෙතින් එක දවසක්
ඔබ වෙන්වුනු දින සිට මේ වන තෙක්
මා දැවුනා දහස් වරක්
මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ
තෙත්මනයක් නොමැති සිතක්
ඔබ උරුම කළේ ඇයි මට රිදවුම් දී
හිරු සඳු නොමැති ලොවක්...


ඔබ සොයමින් පෙර බවේ පතාගෙන
කවදාවත් වෙන් නොවේ කියාගෙන
සපැමිණි බව හැඟුනා
ලබැඳි වූ තරම් ඔබෙන් තොර වෙන
ලොවක් නැතැයි සිතුනා
ලෙන්ගතු කම දැනුනා
...

සෙනෙහස මගෙ පපුතුරේ රුවාගෙන
හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
අප අතිනත් බැඳුණා
නමුදු මා පැතුව පැතුම් සියල්ලම
සිහිනයක්ව ගිය දා
බැඳි අතිනත් බිඳුනා...



චන්දන ලියන ආරච්චි ගායනා කරන මේ ගීතය බොහෝ කාලෙකට ඉස්සර අහපු, අහම්බෙන් නැවත අසන්නට ලැබුණු ආසා කරන ගීතයකි.
පද රචනය සහ සංගීතය කාගේදැයි නොදනිමි.
තවත් එක් අමිහිරි ආදර අත්දැකීමක් කියන මේ ගීතය ආසා කරන මෙන්ම තමන්ගේම අත්දැකීම් වන අය වෙනුවෙන් එකතු කරමි.




ගීතය අහන්න

 -------------------------------------------------------------------------------------------------------------


අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..

0 ඔබ කැමති ද අබිසරුලියක් මුණ ගැහෙන්න ?

මගේ අදහසක් නොවුනත්, මගේ හිතෙත් හැමදාම තිබුණු ප්‍රශ්ණයක් වෙන කෙනෙක් ලියල තිබුණු නිසා මේක උපුටා ගැනීමක් හැටියට නැවත පළ කරන්න හිතුව.
හිමිකරුට අසාධාරණයක් නොවේ යැයි සිතමි.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් සඳහා උඩගෙඩි දීමක්, සාධාරණීකරනයක් කිරීමක් වැනි අදහසක් මට නැත. එහෙත් කතෘට ඇති ප්‍රශ්නාවලියම මටත් ඇති හෙයින් මෙය පළකිරීම යෙහෙකැයි සිතුනි.

මාගේ ගැටළුව ඇත්තේ අබිසරුලියන් සම්භන්ධයෙන් පමණක්ම නොවේ... සම්බාහන මධ්‍යස්තාන වල සේවය කරන තෙරපිවරියන් සම්භන්ධයෙන්ද ඒ හා සමානම ප්‍රශ්ණාවලියක් මට ඇත.

සිතා බැලීම සහ පිළිතුරු සැපයීම ඔබ සතුයි...

-------------------------------------------------------------------------------------------------------------

මම ඔබෙන් කෙලින්ම මෙහෙම අහන්නම් “ඔබ කැමති ද අබිසරු ලියක් ව මුණ ගැහෙන්න ?”

සමහරු ඒක මගෙන් ම නැවත විමසන බව මම දන්නවා. මගේ පිළිතුර අවංකව ම කීවොත් ඔව් මම කැමතියි. මම කැමතියි එතරම් වයස නැති කෙනෙක් ව මුණ ගැසෙන්න. මට තියනවා ඇයත් සමග කතාවක්. මුලින් ම මම අහන්නේ පැයකට කීයක් මම ගෙවන්න ඕන ද කියලා. මොකද මම එයාගේ කාලය ට මිලක් ගෙවන්න ම ඕන.

ඇත්තටම අබිසරු ලියකට ආදරයක් නැද්ද ? ආදරේ කරන්න කෙනෙක් නැද්ද ? නැතිනම් ආදරේ දැනෙන්නේ නැතිද ? නැතිනම් පොඩි කලේ ඔයා මම අනාගතයේ දී කරනවා කියල හිතා ගත්තේ මේ රස්සාව ද? මට මේ දේවල් එයා එක්ක කතා කරන්න තියනවා. ඇත්තටම එහෙම කෙනෙක් ගෙන් ම මේවා අහන එක තමයි වඩා ම සාධාරණ කියල යි මට හිතෙන්නේ.

අපි හැමෝම කරන්නේ ජිවත් වෙන එක. එකට අපි සල්ලි හම්බ කරන්න ඕනි. නැතිනම් ඉල්ල ගන්න ඕන. ඒත් නිකං සල්ලි දෙන්නේ කවුද? එක අතකට ගණිකාවක් කරන්නෙ ත් අපි කරන්නෙ ත් එකම දේ නේද? අපි ළඟ තියන යමක් අපි වෙන කෙනෙක් ට මුදල් වලට විකුණන එකනේ අපි කරන්නේ. එත් අපි විකුණන්නේ අපි ඉගන ගත්ත දේ අපේ දැනුම. එයා විකුණන්නේ උපතින් ලැබුණ  දේ එයාගේ ශරීරය. දෙගොල්ල ම කරන්නේ විකුණන එක. එත් විකුණන දේ වෙනස් නේද?

මට අහන්න ඇත්නම් එළිපිට සමාජය ඔයා ව පිළිකුල් කරනවා කියල දැන දැනත් ඇයි ඔයා මේ දේම තෝරා ගත්තේ කියලා. එයා මොනවා කියයි ද. තව ටිකක් සරල ව බොක්කට ම වදින්න ඇහුවොත් ඔයා 5 වසරේ දී ගුරුතුමී අහන කොට දුවේ කවුරු වෙන්න ද කැමති කියල, ඔයා දුන්න පිළිතුරත් මේකද? සමහර විට ඇය බිම බලා ගෙන ඔලුව දෙපැත්තට වනල “නැහැ” කියල කියාවි. එහෙම නම් අද ඇය අබිසරු ලියක් වුණේ කොහොමද? ඇයට අනවශ්‍ය නමුත් වෙන අයට අවශ්‍ය රස්සාවක් කරන්න වුණේ කොහොමද ඇයට. ඇය ඇත්තටම මේක කරන්නේ කැමැත්තෙන් ද ? නැතිනම් ඇයට කරන්න වෙලා ද ?

ඇයට අපිට වගේ මිතුරන් මිතුරියන් ඇසුරු කරන්න අවස්ථාවක් තියනවා ද? නැතිනම් ඇගේ ජීවිතයේ ඉන්නේ ලිංගික ආකර්ශකයින් විතරමද? එහෙම නැතිනම් ඇය දිවා සමාජය ඉදිරියේ කරන්නේ රඟපෑමක් ද?

මගේ හිත නම් කියන්නේ එහෙම රාත්‍රී සරනා කිසිම ලඳක් 5 වසරේ ගුරුතුමී අහන අනාගත රැකියාව නම් වූ සරල ගැට‍ළුවේ දී  “මම අබිසරු ලඳක් වෙනවා” කියලා කිසිම කෙනෙක් කියන්න නැතිව ඇති. එහෙම නම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ ? කොතැන ද වරදක් සිදු වුණේ ? හා පුරා කියල පටන් ගත්ත පළමු ආදරෙන් ද ? රස්සාවක් සොයා ගෙන නගරයට පැමිණි අවස්ථාවේ ද? තමන් බොක්කෙන් ම love කරපු කෙනා එක්ක තනි වෙන්න ගියපු නිසාද ? එහෙම නැතිනම් facebook එකෙන් email එකෙන් අඳුර ගත්ත කෙනෙක් එක්ක විනෝද වෙන්න ගියපු නිසාද ?කොතැන ද වැරදීමක් වුණේ ? ඒකට වගකියන්න අවශ්‍ය ඇය පමණක් ම ද ? ඔබ කියන්නේ සමාජය අතිශය සාධාරණයි නිවැරදියි කියල ද ?

නැහැ මම හිතන්නේ නැහැ එහෙම. ඇයගේත් වැරදි ඇති නමුත් මම කියනවා ඇයට වඩා වැරදි සමාජයයි. මම  මුලින් කීව වගේ ම අපි හැමෝම කරන්නේ ජීවිකාව වෙනුවෙන් අපි ළඟ තියන දෙයක් මුදල් කර ගැනීම. ඇය කරන්නෙත් ඒ දෙය ම නම් ඇයත් මේ සමාජයේ ම කොටසක් නේද ? නිගරු කිරීම හෝ පහත් කොට සැලකීම සාධාරණ ද?

"ෂෙනෙශ් දිසානායක"
---------------------------------------------------------------------------------------------------------
මුල් ලිපියට

0 මං ආසා ගී - මේ... හිත තනියෙන්

මේ... හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්
නෑ.... මං දන්නා 
වෙන කවුරුත් 
නුඹව තරම්
ආදරයෙන් 
එදා ඉඳන්......

කඳුලක් ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින් 
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ... හීනේ මැද්දෙන් 
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින් 
තනියක් නැති දවසක් එනකල්
තව මග බලමින්
ආයේ... හීනේ මැද්දෙන්
ආදරේ අඳුනා තියෙන තරම්

මේ... හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්...


රචිතා වාකිෂ්ඨගේ පදරචනයට,  තිළිණ රුහුණගේ සංගීතය මුසුකොට ආත්මා ලියනගේ ගායනා කරන මේ.. හිත තනියෙන් ගීතය තනි වූ ආදරයක අත්දැකීම් කියයි..

ගීතය මෙතැනින්

0 මං ආසා ගී - දුක වැඩි නැතේ

දුක වැඩි නැතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ...
සැනසුම මගේ ඔබ ගෙන ගියේ
ඇයි හොර රහසේ...
කවදාවත් නෑ.. අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ....

දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්‍රා මගෙ බව කීවා...

පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා...


සජිත් චතුරංගගේ පද රචනයක් රදීෂ් වැන්දබෝනාගේ සංගීතය මුසුව, රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන "දුක වැඩි නැතේ" ගීතය ආදරයේ එක් කෙළවරක දුක සිහි ගන්වයි....

ගීතය මෙතනින් අහන්න

0 නුඹේ සහයෝගය අවැසි මොහොතක...

මිතුරනි...

හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත..

ඔබ දන්නා, හඳුනන කෙනෙක් ඒ සඳහා කැමත්තෙන් සිටී නම්
0785700635  අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න...

මෙවන් කටයුත්තක් මහඟු පුණ්‍යකර්මයක් වුවද, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාව අගයනු වස් මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට අදහස් කරගෙන සිටිමු. (මෙම දානය මිල කළ නොහැකි වග දනිමු )

මෙ හැකි පමණින් මිතුරන් අතරේ බෙදා හැරීමෙන් සහයෝගය දක්වන්න...
ස්තුතියි..




පසුව ලියමි (2017-02-08)

අවසානයේ සියලු දයාබරයන් හැරදමා,  ජීවත් කරවීමට වෙර දැරූ සියලු ප්‍රයත්න නිෂ්ඵල කරමින් ඔහු නික්ම ගියේය....

කිසි දිනෙක,
තමන්ට හෝ තමන්ගේම අයෙක්ට දෙයක් සිදු වන තුරුම
අපිට සැබෑ වූ යතාර්ථය තේරුම් නොයනු ඇත..
එය තේරුම් යන අවස්ථාව වනවිට
බොහෝ විට අප ප්‍රමාද වූවා වන්නට ඉඩ ඇත...



1 ලබන්නා වූ 2016 වසර


මේ සටහන තබන වේලාව වන විට තවත් පැය 33 ක් එහෙමත් නැත්නම් දවසකුත් පැය 9ක කාලකින් 2015 වසර නිමවී, 2016 නව වසර උදා වෙනව.
දැනුම තේරුම් ඇති හැම කෙනෙක්ම හෙට රාත්‍රියේම ඉඳන් ලබන්නා වූ නව වසරට සුභ පතන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක්..

ඒත්, හිතන්න පුංචි දෙයක් කියන්නම්... ටිකක් අසුභවාදී අදහසක් කියලත් කෙනෙක් කියන්න පුලුවන්..
ඒත් මට හිතෙන්නෙ තිත්ත උනත් ඇත්ත මේකයි කියල..
ඇත්තටම කෙනෙක්ට උපන්දිනයට, විවාහයට, විවාහ සංවත්සරයට,නව රැකියාවකට, රැකියාවේ උසස්වීමකට,  නව වසරට ආදී බොහෝ දේට සුභපතන එක පුරුද්දක්... ඒක සමහරු සමහර වෙලාවකට රැළ්ලටත් කරනව...

නමුත්, කෙනෙක්ට කුමන හෝ දේකට සුභ පතනව නම්... ඒක අවංක සිතින්, කරන්නාවූ සුභ පැතුමක් විය යුතුයි... මොකද ඒක එහෙම එකක් උනොත් විතරයි, ඒක ප්‍රාර්ථනයක් වෙන්නෙ... නැතුව "සුභ නව වසරක් වේවා" (අනේ කරුමේ ) කියල හිතුවොත් ඒ වචන කියන්න නාස්ති කළ කැළරි ප්‍රමාණයත් අපරාදේ වේවි...


ඉතින්, නව වසර උදා වන මේ මොහොතේ, කෙනෙක්ට නව වසර සුභ වෙන්න ප්‍රාර්ථනා කරන විට දෙවරක් නොව දහස් වසරක් සිතන්න...හැබෑවටම ඔහුගේ හෝ ඇයගේ නව වසරේ සාර්ථකත්වය ඔබ අවංක සිතින් ප්‍රාර්ථනා කරන්නේද...? එය එසේනම් පමණක්, ඔබගේ වචන, වැය කරන ශක්තිය අපතේ නොයයි.. එසේ නොමැතිනම් ..... ඔබේ ශක්තිය සුරක්ෂිතව තබා ගන්න... එය ඔබට පසු කලෙක උපකාරී වන්නේය..

ගෙවන්නා වූ 2015 වසරේ දුක්, කම්කටුළු, ලෙඩරෝග පරදා...
ලබන්නා වූ 2016 වසර සැප, සතුට, ජයග්‍රහණ පිරි, අතමිට සරු නිදුක් නිරෝගී සාර්ථක සුභ නව වසරක් වේවා...

1 මං ආසා ගී - සුපෙම් හැඟුම් ඔබෙන් එපා

සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...

තරි එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අපි හමු නොවන බව දනිම්
සිහිනය මිය ය යුතූය මේ ලෙසින්...

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිනෙමි වියරු වී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්... 


ඈත සමුදුරේ යන නෞකාවන්ට, මෑත ගොඩබිමේ ඇති පහන් ටැඹ කොතෙකුත්නම් තනි රකිනවද?
නමුත් කිසිම දවසක, පහන් ටැඹට නෞකාව වෙතවත්, නෞකාවට පහන් ටැඹ වෙතටවත් ළඟා වනු නොහැකිය..

ඒත්... ඔවුන් දෙදෙනාට, දෙදෙනා නොමැතිව තම අරමුණු කරා යාම අපහසුය.

ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර දෙපළ ගායනා කරනමේ ගීතය තුළින් 
කිසිදා එක් නොවන, 
එහෙත් දුරින් සිට එකිනෙකා දෙස බලා සිටින, 
එකිනෙකාගේ අරමුණු ඉටු කිරිමට දිරි දෙන දෙපළක් ගැන කියැවේ...

ගීතය මෙතැනින් අසන්න..

1 "අසූ නවයෙ පහේ අපි"



අපි..

උපන්නෙ "හැත්තෑ නවයෙ"...
පහේ පන්තියෙ උන්නෙ "අසූ නවයෙ"...
"අනූ නවයට" එකක් අඩුවෙන් අවුරුද්දක අපි උසස් පෙළ කලා...
"දෙදහස් නවයෙ" අපිට අපිව හොයා ගන්න බැරි උනත්,
ඊට අවුරුදු හයකට පස්සෙ අපි ආපහු අපිව හොයා ගත්ත...
ඒ හින්ද අපි අපිට නමක් තිබ්බ...
ඒ "අසූ නවයෙ පහේ අපි"
ඒ අවුරුදු විසි හයකට පස්සෙ...


පහුගිය දවසක අපි ආයෙමත් අපේ පුංචි ඉස්කෝලෙට ගියා...
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා...
ඉස්සර අපිට තිබුණෙ ගොඩනැගිලි 4යි....
දැන් ගොඩනැගිලි ගොඩයි....
අපි නැගපු අට්ටික්කා ගස් තාමත් එහෙමයි...
"රොබින් හුඩ්" සෙල්ලම් කළ කැලේ දැන් එළි කරල.
දැන් ඉන්න උන් දන්නෙ නෑ රොබින්හුඩ්...
දැන් ඉන්නෙ බෙන් ටෙන්ල...
ඒ පුංචි ඉස්කෝලෙ හිටියෙ පොඩි කාලයක් උනාට....
මගෙ ජීවිතේ ගත කළ සුන්දරම පාසැල් කාලය ඒක තමයි...
අදටත් මට ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ ඉඳල අන්තිම දවස වෙනකල් හොඳට මතකයි...
එදා පාසැලේ අන්තිම දවසෙ
දෑස් නොතෙමුනාට, මෙදා පාසැලෙන් එළියට එන්න දුකයි...
දෑස් තෙමුන ඇත්තටම....
පොඩි උන් අපි දිහා හරියට වීරයො වගේ බලා හිටිය...
උන්ගෙ හිත්වල තිබුන දේවල් ඇස් වලින් පෙනුන...
අපි පුංචි කාලෙ අපිට කවුරුත් එහෙම ඉස්කෝලෙට පොත් ගෙනත් දුන්න මතක නෑ...
ඒත් පුංචි උන් ඒ පොත් කියවාවි...
ෆිල්ටරෙන් වතුර ගනීවි...
සන්තෝසයි.... ගොඩක් සන්තෝසයි...
දැනුත් දෑස් තෙමෙනව...
ඒ අවස්ථාව උදා කරල දුන්නට උඹල හැමෝටම පින්....
ඒ උඹලගෙ ශක්තිය නිසා...
උඹල නොයින්න, එහෙම දෙයක් වෙන්නෙ නෑ....
ආව, නාව, හැම එකාටම ගොඩක් පින්...
දන්නව...
අපි කවුරුත් දුවන්නෙ රේස් එකක්...
ඒ අතරෙ මෙහෙම දේකට කාලෙ හොයනව කියන්නෙ ලේසි දෙයක් නෙවේ..
නාවත් උඹල හැමෝගෙම ශක්තිය තිබුන ඒ දේ සාර්ථක වෙන්න..
ඒ නිසා... අයෙමත් වතාවක්, උඹලට පින්.....
--------------------------------------
හිතට ගොඩක් සතුටුයි හේතු 3ක් නිසා..
1. අපි ආයෙමත් මුණ ගැහුන නිසා....
2. අපේ පුංචි පාසැලට අවුරුදු 26කට පස්සෙ යන්න ලැබුණ නිසා...
3. පුංචි පාසැලට අපේ ශක්තියෙන් උදව් කළ හැකි වූ නිසා...
ඒ වගේම,
එදා ආව අපි කට්ටිය එකට ඉඳල ඡායාරූපයක් ගන්න බැරි වුනු නිසා,
උඹලට ස්තුති කරන්න බැරි වූ නිසා,
හිතට ගොඩක් දුකයි.... ඒ වෙනුවෙන් සමාවෙයන්....



අපි ගැන කලින් ලියපුව

රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය


0 [118] හන්තාන අරණේ...

බලා වැලපෙමි
නෙළාගනු බැරි 
හන්තාන 

සිහිනේ....

දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන 
ළඳුනේ... 
සංසාර සිහිනේ...

වැහි පබළු යට
රඟමඩල මැද
ඔබේ දෑතේ 
තුරුලු වෙන්නට

බිසෝ හැර ගිය 
ළසෝ රඟහල
අමාවක අඳුරේ

නොයනු මැන
ළඳුනේ...

බලා වැලපෙමි
නෙළාගනු බැරි 
හන්තාන 
සිහිනේ....

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරි ඇදුරු පෙම්
ගී අහන්නම්...

සොඳුරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන 
සොඳුරේ....

හන්තාන අරණේ...



සංගීතයට ආගම්, ජාති, කුළ, වයස් භේද නෑ. ඒ වගේම තමා ප්‍රවීන, නවක භේදයකුත් නෑ.

ආගම්, ජාති, කුළ, වයස භේද වලින් හිත් පුරෝගෙන රංඩු වෙන අපේ රටේ, ඒ සියළු දේට හොඳ පිළිතුරක් විශාරද අමරදේව ශූරින් සහ තරුණ පරපුරේ උමාරියා එක්ව ගායනා කළ මේ "හන්තාන සිහිනේ"..
දෑස් පියාගෙන සවන් දෙන විට සිහිනයක්ම බඳු "හන්තාන සිහිනේ" අහලම බලන්න...

2 [117] ඔබත් යුතුකම ඉටු කළාද?

ඔබට ඔබේ මිතුරෙක්/මිතුරියක් ජීවිතේ කිසියම්ම දිනක ඔහුගේ/ඇයගේ හිතේ වද දෙන ගැටළුවක් කීමට උත්සාහ දරා ඇත්ද?

එවන් අවස්ථාවන්හිදී ඔබේ ප්‍රතිචාර කෙබඳු වීද?

ඕනෑම පුද්ගලයෙකුට (බාල, තරුණ, මහළු, ජාති, ආගම්, කුළ භේදයකින් තොරව ) ජීවිතේ කිසියම් මොහොතක, තමන්ගේ හිතේ පවතින , වද දෙන ගැටළුවක්, තමන්ට සමීප එහෙමත් නැත්නම් සවන් දෙන, එහෙමත් නැත්නම් කීමෙන් සැනසීම හිමි වේ යැයි හැඟෙන කෙනෙක් සමඟ පැවසීමට අවශ්‍යතාවයක් ඇති වීම සාමාන්‍ය දෙයකි.

යුරෝපීය රට වලනම් එවන් අවස්ථාවන්හිදී බොහෝ දෙනෙක් උපදේශනය කරා යොමු වෙනව. ඒ තුළින් තම ගැටළු බොහෝ දුරට නිරාකරණය කරගන්නව.
ගොඩක් වෙලාවට වෙන්නෙ අපි හිතේ තද කරන් සිටින දෙයක් ගොඩක්ම විස්වාස කරන කෙනෙක්ට කීමෙන් තම සිත නිදහස් වීමත්, ඒ තුළින් සහනයක් ලැබීමත්ය.

නමුත් අවාසනාවකට වගේ අපේ රටේ එලෙස උපදේශනයට යොමුවන පිරිස සැලකිය යුතු මට්ටමක පහළ අගයක් ගන්න බව අවට සාධක සලකා බැලීමෙන්ම තේරුම් ගන්නට හැකිය.

වර්තමාන සමාජය දෙස බලන විට සියදිවි හානි කර ගැනීම තරමක් දුරට වැඩි වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කෙරේ.
සාමාන්‍යයෙන් සියදිවි හානි කර ගැනීමකට හේතු වශයෙන් මූලික කරුණු 3ක් හදුනාගෙන ඇත්තේ පහත පරිදිය.

1. දරාගැනීමේ ශක්තිය අඩුකම
2. විශාදය වැනි මානසික රෝග
3. මත් ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයට ඇබ්බැහි වීම

මේ අතර මත්ද්‍රව්‍ය, මානසික රෝග යන කිසිදු සාධකයකින් තොරව ජීවිතේ ඇතිවන යම් යම් ගැටළු හේතුවෙන් ජීවිතයෙන් පළා යන අවස්ථාවන් දැන් දැන් සමාජයේ බහුළ වෙමින් පවතී.

මෙහිදී සිදුවන එකම කරුණ වන්නේ යම්කිසි ගැටළුවක් දරා ගැනීමේදී තම දරා ගැනීමේ ශක්තිය ඉක්මවා යාමයි.
ඉතා ඉහළ දරාගැනීමේ ශක්තියක් ඇති අයෙක් මෙවන් තත්වයකට පත්වීමට ඇති ඉඩකඩ ඉතා සීමිතය.
ඉතාම අඩු දරාගැනීමේ ශක්තියක් ඇති අය ඉතා ඉක්මනින් ප්‍රශන වලින් පළායාමේ ක්‍රම සොයනු ඇත.

වර්තමාන රේස් සමාජය තුළ එකම පවුලක් ඇතුළත වුව, පුද්ගලයන් තනි වීම සාමාන්‍ය දෙයකි. කෙනෙක්ට තවත් කෙනෙක් වෙනුවෙන් කාලය වෙන් කිරීම අප විසින්ම අපහසු කරගෙන ඇත.

"කතා කරන්නවත් වෙලාවක් නෑ"
"බලන්න එන්න වෙලාවක් නෑනෙ"
"කෝල් එකක්වත් දෙන්න වෙලාවක් නෑනෙ"


අද කාලෙ නිතර ඇහෙන කණට හුරුපුරුදු වචන කිහිපයකි.

මොහොතක් හිතන්න.
ජීවිතේ අපි උපන් දා සිට අද, මේ මොහොත වන තුරුම අපේ ජීවිත වලට පැමිණි, ලැගුම්ගත්, හැරගිය අය කොතරම් වේද?
ඒ අතරින් කී දෙනෙක් අපට ඇහුම්කන් දී ඇත්ද?
අපි ඒ අය අතරින් කී දෙනෙක්ට ඇහුම්කන් දී ඇත්ද?
ජීවිතයේ කරදරක් වූ විට, තමන්ට සවන් දීමට කෙනෙක් අවශ්‍ය යැයි සිතුන විට ඒ අය අතරින් කී දෙනෙක් ඔබගේ මතකයට එන්නේද?
ඔබේ මිතුරන් අතරින් කී දෙනෙක් ඔවුන්ගේ සිත් තැවුල් ඔබට පවසයිද?

මේ ප්‍රශ්න කීපයට, තනිව පිළිතුරු සොයන්න....

"සවන් දීම" බැලූ බැල්මට බොහොම සරල දෙයකි.  එයට ශක්තියක් වැය වන්නේ නැති තරම්.
නමුත්, "සවන් දීම" විටෙක තවත් අයෙකුට මිල කළ නොහැකි තරම් වූ වටිනාකමක් ගෙන දෙන දෙයක්. ජීවිතයක් තරම්ම වටින දෙයක්.

ඒ සවන් දීම නිවැරදි සවන් දීමක් විය යුතුය. කන ඇහෙන ඕනෙම පුද්ගලයෙකුට සවන් දිය හැකිය. නමුත් නිවැරදිව සවන් දීම යනු තරම විශේෂ වූ කරුණක්.

එසේ නිවැරදිව සවන් දීමට නම්,

1. අනෙකාව තේරුම් ගෙන ඔහුට සවන් දිය යුතුය. ඔහුගේ/ඇයගේ වේදනාව තේරුම් ගත හැකි විය යුතුය. 
2. විස්වාසවන්ත භාවය රැකිය යුතුය.
3. අනුන් වෙනුවෙන් තම කාලය කැපකිරීමට තරම් සංවේදී විය යුතුය.
4. යතාර්තවාදී විය යුතුය.
5. අවධානයෙන් ඇහුම්කම් දෙන්නෙක් විය යුතුය.

ඔබ තුළ මෙවන් ගති ගුණ ඇත්නම්, කෙනෙකුගේ සිත් තැවුලකදී, කළකිරීමකදී, පීඩාවකදී ඔහුට/ඇයට සවන් දීමෙන් ඔහු/ඇය සිත් තුළ සහනයක් ඇති කිරීමට ඔබ සමත්ය.

යම්කිසි අවස්ථාවක ජීවිතයක් බේරා ගැනීමට ඔබගේ සවන්දීමේ හැකියාව සමත් විය හැකිය.

මන්ද, සියදිවි නසා ගැනීමකට හේතුවන මූළික කාරණා 3න් "අඩු දරාගැනීමේ ශක්තිය" යන කාරණය හොඳ සවන් දෙන්නෙකුට වළක්වා ගැනීමට හැකියාවක් තිබීමයි.

සාමාන්‍ය ජීවිතයේදී අප සමගින් ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට (වයස, පාට, පක්ෂ, ආගම්, ජාති භේදයකින් තොරව ) ජීවිතේ යම් මොහොතක, තමන්ට සවන් දෙන්නෙකු අවශ්‍ය වන්නට විය හැකිය. එවන් අවස්ථාවක මූලික වනුයේ තමන්ට කොයිතරම් දුරට "විස්වාසවන්තව සවන්දෙන්නෙක්ද" යන කරුණ මිසක, වයස, තරාතිරම, ජාතිය, ආගම වන් පටු කාරණා නොවේ.

ඉතින්, ජීවිතේ කුමන හෝ මොහොතක එවන් අවස්ථාවක් ඔබට හිමි වේ නම්, 
මේ මිහි මත මනුස්ස ජීවිතයක් ජීවත් කරවීමට ඔබත් දායක වී යයි සතුටු වීමට ඔබට හැකිවනු නොඅනුමානය.


- ධර්මවිජය පදනමේ සැනසිලි සුවය උප්දේශන සේවයේ මනෝ විද්‍යා උපදේශිකා  මාලා පණ්ඩිතරත්න  මහත්මියගේ ලිපියක් ඇසුරෙන්.

4 [116] නීතිය කාටද?

ආසාවන් කියන දෑ ඇති වන්නේ කලින් සැලසුමක් ඇතුව නෙවේ. කානිවල් එකකට ගියාම කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආසාවක් ඇති වෙනව මිසක්, කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආස හිතිල කානිවල් හොයාගෙන යන්නෙ නෑ අපි සාමාන්‍යයෙන්.

උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් නෑ.

එහෙම කියල, ආසාවට කරන හැමදේම හරියි කියල මම කියන්නෙ නෑ. ආසාවක් ඇති උනාම ඒක හරිද, වැරදිද කියල සිය දහස් වාරයක් හිතන්න අපි පුරුදු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත්, හැමෝටම ඇතිවෙන සියලුම ආසාවන් මුදුන්පත් කරගන්න ගියොත් පාලනයක් නැතිව, වෙන්නෙ මහ විනාසයක්.

ජීවිතේ හැම අවස්ථාවකදිම නැති උනත්, විශේෂ අවස්ථාවන්දි, විශේෂ ස්ථාන වලදිවත් අපිට අපේ ආසාවන් හරිද, වැරදිද කියල පහදල දෙන්න කෙනෙක් ඉන්නවවම්, ඒක කොච්චර වටිනවද? 

මොකද ආසාවන් කියන ඒව ඇති වෙන්නෙ පස් මහ බැලුම් බලල නෙවේ.

ඒත් පොඩි හිතක ඇති වෙච්ච පොඩි හැඟීමක් ජීවිතේ අවුරුදු දෙකක් බරපතළ වැඩ ඇතිව, මහ උළු ගෙයි ලගින්න වෙච්ච එක වරද මොකක් වුනත්, දරුණු වැඩියි කියල මට හිතෙනව. 
ඒක හිතට ගොඩක් වද දෙන නිසාවෙන්ම, මූණු පොතේ ලියපු එක වැකියකින් නොනැවතී, මහන්සිය පැත්තක තියල, දුවන යකඩ යකාගෙ හඬත් එක්ක වචන ටිකකට පණක් දෙන්න හිතුවෙ.

ඇත්තටම සිද්ධිය සිද්ද වුනු දවස මම දන්නෙ නෑ. මට හොයන්න ඕනෙත් නෑ.
සිද්ධියෙ කතා නායිකාව නම් වසර 30ක් බෝම්බ හඬට හුරු වෙච්ච, මර බිය හේතුවෙන් කලා රසවින්දනය යටපත් කළ  ඈයෝ ජීවත් වුණු නැගෙනහිර පළාතෙ ජීවත් වුණු තරුණියක්. 
යුද්ධයේ නිමාවත් එක්ක දකුණ නරඹන්න ආ ගමනකදි සීගිරි කැටපත් පවුර කොණ්ඩ කට්ටකින් පළුදු කළ වරදට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක හිර කාරියක්.

දණ්ඩ නීති සංග්‍රහයේ මේ සම්භන්ධ නීති ප්‍රතිපාදන මම නොදනිමි. එය මට අදාලද නොවන්නකි. 

එහෙත්, ඇය සැලසුම් සහගතව ඒ ක්‍රියාව සිදු කර නොමැති වග යමක් කමක් තේරෙන් ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. නීති සම්පාදනය කර ඇත්තේ මිනිසුන් හික්මවීමට මිස තලා පෙලා, පීඩාවට පත් කිරීමට නොවන වග කා විසිනුත් සිතිය යුතුය.

නීතියේ ප්‍රතිපාදන ඇති තරමටම දඬුවම් කරන්නේ නම් අද අපේ රටත් හික්මුනු මිනිසුන් ඇති රටක් විය යුතුය.

ඈ ලත් දඬුවමින් කම්පාවට පත් ඇගේ මවගේ ඡායාරූපය දුටු මට ඇති වූ ප්‍රශ්ණ වැලකි. මෙය කියවන නුඹට පිළිතුරු දිය නොහැකි බවද සැබෑවකි. එහෙත්, රට කරවන් උන්ට, නීතිය කරවන උන්ට වඩා චින්තන ශක්තියක් නුඹට ඇති බව පමණක් මා දනිමි.
මට මවක්, සහෝදරියක්, බිරිඳක්, දුවක් ඇති බැවින් ගොසිප් අතර ඒ ලිපිය ලඟ නැවතී, ආපසු හැරී බලන්නට සිතක් ඇති වුනි. වරද මෙය නොවුනත්, ඔබේම සහෝදරියක් හෙට දින අසාධාරණයට ලක් වන තුරුම නොසිට මදක් සිතන්න..

ඇය වරදක් කළ බව සැබෑය. නමුත්, ඒ වරද අපේ රටේ පවතින ක්‍රමය තුළ වසර දෙකක්, බරපතළ වඩ ඇතිව සිරගත කිරීමට තරම් වරදක්ද?
  • ආරක්ෂක කැමරා අක්‍රිය කර පුරාවස්තු හොරකම කළ වුන් එක පැයක් ජම්පරය ඇඳ මහ උළුගෙයි බත් කෑවේද?
  • මහා පර්වත දෙපළු කර නිදන් වස්තු සොරා ගත් උන් එක් දිනක් සිර බත් කා ඇත්ද?
  • අහිංසක දැරියන් දූෂණය කර, ඒ වෙනුවෙන් සව්දිය පිරූ උන් අද සිර ගෙවල් වල ඇත්ද?
  • අහිංසක උන්ට මත් කුඩු හුරුකර ඉන් ‍යැපෙන උන් ඒ වෙනුවෙන් දඬුවම් ලබන්නෙහිද?
සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කට්ටකින් තම නම කෙටූ ඈ කල වරදට නියම කලාවූ දඬුවම් ලියා ඇති පොතේ අන් වැරදි වලට දඬුවම් සඳහන් නොවන්නේද?
එසේත් නැත්නම් ඒ පොත ඇති උන්ට එකක්, නැති උන්ට තව එකක් ලෙස පිටපත් දෙකක් ඇත්තේද?
නීතියේ දෙවඟන මේවා නොදකින්නේ ඇගේ දෑස් බැඳ ඇති නිසාවෙන්ද? 

ඇති උන්ට කිඹුහුමක් ගිය විට පවා හඬ නගන කාන්තා සංවිධාන මා මෙන් ගොසිප් නොකියවනවා වන්නට ඇත. එසේ නොවුනා නම් අද උදය ශ්‍රී වෙනුවෙන් ඔවුන් හඬ නගනු ඇත.

අයුක්තියට කෑ ගහන වන් ෂොට් මේවා නොදකින්නේ උදය ශ්‍රී නැගෙනහිර පළාතේම කර්මාන්තශාලවක සේවය කරන නිසාවෙන් වන්නට ඇත.

සිංහල නොදත්, අතමිට සරු නොවන බැවින් ඈ හට මානව හිමිකම් නැතුවා වන්නට පුලුවන. 

එහෙත්, සුලු වරදක් නිසා සිර ගත වූ අහිංසක ඇය වසර දෙකකට (දින 730කට ) පසුව සමාජගත වන්නේ පුරුදුකාර  සිරකරුවන්ගේ අත්දැකීම සමගින් බව කාටත් අමතක වූවා වන්නට පිළිවන.

කොතනක හෝ වරදක් ඇති බවනම් සහතිකය.

ඒ වරද නිවැරදි කිරීම අපට කළ නොහැකි යැයි නුබට සිතෙනු නොඅනුමානය. එහෙත්, ඊට එරෙහිව කතා කිරීමට නොහැකියාවක් ඇතැයි මා නොසිතමි.

කණ්ඩායමක් හැදෙනුයේ එක් එක් පුද්ගලයා එකතු වීමෙනි. සිදු විය යුත්තේ එක් පොදු පිරිසිදු අරමුණක් තිබීම පමණි.

දුවන ජීවිතේ සුළු මොහොතක ලද විවේකයක පැහැදිළි මනසින් සිතන්න.

හෙට දවසේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ ඔබ නොවන බවට සහතිකයක් දීමට කාටත් නොහැකි බව සිත්හි තබාගන්න.

3 [115] නොමිලේ

නොමිලේ... නොමිලේ...  නොමිලේ...  නොමිලේ...  නොමිලේ...

නොමිලේ දෙනව කීවම එක සැරයක් නෙවේ, දෙතුන් සැරයක්ම හිතන්න වෙනව.

හේතුව අපේ රටේ සාමාන්‍යයෙන් "නොමිලේ" කීවොත් එක්කො කල් ඉකුත් වෙන්න සතියක්, දෙකක් තියෙන දෙයක්. එහෙම නැත්නම් විකිණෙන්නෙ නැති දෙයක්. කොහෙ හරි රටක තහනම් කළ දෙයක්.
ඉතින් ඒ හින්ද "නොමිලේ" බෝඩ් කෑල්ල දැක්කම හිතන්න වෙනව ඒක වටිනවද කියල.

ඒ කතාව එහෙම උනත්, කවදාවත්, මොන විදියෙන්වත් මිල කරන්න බැරි අමිල වස්තුවක් තියෙනව, ඒත් නොමිලේ දෙන්න පුලුවන්.

මොකද්ද ..???

තමයි අමිල, අවංක සිනාව.

කතාවට කියන්නෙත් රවනවාට වඩා බොහොම අඩු මාංශපේශී ගානක් තමයි හිනා වෙන්න මහන්සි කරවන්නෙ කියල. ( ගණන 43 17ක්, 62 26ක් වගේ විවිධ අදහස් තියෙනව. කොහොම වෙතත්, ඒක රවනවාට වඩා නම් ගොඩක් අඩු ගානක්)

එක පුංචි හිනාවකින් ගොඩක් දේ කියන්න පුළුවන්. සමහරක් වෙලාවකට වචන වලින් නැතිවෙන දෙයක්, එක සිනාවක් නිසා ඇති වෙන්න පුළුවන්.
ඒත් ඉතින් කරුමෙක මහතනම්......

අපේ ගොඩක් අය ඒ නොමිලෙ දෙන්න පුලුවන් දේ හරි අගේ කරන එකයි.
කෙනෙක්ට උදේක මුණගහුනම, හිනාවකින් සංග්‍රහ කරන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.

ඒත් අද... කීයෙන් කී දෙනාද එහෙම කරන්නෙ?

විදුලියෙන් ක්‍රියා කරන බෝනික්කො වගේ, කන් දෙකේ "බීරි මාක් කණේ මූදි කුට්ටම්" දෙකක් ගහගෙන, කලු කන්නාඩි දෙකක් දා ගත්තම මූණට මුලිච්චි වෙන උන්ට හිනා වෙනව තියා... 
පාරෙ යන්නෙත් හරි අමාරුවෙන්.


ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින්,
අපේ රටේ 
"සිනා සෙන්න උගන්වනු ලැබේ" කියල දැන්වීම දකින්න ලැබෙන කාලෙ වැඩි ඈතක නෙවේ...

6 [114] දයාබර ගයනි, පෝල්...


පෝල් වෝකර් කියන්නෙ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්. ඒ නම නොදන්න පොඩි එකෙක්වත් නැති තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, කොටස් 6කින් සමන්විත "The Fast and the Furious" නම් සිනමා කෘතිය නිසා. එහි Brian O'Conner  නම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔහු නිසා.

ඒ නම නොදන්න ඕනෙම කෙනෙක් ඉන්නවනම්. ගූගල් සොයනයේ ඒ නම සඳහන් කරන්න. ඕනෙම කෙනෙක්ට, එයගෙ උපතෙ ඉඳන්, විපත වෙනකල් ඕනෙම විස්තරයක් හොයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාගෙ දුව, පෙම්වතිය, ගෙදර සුරතල් බල්ල ගැන, ඕනෙම් දෙයක්.
(ඒක තමා ප්‍රසිද්ධ නලුවෙක්, නිලියක්ගෙ තත්වය. සමහර වෙලාවට කිසිම පුද්ගලිකත්වයක් නැති තරමටම ඒක සිද්ධ වෙනව.)

එතකොට ගයනි විශාකා ලියනගේ කියන්නෙ කවුද? එයා ගැන කී දෙනෙක් දන්නවද?
ගූගල් සොයනයේ මේ නම සඳහන් කළොත්, අමාරුවෙන් වෙබ් පිටු 4කට යන්න අවස්ථාව හම්බෙනව. බොහොම අමාරුවෙන් ඇගේ ඡායාරූප 2ක් හොයා ගන්න පුළුවන් වුනා.
පහුගිය කාලෙ මූණු පොත පුරා පෝල් වෝකර්ට නිවන් සුව පතපු අපේ අයගෙන් කී දෙනෙක් ම්ව ගයනි වෙනුවෙන් නිවන් සුව පැතුවද? අඩුම තරමෙ ඈ ගැන ලියවුනු පුතවක අන් අය එක්ක බෙදා ගත්තද?
කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ නෑ කියන එක නේද?

කවුද මේ ගයනි විශාකා ලියනගේ?

පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය, වර්ෂ 2015 උසස්පෙළ හදාරන්න සූදානම් වෙමින් හිටිය, ඊයේ දිනයේ තමන්ගෙ 17 වෙනි උපන්දිය සමරන ඒත්... අකාරුණික රියදුරෙකුගේ වරදින් මෙලොව හැර ගිය අහිංසක චරිතයක්.

මොකද්ද මේ දෙන්නගෙ ඇති සම්භන්ධය? ඇයි මම මේ දෙන්න ගැන එකට ලියන්නෙ? ඔයාලට එහෙම හිතුන නේද? 

පෝල් වෝකර්  ගැන නම් මම හිතන්නෙ කියන්න ඕනෙ වෙන එකක් නෑ. මොකද එයා ගැන දන්නව හැම කෙනෙක්ම. නොදන්න කෙනෙක් ඉන්නවනම්, එයා අනිත් නළු-නිලියන්ට වඩා ටිකක් වෙනස්, තමන්ගෙ ආදායමෙන් 60%ක් විතරම වගේ දුගී, දුප්පතුන් වෙනුවෙන් වැය කළ, ලෝකයේ විශාලම අසරණ-සරණ සේවාවක් කළ අයෙක්. ස්වභාවික විපත් වලින් අසරණ අය වෙනුවෙන් ඔහු විශාල සේවාවක් කළ අයෙක්. මිය යන විටත් පිලිපීනයේ පහුගිය දා ඇතිවෙච්ච ව්‍යසනයක් වෙනුවෙන් අරමුදල් රැස් කරමින් ඉඳල තියෙන්නෙ.

එතකොට ගයනි විශාකා ලියනගේ...
සිද්ධ වෙච්ච බරපතල අනතුරෙන් ජීවිතයත් මරණයත් සමග පොරබදපු ගයනිගේ මොළය මියගිය බව වෛද්‍යවරු තහවුරු කිරීමත් සමග අතිශය කම්පාවට පත් ඇගේ දෙමව්පිය දෙපළ, ගයනිගේ අවයව තවත් ජීවත් වීමට වරම් ඇති අය වෙනුවෙන් දන් දීමට තීරණය කළා. ඒ අනුව අගේ අක්මාව, ඇස් වෙනත් අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමේ කටයුතු සැලසුම් කලා.
ගයනි උපදින මතු ආත්මයක මෙවන් අකල් මරණ නොවන්නට පින් අත් වන්නට ඒ මහගු පින හේතුවන්න කියල ඒ දෙමව්පියන් ප්‍රාර්ථනා කලා.

එහෙම බලපුවාම පෝල් වෝකර් සහ ගයනි විශාකා යන දෙදෙනාම එක සමානය. (ඔවුන් දෙදෙනා මිය යන්නේද වෙගය නිසාමය.) වෝකර් තමන් හම්බ කළ දෙයින් තවත් ජීවිත ජීවත් කරා. ගයනි.. ඇගේ ජීවිතෙන් තවත් ජීවිත ජීවත් කරා. පෙනීම දුන්න. ඒ අතින් ඒ දෙන්නම අති විශිෂ්ඨයි. අමරණීයයි.

ඒත්....
අපිට අමතක වුනා...
අපේ රටේම ජීවත් වුන ඒ පුංචි කෙල්ල අපිට අමතක වුනා...
පෝල් වෝකර් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරනකොට, 
මේ ගයනි වෙනුවෙන් එක පහනක්වත් පත්තු කරන්න අපිට අමතක වුනා....
එදා මයිකල් ජැක්සන් මිය ගියාම පැය ගනන් වැඩසටහන් කළ සමහර මාධ්‍ය වලට, මේ අසරණ කෙල්ල අමතක වුනා...

දයාබර ගයනි, පෝල්...

ඔබ දෙදෙනාම කලා වූ මේ මහා කුසලකර්ම බලයෙන්, මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණ උරුම නොවේවා... 
ඔබ දෙපලටම නිවන් සුව.



3 [113] වේයන්, මීයන් සහ නෑයන්

මීයා, වේයා, නෑයා.... 
බැලූ බැල්මට නම් ඉතින් මේ තුන් දෙනාගෙ සමාන කමක් හිතන්න හරි අමාරුයි ටිකක්. එකම දේ මේ තුන් දෙනාම සත්තු 3 දෙනෙක්... නමට අකුරු 2යි. තුන් දෙනාගෙම නම ඉවර වෙන්නෙ "යා" කියන එකෙන්.. ඒක තමා තියෙන සමාන කම.

ටිකක් වැඩියෙන් හිතල බලමු... මොකද්ද ඇති සමාන කම..?

ඊට කලින් කියන්නම්...

මම මේ ළඟදි දවසක කුරුණෑගල ඉඳල පොල්ගහවෙලට ගිය බස් එකේ ගහල තිබුණ එක වැකියක් තදින්ම මගේ හිතට වැදුන..

ඒක දැක්කමනම් මටත් හිතුන හැබෑම නේද කියල..
ඒ වැකිය තමයි.....

"වේයයි, මීයයි, නෑයයි තමයි අපිව කන්නෙ" 

වේයා - අපේ වටින කියන ගෘහභාණ්ඩ, ලිය කියවිලි කනව. 
මීයා - අපිට වටින කියන ලියකියවිලි කනව. 
නෑයා - අපේ අඟේ ඉඳන් කන කනව.

මේ තුන් දෙනාම මේ දේ කරන්නෙ කොහොමද? අපිට නොතේරෙන්න.. 
අපිට ඒ දේවල් නැති වෙලා කියල අපි දැන ගන්නකොට, ගොඩක් පරක්කු වැඩී. මොකද පිටින් ඒ දේවල් විනාශ වෙලා නෑ වගේ අපිට පේන්නෙ. 
ඒත් විපරම් කරල බැලුවම...

අනේ අපොයි.... ගන්න දෙයක් නෑ
වටින කියන හැමදේම නැති වෙලා...

ඉතින්....

ප්‍රවේසමෙන්...!!!

1 ස්තුතියි...

එදා තෙල් ගහන්න ගිහින් වෙච්ච දේ වගේම, ඊට පස්සෙ කතාවත් කියන එක යුතුකමනෙ.. නැත්නම් සාධාරණ නෑනෙ.
පැමිණිල්ල කරන්න මම උදේ ගත්ත කෝල් එකක්. ඒ ගමන පිරවුම්හලේ කළමණාකරු ආපහු ගත්ත මට.
අරගෙන සම්පූර්ණ සිද්ධියම මගෙන් අහගෙන, අදාල පුද්ගලයට කතා කරල, ආයෙ මට ගන්නම් කියල තිබ්බ. 

ඊට විනාඩි 10කට විතර පස්සෙ ආයෙම ආව දුරකථන ඇමතුම.
අදාල සිද්ධි දෙකම හොයල, කතා කරල මට ගත්ත  කියල තමා කීවෙ.
සිද්ධි දෙකේම වරද පිළිගත්ත. ආයතන සේවකයො හොර කරල කියල පිළිගත්ත. දෙන්න ඕනෙ දඬුවම මොකද්ද කියලත් මගෙන් ඇහුව. ඔවුන් රැකියාවෙන් නෙරපන්න තීරණය කලා කියල තමා කීවෙ. ඒත් මගෙ අදහස උනේ අවවාද කරල, තියා ගන්න එක රස්සාවක් නැති කරනවට වඩා. හැබැයි ඒ සිද්ධිය ආයෙ වෙන්න බෑ.
ඒ ගමන ඒකට එකඟ උනා. ඒ වගේම මේ වගේ දේවල් වලක්වන්න පියවර 2ක් ගැන කීව. එකක් ආරක්ෂක කැමරා සවි කරන එක. අනික තෙල් සංස්ථාවට දන්වා යන්ත්‍ර වල වෙනසක් සිදු කිරීම. ඒ දෙකම ඉදිරි සතිය ඇතුලත වෙන බවත් සඳහන් කලා.
එසේ නොවුනහොත්, ඒ පිළිබඳව පියවර ගන්න බව මා සඳහන් කල විට ඔහු එයටද එකඟ උනා.

තව එක දෙයක් ඔයාල වෙනුවෙන් සඳහන් කරන්න ඕනෙ.
එම යන්ත්‍රයක,ඕනෑම වෙලාවක, අන්තිම ඉන්ධන සැපයුම් 5 නැවත පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ඔහු සඳහන් කලා. (වැදගත් පුවතක්)

දැන් ඒ සුදුසු පියවර ගන්නේදැයි මම ඇහැ ගහගෙන ඉන්නෙ... බලමුකො...
කොහොම වෙතත් වරද පිළිගැනීම ගැන සතුටු වෙනව.
ඒක ලොකු දෙයක්...

7 [112] ප්‍රවේසම් වෙන්න...

මේක කියන්න හිතුවෙ ඔයාලටත් පරිස්සම් වෙන්න. අද කාලෙ රුපියලත් ගොඩක් වටිනවනෙ. ඒ නිසා හරියට හොරු. එහෙම නැතුව මේ කියන ආයතන එක්ක මගෙ කිසිම පුද්ගලික තරහක් නෑ. අඩුම තරමින් එහි හිමි කරුවත් මා නොදනී. හුදෙක් සියලු දෙනාගේ යහපත් උදෙසා දැනගැනීම පිණිස පමණි.

මේක කුරුණෑගල නගරය ආශ්‍රිතව ඉන්න අයට විශේෂයි. ඒත් කුරුණෑගල හරහා ගමන් යන පිට පළාත් වල අයටත් වැදගත් වෙයි. කුරුණෑගල - කොළඹ පාරෙ තමන්ගෙ රථයට පෙට්‍රල් ගහන අයටයි මේ පණිවිඩය.
 

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හල් වල ලොකුවට ගහල තියෙන්නෙ "ඉන්ධන පිරවීමට පෙර මීටරය "0" දැයි හොඳින් බලන්න" කියලනෙ.
 

සිද්ධිය මෙහෙමයි.
 

දිනය : 2013-02-21
වේලාව : පස්වරු 8.20ට පමණ
ස්ථානය : කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හල. (සිපෙට්කෝ අනුබද්ධ)

අද පස්වරු 8.20ට පමණ මෝටර් රථයට ඉන්ධන පිරවීමට ගිය මම රුපියල් 1000 නෝට්ටුවක් දී 1000ක ඉන්ධන ඉල්ලුව. යන්ත්‍රයේ 1000 සටහන් කල කොලුවා මෝටර් රථයට තෙල් ගහන අතර මම දුරකථනය පරික්ෂා කලා. ඒ අතර එක වරම "මහත්තය සල්ලි දුන්නද?" කියල අහපු කොල්ල, ආපසු "සොරි අමතක උනා" කියන සැනින්, යන්ත්‍රය නතර උනා. 


එහි රුපියල් 1000 සටහන් උනත්, ලීටර් ගණන සඳහන් වී තිබුනේ ලීටර 50 ලෙසින්.
 

දන්නා තරමින් රුපියල් දහසට පෙට්‍රල් ලීටර 50 ගැසිය නොහැකිය.
 
ඒ ගැන ප්‍රශ්ණ කලේ වෙනත් අයෙකුට ඉන්ධන ගහන්න ගිය එක බලෙන් නතර කරමිනි. ඔහුගේ පිළිතුර වුයේ "1000 උඩ තියෙනවනෙ, හරිනෙ" කියන එකයි. වාහනෙන් බැස්ස මම නැවත ඔහුගෙන් ප්‍රශ්ණ කල විට පිරවුම් හලේ වෙනත් අයෙක් විත්, යන්ත්‍රය පරීක්ෂා කලවිට එහි සටහන් වූයේ රුපියල් 531ක ඉන්ධන සැපයූ බවකි. එසේ පරික්ෂා කිරීමට එන විටත් ඔවුන්ගේ අදහස වූයේ ඔවුන් නිසි පරිදි ඉන්ධන සැපයූ බවයි. ඉන් පසු වහාම ඉතිරි ඉන්ධන සැපයූ ඔවුන් ප්‍රශ්ණය එතනින් වසා දැමීය. ඔවුන්ට එසේ වීමට නිසි පිළිතුරක් නොවීය. බොරු හේතු සියයක් විය.

නමුත් මීට දින කීපයකට පෙර මගේ පියා 1000ක ඉන්ධන ගැසූ විටත් රථයේ එතරම් ඉන්ධන පිරවූ බවක් පෙන්නුම් නොකල බව මට මතකය. ඒත් මේ ඉන්ධන පිරවුම් හලෙන්මය.
ඉන්ධන පිරවීමට පෙර "0" පරික්ෂා කරන අපි, අවසන් වූ පසු මුදල පරික්ෂා කරයි. එසේ නැත්නම් ඔහු විස්වාස කර ගමන අරඹයි. ඉන්ධන පුරවන අතර අපේ කතා, ලොතරැයි මිලදී ගැනීම වැනි දෑ කරයි.
ප්‍රවේසම් වෙන්න...
 

අන් ඉන්ධන පිරවුම්හල් ගැන කීමට නොදනිමි. එහෙත්, කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හලෙන් එම සිද්ධිය දෙවතාවක්ම සිදු විය. එය ඔබටත් සිදුවීමට බොහෝ ඉඩ ඇත. 
කුරුණෑගල - කොළඹ පාරෙ මලියදේව බාලිකාව අසල "යසසිරි" ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගන්නා විට අන් කිසි දෙයක් නොව, මීටර දෙසම බලා සිටින්න.. නැත්නම් ඔබේ පොකට්ටුවට ඔවුන් තට්ටු කරනවා පමණක් නොව, නොසිතූ පරිදි මග සිටීමටද සිදු විය හැක.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සංගම් ඇත. එහෙත් ඉන්ධන ලබා ගන්නන්ට අසාධාරණයක් වූ තැන ඔවුන්ට සංගම් නැත. පිළිසරණක්ද නැත. ඒ නිසා මේ පිළිබඳව ඔබේ මිතුරු-මිතුරියන් දැනුවත් කරන්න.

2 [111] ගීයකින් ලියමි... ආයෙමත් ආදරෙන්


"මිරිඟුවක හිත තියලා... නුඹ දුරක ඇදුනා... රංචු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා... ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා...අරුත නොදකින සෙනෙහේ... ඔය නමත් රැඳුනා...ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...."

ගීයට පසු වදනක්...


මුලින්ම කියන්න ඕනෙ මේක සම්පූර්ණ කතාව ලියන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්, ඒ ගැන ලියපු කෙනෙක් ඉන්නව නම් ඒ ගැන කරුණාකරල සඳහන් කරන්න. මමත් ආසයි ඒක දැන ගන්න. 
මොකද මම මේ කතාවට සම්බන්ධ උනේ අතර මගකින්. ඉතින් "හන්තානට පායන සඳ" පසු කතාව ලීව වගේ මේක ලියන්න බෑ. 
ඒත් මේ ගැන වචනයක් හරි ලියන්න ඕනෙ.

රචිතා වාකිෂ්ඨත් මේක ලියල තියෙන්නෙ  සරසවියෙ වෙච්ච ඇත්ත කතාවක් ඇසුරෙන් කියල තමා කීවෙ.

පහුගිය දවසක රූපවාහිනී චැනල් එකකට ඇවිත් හිටිය මේ ගීය ගායනය කරන ආත්මා ලියනගේ. එයා තමා මේ කතාව කීවෙ.මම ඒ වැඩසටහන බලන්න වාඩි උනේ මගදි. ඒත් ඒකෙ කීව විදියට;

ගමෙන් ආව අහිංසක තරුණයෙක්, නුවරින් ආව මිල මුදල් තියෙන, තරුණියකට ආදරේ කරනව. ගමෙන් ආව අහිංසක තරුණය අවංකව ආදරේ කරනව.
ආදරේ කරන අතරෙදි සරසවියෙ තියෙන  "සිත් කවිය" බිත්ති සඟරාවට මේ තරුණය ආදර කවි ලීව. හැමදාම.
ඒ අතරෙදි එක පාරම ඒ ආදර කවි "සිත් කවියෙ" දකින්න නැති වෙනව. දෙමව්පියන්ගෙ බලපෑමට හරි, මිල මුදල් නිසා හරි ගොඩක් ආදරෙන් ඉන්න මේ දෙන්න විරසක වෙනව. ඒ තරුණිය ඔහුගෙන් ඇත් වෙනව.
ඒ වෙනුවෙන් ඒ තරුණයගෙ අකුරෙන් විරහ පද වැල් ලියවෙනව "සිත් කවියෙ".

මෙහෙම කාලයක් ඉන්නකොට ආයෙමත් මේ දෙන්න එකතු වෙන්ව. ඒත් මේ තරුණයට ඒක හරි පුදුමයක්. තරුණය ආයෙමත් නිසඳැසක් ලියනව,

ඒ නිසඳැසේ අවසාන වෙන්නෙ."ඔබ මගේ ජීවිතයට ආයෙ ආවා, ඒත් ආයේ යයිද කියලා සැකයි "

මේ සරසවියෙම අකුරු කරන රචිතා වාකිෂ්ඨ (චන්ද්‍රා වාකිෂ්ඨගේ දියණිය) මේ නිසඳැස ඇසුරු කරගෙන  තිලිණ රුහුණගේ එක්ක එකතු වෙලා ආත්මා ලියනගේ ගායනා කරන මෙන්න මේ අපූරු ගීය නිර්මාණය කරනව. 

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.